දැන් ලව් කරනවා කියන එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. මොකද, දෙන්නා ඉන්නේ තැන් දෙකක. දෙන්නා එකට ජීවත් වීමකුත් නෑ. හැබැයි කසාදයක් බඳිනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. මොකද, සමහර විට සම්පූර්ණයෙන්ම වෙනස් පෞරුෂත්වයන් තියෙන, වෙනස් පුරුදු තියෙන දෙන්නෙක් එකට ජීවත් වෙන්න පටන් ගන්නයි යන්නේ. එහෙම දෙන්නෙක් එකට ජීවත් වෙන්න පටන් ගත්තහම නොගැලපීම්, හැලහැප්පීම් එන්න පුලුවන්. ආදරේ තමයි, හැබැයි ආදරේ නාමයෙන් ඔය ප්‍රශ්න ඔක්කොම විසඳාගන්න අමාරුයි. ආන්න ඒකට හොඳම ක්‍රමය තමයි විවාහ ජීවිතේට යන්න කලින් යම් යම් කරුණු කාරණා සීරියස් පිට සාකච්ඡා කරලා තියාගන්න එක. ඒ කියන්නේ “ලුණුයි බතුයි කමුකො රත්තරන්”, “අපි දෙන්නා ලෝකෙ වටේ කවදාහරි යමුකො රත්තරන්” කියනවා ඇරෙන්න, ඇත්තටම වැදගත් කරුණු කාරණා කීපයක් තියෙනවා කතාබස් කරගෙන, එකඟතාවයකට එන්න ඕන. ඒ ගැන අපි කලිනුත් ආටිකල් එකක් කරලා තියෙනවා, කසාද බඳින්න කලින් දෙන්නත් එක්ක කතා කරගෙන තියාගන්න ඕන දේවල් කියලා. අද කතා කරන්න යන්නේ ඊට අමතරව, කසාදෙට කලින් කතාබහ කරලා තියාගන්න ඕන තවත් දේවල් කීපයක් ගැන!
01. දෙන්නගේ නොගැලපෙන පුරුදු
මෙව්වා නම් ඉතින් දෙන්නෙක් එක වහලක් යට වාසය කරන්න යනකොට අනිවාර්යයෙන්ම එන දේවල්. උදාහරණයක් විදියට කිව්වොත්, බිරිඳ අර දවසට පස් පාරක් කොස්ස අරගෙන ගේ අතුගාන ටයිප් එකේ වෙනකොට, හස්බන්ඩ් මඩ පාගපු සපත්තු පිටින් සාලේ මැද්දෙන් යන ටයිප් එකේ වුණොත්, ගොඩක් වෙලාවට සතියක් යනකොට හස්බන්ඩ් වයිෆ්ගෙන් කොස්සෙන්ම ගුටිකාලා වෙන්න පුලුවන්. තව උදාහරණයක් ගත්තොත්, හස්බන්ඩ් කුස්සියේ වළඳක් හේදුවත් දෙපාරක් විම් දාලා හෝදන, ෆුල් ක්ලීන් ෆ්රීක් කෙනෙක් වෙනකොට, වයිෆ් ඒ තරම් ක්ලීන් වීම ගැන නොසලකන කෙනෙක් වෙන්න පුලුවන්. ඔන්න ඔය වගේ නොගැලපෙන ප්‍රායෝගික කාරණා නොසලකා හැරියොත් වෙන්නේ, දෙන්නට දෙන්නා කරදරයක් විදියට දැනෙන එක. අන්න ඒ නිසා, ඒ ගැන කතා බහ කරලා, දෙන්නටම ගැලපෙන විදියට දෙන්නගේ එකිනෙකාට නොගැලපෙන පුරුදු හැඩගස්වා ගන්න ඕන.
02. පුරුෂාධිපත්‍යය
පුරුෂාධිපත්‍යය කියන්නේ ලෝකේ පුරාම මේ වෙනකොට කතිකාවට පාත්‍ර වෙන මාතෘකාවක්නේ. පුරුෂාධිපත්‍යය කියන එකේ ගැටළුවක් නෑ. හැබැයි කාන්තා ආධිපත්‍යයක් නැතිව පුරුෂාධිපත්‍යයක් විතරක් පවතින කොට, ඒක නිසා කාන්තාවන් හිංසාවට, කොන් කිරීමට සහ පහළ හෙලීමට බඳුන් වෙනකොට, ආන්න ඒක ප්‍රශ්නයක්. ඒ නිසා, ගෙදර දොරේ තීරණ ගන්න දෙන්නා කොහොමද සාකච්ඡා කරලා එකඟතාවයන්ට එන්නේ, ගෙදර මුදල් වගකීම් කොහොමද දෙන්නා අතර බෙදාගන්නේ, දෙන්නටම මුදල් ආධිපත්‍යය සහ මූල්‍ය ස්වාධීනත්වය පවත්වා ගන්නේ කොහොමද වගේ කාරණා කලින් සාකච්ඡා කරලා විසඳගන්න ඕන.
03. පුද්ගලික විශ්වාසයන්
මේවා ඇත්තටම විවාහයට කලින් අනිවාර්යයෙන්ම කතාබහ කරන්න ඕන කාරණා. අපි හැමෝටම විවිධ පුද්ගලික විශ්වාසයන් තියෙනවා. ඒවා ආගමික විශ්වාසයන් වෙන්න පුලුවන්, මතවාදයන් වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් ගත්තහම නම් ඒවා ප්‍රශ්න නෙවෙයි. උදාහරණයක් විදියට සැමියා සායි බාබාව විශ්වාස කරනකොට, බිරිඳ නිරාගමික මතයක ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඉතින් දෙන්නට දෙන්නා පුද්ගලික අවකාශයට ඉඩ දීලා හිටියනම් ගැටළුවක් නෑ. ප්‍රශ්නයක් වෙන්නේ සැමියා බිරිඳවත් සායි බාබාට වඳින්න පොළඹවා ගන්න ගියොත් හරි, බිරිඳ සැමියාව නිරාගමික කරන්න උත්සාහ ගත්තොත් හරිනේ.
හැබැයි මේ පුද්ගලික විශ්වාසයන්, මතයන් විවාහය ඇතුළේ ගැටළුකාරී වෙන අවස්ථාවන් එනවා. උදාහරණයක් විදියට කිව්වොත් තමන්ගේ දරුවන්ගේ ආගම මොකක් වෙන්න ඕනද, දරුවන්ට උගන්නන්න ඕන මොනවද වගේ කාරණා වලදී. ඒ ඇරෙන්න ඔය ආගමික නොවෙන මතයන් ගැටළුකාරී වෙන්න පුලුවන් අවස්ථාත් තියෙනවා. උදාහරණයක් කිව්වොත්, වයිෆ් හිතනවා දරුවාව ජනප්‍රිය අගනුවර පාසලකට ඇතුළත් කරන්න ඕන කියලා. එතකොට හස්බන්ඩ් විශ්වාස කරන්නේ ගමේ පාසල හොඳම පාසල කියලා. ආන්න ඒ වගේ දේවල් ගැන බඳින්න කලින්ම කතා බහ කරලා තීරණේකට එන්න පුලුවන් නම් හරි.
04. දරුවෝ නොහිටියොත්?
ඇත්තටම හරි නම් මේ ගැන අනිවාර්යයෙන්ම බඳින්න කලින් කතාබහ කරන්න ඕන. ඒ තමයි, කසාද බැන්දට පස්සේ දරුවෝ හිටියේ නැතිනම් මොකද කරන්නේ කියන එක. දැන් දරුවෝ හදන්න අනිවාර්යයෙන්ම වුවමනාවක් තියෙන දෙන්නෙක් විවාහ වෙලා, අන්තිමට දරුඵල නැති වුණොත්, ඒ අය කොයි තරම් මානසිකව වැටෙනවද කියන එක අපි දැකලා තියෙනවනේ. ආන්න ඒ හින්දම තමයි, ඒ වගේ ප්‍රශ්න වලට පවා කලින් සූදානම් වෙලා ඉන්න එක අවශ්‍ය වෙන්නේ. අනික දරුඵල නැති ප්‍රශ්නේ කාගේ පැත්තෙන් ආවත්, දෙන්නම එකට ඉන්නවා කියන ප්‍රතිඥාවත් බඳින්න කලින්ම දීලා තියෙන එක වටිනවා. ඒ වගේම, එහෙම දරුඵල නැතිවෙන අවස්ථාවකදී මොන වගේ ප්‍රතිකාර වලටද යන්නේ, ප්‍රතිකාර වලින් යමක් කරන්න බැරි නම්, අන්වාදේශ මවක් සොයාගැනීම වගේ විකල්පයකට යනවද, එහෙම නැතිනම් දරු කමට හදාගැනීම වගේ විකල්පයන්ට දෙන්නම එකඟද වගේ දේවල් ගැන කතාබහ කරලා තීරණයකට ඇවිත් ඉන්න ඕන.
05. දෙන්නගේ වෘත්තීය ජීවිත
මේක ගොඩක් වෙලාවට දෙන්නගේ සම්බන්ධතාවය පුරා විටින් විට අක්‍රමවත් විදියට කතාබහ වුණත්, එහෙම ෆෝකස් වෙලා කතා නොකරන දෙයක්. ඒ තමයි, දෙන්නගේ ජීවිත වල වැදගත් වෙන එකිනෙකාගේ වෘත්තිය ජීවිත, එතකොට වෘත්තිය ජීවිතයට සම්බන්ධ වෙන ඇකඩමික ජීවිත කොහොමද මැනේජ් කරගන්නේ කියන එක. මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ, දෙන්නම බොහොම ඩිමාන්ඩින් ජොබ්ස් වල ඉන්නවා නම්. ඒ කියන්නේ දෙන්නටම සැලකිය යුතු කාලයක් වෘත්තියේ වර්ධනය වෙනුවෙන් වැය කරන්න වෙනවා නම්, දෙන්නම ජොබ්ස් එක්ක බොහොම කාර්යබහුල නම්. අන්න එතකොට දෙන්නා කොහොමද දෙන්නගේ ජීවිතේ බෙදාගන්නේ, ජීවිතේ හවුලේ කරන්න ඕන වැඩකටයුතු බෙදාගන්නේ වගේ කාරණා කලින්ම කතාබහ කරලා තියාගන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, දෙන්නම මාස්ටර් ඩිග්‍රීස් කරනවා නම්, ඒ කාලය ඇතුළත දරුවෙක්ව හදනවද, ඊට කලින් දරුවෝ හදලා නම් දරුවන්ගේ වගකීම් කොහොමද බෙදාගන්නේ වගේ කරුණු තීරණය කරගන්න වෙනවා. එතකොට, ජොබ් එක නිසා දෙන්නගෙන් එක්කෙනෙක්ට වෙන රටකට යන්න වෙනවා නම්, ජොබ් එක නිසා දෙන්නට එක ගෙදරක ටික කාලයක් හරි ඉන්න බැරි වෙනවා නම්, ඒ වගේ අවස්ථා මැනේජ් කරගන්නේ කොහොමද කියන එකත් දෙන්නා කතාබහ කරලා අවබෝධ කරගන්න වෙනවා.
06. සෙක්ස් ලයිෆ්
සාමාන්‍යයෙන් කපල් එකක් වුණහම, ඒ කියන්නේ විවෘත මනසක් තියෙන, ෆෝර්වර්ඩ් කපල් එකක් නම්, සෙක්ස් ලයිෆ් එක ගැන අමුතුවෙන් කතා කරන්න ඕන කියලා කියන්න දෙයක් නෑනේ. ආයෙ අපි ඒ ගැන කතා කරන්න කියනකොට කරලත් ඉවර වෙයි. හැබැයි ඇත්තටම මැරි කරන්න කලින්, හැමෝම දෙන්නගේ සෙක්ස් ලයිෆ් එක ගැන කතාබහ කරනවද? ආන්න ඒක ටිකක් ගැටළුකාරී මාතෘකාවක්. ඒකට එක හේතුවක් තමයි, දෙන්නා සෙක්ස් කරන්න කැමති විදි වගේ දේවල් සමහර වෙලාවට කතා කෙරෙන්නෙ නෑ. ඒවා කතා කළත්, සමහර වෙලාවට විවාහ වුණාට පස්සේ සෙක්ස් ලයිෆ් එක කොහොමද ගෙනියන්න ඕන වගේ දේවල් කතා වෙන්නෙත් නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, විවාහ වෙන්න කලින් සමහර වෙලාවට හිතන්නේ ආයෙ දිනපතාම සෙක්ස් කරන්න පුලුවන් කියලනේ. හැබැයි ප්‍රායෝගිකව ඒවා වෙන්නෙ නෑ. සමහර වෙලාවට ගොඩක් කපල්ස් මුල් කාලේ සතිපතා සෙක්ස් කළත්, අන්තිමට ඕක මාසෙකට වරක් දෙකක් වෙනකල් අඩුවෙන්න පුලුවන්. ආන්න ඒ නිසා, කොහොමද සෙක්ස් ලයිෆ් එකේ උණුසුම අඩු වෙනවා නම්, මොනවද ඒකට කරන්න පුලුවන් දේවල් වගේ බඳින්න කලින්ම කතාබහ කරලා තියෙන එක වැදගත්.
07. ඇයි ඔයාට මාව ඇත්තටම බඳින්න වුවමනා?
ෆුල් ලව් එකෙන් මත් වෙලා ඉන්න කපල් එකක් නම් මේ වගේ ප්‍රශ්නයක් එකිනෙකාගෙන් අහන්න හිතන එකක් නෑ. හැබැයි සාර්ථක විවාහ ජීවිතයක් සඳහා තීරණයක් ගන්න නම්, මේකත් අහන්න ඕන ප්‍රශ්නයක් කියලා අපි හිතනවා. විශේෂයෙන්ම දෙන්නා විවාහයකට යන්න ඕකේද කියන එක ගැන පොඩි හරි සැකයක් හිත කොනක හරි තියෙනවා නම් මේ ගැන අහන්න පුලුවන්. සරලවම අහලා බලන්න පුලුවන් “ඇයි ඔයාට මාව ඇත්තටම බඳින්න වුවමනා?” කියලා. මේකට ඉතින් ඔය ආලවට්ටම් දාලා, සීනි තවරපු උත්තර ලැබෙන්න පුලුවන්. හැබැයි ඒවැයින් රැවටෙන්නේ නැතුව, දෙන්නට දෙන්නා විවාහ වෙන්න තියෙන ඇත්තම හේතු සාකච්ඡාවෙන්ම හොයාගන්න පුලුවන්. ආන්න එතකොට තමන්ට දැනගන්න පුලුවන් ඒ හේතු තමන්ට කොයි තරම් ගැලපෙනවද කියලා!
මේ කරුණු කාරණා ඔක්කොම සාකච්ඡා කරලා, විසඳුමකට ආවා නම්, දෙන්නටම සුබ මංගලම්!
Leave a Reply