අපි ගොඩක් දෙනෙක් ජීවිතේ එක් වතාවකදී හරි හාට්බ්රේක් එකක් අත්විඳලා ඇතිනේ. ඒ කියන්නේ බොක්කටම වැදුණු ලව් එකක් කැඩුණට පස්සේ දැනෙන වේදනාව. එහෙම හාට්බ්රේක් එකක් වුණාට පස්සේ, ඒක සමනය කරගන්න දේවල් කරන්න පුලුවන්. හැබැයි එහෙම වුණාට, ඒ ලව් එක කැඩුණු වේදනාව එක රැයින් නැතිනම් දෙකකින් නැතිවෙලා යන්නෙ නෑ. ඒක අඩුම ගාණේ ටික දවසක් හරි පවතිනවා. එතකොට, සමහරු ඔය බ්රේක් අප් එකක් වුණාට පස්සේ කා එක්ක හරි සෙක්ස් කරන්න එහෙමත් පෙළඹෙනවා. ඒකේ කිසිම අවුලක් නෑ. සමහර වෙලාවට, බ්රේක් අප් එකෙන් පස්සේ ඇතිවුණු වේදනාව ටිකක් හරි සමනය වෙන්න ඒක හොඳ ඖෂධයක් වෙන්නත් පුලුවන්. හැබැයි, එහෙම බ්රේක් අප් එකකින් පස්සේ කා එක්ක හරි සෙක්ෂුවල් සම්බන්ධයකට යනවා නම්, අපි ඔළුවේ තියාගන්න ඕන කාරණා කිහිපයකුත් තියෙනවා. ඒ කියන්නේ, ලව් එකක් බ්රේක් වුණාට පස්සේ සෙක්ස් කරනවා නම්, කළ යුතු සහ නොකළ යුතු දේවල්. මේ දේවල් සිහියේ තියාගන්න එකෙන්, අපිට වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන අනික් කෙනාටත් නරකක් වෙන්න තියෙන ඉඩ වළකිනවා.
01. රැවටෙන්න එපා, රවට්ටන්නත් එපා
සාමාන්‍යයෙන් ඉතින් මිනිස්සුන්ට මිනිස්සු ආකර්ෂණය වෙනවනේ. ඒක ආදරය සඳහා ආකර්ෂණයක් වෙන්නත් පුලුවන්, ලිංගික ආකර්ෂණයක් වෙන්නත් පුලුවන්. දැන් කෙනෙක්ගේ ලව් එකක් කැඩිලා තියෙන්නේ කියලා දැනගත්තහම, තවත් කෙනෙක් ඒක ඒ කෙනාට ලං වෙන්න මාර්ගයක් කරගන්නත් පුලුවන්. අන්න ඒ නිසා, තමන්ට ඇත්තටම සෙක්ස් කරන්න ඕන කමක් තියෙනවද කියන එක තමන් මුලින් අවබෝධ කරගෙන ඉන්න ඕන. ඒ වගේම, අනික් කෙනාටත් තමන් එක්ක ලිංගික ඇසුරකට යන්න ඇත්තටම අවශ්‍යයිද කියන එක අවබෝධ කරගන්න ඕන. මොකද, අනික් කෙනා හිතන්න පුලුවන් මේක දුරදිග යන ඇසුරක් කියලා. හැබැයි අපි බ්රේක් අප් එකකට පස්සේ ඇතිවෙන මානසික තත්වයත් එක්ක ලිංගික සම්බන්ධතාවයකට ගියාට, ඒක කල් නොපවතින්න පුලුවන්. අන්න ඒ නිසා, තමන් ඉන්නේ බ්රේක්-අප් එකකට පස්සේ කියන එක හරියට අනික් කෙනාට සන්නිවේදනය කරන්නම ඕන.
02. දෙපැත්තටම විශ්වාසය
මේක නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයිනේ. අපි බ්රේක්-අප් එකකින් පස්සේ වුණත්, එහෙම නැතිව වුණත් කෙනෙක් එක්ක සෙක්ස් කරනවා නම්, විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන කියන එක අනිවාර්ය කාරණයක්. එහෙම විශ්වාසවන්ත කෙනෙක් එක්ක සෙක්ස් කළත්, උපත් පාලන ක්‍රම, ආරක්ෂිත ලිංගික ක්‍රමවේද පාවිච්චි කරන්නම ඕන. මොකද, අනවශ්‍ය ගැබ් ගැනීම්, ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වගේ දේවල් වලට ආයෙ වෙන මොනවා කළත් වැඩක් නෑ, ආරක්ෂිත ක්‍රම පාවිච්චි නොකර. එතකොට ඔය විශ්වාසවන්තයි කියන එක වැදගත් වෙනවා, තමන් එක්ක තිබුණු සම්බන්ධය ගැන වෙන කොහේවත් කියවා කියවා යන්නෙ නෑ කියලා සහතික කරගන්න එහෙමත්. මොකද, ඒවා අද දවසේ තියෙන සමාජ ප්‍රශ්නනේ. ඉතින් ඔය විශ්වාසය කියන එක දෙපැත්තටම අවශ්‍ය වෙන අතරේම, බ්රේක් අප් වුණු කෙනාගේ මානසික තත්වය හොඳින් තේරුම් ගත්ත කෙනෙකුත් වෙනවා නම් ලිංගික සහකරුවා, ඒක සෑහෙන්න වටිනවා.
03. තමන්ව හොයන්න, විඳින්න
සෙක්ස් කරනවා කියන්නේ ඇත්තටම එන්ජෝයි කරන්න ඕන දෙයක් මිසක්, විඳවන්න ඕන දෙයක් නෙවෙයි. අන්න ඒක මතක තියාගන්න ඕන, බ්රේක්-අප් එකකට පස්සේ සෙක්ස් කරන්න යනවා නම්. එහෙම එන්ජෝයි කරන්න නම්, උඩ කියපු දේවලුත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. විවෘත මනසකුත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒ වගේම, පහළ කියලා තියෙන සමහර කාරණාත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඇත්තටම අපි බ්රේක්-අප් වුණාට පස්සේ, විශේෂයෙන්ම ඔය විස සහිත සම්බන්ධතාවයකින් මිදුණට පස්සේ, අපිට දැනෙනවා හරි මානසික නිදහසක්. අන්න ඒ නිදහස එක්ක තමයි සෙක්ස් කරනවා නම් කරන්න ඕන. ඒකෙන් ඒ සෙක්ස් කිරීම ඉහළින් වින්දනය කරන්න පුලුවන් වෙයි.
ඒ වගේම, තමන්ව හොයාගන්නත් මේක අවස්ථාවක් කරගන්න පුලුවන්. තමන්ව හොයාගන්න කියන්නේ, තමන් ලිංගිකව හැසිරෙන්න ආස කොහොමද, තමන්ගේ ෆැන්ටසීස් මොනවද වගේ කාරණා අවබෝධ කරගන්න මේක අවස්ථාවක් කරගන්න පුලුවන්. විශේෂයෙන්ම මේ වගේ ලිංගික සම්බන්ධතාවයකදී තමන් කළ යුතු මේවයි, හැසිරිය යුතු මේ විදියටයි වගේ සීමාවන් නැති නිසා, තමන්ගේ ලිංගිකත්වය ගවේෂණය කරන්න ඒක හොඳ අවස්ථාවක් වෙයි.
04. පළි ගැනීමට සෙක්ස් නොකරන්න
මෙන්න මේක බ්රේක්-අප් සෙක්ස් වලදී කිසිසේත්ම නොකළ යුතු දෙයක්. ඒ තමයි, කෙනෙක්ගෙන් පළිගන්න සෙක්ස් පාවිච්චි නොකරන එක. ඕක ක්‍රම කීපෙකට වෙන්න පුලුවන්. එක්කෝ, තමන් එක්ක බ්රේක් අප් වුණු සහකරුවා හෝ සහකාරියගෙන් පළිගන්න හිතාගෙන, ඒ කෙනාට සම්බන්ධ කෙනෙක් හෝ ඒ සහකරු හෝ සහකාරියගේ ජීවිතේ අතීතේ හෝ වර්තමානයේ ඉන්න කෙනෙක් එක්ක සෙක්ස් කරන එක එකක්. ඒ වගේ දේකින් ඇත්තටම සිද්ධ වෙන්නේ, තමන්ටත්, තමන් ලිංගික සහකරු හෝ සහකාරිය විදියට තෝරගන්න කෙනාටත්, තමන්ගේ පරණ මනුස්සයාටත් යන හැමෝගේම ජීවිත සංකීර්ණ වෙලා, අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන එක විතරයි.
ඒ වගේම, තවත් සමහරු බ්රේක්-අප් එකකට පස්සේ කා එක්ක හරි සෙක්ස් කරනවා, තමන්ගේ පරණ පෙම්වතාට හෝ පෙම්වතියට රිදවන අපේක්ෂාවෙන්. ඒකට ඉතින් සෙක්ස් කරලා එහෙම කළා කියලා පරණ කෙනාට කියන්නත් වෙනවා. ඒකෙනුත් ඇතිවෙන්නේ අනවශ්‍ය ප්‍රශ්න. අර දෙවෙනියට කියපු කාරණාවත් එතනදී කැඩෙනවා. එහෙම නැතිනම් පරණ කෙනාට තමන් තව කෙනෙක් එක්ක සෙක්ස් කරනවා කියලා නොකිව්වත්, තමන්ගේ මනස ඇතුළේ පරණ කෙනාගෙන් පළිගැනීමක් විදියටත් සමහරු කා එක්ක හරි සෙක්ස් කරන්න බලනවා. එතකොටත් වෙන්නේ, තමන්ට ඒ ලිංගික සම්බන්ධතාවයෙන් කිසිම සතුටක් ලබාගන්න නොහැකි වීම. ඒ වගේම, අනවශ්‍ය මානසික ගැටළු වලටත් තමන්ට මුහුණ දෙන්න වීම.
05. නිදහසේ සම්බන්ධතාවය ගෙනියන්න
සමහරු බ්රේක්-අප් එකකට පස්සේ සෙක්ස් කරන්න කියලා කෙනෙක් එක්ක සම්බන්ධ වුණත්, ඒ සම්බන්ධතාවය නිදහසේ ගෙනියනවට වඩා, විසකුරු සම්බන්ධතාවයක් බවට පත් කරගන්න නොදැනුවත්වම උත්සාහ කරනවා. ඒක සිද්ධ වෙන එක ක්‍රමයක් තමයි, තමන් ලිංගික සම්බන්ධතාවයකට යන කෙනාගෙන්, තමන්ගේ පරණ පෙම්වතාව හෝ පෙම්වතියව බලාපොරොත්තු වීම. එහෙම නැතිනම් තමන් ලිංගික සම්බන්ධතාවයකට යන කෙනාගේ සම්පූර්ණ ජීවිතේම පාලනය කරන්න උත්සාහ කිරීම. එහෙම නැතිනම්, අනවශ්‍ය විදියට ඒ කෙනාගෙන් දේවල් ඩිමාන්ඩ් කිරීම. එහෙමත් නැතිනම් තමන් එක්ක නිදහස් ලිංගික සම්බන්ධතාවයකට යන මනුස්සයෙක්ගේ වුණත් හැම පුංචි දෙයක්ම සම්බන්ධයෙන් සැක කිරීම සහ ඒකට වලි දාගැනීම. අන්න ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට වෙන්නේ, අර බ්රේක්-අප් එකේ තරහ පිට කරන්න වෙන්න පුලුවන්. එහෙම නැතිනම්, අර බ්රේක්-අප් වුණු සම්බන්ධතාවය මේ නිදහස් ලිංගික සම්බන්ධතාවය ඇතුළෙත් ප්‍රතිනිර්මාණය කරන්න තියෙන වුවමනාව නිසා වෙන්න පුලුවන්. ඒ නිසා, බ්රේක්-අප් එකකින් පස්සේ තාවකාලික ලිංගික සම්බන්ධතාවයක් පටන් ගන්නවා නම්, ඒක හැකිතාක් නිදහසේ තියාගන්න. එහෙම නැතිනම් කවදාවත් ඒක එන්ජෝයි කරන්න නං වෙන්නෙ නෑ!
06. සීරියස් තීරණ වලට යන්නත් එපා
දැන් බ්රේක්-අප් එකකට පස්සේ කෙනෙක් තව කෙනෙක් ගැන ආකර්ෂණයක් ඇති වීම නිසා එයත් එක්ක සම්බන්ධ වුණා කියමුකෝ. ඔන්න ඊට පස්සේ සෙක්ස් කරනවා. එතකොට හිතෙනවා මට මෙයා මගෙ ජීවිතේ හිටියා නං, මෙයාව බඳින්න තිබ්බා නං හොඳයි කියලා. හැබැයි බ්රේක්-අප් එකකට පස්සේ මළාට ඔය වගේ තීරණ නම් ගන්න එපා. අපි මේ ආටිකල් එක පුරාම බ්රේක්-අප් එකකින් පස්සේ ඇතිවෙන ලිංගික සම්බන්ධතාවයක් නිදහස් සම්බන්ධතාවයක් විදියට හඳුන්වන්නත් හේතුව ඒකයි. මොකද, අපි බ්රේක්-අප් එකකින් පස්සේ ඉන්නේ තව රිලේශන්ෂිප් එකක් ගැන තීරණ ගන්න පුලුවන් විදියේ පැහැදිලි මනසකින් නෙවෙයි. අන්න ඒ නිසා, මුලින්ම තමන්ගේ හිතේ තියෙන ව්‍යාකූලත්වය, බ්රේක්-අප් එකෙන් පස්සේ ඇතිවුණු මානසික අවුල, මානසික තැවුල නැතිවෙනකල් ඉන්න. ඒ අතරේ තමන් කෙනෙක් එක්ක සෙක්ස් කරනවා නම්, ඒක සැහැල්ලු, නිදහස් දෙයක් විදියට රසවිඳින්න. සමහර විට එයා තමන්ට හරියන කෙනා වෙන්න පුලුවන්. එයත් තමන්ට කැමති වෙන්න පුලුවන්. හැබැයි ඒ තීරණය ගන්න නම්, මනසේ ව්‍යාකූලත්වය නැතිවෙනකල් ඉන්න. මොකද, ගොඩක් වෙලාවට ඔය රී-බවුන්ඩ් රිලේශන්ෂිප් කියන එව්වා තමයි බ්රේක්-අප් එකකට පස්සේ ඇතිවෙන්නේ. ඒ කියන්නේ, අර බ්රේක්-අප් එකෙන් ඇතිවුණු හිඩැස පුරවන්න අපි සම්බන්ධතාවයකට යන එක. හැබැයි එහෙම එකක් පටන් ගත්තොත්, අපේ ඔළුව නිරවුල් වෙනකොට අපිට ඒක ගැලපෙන සම්බන්ධතාවයක් නෙවෙයි කියලා තේරෙන්න පුලුවන්. එතකොට ජීවිත දෙකක් අවුල් වෙනවා.
07. වරදකාරී හැඟීම, ලැජ්ජාව පැත්තකින් තියන්න
බ්රේක්-අප් එකකට පස්සේ නිදහස් ලිංගික සම්බන්ධතාවයකට හැමෝම යන්න ඕන කියලා නියමයක් නෑ. ඒත් තමන්ට එහෙම දෙයක් ෆීල් වෙනවා නම්, ඒක කරන එකේ ගැටළුවකුත් නෑ. ඒත් සමහරුන්ට මේ වෙනස තේරුම් ගන්න අමාරුයි. සමහර වෙලාවට බ්රේක්-අප් එකෙන් පස්සේ තවත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවා. එයා එක්ක සෙක්ස් කරන්නත් යනවා. හැබැයි ඊට පස්සේ තමන් මහා වරදක් කළා කියලා වරදකාරී හැඟීමකින්, තමන් නරක කෙනෙක් කියලා ලැජ්ජාවකින් පෙළෙනවා. එතකොට කරන දේවත් එන්ජෝයි කරන්න වෙන්නෙ නෑ. අර බ්රේක්-අප් එකටත් වඩා හිත් අමාරුවකින් කාලය ගත කරන්න වෙනවා. අපි කියන්නේ, තමන් හිතනවා නම් එහෙම බ්රේක්-අප් එකෙන් පස්සේ කෙනෙක් එක්ක සෙක්ස් කරනවා වගේ දෙයක් නරකයි, සම්ප්‍රදායට විරුද්ධයි කියලා, කරුණාකරලා ඒකට නොයා ඉන්න. එහෙම නැතුව විවෘත මනසකින් ඒ දිහා බලන්න පුලුවන් නම් ඉස්සරහට යන්න. එහෙම නැතුව ඒකත් කරලා, ඊට පස්සේ තමන් වැරදියි, නරකයි කියලා ගිල්ටි වෙන්න, තමන් ගැනම ලැජ්ජා වෙන්න තියාගන්න එපා. අපි ආයෙත් කියනවා. එහෙම දෙයක් වුණා කියලා ඒකෙන් තමයි නරක වෙන්නෙ නෑ. වැරැද්දක් කළා වෙන්නෙත් නෑ!
දැන් අපි මේ කියන්නේ බ්රේක්-අප් එකක් වුණා කියලා හැමෝම ලිංගික සම්බන්ධතාවයකට යන්න ඕන කියන එක නෙවෙයිනේ. තමන්ට එහෙම දෙයක් ෆීල් වෙනවා නම්, ඒ ෆීල් වීමත් එක්ක එහෙම තැනකට යනවා නම්, ඒක තමන්ගේ ජීවිතයට අවුලක් කරගන්නෙ නැතුව ඉස්සරහට ගෙනියන්න කළ යුතු සහ නොකළ යුතු දේවල් ගැන. අන්න ඒකත් මතක තියාගන්න ඕන.
Leave a Reply