2022 අවුරුද්දේ ආපු හොඳම ටීවී සීරීස් කීපයක්! – පළමු කොටස

දැන් ඔය සිනමාව, ඒ කියන්නේ ෆිල්ම්ස් නැතිනම් චිත්‍රපටි වගේම, අද කාලේ ගොඩක් ජනාදරයට පාත්‍ර වෙලා තියෙනවනේ ටීවී සීරීස්. සමහර විට ෆිල්ම් එකකින් කවර් කරන්න බැරි තරම් දිගට ඩීටේල්ස් ඇතුව ලබාදෙන්න ඕන කතාව, කොටස් හත අටක මිනි ටීවී සීරීස් එකකින් කවර් කරගන්න පුලුවන්. අන්න ඒ නිසාම, ඔය ෆිල්ම්ස් කරන දැවැන්ත සමාගම් එහෙමත් ටීවී සීරීස් වලට අත ගහලා තියෙනවා. හැබැයි ඉතින් මේ ටීවී සීරීස් කියන්නේ අමුතු සංකල්පයක් නෙවෙයිනේ. හැත්තෑ ගණන් වල පවා ඉඳලා ටීවී සීරීස් තිබුණා. එකම වෙනස, දැන් කාලේ ගොඩක් දෙනෙක් ටීවී සීරීස් බලන්නේ ටීවී එකේ නෙවෙයි. එක්කෝ කම්පියුටර් එකේ නැතිනම් සමහර විට ස්මාට්ෆෝන් එකේ. මොකද, නෙට්ෆ්ලික්ස්, හූලූ, ඇමසෝන් ප්‍රයිම් වගේ ස්ට්‍රීමින් සේවාවන් හරහා නවතම ටීවී සීරීස් ලබාගන්න පුලුවන් නිසා.

 

දැන් මේ කාලේ සතියකට රිලීස් වෙන ටීවී සීරීස් සංඛ්‍යාව දහයක්වත් වෙනවා සාමාන්‍යයක් විදියට ගත්තොත්. මොකද, 2019 අවුරුද්දේ විතරක් ඇමරිකාවේ ටීවී සීරීස් 532 ක් රිලීස් වෙලා තිබුණා. හැබැයි ඉතින් ඔය රිලීස් වෙන හැම ටීවී සීරීස් එකම බලන්නත් බැහැනේ. ආන්න ඒ නිසා, අපි හිතුවා 2022 අවුරුද්දේ නැරඹිය යුතුම කියලා කියන්න පුලුවන් හොඳම ටීවී සීරීස් ලිස්ට් එකක් අරගෙන එන්න.

 

01. Star Trek: Strange New Worlds

මේ සීරීස් එක යන්නේ ඔරිජිනල් ස්ටාර් ට්‍රෙක් සීරීස් එකට කලින් කාලයක් ඇතුළේ. ඒ කියන්නේ ඔරිජිනල් සීරීස් එකේ කාලයට අවුරුදු දහයකට විතර කලින්. ඒ කියන්නේ මේ වෙනකොට කැප්ටන් ක්‍රිස්ටෝපර් පයික් යටතේ සුප්‍රසිද්ධ යූඑස්එස් එන්ටර්ප්‍රයිස් යානාව සහ එහි කාර්ය මණ්ඩලය වටා. මේ කට්ටියත් අලුත් ලෝක හොයාගෙන මන්දාකිණිය හරහා යන ගමනත්, එතනදී මේ කට්ටියට මුහුණ දෙන්න වෙන අභියෝග, මේ අයට මුණගැහෙන අපූර්ව ලෝකයන් වගේ දේවල් පෙන්වා දෙනවා. ස්ටාර් ට්‍රෙක් විශ්වය සම්බන්ධයෙන් ෆෑන්ස්ලට තියෙන අවබෝධය තවත් තලයකට ගෙනියන්න මේ සීරීස් එක සමත් කියලා කිව්වොත් වැරදි නෑ.

 

02. Bridgerton

ජුලියා ක්වින් ගේ සුප්‍රකට බ්‍රිජර්ටන් පොත් සීරීස් එක පාදක කරගෙන නිර්මාණය වුණු මේ ටීවී සීරීස් එකේ, 1811-1820 කාලය අතරතුර එංගලන්තයේ තිබුණු රීජන්සි යුගයේ හිටපු බලවත්, ප්‍රභූ බ්‍රිජර්ටන් පවුලේ සාමාජික සහෝදර සහෝදරියන් අට දෙනෙක් වටේ ගොඩනැංවෙන කතාවක් තමයි දකින්න ලැබෙන්නේ. බ්‍රිජර්ටන් පවුලේ 9 වෙනි විස්කවුන්ට් බ්‍රිජර්ටන් වෙන ඇන්තනී ඇතුළු බ්‍රිජර්ටන් පවුලේ අය සමගින්, රීජන්සි කාලයේ ලන්ඩනයේ ඉහළ සමාජය, ආදරය සොයා යන එක, මේ අයගේ යාළුවෝ සහ ප්‍රතිවාදීන් කියන හැම දෙයක්ම ඇතුළත් කරගනිමින් බ්‍රිජර්ටන් සීරීස් එක දිගහැරෙනවා.

 

03. We Own This City

බැල්ටිමෝර් පොලිස් දෙපාර්තමේන්තුවේ Gun Trace Task Force එක ආරම්භ කරලා ස්වර්ණමය තලයකට නැගීම, ඒ වගේම ඒ විශේෂ කාර්ය බලකාය ගොදුරු වෙන දූෂණයන් සහ වංචාකාරී ක්‍රියාවන් නිසා ඇද වැටීමත් කියන කතාව තමයි මේ මිනි සීරීස් එකෙන් ආවරණය කෙරෙන්නේ. සාජන්ට් වේන් ජෙන්කින්ස් වටා ගෙතෙන මේ සීරීස් එකේ විදියට, ඒ විශේෂ කාර්ය බලකායේ ඉන්න නිලධාරීන් 8 දෙනාම 2018 සහ 2019 වසර තුළ, විවිධ පුරවැසියන්ට තර්ජනය කරලා මුදල් ගැනීම ඇතුළු විවිධ දූෂණ චෝදනා වලට ලක් වෙනවා. හැබැයි මේක සත්‍ය වශයෙන්ම සිද්ධ වුණු සිදුවීම් දාමයක් පදනම් කරගෙන තමයි නිර්මාණය වෙන්නේ.

 

04. Pretty Little Liars: Original Sin

Pretty Little Liars කියන්නේ පොත් සීරීස් දෙකකින්, ටීවී සීරීස් හතරකින් සහ වෙබ් සීරීස් එකකින් සමන්විත ෆ්‍රැන්චයිස් එකක්. දැන් මේකේ හතරවෙනි ටීවී සීරීස් එක තමයි මේ අවුරුද්දේ අපිට දැකබලාගන්න හැකි වෙලා තියෙන්නේ. කතාව යන්නේ මෙහෙමයි. අවුරුදු විස්සකට කලින් සිද්ධ වුණු ඛේදජනක සිදුවීම් දාමයක් නිසා මිල්වුඩ් ප්‍රදේශය කම්පා වෙනවා. දැන් අවුරුදු විස්සකට පස්සෙත් අලුත් තරුණ කණ්ඩායමක්, ඝාතකයෙක්ගේ ඉලක්කය බවට පත් වෙනවා. මේ තරුණ කණ්ඩායමට තමන්ගේ පව් වලට වගේම, අවුරුදු විස්සකට කලින් තමන්ගේ දෙමාපියෝ කරපු පව් වලටත් වන්දි ගෙවන්න සිද්ධ වෙයිද?

 

05. The Sandman

ෆැන්ටසි සීරීස් වලට කැමති අයට බලන්නම වටින සීරීස් එකක් තමයි, නීල් ගේමන් ලියපු කොමික් පොතක් පාදක කරගෙන නිර්මාණය වුණු The Sandman කියන්නේ. කතාව සරලව කිව්වොත්, යක්දෙස්සෙක් උත්සාහ කරනවා සදාකාලික ජීවිතයක් ලබාගන්න. ඒක කරන්න හදන්නේ මරණය අල්වා ගෙන. හැබැයි මරණය අල්වා ගන්න මේ යක්දෙස්සාට බැරි වෙනවා. ඒ වෙනුවට අහුවෙන්නේ මරණයේ බාල සහෝදරයා වෙන සිහින නැතිනම් මෝෆියස්. අවුරුදු ගාණක් මේ බාල සහෝදරයව මේ යක්දෙස්සා බෝතලේක හිර කරලා තියෙන්නේ. කොහොමහරි මේකෙන් ගැලවෙන සිහින නැතිනම් මෝෆියස්ගේ ඊලඟ අරමුණ වෙන්නේ, තමන්ගේ නැතිවුණු බලය හොයාගන්න එක තමයි.

 

06. I Am Groot

ඇවෙන්ජර්ස් සීරීස් එකේ ගාර්ඩියන්ස් ඔෆ් ද ගැලැක්සි බලපු අයට නම් Groot කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය වෙන්නෙ නැහැනේ. පටන් ගන්න ෆිල්ම් එකේ මහ ගහක් විදියට අපි අඳුනගන්න Groot, Guardians of the Galaxy ෆිල්ම් එකේ අවසානයේදී ලෝකේ බේරගන්න ගිහිල්ලා සම්පූර්ණයෙන්ම විනාශ වීමෙන් බේරෙන්නේ අනූනවයෙන්. කොහොමින් කොහොම හරි, Groot ගේ රිකිල්ලක් බේරෙනවා. ඒ කියන්නේ බේබි ගෘට්. දැන් මේ පුංචි ගෘට් මන්දාකිණියේ විවිධ ත්‍රාසජනක දේවල් මැද්දෙන් වැඩෙන හැටි තමයි මේ සීරීස් එකට පාදක වෙලා තියෙන්නේ.

 

07. Tales of the Walking Dead

සොම්බි ඇපොකැලිප්ස් එකකට පස්සේ ඉතුරු වෙන ලෝකයේ ඉතුරු වෙන ජීවත් වෙන මිනිස්සු, කොහොමද එකිනෙකාගෙනුත්, ජීවමාන අනික් ඕනම දෙයක් කාලා දාන සොම්බින්ගෙනුත් ජීවිතය බේරගන්න විදිය අපි මේ වෙනකොට සෑහෙන්න දැකලා තියෙනවා. හැබැයි ඒ අතුරිනුත්, ජීවමාන මළවුන් ඇවිද යන ලෝකයක් හඳුන්වා දුන්නු Walking Dead කොමික්ස් සහ ටීවී සීරීස් එක, සෑහෙන්න පාඨක ජනප්‍රියත්වය අත්පත් කරගත්තා කිව්වොත් වැරදි නැහැ. දැන් මේ Tales of the Walking Dead සීරීස් එකත් පදනම් කරගන්නේ ඒ Walking Dead විශ්වයම තමයි. Walking Dead සීරීස් එකේ සමහර චරිතත් මේකේ දකින්න පුලුවන්. ඇත්තටම, එකිනෙකින් ස්වාධින කතා ගණනාවක් රැගත් සීරීස් එකක් වුණු මේ Tales of the Walking Dead, අපි දන්න නොදන්න චරිත වල පසුබිම ගැන අපි නොදන්න කතන්දර කිහිපයක් අපි හමුවට අරගෙන එනවා.

 

08. The Undeclared War

2024 අවුරුද්දෙදී, ඒ කියන්නේ මෑත අනාගතයේදී, විශ්ලේෂකයෝ කණ්ඩයමක් GCHQ එකේ, ඒ කියන්නේ බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සන්නිවේදන මූලස්ථානයේ රහසිගතව ඉඳගෙන, රටේ මැතිවරණ පද්ධතියට පහර දෙන්න නියමිතයි කියලා හිතන සයිබර් ඇටෑක් එකක් වළක්වන්න කටයුතු කරමින් ඉන්නවා. මේ කණ්ඩායමේ ඉන්න තරුණ විශ්ලේෂිකාවක් වෙන සාරා පාර්වින් අවබෝධ කරගන්නවා, තමන් සයිබර් යුද්ධයක් මැද්දේ නිර්මාණය වුණු කුමන්ත්‍රණයක මැදට හසුවෙලා ඉන්නවා කියලා තේරුම් ගන්නවා!

 

09. She-Hulk: Attorney at Law

කොමික් වලට සහ සුපර් හීරෝ කතා වලට ආස අයට හල්ක්ව අමතක වෙන්න විදියක් නැහැනේ. මේ සීරීස් එකේත් හල්ක් ඉන්නවා. හැබැයි ඇත්තටම මේ සීරීස් එකේ ප්‍රධාන චරිතය වෙන්නේ හල්ක්ගේ ඥාති සහෝදරිය වෙන ජෙනිෆර් වෝල්ටර්ස් වටා. ඇය නීතීඥවරියක්. දැන් හල්ක් සහ ජෙනිෆර් දෙන්නා ගමනක් යනකොට සිද්ධ වෙන හදිසි අනතුරකින්, හල්ක්ගේ රුධිරය ටිකක් ජෙනිෆර්ගේ ශරීරයට ඇතුළු වෙලා, එයත් හල්ක් කෙනෙක් වෙනවා. හැබැයි ජෙනිෆර්ට ඕන ලෝකේ බේරගන්න සුපිරි වීරයෙක් වෙනවට වඩා, තමන් නීතීඥයෙක් වෙන්න ඉගෙන ගත්තු එකෙන් තමන්ගේ වෘත්තිය කරගෙන යන්න. ඒත් මේ අලුතෙන් ලැබුණු සුපිරි වගකීම් එක්ක ජෙනිෆර්ගේ ජීවිතය කොහොම වෙනස් වෙයිද?

 

10. House of the Dragon

මේ සීරීස් එක එනවා කියන එක, ගේම් ඔෆ් ත්‍රෝන්ස් ප්‍රේක්ෂකයන්ව නම් අමන්දානන්දයට පත් කරපු ආරංචියක්. හවුස් ඔෆ් ඩ්‍රැගන් කතා මාලාව කියැවෙන්නේ, ටාර්ගේරියන් වංශයේ මකර මවුන් කියලා හඳුන්වපු ඩැනේරිස් ටාර්ගේරියන් ඉපදෙන්න අවුරුදු 172 කට කලින්, ටාර්ගේරියන් වංශයේ බලය උච්චතම තත්වයක තිබුණු කාලයේ වංශය ඇතුළේ තිබුණු බල අරගල සම්බන්ධයෙන්. විශේෂයෙන්ම, සහෝදරයා සහ සහෝදරිය වන දෙවන ඒගොන් සහ රෙනෙයිරා අතර යකඩ සිහසුනට හිමිකම අත් පත් කරගන්න පැවතුණු මරණය දක්වා වූ ගැටුමත් එක්ක මොකද වුණේ කියන එකත් මේ සීරීස් එකෙන් කියවෙනවා. ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටීවී සීරීස් එකේ කාලයට අවුරුදු 200 කට කලින් වුණු සිදුවීම් පෙන්වන හවුස් ඔෆ් ඩ්‍රැගන් සීරීස් එකෙන්, ගේම් ඔෆ් ත්‍රෝන් සීරීස් එකට හොඳ පසුතලයකුත් සපයනවා කියන්න පුලුවන්.

 

11. The End Is Nye

ඉස්සරහට එන්න තියෙන ස්වභාවික හෝ ස්වභාවික නොවෙන ව්‍යසනයකින් අපි බේරෙන්නේ කොහොමද? ඒක ගැන කතා කරන්න, 1990 කාලයේ ළමා කතා සීරීස් එකකින් ජනප්‍රිය වුණු Bill Nye the Science Guy අපිව අරගෙන යනවා, ඉතිහාසයේ මෙතෙක් දකින්න ලැබුණු බිහිසුණු ව්‍යසනයන් වෙතට. ඒ විතරක් නෙවෙයි, ඒ ව්‍යසනයන්ට මුහුණ දෙන්න සූදානම් වෙන්නේ කොහොමද, ඒ වගේ ව්‍යසනයන් වළක්වා ගන්නෙ කොහොමද, එහෙම ව්‍යසනයක් සිද්ධ වුණොත් දිවි ගලවා ගන්නේ කොහොමද කියන කාරණාත් අපිට විස්තර කරලා දෙනවා. මේ ව්‍යසනයන්ට ගිණිකඳු විදාරණයක ඉඳලා ඇස්ටරොයිඩයක් පොළවේ ගැටීම දක්වා, ඒකාධිපති පාලනයක ඉඳලා රසායනික යුද්ධයක් දක්වා දේවල් ඇතුළත් වෙලා තියෙනවා.

 

12. The Lord of the Rings: The Rings of Power

ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කියන්නේ අපේ කාලයේ අති ජනප්‍රියතම වුණු ෆැන්ටසි පොත් මාලාවක් සහ චිත්‍රපට මාලාවක් කිව්වොත් වැරදි නැහැ. දැන්, මේ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් විශ්වය පදනම් කරගත් ටීවී සීරීස් එකක් විදියට  The Lord of the Rings: The Rings of Power එන්නට නියමිතයි.  The Hobbit සහ The Lord of the Rings කතා මාලාවන්ගේ සිදුවීම් වලට අවුරුදු දහස් ගාණකට කලින්, Middle-earth වල අතීතයේ දෙවෙනි යුගයේ තමයි මේ සීරීස් එක දිවයන්නේ.  සීරීස් එකේ දුෂ්ටයා වෙන අන්ධකාරයේ ස්වාමියා සවුරෝන්ගේ නැගී සිටීමත්, න්‍යුමෙනාර් දූපත් රාජධානිය බිඳ වැටීමත්, එල්ෆ්ලා සහ මිනිසුන් අතරේ අවසාන සහසම්බන්ධය බිඳ වැටීමත් මේ සීරීස් එකේ දකින්න පුලුවන්.

 

13. The Winchesters

සුපර්නැචුරල් ටීවී සීරීස් එක බලපු අයට වින්චෙස්ටර් සහෝදරයින්ව අමතක වෙන්න කිසිසේත්ම විදියක් නෑ. හැබැයි ඩීන් සහ සෑම්ගේ අම්මා වුණු මේරි කැම්ප්බෙල් සහ, තාත්තා වුණු ජෝන් වින්චෙස්ටර්, සෑම් ට මාස හයේදී අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ දෙන්න කලින් ගෙවපු ජීවිතය කොයි වගේද? 1970 කාලයේ දිව යන මේ සීරීස් එකෙන් කියවෙන්නේ ඒක තමයි. මේ දෙන්නා කොහොමද ප්‍රේමයෙන් බැඳෙන්නේ, කොහොමද අඳුරේ වෙසෙන අද්භූත ජීවීන් එක්ක සටන් කරන්නේ සහ දෙන්නාගේම නැතිවුණු පියවරුන් හොයා යන්නේ කියන කාරණා තමයි මේ සීරීස් එකට පාදක වෙන්නේ.

 

14. Willow

ෆැන්ටසි සීරීස් වලට ආස කෙනෙක්ට Willow කියන්නේ හොඳ ටීවී සීරීස් එකක්. කථාව ඇරඹෙන්නේ මායාකාරයෙක් සහ සියළුම ලෝක එක්සත් කරන දෛවය ඇතුව ඉපදුණු බිළිඳියක් කියන දෙන්නගේ කතාවත් එක්ක. මේ දෙන්නගේ කාර්යය වෙන්නේ නපුරු රැජිණ විනාශ කරලා අන්ධකාරයේ බලවේග පලවා හරින එක. අපිට අනික් හැම තැනම දැකලා පුරුදු කතාව වුණාට, මේ සීරීස් එක ඇතුළේ ෆැන්ටසි සීරීස් එකක ඉන්න ඕන මායාකාරයෝ, ට්‍රොල් ලා සහ අනෙකුත් මායා ජීවීන් හැමෝම ඉන්නවා. ඒ වගේම, ලෝකය බේරගන්න යන මේ දෙන්නගේ සහායට තවත් වීරයෝ එකතු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *