කොටයි කියලා අවුලෙන්ද? උස ගැන වද නොවී පෞරුෂත්වය දියුණු කරගන්න ක්‍රම කීපයක්!

දැන් අපි හරි විදියට බැලුවොත් මනුස්සයෙක් උසද කොටද මහතද කෙට්ටුද වගේ කාරණා අදාළ වෙන්න විදියක් නැහැනේ මනුස්සයාව මැනගන්න. හැබැයි ප්‍රායෝගිකව බැලුවොත් තවමත් සමාජේ ඔය උස, කොට, මහත, කෙට්ටු සීන් බලනවා. ඒ නැතත්, තමන්ගේ හැඩහුරුකම් අනුව මිනිස්සුම එව්වා අදාළ කරගන්නවා. දැන් ඔය ඒ තරම් උස නැතිවීම, ඒ කියන්නේ අඩු තරමින් අඩි 5, අඟල් 6 ක් වත් නැති වීම මාරම අවුලක් විදියට ගන්න මිනිස්සු අපිට ඕන තරම් මුණගැහෙනවනේ. ඒකට වැරැද්දක් කියන්නත් බෑ. මොකද, මහත එකෙක්ට කෙට්ටු වෙන්න පුලුවන්, කෙට්ටු එකෙක්ට මහත් වෙන්න පුලුවන්. හැබැයි ඉතින් කොට එකෙක්ට එහෙම ලේසියෙන් උස යන්න බෑ! එතකොට ඔය සමහර ගෑණු ළමයි පවා හොයන්නේ උස කොල්ලන්ව!!

හරි, ඔය ඔක්කොම ඇත්ත කියමුකෝ. හැබැයි ඕනම මනුස්සයෙක් උස වෙන්න ඕනෙද? මෙන්න මේක තමයි අපි හිතලා බලන්න ඕන ඇත්තම කාරණාව. මොකද, මනුස්සයෙක්ගේ උස ප්‍රමාණය ඒ මනුස්සයාගේ ගතිගුණ වලට, පෞරුෂත්වයට, හැකියාවන්ට, දක්ෂතාවයන්ට හැමතිස්සෙම බලපාන්නේ නැහැනේ. උදාහරණ විදියට කිව්වොත් මේ ලෝකේ හොල්ලපු උස නැති ඩයල් ඕන තරම් ඉඳලත් තියෙනවා. එක උදාහරණයක් ඩැනියෙල් රැඩ්ක්ලිෆ් නැතිනම් හැරී පොටර් චරිතය. පොරගේ උස අඩි පහයි අඟල් පහයි! හැබැයි උස නැහැයි කියලා ඩැනියෙල් රෙඩ්ක්ලිෆ්ට අකමැති වෙන කෙල්ලෙක් ඉඳීද? තව ඔය බටහිර සම්මත උසට නැති අයට උදාහරණ දුන්නොත්, නැපෝලියන් බොනපාට්, ප්‍රින්ස්, යුරි ගගාරින්, චාර්ලි චැප්ලින්, ටොම් කෘස්, වූඩි ඇලන්, බෘනෝ මාර්ස්, කෙවින් හාට්, බීතෝවන්, එල්ටන් ජෝන්, මාර්ටින් ස්කොර්සීස්, ලයනල් මෙසී, බොබ් ඩිලන්, ටොල්කින්, මහා ඇලෙක්සැන්ඩර්, අයිසැක් නිව්ටන් වගේ ලිස්ට් එකක්ම කියවගෙන යන්න පුලුවන්. දැන් මේ කාටවත් අසාර්ථකයි, පෞරුෂත්වයකින් තොරයි කියන්න පුලුවන්ද? බෑනේ.

අන්න ඒ නිසා, අපි බලමු, තවදුරටත් තමන් කොටයි තමන් කොටයි කියලා හිතට අමාරු කරගන්නෙ නැතුව, ලැජ්ජ වෙන්නෙ නැතුව, තමන්ගේ පෞරුෂත්වය දියුණු කරගන්න පුලුවන් ක්‍රම කීපයක් ගැන!

01. උස යන්න හිතන කාලේ පෞරුෂත්වයට වැය කරමු

දැන් උස යන්නේ කොහොමද කියලා හිත හිතා වද වෙන එක නවත්තන්න කිව්වහම, මේ කියන කාරණාව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ හිතන වෙලාව වෙන් කරන්න පුලුවන් අපේ පෞරුෂත්වය වර්ධනය කරගන්න සහ පුද්ගලයෙක් විදියට තමන්ව ගොඩනංවාගන්න. ඇත්තටම පෞරුෂත්වය ගොඩනංවාගන්න උස මිටි භේදයක් නෑ. ඕනම කෙනෙක්ට තමන්ගේ පෞරුෂත්වය නංවාගන්න පුලුවන්. ඒක කරන ක්‍රම සහ විධි එහෙමත් අපි කලින් කියලා තියෙනවා. ඒ කියන්නේ අපි උරහිස් සෘජුව පිටිපස්සට දාලා තියාගෙන, කොන්ද කෙළින් තියාගෙන ඇවිදින එක, හිටගෙන ඉන්නකොට කොහේටවත් මුක්කු ගහගෙන, ඇලවෙලා ඉන්නෙ නැතුව සෘජුව අත් බැඳගෙන නැතිනම් අත් සාක්කුවේ දාගෙන නැතිනම් අත් පිටුපසට බැඳගෙන ඉන්න එක වගේ දේවල්. ඇත්තටම එහෙම ඉන්නකොට තමන්ටත් තමන් සෑහෙන්න උසයි, දැවැන්තයි වගේ හැඟීමක් වෙනවා වගේම, පිටින් අපි දිහා බලන අයටත් ඒ විදියටම අපිව පේන්න පටන් ගන්නවා.

02. ලුක්ස් ගුඩ්!

උස වුණත්, මිටි වුණත් හොඳ පෞරුෂත්වයක් තියෙන එක අනිවාර්ය දෙයක් කියලා අපි කිව්වනේ. ඒ වගේම විශේෂයෙන්ම ඒ තරම් උස නැති මනුස්සයෙක්ට වුණත්, හොඳ පෞරුෂත්වයක් ලබාගන්න පුලුවන් ක්‍රමයක් තමයි තමන්ගේ ඇඳුම් පැළඳුම්. විශේෂයෙන්ම ඒ තරම් උස නැති කෙනෙක් තමන්ගේ සයිස් එකට වඩා ලොකු ඇඳුම් අඳින එකෙන් වළකින එක හොඳයි. ඒ කියන්නේ බැගී ෂර්ට්, ඕනවට වඩා ලොකු සයිස් ඩෙනිම් එහෙම ඇන්දහම වෙන්නේ, තමන් ඉන්නවට වඩා ලොකුවට පේන එක නෙවෙයි. තමන් ඒ තරම් උස නෑ කියලා පේන එක. සාමාන්‍යයෙන් එතරම් උස නැති කෙනෙක්ට තමන්ගේ සයිස් එකට ටේලර් මේඩ් ඇඳුම් සෙට් එකක් හදාගන්න එක වටිනවා. ඒ වගේම ඉතින් අර උස අතට ඉරි තියෙන ඇඳුම් වලින් උස පේනවා කියන එක නම් ගොඩක් අය දන්න ෆැෂන් ටිප් එකක්නේ. ඒ වගේම ඔය ප්‍රින්ට්ස් තියෙන රෙදි වලින් කරපු ඇඳුම් ගන්නවා නම්, ලොකු ප්‍රින්ට් ඩිසයින් නැතුව වඩා පුංචි ප්‍රින්ට් ඩිසයින් තියෙන ඇඳුම් ගන්න එක වටිනවා. එතකොට තනි පාට ඇඳුම් වලිනුත් වඩාත් උස බව පෙන්නන්න පුලුවන්.

03. හරි හෙයාර්කට් එකක්

මේක ඉතින් හැමෝටම කරන්න බැහැ. මොකද, අපි මේ කියන්න යන විදියේ හෙයාර් කට් එකක් ගන්න තරම් කොණ්ඩේ නැති මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවනේ. හැබැයි කොණ්ඩේ ප්‍රමාණය සම්බන්ධයෙන් ගැටළුවක් නැති නම්, වඩාත් උස් විදියේ කොණ්ඩා මෝස්තරයක් වැඩි උසක් නැති කෙනෙක්ගේ උස පෙන්නන ක්‍රමයක්. ඒ කියන්නේ කොණ්ඩේ හොඳට වවලා, කොණ්ඩේ උසට හිටින්න පීරලා හරි ජෙල් කරලා හරි තියන්න පුලුවන් නම්, ඒක වැඩි උසක් නැති කෙනෙක්ට ගැලපෙනවා.

04. ඇක්සසරීස්

තමන්ගේ ශරීරයේ උස අඩුයි කියන එක නොදැනෙන්න පාවිච්චි කරන්න පුලුවන් තවත් දෙයක් තමයි ඇක්සසරීස්. ඒ කියන්නේ අපි ඇඳුමට පළඳින දේවල්. උදාහරණයක් විදියට ගත්තොත් සන්ග්ලාසස්. දැන් තමන්ට ගැලපෙන විදියේ සන්ග්ලාසස් වලින් ඕනම කෙනෙක්ට විශේෂ පෙනුමක් ලබාගන්න පුළුවන්. එතකොට වැඩි උසක් නැති අයට පවා, වඩාත් ඝනකමින් වැඩි ෆ්‍රේම් එකක් තියෙන සන්ග්ලාසස්, ඒ වගේම ඇස් කණ්ණාඩි පාවිච්චි කිරීමෙන්, තමන්ගේ ඇස් වෙතට කෙනෙක්ගේ වැඩි අවධානයක් යොමු කරගන්න පුලුවන්. එතකොට, තමන්ගේ උසට කෙනෙක්ගේ අවධානය යොමු වෙන්නේ නෑ. ඒ වගේම, වැඩි උසක් නැති පිරිමියෙක්ට නම්, තමන්ගේ ෂර්ට් එක කලිසමට යට කරලා ඇඳීමත් උස පෙන්වන්න හොඳ කාරණාවක්. ඇත්තටම ඒක උඩ ෆැෂන් ගැන කියපු අයිටම් එකට එන්න ඕන දෙයක්. ඒත් මෙතනදී අපි ඒ ගැන කියන්නේ විශේෂ හේතුවක් නිසා. වැඩි උසක් නැති කෙනෙක් ෂර්ට් එක යට කරලා, බෙල්ට් එකක් නැතුව ගියත් කමක් නෑ. බෙල්ට් එකක් දාන්න ඕනම නම්, ඇඳුමට මැච් වෙන, හැබැයි ගොඩක් කැපිලා පේන්නේ නැති, සිහින් බෙල්ට් එකක් පාවිච්චි කරන එක හොඳයි. ඒකෙන් ශරීරය දෙකට බෙදිලා පේන්නේ නෑ. එතකොට තමන් උස අඩුයි කියන එකත් පේන්නේ නෑ.

05. ෆිට්නස්

ඕනම කෙනෙක්ගේ පෞරුෂත්වය වර්ධනය වෙන්න ෆිට්නස් තියෙන එක ලොකු උදව්වක් කියලා අපි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අන්න ඒක විශේෂයෙන්ම ශරීර උසින් අඩු අයටත් අදාළයි. විශේෂයෙන්ම කිව්වොත්, ඒ තරම් උස නැති කෙනෙක් නම්, ඇඟ ෆිට් එකට, ගාණට තියාගෙන ඉන්න එක වැදගත්. මොකද, වැඩි උසක් නැති කෙනෙක් අනවශ්‍ය විදියට මහත් වෙනවා කියන්නේ, එයාගේ උස අඩු බව තවත් කැපිලා පේනවා කියන එක. අන්න ඒ නිසා, ශරීරය මනා ප්‍රමාණයකින්, මනා හැඩයකින් තියාගෙන ඉඳීමෙන් තමන්ගේ උස අඩුයි කියන එක පේන්නේ නැතුව යනවා. ඊට අමතරව ඉතින් හොඳ හැඩයක් සහ ශරීර සුවතාවයක් තියෙන, ෆිට් එකේ ඉන්න මනුස්සයෙක්ගේ උස ඒ තරම් කෙනෙක්ට ගැටළුවක් වෙන්නෙත් නැහැනේ.

06. තමන්ගේ වටිනාකම වැඩි දියුණු කරගන්න

මේ කාරණාවත් ඇත්තටම හැමෝටම පොදු දෙයක් මිසක්, උස් මිටි කම් බලපාන්නේ නැති දෙයක්. ඒ තමයි තමන්ව ඩිවලොප් කරගන්න එක. තමන්ව ගොඩනංවගන්න එක. තමන්ගේ වටිනාකම වැඩිදියුණු කරගන්න එක. දැන් හිතලා බලන්න, අපි ආටිකල් එක පටන් ගන්නකොටත් කිව්වනේ ලෝකේ තමන්ගේ නම තියපු ඒ තරම් උසක් නැති මිනිස්සු ගැන. එතකොට ඒ මිනිස්සුන්ට ලෝකේ තියෙන පිළිගැනීමේ කිසිම අඩුවක් නැති එක ගැනත් කිව්වනේ. ඒකට හේතුව, ඒ කියපු මිනිස්සුන්ට තමන්ගේ උස භාවයෙන් හෝ මිටි භාවයෙන් වටිනාකමක් ලබාගන්න අවශ්‍ය නැති වීම. ඊට වඩා, ඒ මිනිස්සුන් තමන්ගේ හැකියාවෙන්, ප්‍රතිභාවෙන්, වටිනාකමෙන් වටිනාකමක් ලබාගෙන තියෙනවා. අන්න ඒ නිසා, තමන් කරන්න ආස දෙයක ඉහළටම යන එක, ඉහළම ප්‍රවීණත්වයක් ලබාගන්න එක, හැකියාවක් තියෙනවා නම් තමන් කරන දෙයින් ලෝක පූජිත වෙන්න පවා ට්‍රයි කරන එක හොඳ දෙයක්.

07. තමන්ව ස්ටීරියෝටයිප් කිරීම් වලින් මිදෙන්න

අවසානයට කියන්නම ඕන කාරණාව මේකයි. දැන් ඔය සමහර එතරම් උස නැති හාදයන්ට, හාදියන්ට ඉස්කෝලෙ කාලේ ඉඳලම නික්-නේම්ස් තියෙනවා. “කොටා”, “මිට්ටා”, “ෂෝටා”, “ෂෝටි”, “කොට මල්ලි” වගේ නම්. ඇත්තටම එව්වා සුරතල් නම් කියලා කියන්න බැහැ. මොකද, වර්තමාන ශිෂ්ට ලෝකේ ඔය වගේ නම් වලින් කතා කිරීමත් හැඳින්වෙන්නේ බොඩි ෂේමින් හැටියට. මේ කියන්නේ ඔය ෂැගී එහෙම “ෂෝටි යු ආර් මයි ඒන්ජල්” කියනවා වගේ එව්වා නෙවෙයි. කෙනෙක්ගේ ශරීරයේ උස මිටි බව අනුව අපහාසෙට දාන නම් ගැන. අපිට කවුරුහරි එහෙම කතා කරනවා නම්, ඒකෙන් තමන්ගේ හිත රිදෙනවා නම් මුලින්ම ඒ අයගේ ඒ ආමන්ත්‍රණයන් නොසලකා හරින්න පටන් ගන්න එක තමයි හොඳ. මොකද, කාලයක් යනකොට ඒකට තමනුත් හුරු වෙලා, තමන් උස මදි කියන එක තමන්ගේ අඩුවක් විදියට දැනෙන්න පටන් ගත්තොත්, ඒක තමන්ගේ පෞරුෂත්වයට විශාල ගැටළුවක් වෙන නිසා.

දැන් මේ කාරණා දිහා බලනකොට පේන්න ඕන, ඇත්තටම මේ කියලා තියෙන ගොඩක් කාරණා පිළිපදින්න තමන් උසින් අඩු වෙන්නම ඕන නෑ. මේ උඩ කියලා තියෙන ගොඩක් කාරණා තමන්ගේ ශරීර ස්වභාවය කොයිම විදියේ කෙනෙක්ට වුණත්, හොඳ පෞරුෂත්වයක් ලබාගන්න නම් අදාළයි. හැබැයි ඉතින් ඇත්තටම ගොඩක් අය මේවා කියවලා නිකම් හිටියට පිළිපදින්නේ නැහැනේ. එතකොට වැඩි උසක් නැති කෙනෙක්ට, මේ කාරණා පිළිපැදලා, උසක් තිබුණත් හොඳ පෞරුෂත්වයක් පේන්නේ නැති කෙනෙක්ව අභිබවා යන හොඳ පෞරුෂත්වයක් ලඟා කරගන්න පුලුවන්. ඒකයි අපේ පොයින්ට් එක!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *