හැමෝටම ජීවිතේට තියෙන්න ඕන විනෝදාංශ වර්ග 7 ක්!

දැන් විනෝදාංශ කිව්වහම ඔය ගැන අපි ටොන් ගණන් කතා කරලා තියෙනවා මීට කලින්. ගොඩක් වෙලාවට අපි විනෝදාංශ කියලා පුංචි කාලේ අපෙන් ඇහුවම ගිරව් වගේ කියන ලිස්ට් එකක් තියෙනවා. මුද්දර එකතු කිරීම, පරණ කාසි එකතු කිරීම වගේ එව්වා. ඊට පස්සේ අපි ටිකක් වයසෙන් වැඩෙනකොට ඔය පොත් කියවීම, සංචාරය වගේ දේවක් තමයි ගොඩක් වෙලාවට විනෝදාංශ විදියට අපේ ජීවිතයට එකතු වෙන්නේ. එතනින් එහාට ඔය සමහරු නම් ඉන්නවා ටීවී බැලීම, රේඩියෝ එකට සවන් දීම, නිදාගැනීම වගේ ඒවත් තමන්ගේ විනෝදාංශ විදියට සලකන. හරි, ඔය කොයි එක වුණත්, විනෝදාංශය කියන එකෙන් කියවෙන්නෙම විනෝදයට කරන දෙයක් කියලනේ. ඒ වගේම, ගොඩක් වෙලාවට මනුස්සයෙක් විනෝදාංශ කියලා කරන්නේ උපරිම එකක් දෙකක් දේවල් තමයි. තව සමහරුන්ට විනෝදාංශ කියලා කියන්න දේවල් තිබ්බට, ඇත්තටම ඒවා විනෝදාංශ විදියට කරගෙන යනවද කියන එක නම් ප්‍රශ්නයක්.

හරි, දැන් අපි කියන්න යන්නේ මෙහෙම දෙයක්. පළවෙනියට අපි කියනවා, විනෝදාංශ කියන්නේ ‘විනෝදයට කරන ඒවා” කියනවට වඩා, තමන් කරන්න ආස සහ තමන්ට වැඩක් වෙන විදියේ කටයුතු, තමන්ට විනෝදයක් ලබන්න පුලුවන් විදියට ජීවිතයට එකතු කරගැනීම කියලා. ඒ වගේම, මේ විදියේ “විනෝදාංශ” එකකට දෙකකට වඩා ජිවිතේට තියන එක ප්‍රයෝජනවත් කියලා. අන්න ඒ විදියේ විනෝදාංශ වර්ග හතක් අපි බලමු ජීවිතේට එකතු කරගන්න පුලුවන් වෙයිද කියලා!

1. සල්ලි හම්බු කරන එකක්

දැන් අපිට කාගෙන් හරි උරුම වුණු ධනයක්, එහෙම නැතිනම් එක රැයින් උපයා ගත් ධනයක් වගේ දෙයක් නැති නම්, එතකොට අපිව බලා කියාගෙන අපේ අවශ්‍යතා සපුරන වෙන කෙනෙකුත් නැති නම්, අපි හැමෝටම රැකියාවක් කරලා මුදල් උපයන්න වෙනවා. ජීවනෝපාය කියන්නේ ඒකටනේ. හැබැයි ඉතින් අපේ ජොබ් එක අපේ විනෝදාංශය වෙන අවස්ථා නම් හරි අඩුයිනේ. ගොඩක් වෙලාවට වෙන්නේ එක්කෝ අපි ජොබ් එකක් කරන්න ඕන නිසා ජොබ් එකක් කරනවා. එහෙම නැතිනම් ජොබ් එකට අකමැත්තක් නැතත්, ඒක වගකීමක් විදියට අරගෙන කරගෙන යනවා. හැබැයි අපිට එක්කෝ අපේ රැකියාව විදියට අපිට විනෝදයත් ලබන්න පුලුවන් එකක් තෝරගන්න පුලුවන්. එහෙම නැතිනම්, ප්‍රධාන ජොබ් එකට අමතරව සයිඩ් එකෙන් අපිට සල්ලි හම්බුවෙන විනෝදාංශයකුත් කරගෙන යන්න පුලුවන්. කොහොමත් දැන් කාලේ එක ජොබ් එකකට වඩා කරන්න, සල්ලි ලැබෙන එක ක්‍රමයකට වඩා ක්‍රම හොයාගන්න ගොඩක් දෙනෙක් පෙළඹෙනවනේ.

දැන් ඔය වගේ සල්ලි හම්බු කරන විනෝදාංශයකට ගැලපෙනවා, එක්කෝ ලිවීම, චිත්‍ර ඇඳීම, පින්තාරු කිරීම, සංගීතය වගේ තමන්ට කුසලතාවය තියෙන දෙයක් ඔස්සේ සේවා සැපයීම. එතකොට ඔය මැටි භාණ්ඩ හැදීම, අත්කම් නිර්මාණ, සම් භාණ්ඩ හැදීම. ඡායාරූප ශිල්පය වගේ තමන් කරන්න ආස දෙයක් වුණත්, එක්කෝ ඉගෙන ගෙන හරි මුදල් හොයන විනෝදාංශයක් බවට පෙරළා ගන්න පුලුවන්.

2. ශරීර සෞඛ්‍යයට එකක්

දැන් ඇවිදීම, ජිම් එකට ගිහින් එක්සයිස් කිරීම, පිහිනීම වගේ ශරීර සෞඛ්‍යය රැක දෙන ක්‍රියාකාරකම් සාමාන්‍යයෙන් කෙනෙක් විනෝදාංශයක් විදියට ගන්නෙ නැහැනේ. සමහර විට කාය වර්ධනය විනෝදාංශයක් බවට පත් වුණු කෙනෙක්ට ජිම් එකට යන එක ආස කරන වැඩක් වෙන්න පුලුවන්. හැබැයි ගොඩක් දෙනෙක් එක්කෝ ශරීර සෞඛ්‍යය රැක දෙන ශාරීරික ක්‍රියාකාරකම් වලට යොමු වෙන්නෙ නෑ. තවත් සමහරු එහෙම ක්‍රියාකාරකම් වලට යොමු වුණත්, ඒක වැඩක් විදියට තමයි ගන්නේ. හැබැයි අපිට පුලුවන් ඒක විනෝදාංශයක් බවට පෙරළාගන්න. උදාහරණයක් විදියට ගත්තොත්, ශාරීරික සෞඛ්‍යය සඳහා කරන්න පුලුවන් ක්‍රියාකාරකම් වලින් තමන්ට සෙට් වෙනම එකක් තෝරාගන්න පුලුවන්. ජිම් ට්‍රේනින් හරි, යෝගා හරි, පිහිනීම හරි, ඇවිදීම හරි, බයිසිකල් පැදීම ඕනම එකක්. ඒකේ විනෝදය ලබන්න තමන්ගේ මයින්ඩ්සෙට් එක හදාගත්තහම, ඔන්න ඒක විනෝදාංශයක් වෙනවා.

එහෙම නැතිනම්, කඳු නැගීම, සර්ෆින් කිරීම, පා ගමන් යෑම නැතිනම් ට්‍රෙකින් වගේ එකක් වුණත් ශරීර සෞඛ්‍යය සඳහා ගැලපෙන විනෝදාංශයක් වෙනවා. හැබැයි ඉතින් මේ කියපු ජාතියේ එව්වා නිරන්තරයෙන්ම කරන්න බැහැනේ. එතකොට ඒවායින් එකක් හරි කිහිපයක් හරි වුණත් විනෝදාංශය විදියට තියාගන්න අතරම, උඩ කියපු ඒවායින් එකකුත් විනෝදයට කරන්න තෝරගන්න පුලුවන්.

3. නිර්මාණශීලීත්වය රැක දෙන්න එකක්

අපි සමහරු ඉන්නවා සහජයෙන්ම නිර්මාණශීලීයි. එතකොට තව සමහරු ඉන්නවා, නිර්මාණශීලීත්වය කියලා දෙයක් විශේෂයෙන්ම ජීවිතයට අවශ්‍ය නැහැ කියලා හිතන්නේ. තවත් සමහරු තමන් නිර්මාණශීලී කියලා හිතන්නේ හෝ දන්නේ නෑ. හැබැයි ඇත්ත කතාව මෙහෙමයි. අපි ඕනම කෙනෙක්ට නිර්මාණශීලී වෙන්න පුලුවන්. නිර්මාණශීලීත්වය ජීවිතේට අවශ්‍යයි. එතකොට නිර්මාණශීලී වෙනවා කියන්නේ මොකක් හරි ලස්සනට ලිවීම හෝ, චිත්‍රයක් ඇඳීම වගේ කලාත්මක දේවල් විතරක් නෙවෙයි. අපිට ප්‍රශ්න විසඳනකොට නිර්මාණශීලී වෙන්න පුලුවන්. අපේ සමීපතමයන්ව සතුටු කිරීමේදී නිර්මාණශීලී වෙන්න පුලුවන්. ඇඳේදී නිර්මාණශීලී වෙන්න පුලුවන්. අන්න ඒ නිසා, අපිට අපේ නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරන විනෝදාංශයකුත් ජීවිතේට අවශ්‍යයි.

ඔය මැහුම් ගෙතුම් වැඩ, චිත්‍රකර්ම වැඩ, අත්කම් වැඩ, ඡායාරූප ශිල්පය, ගෙවතු වගාව, සංගීත භාණ්ඩයක් වාදනයට ඉගෙන ගැනීම, ඉවුම් පිහුම්, ඩිජිටල් ආට් විතරක් නෙවෙයි, කෝඩින් වගේ දේවල් වුණත් අපේ නිර්මාණශීලීත්වය වැඩි කරනවා.

4. දැනුම ගොඩනංවන්න එකක්

අපි ඉස්කෝලේ ගිහින් අවසන් වුණාට පස්සේ, කැම්පස් ගිහින් අවසන් වුණාට පස්සේ අපේ ඉගෙන ගැනීම නැතිනම් දැනුම ලබාගැනීම ඉවර වෙනවද? කොහෙත්ම නෑ. විශේෂයෙන්ම වර්තමාන ලෝකේ විවිධ වෘත්තීන් කරන අයට වුණත්, තමන්ගේ වෘත්තියේ වැඩි දියුණුවක් ලබන්න නම්, මේ ඉගෙන ගැනීම සහ දැනුම ගොඩනංවා ගැනීම කියන එක අතිශයින්ම වැදගත් වෙනවා. අන්න ඒ නිසා, තමන්ගේ දැනුම වැඩිදියුණු කරගන්නත් විනෝදාංශයක් දෙකක් තියෙන එක වැදගත්.

දැන් ඔය දැනුම සෙවීම සඳහා ජනප්‍රියතම විනෝදාංශය තමයි පොත් කියවීම. හැබැයි එතනදී මෙහෙම දෙයක් තියෙනවා. තමන් කියවන පොත් වල කොලිටිය මත දැනුම ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා. උදාහරණයක් විදියට, තනිකරම යොවුන් නවකතා කියෙව්වා කියලා තමන්ගේ රසවින්දනය දියුණු වුණත්, දැනුම එහෙම ලොකුවට ලැබෙනවද කියන එක ගැටළුවක්. ඒ ඇරෙන්න, පරිගණක ක්‍රමලේඛය ඉගෙන ගැනීම, අලුත් භාෂාවක් ඉගෙන ගැනීම, බ්ලොග් එකක් ලිවීම, විවිධ තොරතුරු හොයමින් පර්යේෂණ කිරීම වගේ දේවල් එහෙමත් මේ කාණ්ඩයට දාගන්න පුලුවන්.

5. ඔබව නිර්මාණය කරන්න එකක්

තමන්ව නිර්මාණය කරනවා කියලා කියන්නේ, තමන්ව ඉන්න තැනින් තවත් ඉහළට ඔසවන එක, ගොඩනංවන එක, තමන්ගේ මනස දියුණු කරන එක, තමන්ගේ පෞරුෂත්වය දියුණු කරන එක වගේ දේවල් තමයි. මේ තමන්ව එක්කෝ නිර්මාණය කිරීම නැතිනම් ගොඩනැංවීම කියන දේ, පුද්ගලික පරිණාමයට අතිශයින්ම වැදගත්. හැබැයි ඉතින් ඒක නිකම්ම වෙන්නෙ නෑ. ඒකට වැඩකරන්න ඕන. ඉගෙන ගන්න ඕන. ඉතින් එහෙම තමන්ව ගොඩනංවන සුළු දෙයක් විනෝදාංශය බවට පත් කරගත්තා නම්, අපිව ගොඩනංවන වැඩේ අපි නොදැනුවත්වම සිද්ධ වෙයි.

මේකට ගැලපෙන විනෝදාංශ ගණනාවක්ම කියන්න පුලුවන්. ඇත්තටම මේ කාණ්ඩයට කියලා වෙනමම අයිති වෙන විනෝදාංශ වලට වඩා, අනික් කාණ්ඩ වලට අයිති වෙන ගොඩක් විනෝදාංශ මේ කාණ්ඩය යටතටත් ගන්න පුලුවන්. ඒ ඇරෙන්න, නර්තන ක්‍රමයක් ඉගෙන ගැනීම, ඉවුම් පිහුම් ඉගෙන ගැනීම, ආත්මාරක්ෂක සටන් කලාවක් ඉගෙන ගැනීම, පබ්ලික් ස්පීකින්, රංගනය වගේ දේවල් වුණත් මේ යටතට ගන්න පුලුවන්.

6. ශාන්තිය, රසවින්දනය වෙනුවෙන් එකක්

අපේ ජීවිතේ කියන්නේ රේස් එකක්ම නෙවෙයි. අපිට ශාන්තියෙන්, විශ්‍රාම සුවයෙන් ඉන්න කාලවේලාවක් තියෙන්න ඕන. අන්න ඒ කාරණාව සඳහා අපිට කරන්න පුලුවන් දේවල් තියෙනවා. උදාහරණයක් යෝගා. එතකොට භාවනා කිරීම, යම් යම් නිර්මාණයන් කිරීම, කැලිග්‍රැෆි කියලා කියන නිර්මාණාත්මකව අකුරු ලිවීම, දිනපොතක් ලිවීම වගේ ඒවාගන්න පුලුවන්.

එතකොට රසවින්දනය පැත්තෙන් ගත්තොත්, සංගීතය, චිත්‍රපටි නැරඹීම, පොත්පත් කියවීම, චිත්‍ර ඇඳීම සහ බැලීම, ජර්නල් ලිවීම, ඇඳුම් නිර්මාණය, ඉවුම් පිහුම් වගේ ඕනම රසවින්දනය දියුණු කරන විනෝදාංශයක් තෝරාගන්න පුලුවන්.

7. ආතල් එකට එකක්

අන්තිමට ගත්තොත්, අපිට නිකම්ම ආතල් එකට, ෆන් එකට කරන විනෝදාංශයකුත් විනෝදෙට කරන එක සෑහෙන්න වටිනවා. විශේෂයෙන්ම ජීවිතේ වෙනසක් එහෙම ඕන වුණොත් මෙහෙම විනෝදාංශයක් තියෙන එක වැදගත්. ඒකට ඇත්තටම ඔය ඉස්සර පුංචි කාලේ කරපු මුද්දර එකතු කිරීම්, ගල් එකතු කිරීම, පරණ කාසි එකතු කිරීම් වගේ ඒවා වුණත් මරු. ඒ ඇරෙන්න ඉතින් ඔය ලෝකේ සමහරු තමන්ම හදාගත්තු වෙනම ආතල් විනෝදාංශ තියෙනවනේ. හිස් කෑන් එකතු කරන එක, දුම් පයිප්ප එකතු කරන එක, කෝච්චි ටිකට් එකතු කරන එක වගේ එව්ව වුණත් වෙනසකට මරු. එතකොට අහක දාන දේවල් වලින් එක එක නිර්මාණ කිරීම, ජන්ක් ජර්නල් හැදීම වගේ එව්වත් මේ කාණ්ඩෙට දාගන්න පුලුවන්.

දැන් බැලූ බැල්මට කෙනෙක්ට හිතෙන්න පුලුවන්, මේ තියෙන ජීවන සටනයි, ජොබ් වැඩ කටයුතූයි එක්ක කොහෙද ඔය තරම් “විනෝදාංශ” කරන්න කෙනෙක්ට වෙලාව තියෙන්නේ කියලා. ඇත්තටම බැලුවොත්, මේ ගොඩක් අපි කියලා තියෙන විනෝදාංශ කාණ්ඩ අපේ ශරීර සෞඛ්‍යය පවත්වා ගන්න, ජීවිතේ සමබරව කරගෙන යන්න, වෘත්තිය ජීවිතේ වැඩිදියුණු කරගන්න වගේ දේවල් වලට ඉතාම වැදගත් වෙනවා. එහෙම බලනකොට විනෝදාංශ හතක් කියන්නේ කරගෙන යන්න අමාරු දෙයක් නෙවෙයි! හැබැයි තව දෙයක්, සමහර වෙලාවට එකම විනෝදාංශයක් කාණ්ඩ කීපෙකට අදාළ වෙන්න පුලුවන්. ඒ වගේම, එක කාණ්ඩෙකින් විනෝදාංශ එකකට වැඩියෙන් තිබුණත් ගැටළුවක් නෑ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *