දැන් අපි පුංචි කාලේ ඉඳලම අම්මලා තාත්තලා සහ වැඩිහිටියෝ අපිට කියනවනේ ඔය කෑම එහෙම නාස්ති කරන්න එපා කියලා. පුංචි කාලේ බත් පිඟානේ බත් ටිකක් වත් ඉතුරු නොකර කන්න කියලා අපිට කියනවා අපිට මතකයිනේ. අපි ගොඩක් දෙනෙක්ට තාමත් ඒ පාඩම මතකයි. හැබැයි ඒ වුණාට අපිට අපේ ජීවිතේ නාස්ති කරන්න එපා කියලා කවුරුවත් කියලා දීලා තියෙනවද? ගොඩක් දෙනෙක්ට ඒකට දෙන උත්තරේ වෙන්නේ නෑ කියන එක. සමහර විට අපේ දෙමාපියෝ හරි ගුරුවරු හරි අපිට ජීවිතේ නාස්ති කරන්න එපා කියලා සමහර විට ඔවදන් දීලා තිබෙනවා වෙන්න පුලුවන්. හැබැයි අපි කීයෙන් කී දෙනෙක් ඔය ජීවිතේ නාස්ති කරගන්න එපා කියන කතාව සීරියස් ඔළුවේ තියාගෙන ඉන්නවද? ඒ අනුව වැඩ කරනවද? අන්න ඒක තමයි කේස් එක!
හැබැයි අපිට ඔය ජීවිතේ නාස්ති කර ගන්නෙ නැතුව ජීවිතේ හදාගන්න එක ගැන ආයෙමත් මතක් වෙන වෙලාවක් එනවා. ගොඩක් වෙලාවට ඒ ජීවිතේ සෑහෙන්න දේවල් කෙළ වුණාට පස්සේ. එහෙම නැතිනම් ජීවිතේ කිසිම ගෝ එකක් නැතුව සෑහෙන්න දුරට ගෙවිලා ගියාට පස්සේ. හැබැයි එතකොට ප්‍රමාද වැඩියිද ජීවිතේ නාස්ති කර නොගැනීම ගැන කල්පනා කරන්න? වාසනාවට ප්‍රමාද වැඩි නෑ. ඔබ ඉන්නේ මොන වයසකදී වුණත්, ජීවිතේ නාස්ති කරගන්නෙ නැතුව හදාගන්න ඕන කියන අදහස ඔළුවට ආවොත්, එතන ඉඳන් ඔබ ප්‍රමාද නෑ!
ඉතින් මේ කියන්න යන්නේ, ජීවිතේ නාස්ති කර නොගෙන, ජීවිතේ හදාගන්න ටිප්ස් කීපයක් ගැන!
1. යන්නේ කොහෙද කියලා තේරුම් ගන්න
මේක ගොඩක් වෙලාවට ගොඩක් අයට තේරෙන්නෙ නැති, හැබැයි දන්නෙම නැතුව ජීවිතේ නාස්ති වෙන කාරණයක්. ඒ තමයි, තමන් යන්නේ කොහාටද, තමන්ට යන්න ඕන කොහාටද කියලා දන්නෙ නෑ කියන්නේ, අන්තිමට කොහේ හරි තැනක නවතින එක. හැබැයි ඒ තැන තමන්ට ඇත්තටම යන්න ඕන තැන නෙවෙයි වෙන්න පුලුවන්. අන්න ඒ නිසා, ජීවිතේ නාස්ති වීමෙන් වළක්වා ගන්න නම්, තමන්ට යන්න ඕන කොහාටද කියන එක මුලින්ම තේරුම් ගන්න ඕන. එතනදී තමන්ට කරන්න ආස දේ, තමන්ට කරන්න පුලුවන් දේ, තමන්ට ලෝකෙට කරන්න පුලුවන් දේ සහ තමන්ට කරලා මුදල් උපයන්න පුලුවන් දේ අවබෝධ කරගන්න ඕන. දැන් මේ හැම කාණ්ඩයේම කරන්න පුලුවන් දේ එකම දෙයක් වෙනවා නම්, ගොඩක් දුරට අන්න ඒක තමයි තමන් යන්න ඕන තැන. ඒක තේරුම් ගත්තට පස්සේ, එතනට තමන්ට යන්න තියෙන පාර හොයාගන්න ඕන. ඒකට සැලසුම් හදන්න ඕන. සහ එතනින් නවතින්නේ නැතුව, උපරිම කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් එතනට යන්න ඕන. ආන්න එතනට යන එක තමයි හරි සාර්ථකත්වය වෙන්නේ!
2. අනවශ්‍ය පුරුදු වලින් ඈත් වෙන්න
මෙන්න මේක තමන්ගේ ජීවිතය නාස්ති වීමෙන් වළක්වා ගන්න ඉතාම වැදගත්. ඒ තමයි, තමන්ගේ ජීවිතේ විශේෂයෙන්ම කාලය නාස්ති වෙන, තමන්ගේ මුදල් නාස්ති වෙන, සමහර විට තමන්ගේ ශරීර සෞඛ්‍යයත් නාස්ති වෙන අනවශ්‍ය පුරුදු වලින් ඈත් වෙන එක. උදාහරණයක් විදියට අපි කියමු මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා කෙනෙක්. මත්පැන් පාලනයක් ඇතුව, විනෝදාස්වාදය වෙනුවෙන් ගන්න එක වෙනම දෙයක්. හැබැයි තමන් මත්පැන් බොන්න ඇබ්බැහි වෙලා නම් ඉන්නේ, ඒකෙන් තමන්ගේ ශරීර සෞඛ්‍යය සහ ධනය විතරක් නෙවෙයි, තමන්ගේ කාලයත් නාස්ති වෙනවා. තව උදාහරණයක් ගත්තොත්, අපි කියමු කෙනෙක් එක පාර කෙල්ලෝ කීප දෙනෙක්ව හරි කොල්ලෝ කීප දෙනෙක්ව හරි රන් කරනවා කියලා. ඒක මුලින් මුලින් මාරයි කියලා හිතුණට, ඇත්තටම ඒකෙන් තමන්ගේ ධනය විතරක් නෙවෙයි, ධනයටත් වඩා වටිනා කාලය දරුණු විදියට නාස්ති වෙනවා. ඒ තමන්ට සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න තියෙන කාලය. අන්න ඒ නිසා, තමන්ගේ ජීවිතේ දියුණුවට බාධා කරන අනවශ්‍ය පුරුදු වලින් ඈත් වෙන එක අනිවාර්ය දෙයක්. ඒකට හොඳ විනයක් සහ චිත්ත ධෛර්යයක් තියෙන්න ඕන. අන්න ඒක ඇති කරගන්න.
3. සාර්ථකත්වයේ පුරුදු ඇති කරගන්න
ජීවිතය නාස්ති වීමෙන් වළක්වා ගන්න අනවශ්‍ය පුරුදු වලින් ඈත් වෙනවා වගේම වැදගත් දෙයක් තමයි, සාර්ථකත්වයේ පුරුදු ඇති කරගන්න එක. සාර්ථකත්වයේ පුරුදු ජීවිතේ කොටසක් බවට පත් වෙන විදියට ඒවා පුරුදු පුහුණු කරන එක. සමහර වෙලාවට අනවශ්‍ය පුරුද්දක් වළක්වා ගැනීමම සාර්ථකත්වයේ පුරුද්දක් වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට අපි කියමු, අපි කාලය නාස්ති කරන්න, වැඩ කල්දාන්න හුරු වෙලා ඉන්නවා කියලා. ඒ පුරුද්ද වළක්වා ගෙන, නොපසුබටව දැන් කළ යුතු දේ මේ දැන්ම කරන්න පුරුදු වීම සාර්ථකත්වය කරා යන මාර්ගයක්. අපිට අද ලැබෙන අවස්ථාවක් සඳහා වැඩ කරන එක හෙටට කල් දැම්මොත්, හෙට වෙනකොට ඒ අවස්ථාව නැති වෙලා තියෙන්න ඉඩ වැඩියි. අන්න ඒ නිසා වැඩ කල් දැමීම, කුසීත කම, අලස කම දුරලන්න ඕන. වහාම ක්‍රියාත්මක වෙන්න ඉගෙන ගන්න ඕන. ඒ අතරේදී, තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැනත්, සෞඛ්‍ය සම්පන්න බව ගැනත්, මානසික සුවය ගැනත් හිතන්න ඕන. ධනාත්මක ආකල්පයකින් වැඩ කරන්න පුරුදු වෙන්න, එහෙම ධනාත්මක ආකල්පයන් ඇති කරගන්න ඇප කැප වෙන්න ඕන. අන්න ඒ වගේ සාර්ථකත්වයේ පුරුදු ඇති කරගත්තොත්, ඉබේටම ජීවිතය නාස්ති වීමෙන් වැළකිලා, ජීවිතය සාර්ථකත්වය කරා යනවා දකින්න පුලුවන් වෙයි!
4. ගරුත්වය වෙත ලඟා වෙන්න, තමන්ගේම කෝඩ් එකක් තබාගන්න
දැන් ඔය ගරුත්වය කියන දේ ඉබේ ලැබෙන අවස්ථාවන් තියෙනවා. හැබැයි ඉබේම ලැබෙන ගරුත්වයට වඩා වැදගත් වෙන්නේ තමන් උපයා ගන්නා ගරුත්වය. හැබැයි ගරුත්වය සල්ලි වලට ගන්න බැහැ කියන එක මතක තියාගන්න. එතකොට ඕනෑවට වඩා ලෝකේ හැමෝටම උදව් කරන්න ගිහින් තමන් පාපිස්සක් බවට පත් වෙන එකෙනුත් ඒ ගරුත්වය උපයා ගන්න බැහැ කියන දේ මතක තියාගන්න. තමන් සාර්ථක වෙනකොට යම් විදියකට ගරුත්වය සමාජයෙන් ලැබෙනවා තමයි. හැබැයි ඊටත් වඩා තමන්ගේ චරිතය, තමන්ගේ හැසිරීම නිසා ලැබෙන ගරුත්වය වටිනවා. එහෙම ගරුත්වය ලැබෙන විදියට වැඩ කරන කොටත් ජීවිතය නාස්ති වීම වැළකෙනවා.
ඒ වගේම තව දෙයක් මතක තියාගන්න. තමන්ගේ මෙතෙක් තිබුණු නරක පුරුදු නිසා, චරිතයේ අඩුලුහුඬු කම් නිසා නැතිනම් තමන්ගේ හැසිරීමේ ගැටළු නිසා අනික් අයට තමන් ගැන තියෙන ගරුත්වය නැති වෙලා තියෙන්න පුලුවන්. හැබැයි ඒක ආයෙමත් ලබාගන්න බැරි දෙයක් නෙවෙයි. තමන්ට සෙකන්ඩ් චාන්ස් එකක් දෙන්න. නැති වුණු ගරුත්වයක් ආයෙමත් ලබාගන්න එක, සාමාන්‍යයෙන් ගරුත්වය ලබාගන්නවට වඩා අමාරුයි තමයි. මොකද, තමන්ගේම ක්‍රියාකලාපයක් නිසා මිනිස්සු අතර තමන්ගේ ගරුත්වය නැති වුණහම, මිනිස්සු අපිට ගහන ලේබල් එක ගලවන්න ටිකක් කල් යනවා. හැබැයි ඒකෙන් පසුබට වෙන්න එපා. දිගටම තමන්ගේ වැරදි නිවැරදි කරගන්න, තමන්ගේ වටිනාකම් හදාගන්න වැඩ කරන්න. මේ ගැන අපි වෙනම, දීර්ඝව කතා කරමු ආයෙත් දවසක.
5. ඉගෙනීම නතර නොකරන්න, ඉගෙනීමට හුරුවෙන්න
සාමාන්‍යයෙන් ඉගෙනීම කිව්වහම අපි හුරු වෙලා තියෙන්නේ පාසල් අධ්‍යාපනය සහ සමහර විට උසස් අධ්‍යාපනය ලබලා, එතනින් නවතින්න. එතනින් එහාට වෘත්තිය ජීවිතයට ගියාට පස්සේ, පවුල් පන්සල් වුණාට පස්සේ ඉගෙන ගන්න අමාරුයි කියලා අදහසක් ගොඩක් අය අතරේ මුල් බැහැගෙන තියෙනවා. හැබැයි ඒක වැරදි අවබෝධයක්. විශේෂයෙන්ම අද ලෝකයේ එහෙම ලබාගන්න ඉගෙනුම විතරක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ. එතකොට වෘත්තිය සඳහා ඉගෙනුම වගේම, දැනුම සඳහා ඉගෙනුම කියන දෙකම අපිට මැරෙනකල් කරන්න පුලුවන් ක්‍රම සහ විධි අද ලෝකේ තියෙනවා. අන්න ඒ නිසා, තමන් දිගින් දිගටම ඉගෙන ගැනීම, මැරෙන තුරාවටම ඉගෙන ගැනීම කියන එකත් ජීවිතේ නාස්ති නොවෙන්න අතිශයින්ම වැදගත්. හැබැයි එකක්, ඉගෙන ගන්නවා කියලා දකින දකින හැම ඔන්ලයින් කෝස් එකම කරලා හරියන්නෙ නෑ. ඒකට නිශ්චිත දිශානතියක් සහ සැලසුමක් තියෙන්න ඕන. තමන්ගේ වෘත්තිය හෝ ඇකඩමික ජීවිතය සඳහා ඉනිමඟක උඩට නගින විදියට ඉගෙන ගන්න එකයි වැදගත් වෙන්නේ. ඒ ඇරෙන්න තමන් ආස දේවල් ඉගෙන ගන්න එක, එතනින් එහාට වෙලාව තියෙන විදියට කරන්න පුලුවන්.
6. අසාර්ථකත්වයෙන් කිසිසේත්ම නොවැටෙන්න
ගොඩක් දෙනෙක්ගේ ජීවිත නාස්ති වෙලා යන ජනප්‍රියම කාරණයක් තමයි අසාර්ථක වීම. මොකද, ගොඩක් අය එක පාරක් දෙපාරක් අසාර්ථක වුණු හැටියේ එතනින් එහාට සම්පූර්ණ මැච් එකට අතෑරල දාලා පිට්ටනියෙනුත් යන්න යනවා. හැබැයි මතක තියාගන්න. මේ ලෝකේ අති සාර්ථක වුණු කිසිම මනුස්සයෙක් එක රැයින්, එක පාරින් සාර්ථක වෙලා නෑ. එක රැයින් මිලියනපතියෙක් වුණා කියලා ලෝකේ හඳුනගත්තු මනුස්සයෙක්ගෙන් වුණත් ඇහුවොත් කියයි, ඒ එක රාත්‍රියට කලින් අසාර්ථක වුණු රාත්‍රීන් කීයක් තියෙනවද කියන එක. අන්න ඒ නිසා, තමන් කී පාරක් අසාර්ථක වුණත්, ආයෙමත් ආයෙමත් නැගිටින්න, තමන්ගේ අසාර්ථක වීම් වලින් පාඩම් ඉගෙන ගෙන ආයෙ ආයෙත් උත්සාහ කරන්න ධෛර්යයක්, උත්සාහවන්ත කමක්, ගටක් තියෙන්න ඕන. අන්න ඒ වගේ මනුස්සයෙක්ට කවදාවත් වරදින්නෙ නෑ. මතක තියාගන්න, ජේ.කේ.රෝලින්ග්ස් හැරී පොටර් ලියන්න කලින් සම්පූර්ණයෙන්ම ආර්ථිකයෙන් කඩා වැටිලා, විශාදයට ලක් වුණු කෙනෙක්. හැරී පොටර් පොත් පවා ප්‍රකාශකයෝ ගණනාවක් අතින් ප්‍රතික්ෂේප වුණාට පස්සේ තමයි එක මොහොතක සාර්ථක වෙන්නේ. අද වෙනකොට රෝලින්ග්ස් කියන්නේ ලෝකේ ඉන්න ධනවත්ම කාන්තාවක්! එතකොට තවත් ලෝක ප්‍රකට ලේඛිකාවක් වෙන ඉසබෙල් අයියන්දේ තමන්ගේ පළවෙනි නවකථාව ලියන්න පටන් ගන්නේ වයස අවුරුදු 39 දී!!
7. තමන්ව විශ්වාස කරන්න
අවසානයට, තමන්ගේ ජීවිතය නාස්ති වීමෙන් වළක්වා ගන්න නම්, තමන් ගැන පූර්ණ විශ්වාසයක් ඇති කරගැනීම අතිශයින්ම වැදගත්. අපි ගොඩක් දෙනෙක් අපි ගැනම අනාරක්ෂිත හැඟීම් වලින් පෙළෙනවා. අපිට බෑ කියලා හිතනවා. සමහර වෙලාවට අපි වටේ ඉන්න අය, නෑදෑයෝ, යාළුමිත්‍රයෝ, ගුරුවර ගුරුවරියෝ, ආදරේ කරන අය විතරක් නෙවෙයි, සමහර විට අපේ දෙමාපියන් පවා දැනුවත්ව හෝ නොදැනුවත්ව අපිට බැහැයි කියන අදහස දෙනවා. අපිට සාර්ථක වෙන්න බෑ කියන අදහස දෙනවා. ආන්න ඒක අපි ජයගන්න ඕන. සමහර විට උඩ කිව්වා වගේ අපි එක පාරක්, දෙපාරක්, තුන් පාරක් අසාර්ථක වුණහමත්, අපිට අපි ගැන තියෙන විශ්වාසය බිඳෙන්න පුලුවන්. අන්න ඒක උඩ කියලා තියෙන විදියට අපි ජයගන්න ඕන. අපිට පුළුවන් කියන එක විශ්වාස කරන්න පටන් ගන්න ඕන. අපි ලෝකෙට වටින මැණිකක් කියන අදහස තරයේ අදහන්න පටන් ගන්න ඕන. අන්න එතකොට, ඇත්තටම අපිට දිනන්න බැරි ගේමක් නෑ. ඒ විශ්වාසය ඇති වුණහම අපිට ලෝකේ කරන්න බැරි දෙයක් නෑ.
Leave a Reply