ලෝකෙ පුරාම තියන පාන් වර්ග 5ක් – I කොටස

ලංකාවෙ පාන් විතරක් කාලා එපා වෙලා වගේ නම් මෙන්න ඔයාලට ගෙනාවා එක එක රටවල් වලට ආවේණික විදියට හදන පාන් රෙසිපි ටිකක්. මේවා හදන විදිත් එකිනෙකට වෙනස් වගේම රසේ වෙනස්කම්ද තියනවා. එහෙනම් හදලා බලන්නකෝ…

01. Irish Barmbrack

අයර්ලන්තයේ විශේෂිත ඒ වගේම රසවත් පාන් වර්ගයක් තමා මේ.

අවශ්‍ය ද්‍රව්‍ය:-
වියළි පළතුරු කෝප්ප 1 (කජු,ප්ලම්ස්,කරන්ට්ස්,රේසින්ස්,ඇප්‍රිකට්,බෙරි)
කෝල්ඩ් බ්ලැක් ටී කෝප්ප 1 1/4
සීනි ග්‍රෑම් 130
පාන්පිටි කෝප්ප 1 1/2
මික්ස් ස්පයිසස් තේහැඳි 1/2
බිත්තර 1
උණුකරගත් පැණි ස්වල්පයක්

  • වියළි පළතුරු කෑලි කපාගන්න.
  • මේකට බ්ලැක් ටී දාලා හොඳට කලවම් කරලා රැයක් තියන්න.
  • පසුව මේකට සීනි ටික දාගන්න.
  • ඊලඟට මේකට පැණි හැර අනික් සියල්ලම දාලා හොඳට කලවම් කරගන්න.
  • දැන් බටර් ගාගත් බ්‍රෙඩ් ට්‍රේ එකකට දාලා සෙල්සියස් අංශක 170ට පැයක් වගේ බේක් කරගන්න.
  • බේක් උනාට පස්සෙ පැණි ටික උඩින් බ්‍රශ් කරගන්න.

02. English Scones

මේක එංගලන්තයේ ප්‍රසිද්ධ කෑමක්.

අවශ්‍ය ද්‍රව්‍ය:-
පාන්පිටි ග්‍රෑම් 450
බේකින් පව්ඩර් තේහැඳි 1/4
ලුණු ස්වල්පයක්
කුඩුකරගත් සීනි ග්‍රෑම් 50
කෑලි කපාගත් බටර් ග්‍රෑම් 100
බිත්තර 2
කිරි කෝප්ප 1
ඩබල් ක්‍රීම් කෝප්ප 1
බිත්තර 1

ෆිලින් එකට:-
ජෑම්
ක්‍රීම් ස්වල්පයක්

  • පාන් ටික හලාගන්න.
  • මේකට ලුණු හා බේකින් පව්ඩර් ටිකක් දාලා සීනි එකතු කරගන්න.
  • මේ ටික හොඳට කලවම් කරගන්න.
  • ඊලඟට බටර් ටික දාලා අතින් කලවම් කරගන්න.
  • මේක කලවම් කරනකොට පාන්පිටි වලින් බටර් කෑලි තුනී වෙන් විදියට කලවම් කරගන්න.
  • මේක බිස්කට් කුඩු වගේ එනකල් කලවම් කරගන්න.
  • මේ විදියට හොඳට කලවම් කලාට පස්සෙ බිත්තරය හොඳට බීට් කරගන්න.
  • ඒකට වතුර ටිකකුත් දාලා කලවම් කරගන්න.දැන් මේ ටික පිටි මිශ්‍රණයට දාගන්න.
  • හොඳට කලවම් කරලා කිරි හා ඩබල් ක්‍රීම් ටික දාලා කලවම් කරගන්න.
  • දැන් හොඳට අනලා ඩෝ එකක් හදලා පිටි ඉසගත් මතුපිටකට දාගන්න.
  • අඟල් භාගෙක වගේ ඝනකමට තුනී කරලා රවුම් කපාගන්න.
  • දැන් මේ ටික බටර් ගාගත් ට්‍රේ එකකට දාලා උඩින් බිත්තර සාරු ටිකක් ගාගන්න.
  • සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් බේක් කරගන්න.
  • නිවෙන්න තියලා මැදින් කපලා ක්‍රීම් හා ජැම් දාගන්න.

03. Pumpkin Bread

ඇමරිකානුවන් අතර ප්‍රසිද්ධ බ්‍රෙඩ් එකක්.

අවශ්‍ය ද්‍රව්‍ය:-
පාන්පිටි කෝප්ප 2
බේකින් සෝඩා තේහැඳි 1
ලුණු ස්වල්පයක්
බේකින් පව්ඩර් තේහැඳි 1/2
මික්ස් ස්පයිසස් තේහැඳි 1
ඉඟුරු පව්ඩර් තේහැඳි 1/4
කුරුඳු කුඩු තේහැඳි 1/4
ග්‍රේට්කරගත් සාදික්කා තේහැඳි 1/4
එළවළු තෙල් කෝප්ප 1/2
සීනි ග්‍රෑම් 130
රතු සීනි ග්‍රෑම් 100
බිත්තර 2
වැනිලා ස්වල්පයක්
පම්කින් පියුරි කෝප්ප 1
කිරි කෝප්ප ¼

පම්කින් පියුරි සාදන ආකාරය:-
වට්ටක්කා ලොකු ගෙඩි 1/2 ක් අරගෙන එහි ඇට ඉවත් කරන්න. ඇතුල් පැත්තට ලුණු පොඩ්ඩක් ඉහලා බෙකින් ශීට් එකකක් දාපු බේකින් ට්‍රේ එකක වට්ටක්කා කෑල්ල මුනින් අතට හරවලා සෙල්සියස් අංශක 200ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 45ක් විතර බේක් කරගන්න. දැන් වට්ටක්කක් ටික හූරලා බ්ලෙන්ඩර් එකක දාලා ස්මූත් පේස්ට් එනකම් බ්ලෙන්ඩ් කරගන්න.

  • හලාගත් පාන්පිටි වලට ඩ්‍රයි ඉන්ග්‍ර්‍රීඩියන්ට් සියල්ලම දාලා කලවම් කරගන්න.
  • වෙනම බෝල් එකකට එළවළු තෙල්, සුදු සීනි හා රතු සීනි දාලා විස්ක් කරගන්න.
  • මේකට බිත්තර හා වැනිලා එකතු කරන්න.
  • හොඳට විස්ක් කරලා පම්කින් පියුරි එකතු කරන්න.
  • කිරි ටිකත් දාලා තවත් හොඳට විස්ක් කරගන්න.
  • දැන් මේක පිටි මිශ්‍රණයට දාලා කලවම් කරගන්න.
  • ඔයිල් පේපර් එකක් දැමූ බ්‍රෙඩ් ට්‍රේ එකකට මේ බැටර් එක දාලා සෙල්සියස් අංශක 170ට විනාඩි 45-50ක් බේක් කරගන්න.

04. Ciabatta

මේක ඉතාලියට විශේෂිත වූ පාන් වර්ගයක්

අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන්පිටි කෝප්ප 3
පූර්ණ තිරිඟු පිටි කෝප්ප 1/2
ලුණු ස්වල්පයක්
යීස්ට් තේහැඳි 1/4
වතුර කෝප්ප 2
ඔලිව්තෙල් ස්වල්පයක්
කෝන්මීල් මේසහැඳි 2

  • බෝල් එකකට පිටි වර්ග දෙකම දාලා ලුණු හා යීස්ට් එකතු කරන්න.
  • දැන් මේකට වතුර ඔක්කොම දාලා හොඳට අනාගන්න.
  • ඇලෙනසුළු ඩෝ එකක් හදාගන්න.
  • දැන් මේක ෆොයිල් එකකින් වහලා පැය 18ක් තියන්න.
  • ඊලඟට මේක ඇරලා ස්පැචූලා එකෙන් පොඩ්ඩක් කලවම් කරගන්න.
  • කෝන්මීල් ඉසගත් ට්‍රේ එකක් රෙඩි කරගන්න.
  • වෙනම ලෑල්ලකට පාන්පිටි ටිකක් ඉහලා මේ ඩෝඑක දාලා අතින් ඕවල් ශේප් එක හදන්න.
  • නීඩ් කරන්න අවශ්‍ය නෑ.
  • උඩින් පිටි ඉසගන්න.
  • දැන් මේක හෙමින් අරන් කෝන්මීල් මතුපිටට තියලා ටිකක් තුනී කරගන්න.
  • උඩින් පාන්පිටි ටිකක් ඉහලා සර්වියට් එකකින් වහලා පැය 2ක් තියන්න.
  • දැන් මේක ඇරලා සෙල්සියස් අංශක 200ට විනාඩි 40ක් වගේ බේක් කරගන්න.

05. Stollen (German Christmas bread)

නමින්ම පේනවා මේක් ජර්මන් රටට ආවේණික පාන් වර්ගයක් කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය :-
පාන්පිටි ග්‍රෑම් 200
බටර් ග්‍රෑම් 100
සීනි මේසහැඳි 1
ලුණු ස්වල්පයක්
යීස්ට් ග්‍රෑම් 4
ස්පයිසස් තේහැඳි 1/4
කිරි මේසහැඳි 2
බිත්තර 1
චොප්කරගත් වෝල්නට්ස් මේසහැඳි 1
රේසින් ග්‍රෑම් 50
මික්ස් ෆෘට් මේසහැඳි 1
කුඩුකරගත් සීනි හෝ අයිසින් ශුගර් කෝප්ප 1

  • බෝල් එකකට පාන්පිටි, සීනි, ලුණු, බටර්,‍ යීස්ට්, ස්පයිසස්, කිරි හා බිත්තරය දාලා හොඳට අනාගන්න.
  • පිටි ඉසගත් ලෑල්ලකට දාලා හොඳට නීඩ් කරගන්න.
  • පිටි අත්ලෙන් තද කරමින් අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
  • ඩෝ එක රෝලින් පින් එකෙන් තුනී කරලා රේසින්, මික්ස්ෆෘට් හා වෝල්නට්ස් ටික දාලා තවත් හොඳට නීඩ් කරන්න.
  • හොඳට වහලා පැයක් තියන්න.
  • දැන් මේක බේකින් ශීට් එකක් දාපු ට්‍රේ එකක තියලා සෙල්සියස් අංශක 170ට විනාඩි 40ක් බේක් කරගන්න.
  • උඩින් මෙල්ට් කරගත් බටර් ටිකක් ගාගන්න.
  • ඊලඟට කුඩුකරගත් සීනි හොඳට තවරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *