බ්‍රේක්-අප් සෙක්ස් වලට බ්‍රේක් නොවෙන උපදෙස් කීපයක්!

මතක ඇති අපි මීට ටික දවසකට කලින් කිව්වා බ්‍රේක්-අප් වුනාට පස්සේත් සෙක්ස් කිරීමේ හොඳ සහ නරක මොනවද කියලා. ආයෙමත් මතක් කරගත්තොත්, බ්‍රේක්-අප් සෙක්ස් කියන්නේ ලව් එකක් නැවතුණාට පස්සෙත්, දෙන්නා සෙක්ස් කරන එක තමයි සරලවම කිව්වොත්. හැබැයි හරියට ගත්තොත් මේ කියන්නේ 1999 බ්‍රේක් අප් වෙච්ච ලව් බර්ඩ්ස්ලා දෙන්නා ආයෙමත් 2005 දී බස් එකේදී අහම්බෙන් හම්බුවෙලා සෙක්ස් කරන්න යනවා වගේ සීන් එකක් නම් නෙවෙයි. බ්‍රේක්-අප් සෙක්ස් කියලා අපිට හඳුන්වන්න පුලුවන් වෙන්නේ ගොඩක් දුරට බ්‍රේක් අප් එකෙන් ආසන්නයේදී සෙක්ස් කිරීම ගැන. ඒ කියන්නේ ලව් එක හුටස් වෙලා පහුවෙනිදා වෙන්න පුලුවන්, සතියකින් හෝ මාසෙකින් වෙන්න පුලුවන්. අවුරුද්දකින් වුණත් වෙන්න පුලුවන්. එතකොට ඊලඟට එන ප්‍රශ්නේ මේකයි. ලංකාවේ කොහෙද හලෝ ලව් එකක් කැඩුණට පස්සේ සෙක්ස් කරනවා තියා ආයෙ මූණට මුලිච්චි වුණත් දෙන්නට දෙන්න දිහා බලන්නේ? සාමාන්‍යයෙන් වෙන්නේ ලව් එක අවසාන වුණාට පස්සේ ආයෙ නම්බර්ස්, සෝෂල් මීඩියා ඔක්කොම බ්ලොක් කරලා, නම මතක් වුණත් පුපුරන ලෙවල් එකට ගේමෙන් ඉන්න එකනේ. හැබැයි එහෙම වුණාට, ඇත්තටම බ්‍රේක් අප් වුණත් සුහදකම තියෙන කපල් ඉන්නවා. මොකක් හරි හින්දා වෙන් වෙන්න සිද්ධ වුණාට, තරහ වෙන්න දෙයක් නැති කපල් ඉන්නවා. අන්න එතකොට බ්‍රේක්-අප් සෙක්ස් සිද්ධ වෙන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, තරහ වෙන්න කාරණා සීයක් එක්ක ගහගෙන මරාගෙන ලව් එක අවසාන කරලත්, සතියකින් බ්‍රේක්-අප් සෙක්ස් වලට යන්න පුලුවන් කපල්ස් එහෙමත් ඉන්නවා!

ඉතින් ඔය හැම කපල් එකකම හිත සුව පිණිස අපි හිතුවා, බ්‍රේක්-අප් සෙක්ස් හරියට කරගන්න ටිප්ස් කීපයක් ලබාදෙන්න!

1. හැම වෙලේම සිද්ධ වෙන දෙයක් නෙවෙයි

පළවෙනිම ටිප් එක තමයි මේක. බ්‍රේක් අප් සෙක්ස් කියලා දෙයක් බලහත්කාරයෙන් සිද්ධ කරගන්න බැහැයි කියන එක. වෙනත් විදියකට කිව්වොත්, බ්‍රේක් අප් සෙක්ස් කරන්නම ඕන කියලා හිතාගෙන අනික් කෙනාව ඒකට මැනිපියුලේට් කරන්න යනවා නම්, ඒක වැරදියි. මුලින්ම බ්‍රේක්-අප් සෙක්ස් කියන්නේ සුලභ, නිරතුරුවම සිද්ධ වෙන දෙයක් නෙවෙයි කියන එක අවබෝධ කරගන්න ඕන. ඒකට දෙන්නා අතරේ තියෙන බැඳීමේ විශේෂත්වයක්, ප්‍රබලත්වයක් තියෙන්න ඕන. හැබැයි බ්‍රේක් අප් සෙක්ස් වගේ දෙයක් සිද්ධ වෙන්නේ ගොඩක් දුරට බොහොම ප්‍රබල හැඟීම් සමුදායක් එක්කම, ලොකු ආතතියකුත් ඇති වෙලා තියෙනකොට. ඉතින් බ්‍රේක්-අප් සෙක්ස් සිද්ධ වෙන්න ඔය කන්ඩිෂන්ස් ඔක්කොම හරි තැන් වල ඇතිවෙන්න ඕන. ඒක බලාත්කාරයෙන් නිර්මාණය කරන්න බෑ දෙවෙනියට, එහෙම බ්‍රේක්-අප් සෙක්ස් වලට අනික් කෙනාව මෙහෙයවන්න ගියොත්, එයාට හරි දෙන්නටම හරි ලොකු ඉමෝෂනල් ඩැමේජ් එකකුත් වෙලා තමයි වැඩේ නවතින්නේ.

2. පැහැදිලි කතාබහක්

මෙන්න මේක අනිවාර්යයි. ඒ කියන්නේ, බ්‍රේක් අප් සෙක්ස් සිද්ධ වෙනවා නම්, දෙන්නම ඒ සම්බන්ධයෙන් හරි එකඟතාවයක ඉන්න ඕන. ඒ කියන්නේ මේක සිද්ධ වෙන්නේ ඇයි කියන එක ගැන නියම එකඟතාවයක් තියෙන්න ඕන. අන්න ඒකට හරිම ක්‍රමය තමයි දෙන්නටම ඒ ගැන ෆීල් වෙන විදිය පැහැදිලිවම කතා බහ කරගන්න එක. මේක බ්‍රේක් අප් සෙක්ස් සිද්ධ වෙන්න කලින් කතා කරගන්න පුලුවන් නම් ඉතාම හොඳයි. හැබැයි අපි කියමු බ්‍රේක්-අප් සෙක්ස් සීන් එක සිද්ධ වෙන්නේ එහෙම කතාබහ කරගෙන නෙවෙයි කියලා. එක දෙයක් තවත් දේකට හේතුවක් වෙලා, ඒක තවත් දේකට හේතුවක් වෙලා ඔන්න ඔය විදියට ගිහින් ගිහින් නම් වැඩේ සිද්ධ වෙන්නේ, අඩු ගාණේ ඒකෙන් පස්සෙ හරි දෙන්නා පැහැදිලි කතාබහකට යන්න ඕන. මේ පැහැදිලි කතාබහ අවශ්‍ය වෙන්නේ, වැරදි වැටහීම් නැති කරගන්න. උදාහරණයක් විදියට එක්කෙනෙක් හිතනවා නම් මේකෙන් කියන්නේ අපි දෙන්නා ආයෙමත් එකතු වෙනවාය කියන එක කියලා, අනික් කෙනාට එහෙම අදහසක් නැති නම්, අන්න ඒක පැහැදිලිවම සන්නිවේදනය වෙන්න ඕන.

3. වරදකාරී හැඟීම්, ඕනෑවට වඩා සිතීම් එහෙමත් එපා

දැන් බ්‍රේක්-අප් සෙක්ස් කියන එක එක දේකින් තව දේකට ලීඩ් වෙලා අන්තිමට සිද්ධ වුණා කියමුකෝ. සමහරු ඊට පස්සේ හරිම පශ්චත්තාපයකින්, වරදකාරී හැඟීමකින් පෙළෙනවා. ඇයි මොනවා වුණත් දෙන්නා කපල් එකක් නෙවෙයිනේ, බ්‍රේක්-අප් වෙලානේ ඉන්නේ. හැබැයි ඇත්තටම ඒ ගැන ඕනෑවට වඩා හිතන්න එපා කියන එක තමයි කිව යුත්තේ. විශේෂයෙන්ම බ්‍රේක්-අප් සෙක්ස් කළාට පස්සේ ඊලඟ දවසේ නැඟිටලා ඒක ගැන ඕනෑවට වඩා ඇනලයිස් කරන්න, “ඇයි මේක වුණේ” කියලා විශ්ලේෂණය කරලා බලන්න යන්න එපා. එතකොට වරදකාරී හැඟීමක් කොහොමත් ඇති කරගන්න දෙයක් නෑ. ඔයා සෙක්ස් කළේ ඔයාගේ පරණ පෙම්වතා හෝ පෙම්වතිය එක්කනේ. ආදරයක් කියන දේ එහෙම ලේසියෙන් නැතිවෙලා යන්නෙ නෑ. ආකර්ෂණයත් එහෙමයි. එතකොට දෙන්නට එක මඟක යන්න බැරි නිසා වෙන් වුණත්, ඒකෙන් කියවෙන්නෙ නෑ අර හැඟීම්, ආදරය, ආකර්ෂණය නැති වෙලා කියලා. ඉතින් ඒවා හේතුවෙන් දෙන්නා සෙක්ස් කළා කියන එක වැරැද්දක් නෙවෙයි.

4. එයාව ආයෙමත් ලබාගන්න උපක්‍රමයක් කරගන්න එපා

මෙන්න මේකත් සිහියේ තියාගන්න ඕන වැදගත් කාරණයක්. මේක අපි පොයින්ට් අංක 1 දී සහ 2 දී වගේම පොයින්ට් අංක 6 දීත් කතා කරනවා. ඒ තමයි, බ්‍රේක්-අප් සෙක්ස් කරන්න අනික් කෙනාව මැනිපියුලේට් කරන්න එපා කියන එකත්, තමන් කරන්නේ මොකක්ද, යන්නේ කොහෙද කියන එක දැනගෙන යන්න කියන එකත්. එතකොට ඒ වගේම අවධානයට යොමු වෙන්න ඕන තව කාරණයක් තමයි, යටි අරමුණු තියාගෙන බ්‍රේක්-අප් සෙක්ස් වලට යොමු වෙන්න එපා කියන එක. උදාහරණයක් විදියට කෙනෙක් බ්‍රේක්-අප් සෙක්ස් වලට යොමු වෙන්නේ පරණ පෙම්වතාව හෝ පෙම්වතියව ආයෙමත් ලබාගන්න උපක්‍රමයක් විදියට නම්, ඒක හිත් රිදීම්, හිත් බිඳීම් වලින් අවසාන වෙන්න වගේම, පළමුවෙන් වෙන් වෙනකොට තිබුණු යම් සුහදතාවයක් හරි නැතිභංගස්ථාන කරගෙන අවසාන වෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ.

5. නිරන්තර දෙයක් වෙන තරමට ගැටළු ඇතිවෙන්න පුලුවන්

දැන් ඔන්න බ්‍රේක්-අප් සෙක්ස් සිද්ධ වුණා. හරි, ඒක කැෂුවල් දෙයක්, දෙන්නා ඒ ගැන කතාබහ කළා, අමතක කරලා දැම්මා. ගැටළුවක් නැහැ. හැබැයි ඔන්න ඊලඟ දවසෙත් හිතෙනවා මේක මරු, පරණ මතක අලුත් වෙනවා, හරි ෂෝක් දෙයක් කියලා. ඔන්න දෙන්නා ආයෙමත් සෙක්ස් කරනවා. ඒකත් ගැටළුවක් නෑ කියමුකෝ. හැබැයි ඔන්න ටිකෙන් ටික මේක පැටර්න් එකක් වෙනවා. පුරුද්දක් වශයෙන් දෙන්නා බ්‍රේක්-අප් සෙක්ස් කරන්න පටන් ගන්නවා. එතකොට මොකද කරන්නේ? කරන්න දෙයක් නෑ, හැබැයි මතක තියාගන්න වෙනවා, මේක දෙන්නගේම ජීවිතේට ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් පොටක් කියලා. ඒ කියන්නේ දෙන්නම යන්නේ කොහෙද කියලා හරි හැටි අවබෝධයක් හෝ තීරණයක් නැතුව, එක්ස් එක්ක නිරන්තරයෙන් එක්ස් විත් බෙනිෆිට් සම්බන්ධයක් තියාගන්න ගියහම. ප්‍රධානම ප්‍රශ්නය වෙන්නේ අපේක්ෂා කිරීම් නැතිනම් එක්ස්පෙක්ටේෂන්ස්. ඒ කියන්නේ දෙන්නා පරණ ලව් එකේ නාමයෙන් සෙක්ස් කරන නිසා එයා මෙහෙම කරන්න ඕන, මාත් එක්ක ෂොපින් යන්න එන්න ඕන, සතියකට දවසක් සෙක්ස් කරන්න එන්න ඕන, අරක කරන්න ඕන, මේක කරන්න ඕන කියලා බලාපොරොත්තු වෙනවා. ඒක ගැටළුකාරීයි. අන්න ඒ නිසා, මේක සීරියස් ගන්නෙ නැතුව, සරලව තියාගන්න. එච්චරයි.

6. එළියේ අයට මොනවද කියන්නේ?

මේ කාරණාව ඇත්තම බැඳිලා තියෙන්නේ, මේක නිරන්තර දෙයක් වෙනවාද නැද්ද කියන එකත් එක්ක තමයි. අපි හිතමු බ්‍රේක්-අප් සෙක්ස් කියලා පටන් ගත්තු එක නිතර නිතර වෙන දෙයක් බවට පත්වෙනවා කියලා. එතකොට සාමාන්‍යයෙන් පරිස්සමක් වුනේ නැත්නම් අනිවාර්යයෙන්ම අපේ අවට ඉන්න අය ඒ ගැන දැන ගන්නවා. දැනගත්තට කමක් නැහැ, ඒක පර්සනල් දෙයක්නේ. හැබැයි එතනදි අනිත් අයට අපි කියන්නේ මොකක්ද කියන එක යම්තාක් දුරට වැදගත් වෙනවා. මොකද අපි කොච්චර අනිත් අය හිතෙන දේවල් ගණන් ගන්නේ නැති උනත්, අපි ජීවත් වෙන්නේ සමාජය ඇතුළත නිසා. අනික, බ්‍රේක්-අප් සෙක්ස් වගේ දෙයක් ගැන මිනිස්සු ජජ් කරන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා හොඳම දේ තමයි, එලියෙ ඉන්න අයට කියන්නේ මොකක්ද, බ්‍රේක්-අප් වුණා කියලා යාලුවන්ට එහෙම කියනවද නැද්ද, වගේ කාරණා ගැන දෙන්නත් එක්කම කතා කරලා තීරණයක් ගන්න එක. ඇත්තටම තමන්ට බ්‍රේක්-අප් සෙක්ස් සම්බන්ධතාවයක් තියෙනව ද නැද්ද කියන එක ගැන අනිත් අය හිතන දේ අදාළ කරගත යුතු නැහැ. හැබැයි ඒක ප්‍රවේසමෙන් පවත්වාගෙන යන එක, අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන එක කලින්ම වළක්වා ගන්න එක නුවණට හුරුයි.

7. ඇත්තටම කොහාටද යන්නේ?

බ්‍රේක්-අප් සෙක්ස් පටන් ගන්නේ දෙන්නම වැඩිදුර නොහිතා වෙන්න පුළුවන්. කොහොමත් ඒක ගැන බරපතළව ගන්න එපා, වැඩිය හිතන්න එපා කියලා අපි කලිනුත් කිව්වනේ. හැබැයි අර උඩිනුත් කිව්වා වගේ මේක නිරන්තරයෙන් සිද්ධවෙන දෙයක් බවට පත් වෙනවා නම්, දෙන්නා හිතල බලන්න ඕන ඇත්තටම කොහාටද යන්නේ කියලා. උදාහරණයක් විදියට අපි කියපු කියපු දෙන්නට ආයෙමත් එකතු වෙන්න හිතෙනවා කියලා සෙක්ස් නිසාම. හැබැයි දෙන්නා මුලින්ම වෙන් වුනේ සෙක්ස් නිසා නෙවෙයි නම්, සෙක්ස් නිසා ආයෙ එකතු වුනා කියලා මුලින් තිබ්බ ගැටළු විසඳෙන්නේ නැහැ. එතකොට දෙන්නට ආයෙ එකතු වෙන්න හිතෙනවා නම් බ්‍රේක්-අප් සෙක්ස් නිසා, දෙන්නටම මුලින් වෙන් වෙන්න සිද්ධ වුනේ ඇයි, ඒකට බලපාපු හේතු මොනවද මොනවාද කියන එක ගැන අවංකව සාකච්ඡාවකට ගිහිල්ලා, ඒවා විසඳ ගන්න ඕන.

දැන් පරණ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක බ්‍රේක්-අප් සෙක්ස් කළා කියලා පහුවෙනිදට නන්නාදුනන මිනිස්සු වගේ වෙන්වෙලා යන්න අවශ්‍ය නැහැ. හැබැයි දෙන්නම හැමදාම තනිකඩව ඉන්නෙත් නැහැනේ. ඒ නිසා, තමන් බ්‍රේක්-අප් සෙක්ස් කොතනින්ද නවත්තන්නේ, ඊට පස්සේ දෙන්නගෙන් එක්කෙනෙක් තව සම්බන්ධ කාලයකට සම්බන්ධතාවයකට ගියහම ඒක එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ කියන කාරණා ගැන දෙන්නම හිතලා මතලා, සාකච්ඡා කරලා ඉන්න ඕනේ.

දැන් මේ ටිප්ස් ගොඩක්ම දුරට පාදක වෙලා තියෙන්නේ බ්‍රේක්-අප් එකෙන් සාමාන්‍යයෙන් කෙටි කාලෙකට පස්සේ එක්ස්ලා දෙන්නා සෙක්ස් කිරීමක් ගැනනේ. එතකොට ගොඩක් දුරට අපි උපකල්පනය කරනවා දෙන්නම මේ වෙනකොට සිංගල් කියලා. මොකද, ලව් කරපු දෙන්නා වෙන් වෙලා, ඊට පස්සේ දෙන්නම වෙනත් සම්බන්ධතා වල ඉන්නකොට ආයෙ සෙට් වෙලා සෙක්ස් කරනකොට ඒක බ්‍රේක්-අප් සෙක්ස් වෙන්නෙ නෑ. සමහර විට එක්කෙනෙක් වෙන සම්බන්ධතාවයක ඉන්නකොට, බ්‍රේක්-අප් එකෙන් පස්සේ ලොකු කාලයක් ගිහිල්ලත් නැතිනම්, අනික් එක්කෙනාට ඒක බ්‍රේක්-අප් සෙක්ස් වෙන්න පුලුවන්. ඒ ගැනත් මතක තියාගන්න ඕන ඉතින්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *