ශ්‍රී ලංකාවේ අපිට ලැබිය යුතු අයිතිවාසිකම් සහ හිමිකම් ගැන වැඩි විස්තර ටිකක්!

දැන් මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සහ නෛතික හිමිකම් කියලා ජාති තුනක් ඇත්තටම තියෙනවා. එතකොට මානව හිමිකම් වලට මුල් තැනක් දීලා අපි කතා කලාට, මේ කොටස් තුනම අපිට අදාළයි. මේ තුනේ වෙනස ගැන කියනවා නම්, කලිනුත් කියපු විදියට මානව හිමිකම් විශ්වීයයි. එතකොට මූලික අයිතිවාසිකම් රටකින් රටකට වෙනස්. ඒවා ව්‍යවස්ථාවෙන්ම තමයි තීරණය කරලා ලබාදෙන්නේ. තුන්වෙනුව නෛතික හිමිකම් කියන එකත් රටකින් රටකට වෙනස්. රටක නීති පද්ධතිය ඔස්සේ තමයි මේවා තීරණය වෙන්නේ.

ඔය මානව හිමිකම් කියන වචනේ නම් අපිට ඒ තරම් ආගන්තුක නැහැනේ. ඕන තරම් අහන්න ලැබෙනවා. විශේෂයෙන්ම ඔය මානව හිමිකම් කියන එව්වා සෑහෙන්න පහුගිය අරගලේ දවස් වල කඩ වුණා කියලත් අහන්න ලැබුණා. ඒ රජය සහ ත්‍රිවිධ හමුදා, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අතින්. හැබැයි අරගලේට කලින්, රටේ තිබුණු සිවිල් යුද්ධේ එක්කත් ඔය මානව හිමිකම් කඩවුණාය කියන කතන්දරේ සෑහෙන්න අහන්න ලැබුණා. ඔය ඔක්කොම හරි. එතකොට ඔය මානව හිමිකම් කියන එව්වා තියෙන්න කාටද? අපිටත් එව්වා තියෙනවද? ආන්න ඒවා තමයි හරි ප්‍රශ්න. මොකද, ගොඩක් වෙලාවට තව මනුස්සයෙක්ගේ මානව හිමිකම් කඩ වීමක් සම්බන්ධයෙන් කෙනෙක් කතා කරන්නෙ නෑ, තමන්ටවත් ඇත්තටම මානව හිමිකම් තියෙනවා කියලා දන්නෙ නැතුව.

දැන් එතකොට මානව හිමිකම් කියන්නේ මොනවද? මූලිකවම කියනවා නම්, අපි හැමෝම මනුෂ්‍ය ප්‍රාණියෝ විදියට යම් කිසි අයිතිවාසිකම්, හිමිකම් සමුදායකට උරුමකම් කියනවා. ඒක ඕනම මනුෂ්‍ය ප්‍රාණියෙක්ට පොදුයි. ආයෙ ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික සමාජභාවය, වාර්ගිකත්වය, ආගමිකත්වය, පුරවැසිභාවය තියෙන රට, කතා කරන භාෂාව, දේශපාලන මතවාද, කරන රස්සාව, දැන උගත් ප්‍රමාණය වගේ කිසිම දෙයක් ඒකට හරස් වෙන්නෙ නෑ. එතකොට මේ මානව හිමිකම් හැම මනුස්සයෙක්ටම හිමියි වගේම, හැම මනුස්සයෙක්ටම මේ මානව හිමිකම් තවත් කෙනෙක් හෝ රජය/රාජ්‍යය විසින් උල්ලංඝනය කිරීමකින් තොරව ජීවත් වෙන්න අයිතියත් හිමියි.

ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ, ශ්‍රී ලංකාවේ මනුෂ්‍යයෝ විදියට අපි හැමෝටම තියෙන, මේ දවස් වල දැනගෙන ඉන්න එක විශේෂයෙන්ම වැදගත් වෙන මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් කීපයක් මොනවද කියලා පොඩ්ඩක් කතා කරන්න!

01. නිදහසට සහ අයිතිවාසිකම් වලට අයිතිය

සෑම සියළු දෙනෙක්ටම නිදහසට සහ අයිතිවාසිකම් වලට අයිතියක් තියෙනවා කියන එක තමයි මූලිකම කාරණාව. ඒ කියන්නේ, වර්ගය, ජාතිය, වාර්ගිකත්වය, ජාතිකත්වය, හමේ වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික සමාජ භාවය, කතා කරන භාෂාව, ආගමිකත්වය, කෙනෙක් දරණ දේශපාලනික හෝ වෙනත් මති මතාන්තර, සමාජ පංතිය, ආර්ථික තත්වය, අධ්‍යාපන මට්ටම වගේ කිසිම දෙයක් හින්දා කිසිම කෙනෙක්ව කොන් කරන්න බෑ. කිසිම කෙනෙක්ට ඒ වගේ කරුණු නිසා කොන් නොවී ඉන්නත්, නිදහස සහ මිනිස් අයිතිවාසිකම් භුක්ති විඳින්නත් අයිතියක් තියෙනවා. එතකොට කවුරුහරි කෙනෙක්ව එයා අයිති රටේ ආර්ථික, දේශපාලන, නීතික තත්වය මත පදනම් වෙලා කොන් කරන්නත් කිසිම කෙනෙක්ට අයිතියක් නෑ. කොටින්ම කියනවා නම් හැම මනුෂ්‍ය ප්‍රාණියෙක්ම නිදහස්, සමානයි සහ සම ගරුත්වයක් ලැබිය යුතුයි කියන එක තමයි මේ කියන්නේ!

02. වධ හිංසාවට, කෘරත්වයට සහ අමානුෂික සැලකීමට ලක් නොවීමේ අයිතිය

මානව හිමිකම් පිළිබඳ විශ්වීය ප්‍රකාශනයේත්, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේත් සඳහන් වෙන විදියට වධ හිංසාවට, කෘරත්වයට සහ අමානුෂික සැලකීමට ලක් නොවීමේ අයිතිය හැම මනුෂ්‍යයෙක්ටම තියෙනවා. දැන් මෙතන “වධ හිංසා” කියලා කියන්නේ ශාරීරික හෝ මානසිකව දැඩි වේදනාවක් හෝ විඳවීමක් ඇති කරනා ක්‍රියාවන් දැන දැනම යම් අයෙකුට පැමිණවීමක් කියලා තමයි නිර්වචනය වෙන්නේ. ඒ මොනවා හරි තොරතුරු දැනගන්න, පාපොච්ඡාරණයක් ලබාගන්න, නැතිනම් එයා හෝ වෙනත් කෙනෙක් කරපු හෝ කළා කියලා සැක කරන දේකට දඬුවමක් විදියට, එයාට හෝ වෙනත් කෙනෙක්ට කරන බියවැද්දීමට හෝ බලහත්කාරකමක් විදියට, එහෙම නැතිනම් උඩ කියපු විදියේ ඕනෑම හේතුවක් උඩ සිද්ධ කරන කොන් කිරීමක ප්‍රතිඵලයක් විදියට වෙන්න පුලුවන්. ඉතින් ඒ කොහොම වුණත් වධ හිංසාවට, කෘරත්වයට සහ අමානුෂික සැලකීමට ලක් නොවී ඉන්න අයිතිය අපි හැමෝටම තියෙනවා.

03. නීතිය ඉදිරියේ තියෙන අයිතීන්

දැන් ඔය මොකක් හරි වැරැද්දක් කියලා කෙනෙක්ව පොලිසියෙන් අල්ලගෙන යනවා නේද? එහෙම අල්ලගෙන ගිහින් ලකප් කළා කියලා ඒ මනුස්සයා වැරදිකාරයෙක් වෙනවද? සාමාන්‍යයෙන් ලංකාවෙත් මිනිස්සු හිතන්නේ අල්ලගෙන ගියොත් වැරදියි කියලා තමයි. හැබැයි ඒ අදහසම වැරදියි. කෙනෙක්ව අත්අඩංගුවට ගන්නේ සැකපිට. එයා සැකකාරයෙක්. එයා වරදකරුවෙක් වෙන්න නම් නීතිමය ක්‍රියාවලියක්, ඒ කියන්නේ නඩු විභාගයක් කරලා වරදකරුවෙක් කරන ක්‍රියාවලිය අවසන් වෙන්න ඕන. ඒ ක්‍රියාවලියෙන් එයා වරදකරුවෙක් කියලා තීන්දු කරන්න ඕන. එහෙම නැතුව පොලිසියෙන් අල්ලගෙන ගියපු පලියට වරදකාරයෙක් වෙන්නෙ නෑ. එහෙම නීතියෙන් ඔප්පු වෙන තුරු නිර්දෝෂී කියන අයිතිය ඕනම කෙනෙක්ට තියෙනවා. එතකොට, නීතිය ඉදිරියේ සමානව සැලකුම් ලබන්න සහ සමානව හඳුනා ගැනෙන්න අයිතියත්, ඕනම මනුස්සයෙක්ට තියෙනවා. ඒකටත් උඩම කියලා තියෙන කිසිම කාරණයක් නිසා ඒ කෙනාට කොන් කිරීම් සිද්ධ නොවීම අදාළයි.

04. භාෂණයේ සහ මතයක් දැරීමේ නිදහස

මෙන්න මේක අද දවසේදී බොහොම වැදගත් කාරණයක්. ඒ තමයි කතා කිරීමේ, ප්‍රකාශ කිරීමේ සහ මත දැරීමේ නිදහස ඕනම පුද්ගලයෙකුට හිමියි කියන එක. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම කියලා තියෙන දෙයක්. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාවට අනුව සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එනම් ව්‍යවස්ථාවට අනුව එය පුරවැසියන්ට ඇති අයිතියක්. හැබැයි මෙහෙම අයිතියක් තිබ්බා කියලා හිතෙන හිතෙන ඕනම දෙයක් ප්‍රකාශ කරන්නත් බෑ. මොකද, 15(2)ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව කියලා. එතකොට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලාගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව ය කියලා 15(7) ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. කොටින්ම කියනවා නම්, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තියෙනවා කියලා, යම් කිසි වාර්ගිකත්වයක් හෝ ආගමිකත්වයක් ගැන වෛරී අදහස් පළ කරන්න බැහැ. එතකොට තව උදාහරණයක් ගත්තොත්, රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වෙන දේවල් කියන්න ප්‍රකාශ කරන්න බැහැ. හැබැයි එතකොට රජය විවේචනය කරන්න වගේ දෙයක් පුලුවන්ද? අපොයි පුලුවන්. උඩ කියලා තියෙන ව්‍යතිරේකයන්ට යටත් නොවෙන ඕනම දෙයක් මෙතනදී වලංගුයි.

05. ජිවත් වීමට සහ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අයිතිය

ඕනම මනුස්සයෙක්ට ජීවත් වීමට නිදහසත්, අයිතියත් තියෙනවා. ඒ වගේම ඕනම මනුස්සයෙක්ට මූලික අවශ්‍යතා සපුරා ගන්නත් අයිතියක් තියෙනවා. මේ මූලික අවශ්‍යතා කියලා කියන්නේ ජීවිතය පවත්වා ගෙන යන්න අවශ්‍ය වෙන මූලික කාරණා. ඒ කියන්නේ ආහාර, ජලය, ශ්වසනය කරන්න වාතය, ඉන්නට වාසස්ථාන, විලි වසාගන්න ඇඳුම් පැළඳුම් සහ ඖෂධ තමයි. දැන් මෙහෙම කාරණාවකුත් තියෙනවා. ඇත්තටම මේ මූලික අවශ්‍යතා සපුරා ගන්න තියෙන අයිතිය ගැන මුලින්ම හරි නම් අපි කියන්න ඕන. හැබැයි මේ ලෝක බෝලේ ඇතුළේ ගත්තත්, මේ මූලික අයිතිවාසිකම් නැති මිනිස්සුත් ඕන තරම් ඉන්නවා. හැබැයි එහෙම වුණත් ඒවාත් ඕනම මනුස්සයෙක්ට තියෙන අයිතීන් නිසා අපි ඒ ගැන සඳහන් කරනවා.

06. ආගමික විශ්වාසයක්, ඇදහිල්ලක් කිරීමේත්, සිතීමේත් නිදහස

මේකත් ඇත්තටම මූලික අයිතිවාසිකමක්. “සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහසද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය” කියලා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. මේකේ පළවෙනි කොටස තේරෙනවනේ. ඕනම කෙනෙක්ට තමන් කැමති ආගමක් හරි ආගමික හෝ වෙනත් විදියක හෝ විශ්වාසයක් හරි අදහන්න, දරන්න නිදහසක් තියෙනවා. එතකොට හෘදය සාක්ෂියේ නිදහස සහ සිතීමේ නිදහස කියලා කියන්නේ, ඕනම කෙනෙක්ට දෙයක් ගැන තමන් කැමති ඕනම අදහසක්, මතිමතාන්තරයක් දරන්න නිදහස සහ අයිතිය තියෙනවා.

07. සාමකාමී රැස්වීම් වලට අයිතිය

මේකත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන අයිතිවාසිකමක්. ඒ අනුව, සෑම පුරවැසියෙකුටම සාමකාමීව රැස්වීමේ නිදහස, සමාගමයේ නිදහස තියෙනවා. ඒ වගේම, වෘත්තිය සමිති පිහිටුවීමේ සහ වෘත්තිය සමිති වලට බැඳීමේ නිදහසත් තියෙනවා. විශේෂයෙන්ම මේ සාමකාමීව රැස්වීමේ නිදහස කියන කාරණාවෙන්, ඕනම මනුස්සයෙක්ට පොදු රැස්වීම් වලට සහභාගී වෙන්නෙ, පෙළපාලි වලට සහභාගි වෙන්න, උද්ඝෝෂණ පවා පවත්වන්න අවකාශය ලැබෙනවා. ඒ කියන්නේ ඒ හැම දෙයක්ම සාමකාමීව නම් සිදුවෙන්නේ ගැටළුවක් නෑ. ඒ නිදහස සීමා වෙන්නේ, වාර්ගික සහ ආගමික සහයෝගීතාවය තහවුරු කිරීමට, එතකොට ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීමට නීතියෙන් නියම කරලා තියෙන සීමා කිරීම් වලට විතරයි.

දැන් අපි මේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් ගැන දැනගෙන සිටිය යුත්තේ, අපේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් කඩ වෙන අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කරන්න විතරක් නෙවෙයි. තවත් කෙනෙක්ගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් කඩවෙනවා දකිනවා නම්, ඒකට විරෝධය පළ කරන්නත් අපි වගකීමක් තියෙනවා. ඒ වගේම, අපේ අතින් තවත් කෙනෙකුගේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් කඩවීම වළක්වා ගන්නත් අනිවාර්යයෙන්ම අපි කටයුතු කළ යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *