ලංකාව කියන්නේ ඉන්දියාව නෙවෙයි. ෂුවර් නැද්ද? එහෙමනම් දිගටම කියවන්න!

ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා දේශදේශාන්තර වල දන්නවා කියලනේ අපේ ඔළුවේ සාමාන්‍යයෙන් පුංචි කාලේ ඉඳලා තිබුණු අදහස. ඒක වැරදියිමත් කියන්න බෑ. උදාහරණයක් විදියට මෝල්දෝවා කියලා රටක් තියෙනවා කියලා නොදන්න බහුතරයක් මිනිස්සු ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනවා කියලා දන්නවා. ශ්‍රී ලංකාව ස්වභාව සෞන්දර්යයට, සිලෝන් තේ වලට, ආගන්තුක සත්කාරයට, එතකොට ක්‍රිකට් වලට එහෙම ප්‍රසිද්ධයි. හැබැයි ඉතින් ඔය වෙන රටවලට එහෙම ගියහම තේරෙන දෙයක් තමයි, එහෙම හැම මනුස්සයෙක්ම ශ්‍රී ලංකාව කියලා රටක් ගැන දන්නෙ නැහැයි කියන එක. දැන් මෙක්සිකෝව කියලා රටක් ගැන, ඉන්දියාව කියලා රටක් ගැන, ජපානය කියලා රටක් ගැන, ඉන්දුනීසියාව කියලා රටක් ගැන නොදන්න කෙනෙක් නැති තරම් නේ. හැබැයි ලංකාව එහෙම ප්‍රසිද්ධයි කියලා කියන්න බෑ. ගොඩක් වෙනත් රටවල අය දරණ මතයක් තමයි ශ්‍රී ලංකාව කියන්නෙත් ඉන්දියාවේම කොටසක් කියලා. ඔය වෙන රටවලට ගියපු සමහරු කියන කතන්දරයක් තමයිලු, අපි ලංකාවේ කිව්වහම එයාලා හිතනවා ඒක ඉන්දියාවේම කොටසක් කියලා. එතකොට අපි ඉන්දියානුවන් නෙවෙයි, වෙනම රටක් කියලා පැහැදිලි කරන එක මාරම අමාරුයි කියන එක තමයි ඒ අය කියන්නේ.

ආන්න ඒ නිසා අපි හිතුවා, ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ කොටසක් නෙවෙයි, ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි කියන්නේ රටවල් දෙකක්ය කියන එක පැහැදිලි කරලා දෙන්න පහසු වෙන්න කරුණු කීපයක් ගෙන හැර දක්වන්න.

1. ස්වාධීන රටවල් දෙකක්

මුලින්ම ඉතින් සරලව ශ්‍රී ලාංකිකයෙක් කියන්නේ ඉන්දියානුවෙක් නෙවෙයි කියන එක තහවුරු කරන්න කියන්න පුලුවන් දේ තමයි, මේ දෙක එකිනෙකින් ස්වාධීන රටවල් දෙකක් කියන එක. ඒ කියන්නේ ඉන්දියාව 1947 දී බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබා ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් වෙනවා. ඊට පස්සේ 1950 දී සම්පූර්ණයෙන්ම ඉන්දීය ජනරජය නැතිනම් භාරත් ජනරාජ්‍ය බවට පත් වෙනවා. එතකොට ශ්‍රී ලංකාව ගත්තොත් 1948 වසරේදී බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලබලා ඩොමීනියන් රාජ්‍යයක් වෙනවා. එතකොට 1972 දී ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ජනරජයක් බවට පත් වෙලා ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විදියට හැඳින්වෙන්න පටන් ගන්නවා. හැබැයි මෑත ඉතිහාසයේ කොතනකදීවත්, ඒ කියන්නේ පෘතුගීසි ආක්‍රමණයන්ට කළින් වත් නිල වශයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් හෝ ප්‍රාන්තයක් හෝ යටත්වැසි රටක් වෙලා තිබ්බෙ නෑ. එදත් අදත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව රටවල් දෙකක්!

2. භූගෝලීය පිහිටීම

දැන් ඔය ශ්‍රී ලංකාවට උතුරු දෙසින් තියෙන දූපතක් ගමු. කයිට්ස්. එතකොට කයිට්ස් කියන්නේ වෙනම රාජ්‍යයක්ද? නෑනේ. ඒක ශ්‍රී ලංකාවට අයිති දූපතක්. අන්න එතකොට, ඔය ශ්‍රී ලංකාව ගැන අහන සමහරු අහන දෙයක් තමයි ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවට අයිති දූපතක් නෙවෙයිද කියලා. නෑ, එහෙම වෙන්නෙ නෑ. ඉන්දියාව කියන්නේ ලෝකේ තියෙන විශාලතම අර්ධද්වීපයක්. ඒ කියන්නේ තුන් පැත්තකින් වටවුණු ගොඩබිම් භූමිභාගයක්. එතකොට ශ්‍රී ලංකාව කියන්නේ සම්පූර්ණයෙන්ම සමුද්‍රයෙන් වට වුණු දූපත් රාජ්‍යයක්. ලංකාවයි ශ්‍රී ලංකාවයි භූගෝලීය වශයෙන් ගත්තොත් ඒ තරම් ඈතින් නෙවෙයි පිහිටලා තියෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් කරන මුහුදු තීරයේ පටුම ස්ථානය නැතිනම් පෝක් සමුද්‍ර සන්ධිය, එහෙම නැතිනම් ශ්‍රී ලංකාවේ තලෛමන්නාරම සහ ඉන්දියාවේ ධනුස්කොඩි අතර දුර කිලෝමීටර් 32 යි.

3. ආ ශ්‍රී ලංකන් කියන්නෙ ඉන්දියන් අයමනේ?

සාමාන්‍යයෙන් අපේ පෙනුමත් එක්ක ගොඩක්ම වෙලාවට අහන්න ලැබෙන කතන්දරේ තමයි මේක. ඒ කියන්නේ, ගොඩක් වෙලාවට ශ්‍රී ලාංකික සිංහල හෝ ශ්‍රී ලාංකික දමිළ අයගේ පෙනුම, ඉන්දියානු පෙනුමට ගොඩක්ම සමාන වීම නිසා, ගොඩක් විදේශිකයෝ වරදවා වටහා ගන්නවා ශ්‍රී ලාංකික සහ ඉන්දීය කියන්නේ එකමයි කියලා. අන්න එතකොට කියන්න තියෙන්නේ, ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් ජනයාගෙන් සහ ඉන්දු ආර්ය ජන කොට්ඨාසයෙන් තමයි ඉන්දියානුවෝ පැවත එන්නේ කියලා. එතකොට ශ්‍රී ලාංකිකයෝ පැවත එන්නෙත් ඉන්දු ආර්ය ජන කොට්ඨාසයන්ගෙන් තමයි. දැන් ඉන්දියාවෙන්නේ විජය කුමාරයා සහ පිරිස එන්නේ. එතනින්නේ ශ්‍රී ලංකාවේ සිංහලයෝ පැවත එනවා කියන්නේ. එතකොට ශ්‍රී ලාංකික දමිළ ප්‍රජාව එන්නෙත් ඉන්දියාවෙන්නේ. එහෙම ගත්තහම මූලයන් අතින් අපි හැමෝටම තියෙන්නේ සමාන මූලයන් වෙන්න පුලුවන්. හැබැයි අපි ජාතීන් විදියට සහශ්‍රක දෙකහමාරකටත් වැඩි කාලයක් තිස්සේ විකාශනය වෙලා ශ්‍රී ලාංකිකයන් සහ ඉන්දියානුවන් විදියට වෙනස් ජාතීන් බවට පත් වෙලා තියනවා. ඒ නිසා කියන්න, ශ්‍රී ලාංකික සහ ඉන්දීය මූලයන් එකයි කිව්වට, ශ්‍රී ලංකන් කියන්නේ ඉන්දියන් නෙවෙයි. ඒ රටවල් දෙකක ජීවත් වෙන ජාතීන් දෙකක් කියලා.

4. සංස්කෘතික වෙනස

මේක ඉතින් ටිකක් පැහැදිලි කරන්න අසීරු කාරණාවක්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොට්ඨාස හතරයිනේ ඉන්නේ. සිංහල බහුතරය, ඊලඟට ශ්‍රී ලාංකික දමිළ, ඊලඟට යෝනක සහ ඊලඟට ඉන්දීය දමිළ. එතකොට ශ්‍රී ලංකාවේ සංස්කෘතික විවිධත්වය නිර්මාණය වෙන්නේ ඔන්න ඔය කණ්ඩායම් වල පසුතලයන්ගෙන් තමයි. ඒ ඇරෙන්න සමහර විට ඔය දමිළ ඔක්කොම එකකට දාලා, ශ්‍රී ලාංකීය බර්ගර් කියලත් එකක් ගන්න පුලුවන්. හැබැයි ඉන්දියාව ගත්තහම ඉන්දියානු අර්ධද්වීපයේ වාර්ගික කණ්ඩායම්, ගෝත්‍රයන් දෙදහස් ගාණක් ඉන්නවා කියලා තමයි කියැවෙන්නේ. අමතක කරන්න එපා, ඉන්දියාවේ ජනගහණයම බිලියන 1 ක්! ඉතින් එතකොට, ඒ හැම කණ්ඩායමක්ම ඔස්සේ ඇතිවෙන සංස්කෘතික විවිධත්වය කොයි වගේද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ නිසාම සංස්කෘතිකමය වශයෙන් ගත්තහම ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා අතිශයින්ම විචිත්‍රවත් රටක්. හැබැයි සංස්කෘතිකමය වශයෙන් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සමානකම් සෑහෙන්න තියෙනවා කියන එකත් අමතක කරන්න බෑ. පොංගල් ශ්‍රී ලංකාවේ දමිළ ප්‍රජාවත් සමරනවා, ඉන්දියාවෙත් සමරනවා. අන්න ඒ වගේ.

5. ආකල්පමය වශයෙන් වෙනස්

මේක නම් ටිකක් සංවේදී කාරණාවක්. ඒ නිසා, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ වෙනස මොකක්ද කියලා අහන කෙනෙක්ට මේ ගැන නම් කෙලින්ම නොකියා ඉන්න එක හොඳයි. දැන් සාමාන්‍යයෙන් ඔය ශ්‍රී ලංකාවෙත්, ඉන්දියාවෙත් දෙකේම ඉඳලා තියෙන විදේශිකයෝ කියන කාරණයක් තමයි, ඉන්දීය ජාතිකයන් ටිකක් මිත්‍රශීලී බවින් සාපේක්ෂව අඩු වෙන්න පුලුවන්, ටිකක් දරදඬු ගතියක් පෙන්නන්න පුලුවන් කියන එක. සමහර විට ටිකක් ආගන්තුක සත්කාරයෙනුත් අඩුයි කියන එක. හැබැයි ඊට සාපේක්ෂව ශ්‍රී ලාංකිකයෝ බොහොම මිත්‍රශීලී, මෘදු ගති පැවතුම් තියෙන, ආගන්තුක සත්කාරයට ඉතාම ලැදි පිරිසක් කියලා තමයි කියවෙන්නේ. ඒක ඉතින් ඇත්තද බොරුද කියලා අපි කියනවට වඩා හොඳම දේ තමයි, අපේ ගතිපැවතුම් ඔස්සේ ඒක අනික් අයට අවබෝධ කරගන්න ඉඩ දෙන එක. ඒ කියන්නේ එහෙම වෙනසක් තියෙනවා නම්. හැබැයි ඉතින් එතකොට අපි දැනගන්න ඕන යහපත් ආකල්ප තියෙන මිනිස්සු විදියට ජීවත් වෙන්නත්.

6. ඉන්දියාව අපිරිසිදුද?

මේකත් ටිකක් මතභේදයට තුඩුදෙන්න පුලුවන් කාරණාවක්. ඒ තමයි, ඉන්දියාව අපිරිසිදු රටක් කියලා පොදුවේ තියෙන මතය. ඒක මෙහෙමයි. දැන් ශ්‍රී ලංකාව කියන්නේ වර්ග කිලෝමීටර් 65,610 ක් විතර තියෙන රටක් වෙනකොට, ඉන්දියාව කියන්නේ වර්ග කිලෝමීටර් 3,287,263 විතර තියෙන රටක්. දළ වශයෙන් කිව්වොත් ඉන්දියාව ශ්‍රී ලංකාව වගේ ආසන්න පනස් ගුණයක් විතා විසාලයි! එතකොට ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්නේ දළ වශයෙන් මිලියන 22.9 ක විතර ජනතාවක් වෙනකොට, ඉන්දියාවේ ජීවත් වෙනවා බිලියන 1.3 ක ජනතාවක්! එතකොට සමහර ඉන්දීය නගර වල ජන ඝණත්වය එක්ක බලනකොට ශ්‍රී ලංකාවට සාපේක්ෂව අපිරිසිදුයි තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, අපි ශ්‍රී ලංකාවේ මුඩුක්කු කියලා දකින පරිසරය දිව්‍යලෝකයක් වගේ වෙනවා, ඉන්දියාවේ මුම්බායි වල තියෙන විශාලතම මුඩුක්කු සංකීර්ණය වෙන ධරාවි එක්ක සංසන්දනය කළොත්. ඔය ලංකාවේත් තියෙන ප්‍රකට මතයක්නේ ඉන්දියානුවෝ රේල් පාරේ මලපහ කරනවා කියන එක. හැබැයි ඉතින් ඇත්ත ඒකම නෙවෙයි. ඉන්දියාවේ අපිරිසිදු තැන් තියෙනවා වගේම, අතිශයින්ම පවිත්‍ර, ශ්‍රී ලංකාවේ අපේ පවිත්‍රම නගරයකටත් වඩා පවිත්‍ර නගර එහෙමත් සෑහෙන්න තියෙනවා. ඒ නිසා, ඔය පිරිසිදු අපිරිසිදු කමෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සංසන්දනය නොකර ඉන්න එක හොඳයි!

7. යුවර් ගුඩ් නේම්?

දැන් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා ගත්තහම, සිංහල ශ්‍රී ලංකාවේ භාවිතා වුණාට ඉන්දියාවේ භාවිතා වෙන්නෙ නෑ. හැබැයි ශ්‍රී ලංකාවේ අපිට හින්දි වචන සෑහෙන්න තේරුම් ගන්න පුළුවන්. ඒකට නම් හේතුව ශ්‍රී ලංකාවේ අපිත් ආදරයෙන් වැළඳගෙන තියෙන බොලිවුඩ් සිනමාව නැතිනම් හින්දි පිචර්. ඒ ඇරෙන්න, ශ්‍රී ලංකාවේත් දකුණු ඉන්දියාවේත් දමිළ භාෂාව කතා කෙරුණට, වෙනස්කම් තියෙනවා. ඒත් තේරුම් ගන්න අසීරු වෙනස්කම් නෑ. හැබැයි ඔය රටවල් දෙකටම පොදු භාෂාවක් තමයි ඉංග්‍රීසි. එහෙම වුණාට, ගොඩක් විදේශිකයෝ කියනවා ඉන්දියානුවන් කතා කරන ඉංග්‍රීසි භාෂාව අර ආර් අකුර පොඩ්ඩක් බර තියලා තමයි කතා කරන්නේ කියලා. ඒ එක්කම, ඉන්දියානුවන් කතා කරන ඉංග්‍රීසි සාපේක්ෂව ටිකක් තේරුම් ගන්න අපහසුයි කියලා. හැබැයි ශ්‍රී ලාංකිකයන් කතා කරන ඉංග්‍රීසි වඩාත් පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්, ශ්‍රී ලාංකික ඉංග්‍රීසි වඩාත් මෘදුව ගලාගෙන යනවා කියලා තමයි සමහර විදේශිකයෝ කියන්නේ.

හැබැයි ඔය විදියට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙනස් වෙන්නේ කොහොමද කියන අතරේම කියන්න, එක ලඟ තියෙන සහෝදර රටවල් දෙකක් විදියට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කොයි වගේ හොඳ සබඳතාවයක් ගෙනියනවද කියන එකත්. භූ දේශපාලනික සහ අභ්‍යන්තර දේශපාලනික ප්‍රශ්න මොනවා වුණත්, ඉන්දියාව සහ ලංකාව සහෝදර බැඳීමකින් ඉන්න ඕන කියලා අපි හැමෝම විශ්වාස කරනවා කියන එකත් කියන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *