ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ආරම්භ කරන්නේ ඔබ නම්, එයින් වළකින්න උපදෙස්!

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නැතිනම් ගෘහස්ථ හිංසනය කියන්නේ ඇත්තටම මොකක්ද? පොදුවේ කිව්වොත් ඒ කියන්නේ පවුල කියන ඒකකය ඇතුළේ කෙනෙක් තවත් කෙනෙක්ට හිංසා කිරීම, ප්‍රචණ්ඩත්වය ඇති කිරීම කියන්න පුලුවන්. ඒ කියන්නේ අම්මා දරුවන්ට හිංසා කිරීම, ස්වාමි පුරුෂයා බිරිඳට හිංසා කිරීම, දරුවෙක් පියාට හිංසා කිරීම වගේ ඕනෑම දෙයක්. එතකොට දැන් ප්‍රචණ්ඩත්වය, හිංසාව කිව්වහම අපේ ඔළුවට එන්නේ ගහනවා බණිනවා වගේ දේවල්නේ. ඇත්තටම මේ ගෘහස්ථ හිංසනය කියන එක එළිදැක්වෙන්නේ ශාරීරික පහර දීම් ඔස්සේ විතරක් නෙවෙයි. ගෘහස්ථ හිංසනය ශාරීරික, චිත්තවේගීය, ලිංගිකමය, ආර්ථික, මානසික හෝ බලපෑම් සහගත කියන ඕනම විදියකට සිද්ධ වෙන්න පුලුවන්. ඒක අනවශ්‍ය පාලනය, මානසික හිංසනය, ශාරීරික හිංසනය, ලිංගික අපයෝජනය, චිත්තවේගීය අපයෝජනය සහ බියගැනගැන්වීම, වාචික හිංසනය, බලහත්කාරය, තර්ජන සහ දෝෂාරෝපණය, ස්ත්‍රී හෝ පුරුෂ වරප්‍රසාද භාවිතා කිරීම, ආර්ථික අපයෝජනය කියන ඕනෑම විදියකට සිද්ධ වෙන්න පුලුවන්. ගෘහස්ථ හිංසනය වළක්වන්නේ කොහොමද කියන එක ගැන Lifie.lk අපි මීට කලින් කතා කරලා තියෙනවා. මතක තියාගන්න, ගෘහස්ථ හිංසනය කියන්නේ නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් කියන එක.

 

දැන් අපි කියමු බැරි වෙලාවත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ගෘහස්ථ හිංසනය ඇති කරන්නේ අපියි කියලා. ඒ කියන්නේ අපි තමයි පීඩකයා, නැතිනම් අපයෝජකයා. එතකොට මොකද වෙන්නේ? එහෙමනම් අපි ඒ හැසිරීම් නවත්වාගන්න ඕන, ඒකට උපකාර ලබාගන්න ඕන. අන්න ඒ ගැන තමයි මේ අපි කතා කරන්නේ!

 

01. අවබෝධ කරගන්න

තමන් ගෘහස්ථ හිංසනයට හේතුවක් වෙන ප්‍රචණ්ඩකාරීත්වය මුදාහරින මනුස්සයෙක්ද නැද්ද කියලා මුලින්ම තේරුම් ගන්න එක තමයි, හිංසනයට තිත තියන්න පුළුවන් ප්‍රධානතම පිළිතුර වෙන්නේ. මොකද, තමන් ගෘහස්ථ හිංසනයට හේතුව කියලා තේරුම් නොගන්න තාක් කල්, තමන්ගේ ගැටළුවට පිළිතුරු හොයන්නත් කෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ. සමහර විටකදී තමන් තමයි හිංසකයා කියලා යටි සිතේ දැනීමක් තිබුණත්, ඒක පිළිගන්න කෙනෙක් කැමති වෙන්නෙ නෑ. ඒ නිසා ගොඩක් වෙලාවට ඒ අය කරන්නේ, ඒ වැරැද්ද අනික් අය මත පටවන එක. උදාහරණයක් විදියට ගත්තොත්, මේ කියන විදියේ කෙනෙක් හිතන්නේ, තමන්ගේ වයිෆ් තමයි තමන්ව කේන්ති ගස්සන්නේ කියලා. එහෙම නැතිනම් තමන්ගේ ළමයි හරිම නොසැලකිලිමත්, එයාලව හදාගන්න තමයි තමන් කේන්ති අරගෙන දඬුවම් කරන්නේ කියලා. එහෙම නැතිනම් තමන්ගේ හස්බන්ඩ් සමහර විට තමන්ට ද්‍රෝහී වෙනවා වෙන්න පුලුවන්, ඒ නිසා තමයි තමන් එයත් එක්ක රණ්ඩු වෙන්නේ කියලා. ඔය විදියට නිදහසට කාරණා විදියට හදාගත්තු හේතු ගණනාවක් ඔස්සේ අනික් කෙනාට වරද පටවන හැසිරීමක් හිංසකයෙක් පෙන්වන්න පුලුවන්. ඉතින් තමන් ඇත්තටම එහෙමයි කියලා අවබෝධ කරගත්තොත්, ඒ හැසිරීම් රටාව, ඒ චෛතසිකය වෙනස් කරගන්න තමන්ට උදව් අවශ්‍යයි කියලා පිළිගත්තොත්, එතනින් එහාට ඊළඟ ස්ටෙප්ස් වලට යන්න පුලුවන් ප්‍රශ්නය සෑහෙන්න දුරට විසඳාගන්න.  

 

02. වෙනසකට සූදානම් වෙන්න

ඇත්තටම තමන්ට තමන්ගේ හිංසාකාරී හැසිරීම් රටාව වෙනස් කරගන්න පුලුවන් වෙන්නේ, තමන්ට කොයි තරම් ගැඹුරින් ඒ වෙනස අවශ්‍යද කියන කාරණාව මත තමයි. උදාහරණයක් විදියට, තමන්ගේ හස්බන්ඩ්ගේ රැකවරණය තමන්ට අවශ්‍ය නිසා, එයා තමන් හිංසකයෙක් කියන නිසා වෙනස් වෙලා බලනවා කියලා හිතනවා නම්, ඒක සැබෑ අවශ්‍යතාවයක් නෙවෙයි. මුලින්ම තමන් ඇතුළේ තියෙන ගැටළුව අවංකව අවබෝධ කරගන්න ඕන. ඊට පස්සේ, ඒකේ හානිදායක ප්‍රතිඵල අවබෝධ කරගන්න ඕන. උදාහරණයක් විදියට කිව්වොත්, හිංසකයෙක් වීමෙන් තමන්ගේ ආදරණීයයන්, තමන්ගේ සමාජ තත්වය විතරක් නෙවෙයි, තමන්ගේ නිදහස පවා අහිමි වෙන්න විශාල ඉඩක් තියෙනවා. දැන් ඒ වෙනස තමන්ට දැඩිවම අවශ්‍යයි නම්, අපිට ඒ වෙනුවෙන් සටන් කරන්න පුලුවන්.

 

03. ප්‍රශ්නේ කතා කරමු

ගොඩක් දුරට මේ ලෝකේ තියෙන ගොඩක් ප්‍රශ්න සාපේක්ෂව බොහොම පහසුවෙන් විසඳාගන්න පුලුවන් ක්‍රමයක් තමයි කතා බහ කිරීම. වෙන විදියකට කියනවා නම් නිවැරදි සන්නිවේදනය. ආන්න ඒ නිසා, දැන් අපි පළවෙනි ස්ටෙප් එක විදියට තමන් අතින් ගෘහස්ථ හිංසනය සිද්ධ වෙනවා කියලා අවබෝධ කරගත්තට පස්සේ, තමන්ගේ ඒ හැසිරීම් රටාවන් වෙනස් කරගන්න ඕන කියලත් තේරුම් ගත්තට පස්සේ, තමන්ගේ ආදරණීයයන් එක්ක ඒ ගැන කතා බහ කරලා අවබෝධයකට එන එක වටිනවා. එතනදී මූලිකවම අර පළවෙනියට කියපු ප්‍රතික්ෂේපය නැතුව, තමන්ගේ ක්‍රියාකාරකම් වලට වගකීම තමන්ටම ගන්න සිද්ධ වෙනවා. සමහර විට තමන්ගේ හිංසාකාරී හැසිරීම් රටාව එළියට එන්නේ, තමන්ගේ ආදරණීයයෙක්ගේ ක්‍රියාවක් නිසා, වචනයක් නිසා, හැසිරීමක් නිසා වෙන්න පුලුවන්. හැබැයි ඒක නිදහසට කාරණයක් විදියට සුළුවෙන් හෝ සලකනවා කියන්නේ, අර පළවෙනියටම කියපු කාරණාව ඉෂ්ට වෙලා නෑ. ඒ එකයි දෙකයි කරුණු ඉෂ්ට කරගත්තට පස්සේ, තමන්ගේ හස්බන්ඩ්, වයිෆ්, පෙම්වතා, පෙම්වතිය එක්ක මේ ප්‍රශ්නය ගැන කතාබහ කරන්න. තමන්ගේ හැසිරීමට අවංකවම සමාව ඉල්ලන්න. තමන්ට වෙනස් වෙන්න අවශ්‍ය බව කියන්න. ඒකට ඒ අයගේ උදව් අවශ්‍ය බවත් කියන්න.

 

04. තමන්ටම සමාව දෙන්නත් ඕන

මේක බොහොම සංවේදී තැනක්. ඒකට හේතුව මේකයි. දැන් අපි අවංකවම අපේ හිංසාකාරී හැසිරීම් ස්වභාවය ගැන පසුතැවෙනවා නම්, මෙතෙක් අපි හිංසකයා වීම ගැන ඇත්තටම ලැජ්ජා වෙනවා නම්, තමන්ට තමන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සමාව දීගන්න එකත් ටිකක් අපහසු වෙන්න පුලුවන්. ඒ වගේම, අර පළවෙනි පොයින්ට් එකේදී කියපු විදියට, තමන්ගේ හිංසාකාරී හැසිරීම සම්බන්ධයෙන් තවත් කෙනෙක් වගකිව යුතුයි කියලා කෙනෙක් තුළ පොඩියට හෝ අදහසක් තියෙනවා නම්, එයා තමන්ගේ හැසිරීම ගැන සමාව දී ගන්න ඉක්මන් වෙන්න ඉඩ වැඩියි. හැබැයි ඒ සමාව දී ගැනිල්ලේ තේරුමක් නෑ. මොකද, තාමත් තමන් හිංසකයෙක් කියලා පිළිඅරගෙන නැති නම්, ඒ හැසිරීම වෙනස් කරගන්න ඇත්තටම වුවමනාවක් නැති නිසා. එහෙම නම් යන්න ආයෙමත් අංක එක පොයින්ට් එකට.

 

එහෙම නැතුව තමන් ගැන තියෙන ලැජ්ජාව නිසා තමන්ගේ හැසිරීමට තමන්ටම සමාව දෙන්න බැරි නම්, හිතලා බලන්න මෙහෙම. තමන් මොන වගේ පුද්ගලයෙක්ද කියලා තීරණය කරන්නේ තමන් මෙතෙක් කරපු කියපු දේවල් ද, එහෙම නැතිනම් තමන් මේ මොහොතේ ඉඳලා කරන දේවල් ද? එතකොට මේ මොහොතේ ඉඳලා ඔබට සම්පූර්ණයෙන්ම වෙනස් මනුස්සයෙක්, වඩාත් යහපත් මනුස්සයෙක් වෙන්න පුලුවන් කියන එක තරයේ විශ්වාස කරන්න. හැබැයි එහෙම මේ හිංසාවේ විෂම චක්‍රය බිඳ හෙලන්න නම්, තමන් තමන්ට සමාව දෙන්න ඕන කියන එකත් ඔලුවට ගන්න.

 

05. තමන් ගැන තියෙන වැරදි වැටහීම් නැති කරගන්න

මෙතනදී එක දෙයක් තරයේ අවබෝධ කරගන්නට වෙනවා. තමන් අතින් තවත් කෙනෙක්ට මනෝමයව හෝ වාචිකව හෝ කායිකව හෝ වෙනයම් විදියකින් හිංසාවක් සිද්ධ වෙනවා නම්, ඒකට වෙන කිසිම කාරණයක් අදාළ වෙන්නෙ නෑ. ඒකට අදාළ වෙන්නේ තමන්ගේ හැසිරීම සහ තමන්ගේ මනස ක්‍රියා කරන විදිය විතරයි. අපි කලිනුත් කිව්වනේ තමන්ගේ හිංසාකාරී හැසිරීම් වලට නිදහසට හේතු හොයන්න යන්න, වෙනත් කෙනෙක්ට තමන්ගේ හිංසාකාරී හැසිරීම් වලට වරද පටවන්න එපා කියලා. එහෙමනම් ඇත්තටම තමන් ගැන තියෙන වැරදි වැටහීම් නැති කරගන්නත් වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත්, යම් කිසි කෙනෙක් හිතාගෙන ඉන්න පුලුවන්, තමන්ගේ ආදරණීයයන්ට දඬුවම් දීලා ඒ අයව හරි පාරට ගන්න එක, එහෙම නැතිනම් ඒ අයව පාලනය කරන එක තමන්ගේ වගකීමක් කියලා. අන්න එතකොට, ඒ වැරදි වැටහීම නැති කරගන්න ඕන. තවත් හිංසාකාරී හැසිරීම් තියෙන කෙනෙක් හිතන්න පුලුවන්, තමන් හොඳයි, ඒ නිසා හැමෝම තමන්ව පාවිච්චි කරනවා, ඒ නිසා තමන් හිංසාකාරීව හැසිරෙන්න ඕන කියලා. එතකොට අපිට ඒ අවබෝධයත් හරිගස්සා ගන්න වෙනවා. අපි කවුරුත් හොඳම හොඳ හෝ සර්ව සම්පූර්ණ නැහැ.

 

06. ගරුත්වය සහ ඉවසීම

තමන්ගේ හිංසාකාරී හැසිරීම් නවත්වා ගන්න නම්, මෙන්න මේ කරුණු දෙක ස්වර්ණමය නීති දෙකක් විදියට සැලකුවත් කමක් නෑ. ඒ තමයි අනෙකා කෙරෙහි අපේ තියෙන්න ඕන ගරුත්වය සහ, ලෝකේ අනික් හැම කෙනෙක්ම සම්බන්ධයෙන් අපි ප්‍රගුණ කරන්න ඕන ඉවසීම. එතනදී අපි මුලින්ම තමන් අනික් ඕනෑම කෙනෙක්ට වඩා ඉහළින් ඉන්නේ වගේ අදහස් තියෙනවා නම්, ඒවා නිවැරදි කරගන්න ඕන. කලින් පොයින්ට් එකේ කිව්වේ ඒ ගැන තමයි. එතනින් එහාට අපි තේරුම් ගන්න ඕන අනෙකා කියන්නේ තමන් නෙවෙයි කියලා. අනෙකා කියන්නේ වෙනත් පුද්ගලයෙක්. තමන්ට වඩා වෙනස් අදහස්, වෙනස් අපේක්ෂාවන්, වෙනස් ජීවිතයක් තියෙන්න පුලුවන් තමන් වගේම තවත් පුද්ගලයෙක්. ආන්න ඒ නිසා ඒ කෙනාට කොන්දේසි විරහිතව මනුෂ්‍යයෙක් විදියට අපි ගරු කරන්න ඉගෙන ගන්න ඕන. අපිට ඒ අයව පාලනය කරන්න හරි, කළ නොකළ යුතු දේ කියලා අපි හිතන දේවල් ඒ අය ලව්වා කරවන්න හරි අයිතියක් නැති බව අවබෝධ කරගන්න ඕන.

 

ඒ වගේම, අපි ඉවසීම ප්‍රගුණ කරන්න ඕන. උදාහරණයක් විදියට, අපේ ආදරණීයයෙක් අතින් වීදුරුවක් බිඳුණොත් අපිට කේන්ති යන්න පුලුවන්. හැබැයි ඒ කේන්තිය හිංසනයක් කරා ක්ෂණයකින් යනවා කියන්නෙම අපිට අපේ හැඟීම් කෙරෙහි පාලනයක් නැහැයි කියන එක. අන්න ඒ නිසා, ඉවසීම ප්‍රගුණ කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා කරන්න පුලුවන් ක්‍රියාකාරකම් තියෙනවා. ඒ ගැන අපි ඉදිරියේදී කතා කරමු.

 

07. උපදේශන සහාය ලබාගන්න

ඇත්තටම මේ වගේ ගැටළු වලට අපිට අපෙන්ම ලැබෙන සහායත්, අපේ ආදරණීයයන්ගෙන් ලැබෙන සහායත්, ඒ වගේම මේ ගැන විශේෂඥතාවයක් තියෙන වෘත්තිකයන්ගෙන් ලැබෙන සහායත් කියන තුනම අත්‍යවශ්‍යයි. මතක තියාගන්න, දීර්ඝ කාලීනව පැවතුණු ගැටළුවක් වෙන්න පුලුවන් හිංසාකාරී හැසිරීම් රටාව වෙනස් කරගන්නත් සැලකිය යුතු කාලයක් සහ වෘත්තිය උපදේශන සහාය අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒකට වෛද්‍යවරයෙක්, උපදේශකවරයෙක් හෝ චිකිත්සකයෙක් විදියට ලියාපදිංචි වුණු වෘත්තිකයෙක් ගාවට යන එක තමයි හොඳ. එතනින් එහාට තමන්ව නැවත සොයාගනිමින් වෙනස් වෙන්න යන්න ඕන පාර එයා පෙන්වයි. සමහර විට අපිට කෝපය කළමනාකරණය පිළිබඳව තියෙන චිකිත්සක වැඩසටහන් වලට එහෙමත් සහභාගී වෙන්න වෙයි. ඔය කොයි දේත් එක්කත්, හෙට දවසේ වඩාත් යහපත් මනුස්සයෙක් වෙන්නේ කොහොමද කියන එක උපදේශන සහායෙන් පෙන්නලා දෙයි. අපි මෙතනට එනකල් පෙන්නලා දුන්නේ, ඇත්තටම උපදේශන සහාය වඩාත් ප්‍රතිඵලදායක වෙන විදියට වෙනස් වීම සඳහා තමන්ගේ සහ තමන්ගේ ආදරණීයයන්ගේ මානසිකත්වය හදාගන්නේ කොහොමද කියන එකට අදාළ කරුණු කිහිපයක් තමයි.

ඇත්තටම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට, ගෘහස්ථ හිංසනයට තිත තියන්න නම්, හිංසාවට පාත්‍ර වෙන අය තමන්ගේ අයිතිවාසිකම් දැන ගෙන ඒකට විරුද්ධව නැඟී සිටීම වගේම, හිංසකයා නැතිනම් අපයෝජකයාත්, තමන්ගේ හැසිරීම වැරදියි කියලා දැනගෙන ඒක නවත්වාගන්න ඕන. එහෙම නවත්වාගන්න උපකාර ලබාගන්න ඕන. අපි සමාජයක් විදියට කරන්න ඕන හිංසාවට පාත්‍ර වන්නාව වගේම හිංසකයාවත් වෙනස් කරන්න, සමාජයට නිවැරදිව අනුගත කරගන්න උත්සාහ කරන එක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *