ගෑස් පිරිමහගෙන පාවිච්චි කරන්නේ මෙහෙමයි!

දැන් ඔය ගෑස් තියෙන්නේ, ඒ කියන්නේ ඇමරිකන්කාරයෝ කියන, වාහන වලට ගහන ගැසොලීන් ගැන නෙවෙයි. අපි ගෑස් කුකර් වලට පාවිච්චි කරන, සිලින්ඩරේ එන එල්පී ගෑස් ගැන. සාමාන්‍යයෙන් අතීතයේ ලංකාවේ වැඩියෙන් ඉවුම් පිහුම් කළේ දර ලිප් වල වෙන්න පුලුවන්. හැබැයි දැන් වෙනකොට අපි සෑහෙන්න දෙනෙක්, අඩු තරමින් නාගරික සහ අර්ධ නාගරික සමාජ වල ජීවත් වෙන වැඩි දෙනෙක් ගෑස් පාවිච්චියට හුරු වෙලා තියෙනවා. මෙච්චර කාලෙකට අපිට ලොකු අවුලක් තිබුණෙත් නෑ. මොකද, මීට අවුරුද්දකට විතර කලින් වුණත් ගෙදරක පාවිච්චි කරන සාමාන්‍ය කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරේක මිල රුපියල් 1500 ටත් අඩුයි. හැබැයි ඉතින් දැන් එහෙම බෑ. දැන් ගෑස් සිලින්ඩරයක් රුපියල් පන්දාහකට ආසන්නයි. ඒ විතරක් නෙවෙයි, ගෑස් හොයාගන්නත් නැති තත්වයක් තියෙන්නේ. ආන්න එතකොට අපිට තේරෙනවා ගෑස් වල අගේ.

දැන් මේ දවස් වල ගෑස් හිඟය නිසාම, ගොඩක් දෙනෙක් දර ලිප් වලට, ඉලෙක්ට්‍රික් ලිප් වලට සහ කරන්ට් එකට ගහලා වැඩ කරන්න පුලුවන් පොල්කටු අඟුරු ලිප් වලට එහෙමත් හුරු වෙන්න පටන් අරගෙන. ඒක හරි. හැබැයි දැන්වත් අපිට පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා කොහොමද ගෙදර තියෙන ගෑස් සිලින්ඩරය උපරිම කාලයක්, උපරිම අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ කියලා. ආන්න ඒකට උදව් වෙන ටිප්ස් කීපයක් තමයි මේ.

1. ලීක් කේස්

මේක ඉතින් නිකම්ම ගෑස් අපතේ යන සීන් එකක්ම නෙවෙයි. ඊට වඩා භයානක දෙයක්. දැන් ගෑස් ලීක් එකක් තියෙනකොට සාමාන්‍යයෙන් අපිට ගඳ දැනෙනවා. ඒකට හේතුව එල්පීගෑස් වල අමුතු ගන්ධයක් තිබීම නෙවෙයි. ලීක් එකක් වුණොත් හොයාගන්නම, ආරක්ෂක උපක්‍රමයක් විදියට එල්පී ගෑස් වලට අඩංගු කරනවා ගන්ධ කාරකයක්. අන්න ඒකේ ගඳ නැතිනම් සුවඳ තමයි අපිට එන්නේ. සෑහෙන්න ගෑස් ලීක් වෙනවා කියන්නේ පිපිරීමක් වුණත් වෙන්න පුලුවන්. දැන් හැබැයි අපි කියමු එලියේ තියලා තියෙන ගෑස් ටැංකියක් කියලා. එතකොට ගොඩක් දුරට ලීක් වුණත් ඒ ගඳ සුවඳ ගේ ඇතුළේ ඉන්න අපිට නොදැනෙන්න ඉඩක් තියෙනවනේ. ඒ නිසා, හොඳම දේ තමයි රෙගියුලේටර් එහෙම කාලෙන් කාලෙට චෙක් කරලා බලන එක. ඒ වගේම, බට, ලිපේ බර්නර් යුනිට් එක එහෙමත් මළකඩ එහෙම කාලා, දිරලා එහෙම තියෙනවද කියලා චෙක් කරන එක!

 

2. ඕන එකටයි එපා එකටයි

ඉස්සර ගෑස් ගේමක්ම නැති කාලේ ඉතින් ලිප පත්තු කරලනෙ ලිපේ තියන්න ඕන භාජනේ හොයන්නේ. හැබැයි එතකොට නාස්ති වෙන ගෑස් ප්‍රමාණය සුළු පටු නෑ. අන්න ඒ නිසා, මුලින් උයන්න අවශ්‍ය දේවල් භාජනේට දාලා, සම්පූර්ණයෙන්ම පිළිවෙල කරලා ලිපේ තියලා ලිප පත්තු කරන්න. එතකොට ලිපෙන් එකක් බාලා තව එකක් ලිපේ තියන්න අවශ්‍ය නම්, ඒකත් කලින් සූදානම් කරලා තියාගන්න. දෙවෙනි එක ඒදලා ගන්න හරි විනාඩි කීපයක් වත් යනවා නං, කරුණාකරලා ලිප ඕෆ් කරලා ඒක තියලා ආයෙමත් ලිප පත්තු කරගන්න. එහෙම නැතුව ලිප පත්තු වෙලා තියෙන අතරෙම විනාඩි ගණන් ගත කරන්න එපා.

තව දෙයක්, දැන් ඔය ඉටිපන්දමක් පත්තු කරගන්නත් ගෑස් ලිප පත්තු කරලා ඒකෙන් ඉටිපන්දම පත්තු කරනවා වගේ පුරුදු අත්හරින්න. ඒකට ගිනිපෙට්ටියක් අහුවෙන මානෙන් තියාගන්න.

 

3. ඕවර්කුකින්

එහෙම කිව්වහම නිකම් ලොකු අවුලක් නැති සීන් එකක් වගේ දැනුනට, මේ කියන්නේ එකක් වළඳ රොස් වෙනකල්, අඩිය අල්ලනකල් වළඳ ලිපේ තියලා එළියට ගිහින් මල් කඩනවා වගේ සීන් ගැන. දැන් ඔහොම ලිපේ දෙයක් තියලා අමතක වෙලා යන එකෙන් සෑහෙන්න අනතුරුත් සිද්ධ වෙන්න පුලුවන්. ඒ ඇරෙන්න, කොයි තරම් ගෑස් ප්‍රමාණයක් අපතේ යනවද කියන එකත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ එතනදී. ඒ ඇරෙන්න, සාමාන්‍යයෙන් ඕනම කෑමක් උයාගන්න ඕන ප්‍රමාණයක් තියෙනවනේ. එහෙම නැතුව තව ටිකක් රත් වෙච්ච දෙන්, තව ටිකක් ඉවුණ දෙන් කියලා ලිපේ තියලා තියෙන එකෙන් සිද්ධ වෙන අවාසි දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ආහාරයේ තියෙන අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහ පෝෂණ ගුණය විනාශ වීම. දෙක තමයි ඉතින් අනවශ්‍ය විදියට ගෑස් නාස්ති වීම.

 

4. සයිස් එකට පෑන් එක

දැන් සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් ගෙදරක භාවිතා කරන ගෑස් කුකර් එකක් ගන්න.. ඒකේ සාමාන්‍යයෙන් ලිප් දෙකක් තියෙනවනේ. සමහරු තනි ලිපේ ගෑස් කුකර් එහෙමත් පාවිච්චි කරනවා. තවත් සමහරු ලිප් තුනයි, ඉලෙක්ට්‍රික් ලිපයි එන ගෑස් කුකර් පාවිච්චි කරනවා. හැබැයි බොහෝ වෙලාවට ගොඩක් අය පාවිච්චි කරන්නේ ලිප් දෙකේ ගෑස් කුකර්. දැන් ඔය ලිප් දෙක ගත්තත්, ලිප් තුන ගත්තත්, ඒ ලිප් එකිනෙකට ප්‍රමාණයෙන් වෙනස් කියලා තේරිලා ඇතිනේ. සාමාන්‍යයෙන් ලිප් දෙකේ කුකර් එකේ එකක් සාමාන්‍ය ප්‍රමාණය සහ අනික ඊට වඩා පොඩි ප්‍රමාණය තමයි එන්නේ. දැන් මේ ප්‍රමාණ දෙකේ ලිප් දෙකට පාවිච්චි කරන භාජනත් ඒ ඒ ප්‍රමාණයන්ට ගැලපෙන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, තනි බිත්තරයක් දෙකක් තම්බගන්න ගන්න පොඩි භාජනය අර ලොකු ලිපේ තියලා පත්තු කරන එකෙන් ඇත්තටම වෙන්නේ ගෑස් අපතේ යන එක. හේතුව, අර පොඩි භාජනෙන් දෙපැත්තටත් විහිදෙන ගින්දර නිසා භාජනේ රත් වෙනවා වගේම, තව ගින්දර ප්‍රමාණයක් අපතේ යන නිසා.

 

5. ලිපේ තියන්න කලින් පිහිදන්න

සමහර වෙලාවට අපි අතින් ගෑස් නාස්ති වෙන්නේ අපි නොහිතන තරම් පුංචි දේවල් වලට. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු අපි බිත්තර ඔම්ලට් එකක් දාන්න යනවා කියලා. දැන් ඔන්න අපි ගන්නවා සෝස්පෑන් එක. ඒක හෝදලනෙ ගන්නේ. ඉතින් හෝදලා, වතුර ටික ගසලා ඔන්න තියනවා ලිපේ. එතකොට වතුර? අවුලක් නෑ. අපි ලිප පත්තු කරලා තියනකොට වතුර ටික වාෂ්ප වෙලා යනවනේ. දැන් වතුර ටික වාෂ්ප වෙලා පෑන් එක රත් වෙනකල් ටික වෙලාවක් ලිපේ තියලා ඔන්න තෙල් හරි බටර් හරි මාගරින් හරි ඒකට දානවා. එහෙමද ක්‍රමේ? නෑ. දැන් ඔය හෝදපු භාජනේ වතුර ටික වාෂ්ප වෙලා යන්න ලිපේ තියලා තියෙන තත්පර විස්ස තිහ තියෙනවනේ. ඒක ලොකු වෙලාවක් නෙවෙයි. හැබැයි නිකමට හිතලා බලන්න ඕක හැමතිස්සෙම වෙනකොට කොහොමද කියලා. හැම භාජනයක්ම හෝදපු ගමන් ලිපේ තියන්න ගත්තහම කොයි තරම් අමතර කාලයක් එතන නාස්ති වෙනවද කියලා. ඒ නාස්ති වෙන්නෙ ගෑස් ගෑස්!

 

6. වතුර ගාණට

මේකත් ඔය උයන්න පිහන්න ටිකක් ආධුනික ගොඩක් දෙනෙක් කරන වැරැද්දක්. දැන් ඔය සමහර කෑම වර්ග තියෙනවා, වතුර හරි ගාණට තියන්න ඕන. වතුර ප්‍රමාණය වැඩි වුණොත් කෑම එක අප්සට් යනවා. හැබැයි සාමාන්‍යයෙන් අපි එදිනෙදා හදන ගොඩක් කෑම වලට එහෙම වතුර වැඩි වුණා කියලා ලොකු අවුලක් වෙන්නෙ නෑ. අපි ගමු උදාහරණයක් විදියට සරල චිකන් කරියක්. දැන් ඔය චිකන් ටික මුලින් තැම්බෙන්න වතුර දාලා ලිපේ තියනවනේ. කුකුළු මස් කියන්නේ ඔය හරක් මස්, ඌරු මස් වගේ නෙවෙයි, තැම්බෙන්න වතුර බුජමක් අවශ්‍ය වෙන්නෙ නෑ. මස් ටික වැහෙන්න වතුර තිබ්බා නං හොඳටෝම ඇති. හැබැයි ඉතින් අපි වැඩි හොඳට වැඩියෙන් තැම්බෙයි කියලා හිතලා වතුර වැඩිපුර දාලා ලිපේ තියන එකෙන් වෙන්නේ, නිකම් ගෑස් නාස්ති වෙන එක විතරයි. එහෙම මිසක් මස් එකේ වැඩි රසක්, වැඩි තැම්බිල්ලක් සිද්ධ වෙන්නෙත් නෑ.

 

7. අඩු උෂ්ණත්වය හොඳ උෂ්ණත්වය

මේක ඇත්තටම කෑම වල රසය සහ ගුණය එක්කත් බැඳුණු කාරණයක්. හැබැයි හැම කෑමකටම අදාළ වෙන කාරණයකුත් නෙවෙයි. දැන් අපි කෑම උයනකොට, වැඩි උෂ්ණත්වයේ, මධ්‍යම උෂ්ණත්වයේ සහ අඩු උෂ්ණත්වයේ උයාගන්න ඕන තැන් ගැන රෙසිපි වල එහෙමත් සඳහන් වෙනවනේ. සමහර කෑම වර්ග තියෙනවා ඔය උෂ්ණත්ව තුනේම හදන්න ඕන. හැබැයි ගොඩක් වෙලාවට අඩු උෂ්ණත්වයේ උයාගන්නකොට රත්වෙන්න සාපේක්ෂව ටිකක් වැඩි වෙලාවක් ගියත්, කෑම වල පෝෂ්‍ය ගුණය ආරක්ෂා වෙනවා කියලා තමයි ඔය සූපවේදය දන්න අය කියන්නේ. වෙන විදියකට කිව්වොත්, උඩ කියපු විදියට ඕවර්කුක් වෙන්නෙ නෑ. ඒ නිසාම ගොඩක් වෙලාවට කෑම වල රසත් හොඳ ගාණට, නියම විදියට, නියම කොලිටියට එනවා. ඒ එක්කම, ගෑස් නාස්තියත් සාපේක්ෂව අඩු වෙනවා. හැබැයි මතක තියාගන්න, හැම කෑමක්ම එහෙම හදන්න බෑ.

හැබැයි එකක් හොඳට මතක තියාගන්න. අපි සම්පූර්ණයෙන්ම සමෘද්ධිමත්, සංවර්ධිත රටක් බවට පත් වුණත්, අරපිරිමැස්ම සහ නාස්තිය අවම කිරීම කියන්නේ ඉතාම හොඳ සංකල්ප. හැබැයි එහෙම අරපිරිමැස්මෙන් වැඩ කරලා, නාස්තිය අවම කරගෙන හිටියා කියලා, මේ තියෙන උද්ධමනය අධික, බඩු භාණ්ඩ හිඟ කාලය නෝමල් කියලා, ඒකට හැඩගැහෙන්න නම් හදන්න එපා. නාස්තිය නැති අරපිරිමැස්ම ඇති පුරුදු ජීවන රටාව කරගන්න. එච්චරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *