ඉපදුන මොහොතේ පටන් මියයන මොහොත දක්වා ගෙවායන මේ දිවි ගමනේදී අපට බොහෝ අවස්ථාවල තවෙකෙකුගේ සරණක්, සහායක් ජීවිතේට උවමනා කරනවා. කුඩා කාලේදී මවගෙන් පෝෂණය වී, ඇයගේ සුළැඟිල්ලේ දැවටී සෙනෙහසේ පළමු පියවර තබන අපිට තරුණ අවධියේදී පෙම්වතිය, බිරිඳ නමින් අපේ ජීවිතයට ගොඩ වදින කාන්තාවගේ ආදරය, බැඳීම අවශ්‍ය වෙනවා. අපේ ජීවිත ගමනේ හැඩය තීරණය කරන්නට, අපේ ජීවිතය හැඩ කරන්නට, සුවඳවත් කරන්නට මේ ගැහැණිය, එහෙමත් නැත්නම් කාන්තාවගේ දායකත්වය කොයි තරම්ද?.
ඉතින් මේ කාන්තා දිනයේදී අපි ඔබට කියන්නේ අපේ ජීවිත සුවඳ කරන්නට අපිට ජීවිත කාලය තුළදී හමුවන එවන් වූ කාන්තා චරිත 7ක් ගැනයි.
1. අම්මා
අප හැමකෙනෙක්ගේම පාහේ ජීවිතයේ පළමු ආදරය වෙන්නේ අම්මා කියන චරිතයයි. බොහෝවිට අපි ජීවිතයේ මුමුණන මුල්ම වදන වෙන්නේත් “අම්මා” යන්නයි. ජීවිතයේ ගැඹුරුම වේදනාවකදී අපට මිමිණෙන්නේත් ඒ නමයි. අපේ ජීවිතේ මුල්ම මතකයන් සනිටුහන් වෙන්නේ ඇගේ කිරි සුවඳත් සමග මුසුවීගෙනයි. ජීවිතයේ මුල් කඩයිම් බොහොමයක් අපි පසු කරන්නේ සෙවනැල්ල සේ ඇය අපි අසලින් සිටින අතරතුරයි. ඇගේ අතේ එල්ලී නැගී සිට, ඇගේ සහායෙන් ඇවිද යන අපි යම් කාලයකදී ඇගේ අත අතැර ජීවිතේ මහා ඉහළ තළ වලට නැග්ගත්, කවදත් ඇයට අපි ඇගේ කුඩා දරුවාම පමණයි. අපගේ ජීවිතයේ අපට හමුවන මුල්ම කාන්තාව මෙන්ම, සමහර විට ජීවිතය අවසානය තෙක් නොවෙනස්වම අපට ආදරය කරන කාන්තාවද ඇයයි.
2. අත්තම්මා
මවගේ ඇකයෙන් මොහොතකට මිදෙන ඇසිල්ලක දෙවැනි මවක් මෙන්, ඒ තරම්ම උණුහුමින් සහ ආරක්ෂාවෙන් අපිට සෙවන දෙන අනිත් කාන්තා චරිතය. ආදරණීය අත්තම්මායි. දරුවෙක්ගේ උපතක් සමගින් අත්තම්මා කෙනෙකුත් නැවත උපදිනවා සේය. තමන්ගේ පරිණත බුද්ධිය පසෙකලා, ඇය අම්මාටත් වඩා පහසුවෙන් කුඩා දැරියක් බවට පත්වන්නීය. අපේ මිතුරියක් බවට පත් වන්නීය. ජීවිතය කුඩා අවධියේ මතක සුන්දර වන්නට ඇගේ රස කතන්දරත්, අපේ දිව පිනවන්නට සෙනෙහසින් ඈ පිළියෙළ කරන ලද රසමසවුළුත් තරම් දායක වූ තව දේවල් තිබේ නම් ඒ අල්පයකි.
3. බිරිඳ
මවගේ සහ පවුලේ ආදරය කොතරම් වුවත්, යෞවනයට එළඹෙන කල්හී තරුණ සිත් වෙලාගන්නට ආදරයේ තවත් පැති කඩක් සමත් වෙයි. එනම් තමන්ගේ ලෙයින් නොසෑදුනත්, තමන්ගේ ජීවිතයට සමීප යැයි දැනෙන වෙනත් ප්‍රාණියෙක්ගේ ආදරයකට දැනෙන ලෝභ බවයි. සෑම ආදර කථාවක්ම මල් ඵල නොගත්තත් ජීවිතයේ යම් කාලයක අපේ අත, අත නොහැර ජීවන ගමන එක්ව ගෙවන්නට ගොඩ වදින තැනැත්තිය වන්නේ ආදරණීය බිරිඳයි. හය හතර නොදත් ළමා කාලයේ මෙන් නොව ඇය සමග ගෙවා යන්නට වන ගමන දෙදෙනාගේම අවබෝධයෙන් සහ ශක්තියෙන් තරණය කළ යුතු බැරෑරුම් ගමනකි. ඒ මගෙහි කොතරම් අවහිර, බාධක, කටු අකුළු තිබුණත්, ඒවා දරාගන්නට අපිට සුවඳ සහ ශක්තිය ලබා දෙන තැනැත්තිය බිරිඳයි. තරුණ අවධියේ සිට ජීවිතයේ මහළු අවධිය දක්වා ගමන් කරන්නට ඇගේ ආදරය සහ විශ්වාසය තරම් වෙන සවියක් කොයින්ද?
4. අක්කා
විටෙක දෙවැනි මවක් සේ ආදරයෙන්ද, තවත් විටෙක ගුරුවරියක් සේ ආදර්ශයෙන්ද, විටෙක සැර පරුෂ තද ගතියෙන්ද අපේ ජීවිත හැඩ කරන්නට, සුවඳවත් කරන්නට දායක වෙන චරිතයක් වන්නේ අක්කායි. සමහර විට අප උපදින්නේ එතෙක් ඈ තනිවම විඳිමින් සිටි පවුලේ හැමගේ ආදරයෙන් විශාල කොටසක් අප වෙතත් උදුරාගෙනයි. නමුත් ඈ ඉන් සැලෙන්නේ අඩුවෙනි. ඒ වෙනුවට ඇයට වෙනත් කාර්යයක් පැවරෙයි. ඒ අසීමිතව අපට ආදරය කරන්නටයි. බොහෝවිට ජීවිතයේ අපේ පළමු මිතුරිය වී ජීවිතය පුරාවට සුවඳ සලන්නේ ඇයයි.
5. නංගී
ජීවිතයට තෑග්ගක් සේ පැමිණ අක්කාටත් වඩා විටෙක අපි සමග සමීප වෙන්නේ නංගී ය. ඈ සමග ආදරය, සිනහව මෙන්ම අඬදබර වලත් අඩුවක් නොමැත. පවුලේ සුරතලිය වන්නේ ඇයයි. නංගීගේ ආගමනයෙන් පවුලේ අයියලා අක්කලා වෙනදාට වඩා පරිණත වෙන්නට පටන් ගනී. ඒ ඈව රැකගන්නටය. ඈව හරිමග යවන්නටය. මේ සියල්ල මැද ඈ සුවඳ සලන මලක් මෙන් පවුලේ අවධානයේ මධ්‍ය ලක්ෂය වෙමින් හැදී වැඩෙන්නීය. කෙළි සෙල්ලමෙන් ගෙවූ සිඟිති අවධියේ පටන් පරිණත වැඩිහිටියන් දක්වා එන ගමනේ සුවඳවත් මතක රැසකට ඈ දායක වන්නීය.
6. ගුරුතුමිය
දෙමවුපිය උණුසුමින් ඈත්වී පාසැල් මාතාව සෙවණට එද්දී බොහෝ සිත් චංචලය. සමහර සිත් දුකින් බරවී තිබේ. මේ දුක් පළවා හරින්නට, මවක් සේ, යෙහෙළියක් සේ අපට සමීප වන්නේ ගුරුතුමියයි. අපේ අකුරු හැඩ කරන්නේ ඇයයි. බිඳෙන් බිඳ පොත පතේ මෙන්ම ජීවන දැනුමින්ද අපිව පෝෂණය කරමින් අපේ ජීවිතද හැඩ කරන්නේ ඇයයි. අප ලබන ජයග්‍රහණ ඇගේද ජයග්‍රහණ සේ ඇය ආඩම්බර වන්නීය. අප මෙන්ම තව පරම්පරා රැසකට දැනුම් සුවඳ පතුරාලන මව වන්නේ ඇයයි.
7. නැන්දම්මා
ජීවිතයේ එක් කලෙක දී අපට දෙවැනි මවක් හමුවේ. ඒ අපේ ජීවන සහකරු/කාරියගේ මවයි. බොහෝ විට ඈ අපටත් මවක්ම වේ. තමන් හැදූ වැඩූ දරුවා තරමටම විටෙක ඇය අපට ආදරය පතුරුවයි. අපේ ආදරය බලාපොරොත්තු වෙයි. සහකරු/සහකාරිය සමග ගෙවන ජීවිතයේ අලුත් කඩයිමේ අපට ශක්තිය සපයන එක් සුන්දර තැනැත්තියක් වන්නේ ඇයයි. සමහර විටෙක ඇය ඇගේ ආදරය සම්පූර්ණයෙන් අපට නොපෙන්වයි. නමුත් අපේ ජීවිත සුවඳවත් වේවායි යන්න ඇගේ ප්‍රාර්ථනාවයි. සමාජයේ ඇසට නොපෙනී බොහෝ විට සැඟව යන ආදරණීය චරිතයකි ඈ.
Leave a Reply