අපි මීට කලින් කතා කලානේ කොහොමද හරියට ගෙදර තියෙන ෆ්‍රිජ් එක පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඔය ෆ්‍රිජ් එක වගේම තවත් භාණ්ඩයක් තමයි වොෂින් මැෂින් එක නැතිනම් රෙදි සේදුම් යන්ත්‍රය කියන්නේ. සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකක් වගේම පරාසයක මිල ගණන් නියම වෙලා තියෙන, එක කාලෙකදී ලක්ෂරි අයිටම් එකක් විදියට සැලකුණු, හැබැයි දැන් ඔය මධ්‍යම පංතියෙන් උඩ ඕනම ගෙදරක ගොඩක් වෙලාවට දකින්න ලැබෙන අයිටම් එකක් තමයි වොෂින් මැෂින් එක. හැබැයි දැන් තියෙන ආර්ථික අර්බුදයත් එක්ක නම් ෆ්‍රිජ්, ටීවී වගේ විදුලි උපකරණ වගේම වොෂින් මැෂින් එකත් අස්ප ගණන් ගිහින් තියෙන්නේ. ඉතින් ඒ හින්දම තමයි ගෙදර තියෙන වොෂින් මැෂින් එක උපරිම කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි කරලා, අවම බලශක්තියකින්, උපරිම වැඩ කොටසක් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම, වොෂින් මැෂින් එකේ ආයුකාලය රැකගන්න එකත් අන්න ඒ ප්ලෑන් එකේම කොටසක් තමයි.
දැන් ඔය වොෂින් මැෂින් ගැන කතා කරනකොට අපි මීට කලින් කතා කරලා තියෙනවා කොහොමද තමන්ට ගැලපෙන හොඳම වොෂින් මැෂින් එකක් මිලදී ගන්නේ කියලා. අද කතා කරන්න යන්නේ, එහෙම මිලදී ගත්තු තමන්ට ගැලපෙන වොෂින් මැෂින් එක කොහොමද හරිම විදියට, දීර්ඝ කාලයක් පවතින විදියට, අඩු බලශක්තියක් වැය වෙන විදියට පාවිච්චි කරන්නේ කියලා තමයි!
01. පොකැට් චෙක් කරන්න
මේක වොෂින් මැෂින් එකට වගේම තමන්ගේ හෝදන රෙදි වලටත්, තමන්ටත් හිතකර කාරණයක්. ඒ තමයි, රෙදි ටික හෝදන්න කලින්, ඔය කලිසම් කමිස අනං මනං වල තියෙන පොකට් එහෙම හොඳට චෙක් කරලා බලන එක. ගොඩක් වෙලාවට අපි අමතක වෙලා සාක්කු වල සල්ලි, කාසි, හැට්ට කටු, පෙන් ඩ්‍රයිව්, ලයිටර්, හෙඩ්සෙට් වගේ එව්වා විතරක් නෙවෙයි, සමහර වෙලාවට ස්මාට්ෆෝන් පවා දාලා වොෂින් මැෂින් එකට දානවා. ඉතින් ඔය සමහර විට ටිෂූ, ප්ලාස්ටික් මොනවා හරි වගේ දෙයක් තියෙන එකෙන් අපේ ඇඳුම් වලට හානි වෙනවා, ආයෙමත් හෝදන්න වෙනවා. හැබැයි, ඔය බරසාර ලෝහමය දේවල් එක්ක එහෙම රෙදි දැම්මහම, ඒකෙන් වොෂින් මැෂින් එකේ යාන්ත්රණයට හානි වෙන්නත් ඉඩ තියෙනවා.
02. ඕවර්ලෝඩ් කරනු එපා
සාමාන්‍යයෙන් ඔය වොෂින් මැෂින් විකුණනකොට වුණත් යම් කිසි ධාරිතාවයක් ගැන සඳහන් කරනවනේ. ආන්න ඒ ගැන දැනුවත්ව ඉන්න ඕන මුලින්ම. ඒ කියන්නේ වොෂින් මැෂින් එකක් ගන්න කලින්ම හිතන්න ඕන තමන්ට කොයි තරම් රෙදි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් හෝදන්න වෙනවද කියලා. ඒ කොහොම වෙතත්, වොෂින් මැෂින් එකකට රෙදි දානකොට, කට ගාවට එන්න පුරවලා හරියන්නෙ නෑ. එහෙම රෙදි පුරවන එකෙන් වෙන්නේ එකක් ඒ රෙදි එකක්වත් හරියට හේදෙන්නෙ නැති එක. අනික, වොෂින් මැෂින් එක ඉක්මනටම රෙපයාර්ස් වලට දෙන්න සිද්ධ වෙන එක. මොකද, වොෂින් මැෂින් එකේ මෝටරේටත් අදින්න පුළුවන් ධාරිතාවක් තියෙනවනේ. ඒ නිසා, ලොකු රෙදි කන්දක් තියෙනවා නම් ඒක කිහිප පාරකට හෝදනවා මිසක් එක පාර වොෂින් මැෂින් එකෙන් හෝදන්න යන්න එපා. ඒ වගේම, ඔය සෑහෙන්න බරසාර, ඝනකම වැඩි, දැවැන්ත බෙඩ්ෂීට්, කාපට් එහෙම වොෂින් මැෂින් එකෙන් හෝදනකොට පොඩ්ඩක් බලන්න වෙනවා. මොකද, සමහර වෙලාවට එක බෙඩ්ෂීට් එකක් වුණත් බර වැඩි නම් වොෂින් මැෂින් එකට හෝදන්න අමාරු වෙන්න පුලුවන්. ඕවර්හීට් වෙන්නත් පුලුවන්.
03. හරි ප්‍රමාණෙට ඩෝස් එක
මේ කියන්නේ වෙන මොනවත් ගැන නෙවෙයි, වොෂින් මැෂින් එකට දාන වොෂින් පව්ඩර් ඩෝස් එක ගැන. දැන් සාමාන්‍යයෙන් ඔය වොෂින් පව්ඩර් වුණත්, වොෂින් ලික්විඩ් වුණත් ගත්තහම බෝතලේ හෝ පැකට් එකේ ගහලම තියෙනවා පාවිච්චි කරන්න ඕන ප්‍රමාණය. හැබැයි සමහරුන්ට මේක හිතට මදි. ඒ ගොල්ලන්ට හිතෙනවා, මේකෙන් වැඩි ප්‍රමාණයක් දාගත්තොත්, වැඩියෙන් හොඳට හේදෙයි කියලා. ඉතින් අර අනුමත ප්‍රමාණය වගේ දෙගුණයක් දෙයියනේ කියලා මැෂින් එකට දාලා රෙදි ටික හෝදනවා. එතකොට රෙදි ටික වැඩි හොඳට හේදෙනවද? නෑ, එහෙම නෑ. ඇත්තටම වෙන්න පුලුවන් දේ තමයි ඕනෑවට වඩා ඩිටර්ජන් පව්ඩර්, ඩිටර්ජන් ලික්විඩ් දැම්මහම රෙදි වලට හානි සිද්ද වෙන එක. ඒ විතරක් නෙවෙයි, වොෂින් මැෂින් එකේ බට වලට, එතකොට සමහර වෙලාවට වොෂින් මැෂින් එකේ මෝටරේට පවා මේ වැඩිපුර වොෂින් පව්ඩර්/ලික්විඩ් දාන එකෙන් හානි සිද්ධ වෙන්න පුලුවන්. ආන්න ඒ නිසා, පමණ දැනගෙන, හරි ඩෝස් එක පාවිච්චි කරන්න!
04. රෙදි ප්‍රමාණය සහ වොෂ් සෙටින්ග්ස්
දැන් අපි හිතමු හෝදන්න තිබ්බේ තුවායයි යට ඇඳුම් දෙකකුයි විතරයි කියලා. එතකොට අපි කරන්න ඕන ඔය කෑලි තුන දාලා හෝදල, ස්පිනර් එකෙන් වේලලා ගන්න එකද? නෑ. ඒකෙන් බලශක්තියත් අපතේ, වොෂින් මැෂින් එකේ කැරකෙන වෙලාවත් අපතේ. අන්න ඒ නිසා, අපි උඩින් කිව්වනේ වොෂින් මැෂින් එක ඕවර්ලෝඩ් කරන්න එපා කියලා. ඒකේ අනික් පැත්තත් මතක තියාගන්න ඕන. ඒ කියන්නේ වොෂින් මැෂින් එක අන්ඩර්ලෝඩ් කරන්නත් එපා. වෙන විදියකට කියනවා නං, ඇඳුම් කෑලි දෙකක් තුනක් දාලා ඕක කරකවලා ගන්න එපා. ප්‍රමාණවත් ඇඳුම් ටිකක් හෝදන්න එකතු වෙනකල් ඉන්න.
ඊට පස්සේ, දැන් ඔය ගෙදරට අඳින සාමාන්‍ය ඇඳුම් ටිකක්, එහෙමට කිළුටකුත් නැතුවත් වොෂින් මැෂින් එකට දැම්මහම සමහරු වොෂින් මැෂින් එකේ සෙටින්ග්ස් වලින් සිලෙක්ට් කරන්නේ ඒකේ තියෙන පවර්ෆුල්ම සේදුම් ආකාරය. ඔය පරණ තාලේ වොෂින් මැෂින් එකක වුණත් නෝමල් වොෂින්, ස්ට්‍රෝන්ග් වොෂින් කියලා දෙකක් තියෙනවා. ආන්න ඒ දෙකෙන් නෝමල් සෙටින්ග් එක තමයි සාමාන්‍යයෙන් හෝදනකොට තියෙන්න ඕන. ස්ට්‍රෝන්ග් එක දාන්න පුලුවන් ටිකක් කිළුටු වැඩි, හෙවි ලෝඩ් එකකට. එහෙම නැතුව හැම එකටම ස්ට්‍රෝන්ග් වොෂ් සෙටින්ග්ස් වලින්ම හෝදන්න යන එකත් ශක්තිය අපතේ යැවීමක්!
05. රෙදි හෝදලා ඉවර වෙලා
සාමාන්‍යයෙන් එදිනෙදා ගෙදරට අඳින රෙදි එහෙම හේදුවා කියලා ඉතින් ලොකුවට කිළුටු නැහැනේ. හැබැයි ඉතින් පොඩි ළමයි එහෙම ඉන්න ගෙවල් වල නං මේ තත්වය වෙනස් වෙනවා. ආන්න ඒ නිසා, සෑහෙන්න කිළුටු තියෙන රෙදි කන්දක් විතර හේදුවට පස්සේ, කොහොමත් වොෂින් මැෂින් එකේ ඇතුළට ක්ලීනින් පාරක් දෙන්න වෙනවා. හොඳටම ඇතුළත ක්ලීන් කරගන්න විදිය අපි ඊලඟට කියනවා. සාමාන්‍යයෙන් පිරිසිදු වියළි රෙදි කෑල්ලක් අරගෙන, වොෂින් මැෂින් එකේ ඩ්‍රම් එක ඇතුළත හොඳින් පිසදැම්මා නම් හරි. ඒ ඇරෙන්න, රෙදි ටික වොෂ් කරලා ඉවර වුණු ගමන් වොෂින් මැෂින් එකේ පියන වහන්නෙ නැතුව, පොඩ්ඩක් ඇරලා තියන්න. වේලෙන්න දෙන්න. හැබැයි ඉතින් ඔය කැරපොත්තො, හූනෝ එහෙම ඉන්න තැනක නම් වොෂින් මැෂින් එක තියෙන්නේ, ඒක හරියන වැඩක් නෙවෙයි.
06. නිරන්තරයෙන් පිරිසිදු කරන්න
දැන් මෙහෙම කියපු ගමන් කෙනෙක් අහන්න පුලුවන්, සබන් කෑල්ලක් අමුතුවෙන් පිරිසිදු කරන්න තියෙනවද, ඒ වගේ වොෂින් මැෂින් එකකුත් අමුතුවෙන් පිරිසිදු කරන්න ඕනැද කියලා. ඕනෑ තමයි. දැන් වොෂින් මැෂින් එකක් ගත්තහම, ඇඳුම් වල තියෙන කුණු කිළුටු ඔක්කොම වතුරෙන් පිරිසිදු වෙලා ඉවත් වෙලා යනවා ඒක හරි. හැබැයි, ඒ වගේම වොෂින් මැෂින් එකක තියෙන ෆිල්ටර් එකෙන් ඔය නූල් කෑලි සහ අනෙකුත් කුණු කොටස් එහෙමත් ෆිල්ටර් වෙනවා. හැබැයි එහෙම සම්පූර්ණයෙන්ම පිරිසිදු වුණු රෙදි ටික වොෂින් මැෂින් එකක් ගත්තා කියලා, වොෂින් මැෂින් එක සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙන්නෙ නෑ. ඒ නිසා තමයි කාලෙකට වරක් වොෂින් මැෂින් එක පිරිසිදු කරන්න අවශ්‍ය වෙන්නේ. මේක කරන්න පුලුවන් වොෂින් මැෂින් එකට වතුර පුරවලා, ඒකට සුදු විනාකිරි කොප්පයක් එකතු කරලා හොඳට කැරකෙන්න ටයිමර් එක සෙට් කිරීමෙන්. ඒකෙන් එක දිගට වොෂින් මැෂින් එක පාවිච්චි කරනකොට ඇතිවෙන අනවශ්‍ය ගන්ධයන් එහෙම ඉවත් වෙනවා.
07. සර්විස් එකක් දෙන්න/මලකඩ සුද්ධ කරන්න
මේක ඉතින් ඕනම මැසිමකට පොදු දෙයක්නේ. ඒ තමයි කාලෙකට සැරයක් හොඳ සර්විස් එකක් දෙන එක. අන්න ඒ ප්‍රතිපත්තිය වොෂින් මැෂින් එකටත් අදාළයි. කාලෙකට සැරයක්, ඒ කියන්නේ මාස හයකට සැරයක් විතර වත්, වොෂින් මැෂින් එකට හොඳ සර්විස් එකක් දෙන එක හොඳයි. හැබැයි ඒක අපිට පුහුණුවක් නැතුව තනියම කරන්න බෑ. ඒකට අදාළ සේවා කාර්මික ශිල්පියෙක්ගේ සහාය අවශ්‍යයි. ඇත්තටම එහෙම සර්විස් කරන්න ලොකු වියදමක් යන්නෙ නෑ. හැබැයි එහෙම සර්විස් කරන එකෙන්, වොෂින් මැෂින් එකේ දීර්ඝකාලීන පැවැත්ම තහවුරු වෙනවා කියන්න පුලුවන්. මෝටරේ ඇතුළු කොටස් වුණත් සෑහෙන්න කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ගැටළු මතුවෙන්නෙ නැතුව.
ඒ වගේම තව කාරණයක් තමයි වොෂින් මැෂින් එකේ මළකඩ බැඳෙන එක. ඕක පියවි ඇහැට පැහැදිලිව නොපෙනෙන්න පුලුවන්. හැබැයි හෝදපු රෙදි වල රතු පාට පැල්ලම් එන්න ගත්තහම තේරුම් ගන්න පුලුවන් වොෂින් මැෂින් එකේ මොනවහරි පාට්ස් වල මලකඩ බැඳිලා කියලා. ආන්න එතකොට ඒ මළකඩ වහාම පිරිසිදු කරන්න ඕන.
Leave a Reply