ලයිට් බිල අඩුකරගෙන ගෙදර ෆ්‍රිජ් එක හරියට පාවිච්චි කරන්න උපදෙස් කීපයක්!

දැන් ඔය refrigerators, එහෙම නැතිනම් හැමෝම කියන විදියට ෆ්‍රිජ් එක තියෙනවනේ. දැන් ඔය ෆ්‍රිජ් එකක් ගත්තහම තාමත් ලංකාවේ ඕනම ගෙදරකට මිලදී ගන්න පුලුවන් ලෙවල් එකේ භාණ්ඩයක් නෙවෙයි තමයි. හැබැයි එහෙම වුණාට ඇත්තටම ෆ්‍රිජ් එකක් කියන්නේ මීට අවුරුදු තිහකට හතළිහකට කලින් තිබුණා වගේ ලක්ෂරි අයිටම් එකකුත් නෙවෙයි හැබැයි. මේ මොහොත වෙනකොට නම් අනෙක් ඉලෙක්ට්‍රික් බඩු වගේම ෆ්‍රිජ් එකකුත් අස්ප ගණන් වලට ගිහිල්ලා තමයි. හැබැයි ඒකට හේතුව ලංකාවේ තියෙන උද්ධමනය. හැබැයි ඒ නිසාම තමයි අපි ගෙදර තියෙන ෆ්‍රිජ් එකක් හරි විදියට පාවිච්චි කරලා, ඒ ෆ්‍රිජ් එකේ ආයුකාලය වැඩි කරගන්න අවශ්‍ය වෙන්නෙත්. සාමාන්‍යයෙන් ඉතින් ගෙදරක තියෙන ෆ්‍රිජ් එකක් අඩුම අවුරුදු දහයක් පහළොවක් වත් පාවිච්චි වෙනවනේ. හැබැයි ඔය පොඩි පොඩි රෙපයාර් එකක් එක්ක, ක්‍රමානුකූලව කරන සර්විස් එකක් එක්ක ෆ්‍රිජ් එකක් කිසිම කරදරයක් නැතුව අවුරුදු තිහ තිස්පහ අදිනවත් අපි ඕන තරම් දැකලා තියෙනවා.

ආන්න ඒ නිසා අපි හිතුවා, ගෙදර තියෙන ෆ්‍රිජ් එක උපරිම ප්‍රයෝජනය අරගෙන, කරන්ට් එක කන්නෙ නැතුව, උපරිම කාර්යක්ෂමතාවයකින්, උපරිම ආයුකාලයකින් සහ ලෙඩ අඩුවෙන් පාවිච්චි කරන්න වැදගත් වෙන විශේෂ ෆ්‍රිජ් ටිප්ස් කිහිපයක් ලබාදෙන්න!

1. පරණ ෆ්‍රිජ් වලට අළුත් ෆ්‍රිජ් එකක්

ඔව්, ගෙදර තියෙන ෆ්‍රිජ් එක පූර්ණ කාර්යක්ෂමතාවයෙන්, අඩු විදුලි නාස්තියකින් පාවිච්චි කරන්න නම් කළ යුතු දේ තමයි, ගෙදර තියෙන්නේ පරණ මොඩ්ල් ෆ්‍රිජ් එකක් නම්, ඒ වෙනුවට අළුත් මොඩ්ල් එකේ ෆ්‍රිජ් එකක් ගේන එක. ගෙදර තියෙන පරණ ෆ්‍රිජ් එක සාමාන්‍යයෙන් අවුරුදු දහයක් පහළොවක් වුණත් පාවිච්චි කරනවා කියලා අපි කිව්වනේ. හැබැයි ඉතින් අවුරුදු විස්සක් විතර පැන්නට පස්සේ ලොකු රෙපයාර් එන්න පටන් ගත්තහමත්, රෙපයාර් කර කර ඉන්නවා කියන එක තේරුමක්ම නැති දෙයක්. ආන්න එතකොට රෙපයාර් එකට යනවට වඩා හොඳයි අළුතෙන් ෆ්‍රිජ් එකක් ගන්න එක. හැබැයි ඒකෙන් ඊට වඩා වාසි තියෙනවා. අළුත් ෆ්‍රිජ් වල තාක්ෂණය නවීනයි. ඒ තාක්ෂණය සැලසුම් කරලා තියෙන්නෙම අවම බලශක්තියකින්, උපරිම කාර්යක්ෂමතාවයක් ලබා දෙන විදියට. එතකොට දීර්ඝ කාලීනව බලනකොට පරණ ෆ්‍රිජ් එක ගාණකට විකුණලා අලුත් මොඩ්ල් ෆ්‍රිජ් එකක් ගන්න එක ලාභයක්.

2. ලොකේෂන් ලොකේෂන් ලොකේෂන්

ගෙදර ෆ්‍රිජ් එකෙන් උපරිම ප්‍රයෝජනය ලබාගන්න නම්, ෆ්‍රිජ් එක ගෙදර තියෙන්නේ කොතැනද කියන එකත් අතිශයින්ම වැදගත් කාරණයක්. උදාහරණයක් විදියට ගෙදර ෆ්‍රිජ් එක තියෙන්නේ නිතර රත් කරන්න සිද්ධ වෙන උදුනකට එහා පැත්තේ නම්, අවන් එකට එහා පැත්තේ නම්, ඒක ප්‍රශ්නයක්. එතකොට සෘජුවම හිරු එළිය වැටෙන තැනක නම් ෆ්‍රිජ් එක තියෙන්නේ, ඒත් ප්‍රශ්නයක්. මොකද, ෆ්‍රිජ් එකට අනවශ්‍ය ධාරිතාවයකින් එතකොට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙන නිසා. ඒ වගේම, ෆ්‍රිජ් එකට අධික උෂ්ණත්වයෙන් හානි සිද්ධ වෙන්නත් පුලුවන්. ඒ වගේම, ගෙදර ෆ්‍රිජ් එක තැන්පත් කරනකොට අර බිත්තියකට ඇලිලා, මුල්ලකට හේත්තු කරලා තියන්න හොඳ නෑ. ඊට වඩා ෆ්‍රිජ් එකට ප්‍රමාණවත් වාතාශ්‍රයක් ලැබෙන විදියට, බිත්තියෙන් ප්‍රමාණවත් දුරකින් තමයි තියන්න ඕන. හොඳම ක්‍රමේ තමයි බිත්ති මුල්ලකට ෆ්‍රිජ් එක තල්ලු කරන්නෙ නැතුව බිත්තියක් මැදක, බිත්තියෙන් ප්‍රමාණවත් දුරක් ඈතින් ෆ්‍රිජ් එක තැන්පත් කිරීම.

3. උෂ්ණත්වය

ෆ්‍රිජ් එකකින් කරන්නේම දේවල් ශීත කරලා කල් තියාගන්න පුලුවන් විදියට ගොඩ දාලා දෙන එකනේ. හැබැයි අපි දැනගන්න ඕන ෆ්‍රිජ් එකේ තියෙන්න ඕන උෂ්ණත්වය කොහොමද කියලත්. සාමාන්‍යයෙන් ඔය ෆ්‍රිජ් හදන නිෂ්පාදකයෝ කියන්නේ ෆ්‍රිජ් එකක් ක්‍රියාත්මක වෙන්නේ සෙල්සියස් අංශක 5 ත්, සෙල්සියස් අංශක සෘණ 18 ත් අතර කියලා. එතකොට වැඩි වෙන හැම අමතර සෙල්සියස් අංශක එකකටම වැඩිපුර හය ගුණයකින් වගේ විදුලිය භාවිතා වෙනවලු. ආන්න ඒ සූත්‍රය දැනගෙන හිටියහම, අනවශ්‍ය විදියට විදුලිය නාස්ති නොවී ෆ්‍රිජ් එකෙන් වැඩ ගන්න පුලුවන්.

4. කරුණාකරලා දොර වහන්න

දැන් අපි පුංචි කාලේ නං එක එක හේතු වලට ෆ්‍රිජ් එක අරිනවා. අර ෆ්‍රිජ් එක ඇතුළේ තියෙන ලයිට් එක පත්තු වෙලාම තියෙනවද බලන්න, ෆ්‍රිජ් එකේ දොර වැහෙනකොට අර දොරේ දාරේ තියෙන රබර් ෆ්‍රේම් එක කොහොමද ගාණට ඇලවෙන්නේ බලන්න. හැබැයි ඔය වගේ නිකම් හේතු වලට ෆ්‍රිජ් එක අරින්න වහන්න ගිහින් අම්මගෙන් බැණුම් අහගෙනත් තියෙනවනේ. ඇත්තටම මේ ෆ්‍රිජ් එකේ දොර අරින වහන එක සීමා කරන්න වෙනවා, ෆ්‍රිජ් එකේ උපරිම කාර්යක්ෂමතාවය ලබාගන්න නම්. උඩ කියලා තියෙන උෂ්ණත්වය සම්බන්ධ කාරණාව එතනට අදාළයි. ඒ නිසා ෆ්‍රිජ් එක ඇරලා නිකම්ම වැහෙන්න තල්ලු කරලා එන්නෙ නැතුව පොඩ්ඩක් අතින් වහලම එන්න. එහෙම නැතුව ෆ්‍රිජ් දොර බාගෙට ඇරිලා තියෙනවා කියන්නේ බලශක්තිය හිතාගන්න බැරි විදියට අපතේ යනවා කියන එක. එතකොට, ෆ්‍රිජ් එක එක පාරින් ඇරලා කරගන්න පුලුවන් දේ එක පාරම කරගන්නවා මිසක්, විනාඩි පහෙන් පහට පස් පාරක් ෆ්‍රිජ් එක අරින්න තියා නොගන්න. එතකොට එක පාරින් ෆ්‍රිජ් එකේ වැඩ කරගන්න කියලා, ෆ්‍රිජ් දොර ඇරලා තියාගෙන බෝංචි කඩන්න, ෆ්‍රිජ් දොර ඇරලා කේක් කෑල්ලක් කපාගෙන පිහියත් හෝදලාම කේක් එක ආයෙ ඇතුළට දාලා වහන්න එහෙමත් නොයන්න. ෆ්‍රිජ් එක නිකරුණේ අරින වාර ගාණ වගේම, ඇරලා නිකරුණේ තියන වෙලාවත් අඩු කරගන්න වෙනවා.

5. ඩීෆ්‍රොස්ට් ට්‍රික් එකක්

දැන් අපි ෆ්‍රිජ් එකේ ඩීප් ෆ්‍රීසර් එකේ තියෙන මොකක් හරි අරගෙන, ඒක ඩීෆ්‍රොස්ට් කරගන්නෙ කොහොමද? විවිධ ක්‍රම තියෙනවා. හැබැයි හදිසියක් නැතිනම් අපි කරන ලේසිම වැඩේ තමයි ඒක එළියෙන් තියලා තියන එක. හැබැයි වඩාත් පහසුවෙන් ඩීෆ්‍රොස්ට් කරගන්න, එහෙම නැතිනම් සීතලෙන් අයිස් මිදුණු ගතිය නැති කරගන්න කරන්න පුලුවන් දෙයක් තමයි ඒක ඩීප් ෆ්‍රීසර් එකෙන් අරගෙන සාමාන්‍ය ෆ්‍රිජ් කොටසේ තියන එක. එතකොටත් අයිස් මිදුණු ගතිය නැති වෙනවා. හැබැයි එකක්. දැන් අපි කියමු මාළු එකක් කියලා. ඒක නිකම්ම පහළ ෆ්‍රිජ් එකේ තිබ්බොත්, ඒකේ වතුර දියවෙලා පහළට වැක්කෙරෙන්න පුලුවන්. ඒ නිසා භාජනයක තියලා තියන්න. ඒවා කොමන් සෙන්ස්නේ. සමහරු කියනවා එහෙම කරනකොට ෆ්‍රිජ් එකේ ශීතල පවත්වා ගන්නත් ඒ ඩීප් ෆ්‍රීසර් එකේ තියලා ගත්තු දේවලින් පොඩි දායකත්වයක් ලැබෙනවා කියලා.

6. රස්නෙ පිටින් දාන්න එපා

දැන් අපි හිතමු අපි හදනවා කස්ටර්ඩ් පුඩිමක්. කස්ටර්ඩ් පුඩිමක් වගේ එකක් හදපු ගමන් ඒක රස්නෙයි කියන එක ඕනම කෙනෙක් දන්නවනේ. එතකොට අපිට එක්කෝ එළියෙන් තියලා අමතක වෙයි කියලා හිතෙන නිසා, එහෙම නැතිනම් ඉක්මනට කූල් කරගෙන කන්න ඕන කමට අපි ඒක දානවා රස්නෙ පිටින්ම ෆ්‍රිජ් එකේ. එතකොට ඒක අවුල්ද? මෙහෙමයි, පුඩිමට නම් ලොකු අවුලක් වෙන එකක් නෑ. හැබැයි මතක් කරලා බලන්න අපි උඩ කියපු උෂ්ණත්ව සූත්‍රය. එතකොට වෙන්නේ ඒ තියෙන රස්නෙන් ෆ්‍රිජ් එකේ ඇතුළත උෂ්ණත්වයත්, සමහර විට අනෙක් ෆ්‍රිජ් එක ඇතුළේ තියෙන දේවල උෂ්ණත්වයත් වැඩි වෙන එක. ඉතින් වැඩියෙන් කරන්ට් එක යනවා. ආන්න ඒ නිසා, ඕනම උණුසුම දෙයක් කාමර උෂ්ණත්වයේ තියලා, ඒ උණුසුම නැති වුණහම තමයි ෆ්‍රිජ් එකට දාන්න ඕනේ.

7. ඩීප් ෆ්‍රීසර් එකේ අයිස් හොඳයිද?

සාමාන්‍යයෙන් ඔය අළුත් තාක්ෂණයෙන් එන නවීන ෆ්‍රිජ් වල නම්, ඩීප් ෆ්‍රීසර් එකේ ඩීෆ්‍රොස්ටින්ග් ක්‍රමවේදයකුත් තියෙනවා. හැබැයි ටිකක් පරණ ෆ්‍රිජ් වල ඒවා නෑ. දැන් ඩීප් ෆ්‍රීසර් එක ගොඩක් එක දිගට ක්‍රියාත්මක වෙනකොට අයිස් බැඳෙනවනේ. ඒ කියන්නේ අර හිම වගේ අයිස් තට්ටුවක් හතර වටේම බැඳෙනවා. එතකොට වෙන ප්‍රශ්නේ මේකයි. ෆ්‍රිජ් එකේ ඩීප් ෆ්‍රීසර් එකේ වාතාශ්‍රය ගෙනියන වා කවුළුත් ඒ අයිස් තට්ටුවෙන් අවහිර වෙනවා. එතකොට ඩීප් ෆ්‍රීසර් එක ශීතල කරන්න වැඩිපුර වෙහෙසක් කම්ප්‍රෙසර් එක දරන්න ඕන. විදුලියත් වැඩි පුර වැය වෙනවා. ආන්න ඒ නිසා, නිරන්තරයෙන්ම ඩීප් ෆ්‍රීසර් එක ඩීෆ්‍රොස්ට් කරන එක කළ යුතු දෙයක්. ඒක කරන්න පහසුම ක්‍රමය තමයි ලී හරි වානේ හරි හැන්දකින් හෝ ස්පැටියුලා එකකින් ඒ අයිස් හූරලා ඉවත් කරන එක.

8. ප්‍රයිවට් බස් එකක් නොවෙන බව මතක තියාගන්න

දැන් වෙන රටවල වගේ නෙවෙයි, ලංකාවේ බස් වල නං ආයෙ ඔළුවට උඩින් ඉතුරු වෙන ඉඩටත් කාවහරි ඔබලා පැක් කරගෙනනේ යන්නේ. හැබැයි ෆ්‍රිජ් එකකත් ඒ විදියට පැක් කරලා බඩු අහුරන්න යනවා කියන්නෙම ෆ්‍රිජ් එකේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා කියන එක. ඒ නිසා මුලින්ම හිතන්න ඕන තමන්ට ෆ්‍රිජ් එකේ කොයි තරම් බඩු අහුරන්න වෙනවද කියන එක. ඒකට ඉතින් ගෙදර ඉන්න සාමාජිකයෝ ප්‍රමාණය ගැන පවා හිතන්න වෙනවා. ඊට පස්සේ අන්න ඒ ප්‍රමාණයේ ධාරිතාවයක් තියෙන ෆ්‍රිජ් එකක් ගන්න ඕන. කොහොම කළත්, ෆ්‍රිජ් එකේ සම්පූර්ණ ඉඩෙන් 2/3 ක් විතරක් පිරෙන්න දේවල් අහුරන්න ඕන. ඒකත් හරි කළමනාකරණයකින් අහුරනවා මිසක්, ගන්න ගන්න දේ ෆ්‍රිජ් එකට ඔබලා හරියන්නෙ නෑ. එහෙම නැතිනම් ෆ්‍රිජ් එක ඇතුළේ වායු සංසරණයට බාධා වෙනවා.

මේ ඇරෙන්න ෆ්‍රිජ් එකක් හරියට පාවිච්චි කරන්න නම්, ෆ්‍රිජ් එකක බඩු අහුරන්න ඕන කලාවත් ඉගෙන ගන්නම වෙනවා. ආන්න ඒ ගැන අපි ඊළඟ දවසක කතා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *