පාසලේ විද්‍යාව විෂය ලේසියෙන්ම පාස් වෙන්න උපදෙස් හතක්

අපි අපේ Lifie වෙබ් අඩවියෙන් මීට කලින් කතා කළා ගණිතය ලේසියෙන්ම පාස් වෙන්න ඔයාට කරන්න පුළුවන් දේවල් හතක් ගැන. අද අපි කතාකරන්න හිතුවේ ගොඩක් අය අකමැතිම විෂයක් වන විද්‍යාව වගේ විෂයක් ලේසියෙන්ම පාස් කරගන්නේ කොහොමද කියන එක ගැනයි.

හැමදාම අඩු ලකුණු ගණිතයටද? එහෙනම් මේ ටිප්ස් 7 ඔයාටමයි

01. ප්‍රායෝගික ජීවිතයත් එක්ක ගලපාගන්න

විද්‍යාව කියන්නේ සාමාන්‍යයෙන් අපේ ජීවිතයත් එක්ක බැඳුනු විෂයක්. විශේෂයෙන්ම විද්‍යාව කියන්නේ සාමාන්‍යයෙන් ඉතිහාසය, ගණිතය වගේ නෙවෙයි, නිතරම නව සොයාගැනීම් එක්ක වෙනස් වෙන විෂයක්. සමහර වෙලාවට අපිට නොදැනුණාට අපේ ජීවිතයටත් මේ විද්‍යාව ගොඩක් සම්බන්ධයි. ඉතින් එදිනෙදා ජීවිතයේ කරන පොඩි පොඩි ක්‍රියාකාරකම් වලට විද්‍යාව සම්බන්ධ කර​ල හිතන්න ගත්තම ලේසියෙන්ම විද්‍යාව පාඩම් මතක තියාගන්න පුළුවන්.

02. උදාහරණයන් එක්ක මතක තියාගන්න

අපි මෙතනදි කතා කරන්න හිතුවේ මේකයි… විශේෂයෙන්ම අපි කලිනුත් කිව්වනෙ විද්‍යාව කියන්නේ අපේ ජීවිතයත් එක්ක බැඳුනු විෂයක් කියල. ඒ හින්දම ඕනේ තරම් අපිට හම්බෙනවා ජීවිතය ඇතුළේ මේ විද්‍යාවට සම්බන්ධ අවස්ථා. උදාහරණයක් විදියට කිව්වොත් නිව්ටන්ගේ තුන්වන නියමය වෙන “සෑම ක්‍රියාවකට සමාන එහෙත් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී” යන්න මතක තියාගන්න ඔයාට පුළුවන් ජීවිතය තුළ ඒ සම්බන්ධ දෙයක් මතක් කරගන්න. ඒක ගොඩක් ලේසි ක්‍රමයක් ඉක්මණින් මතක තියාගන්න.

03. සංකීර්ණ වචන නැතුව සරලව පාඩම් කරන්න

අපි මෙතන කතා කරන්න යන්නේ මේකයි… සාමාන්‍යයෙන් විද්‍යාව වගේ විෂයක අපි පාවිච්චි කරන්නේ ගොඩක් සංකීර්ණ වචන. පීඩනය, උත්ස්වේදනය, භ්‍රමණය වගේ අමාරු වචනනේ තියෙන්නේ විද්‍යාවේ. ඇත්තටම ගත්තොත් මේ වචන වල තියෙන තේරුම ඊට වඩා සරලයි. ඉතින් අර වචනය කෙලින්ම පාඩම් කරනවත් එක්ක ඔයාට ඒ වචනයේ සරල තේරුමත් පාඩම් කරල හිතට ගන්​න පුළුවන්. එතකොට ලේසියෙන්ම මතක හිටිනවා මොන තරම් අමාරු වචනයක් වුණත්.

04. චිත්‍ර, රූප මගින් මතක තියාගැනීම

මේකත් ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා ඔයාට මතක තියාගන්න අමාරු සංකල්ප මතක තියාගන්න. අපි දැන් ඉස්සෙල්ලත් කිව්වනේ නිව්ටන්ගේ නියමයන් ගැන. ඔයාට පුළුවන් ඒ නියම තුන පාඩම් කරද්දි ඒකට අදා​ළ පින්තුරයක් හරි, එහෙම නැත්නම් අතින් පාට පැන්සල් එහෙම පාවිච්චි කරලා ඇඳගත්ත චිත්‍රයක් හරි හොඳින් අධ්‍යයනය කරන්න. ඒක ගොඩක් ලේසියි කෙලින්ම මතක තියාගන්න උත්සාහ කරනවට වඩා.

05. Mind Map පාවිච්චි කරන්න

අපි මීට කලින් Mind Maps ගැන කතා කළා ඔයාලට මතක ඇති. ඒ ලිපිය මිස් වුණා නම් ඔයාලට මේ ලින්ක් එකෙන් කියවන්න පුළුවන්. ඇත්තටම විද්‍යාව වගේ විෂයකට සුදුසුම ක්‍රමය තමයි Mind Maps භාවිතා කිරීම. ඒකේ ඔයාට රූප, චිත්‍ර, සරල භාෂාවෙන් උදාහරණයන් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

මොනවද මේ Mind mapping කියන්නේ? කොහොමද ඒක කරන්නේ?

06. කට පාඩමින් මිදෙන්න

දැන් ගොඩක් අය විද්‍යාව ෆේල් වෙන්න හේතුව තමයි කටපාඩම් කිරීම. විද්‍යාව කියන්නේ නිකම්ම කටපාඩම් කිරීමෙන් පාස් වෙන්න පුළුවන් විෂයක් නෙමෙයි අනිත් විෂයන් වගේ. විද්‍යාව කියන්නෙ අදා​ළ පාඩම් වල තියෙන දේවල් අපේ එදිනෙදා ජීවිතය වගේම අවට පරිසරයට සම්බන්ධ කරල අත්දැකීමෙන් වටහාගන්න ඕන විෂයක්. ඒ හින්දා ඔයා පුළුවන් තරම් මේ වගේ කටපාඩම් කිරීමේ ක්‍රම වලින් මිදෙන්න. මොකද විද්‍යාව පේපර් එකට ඒ විදිහ​ට පාඩම් කළොත් ඔයාට පාස්වෙන එක ටිකක් විතර අමාරු වෙයි.

07. Flash Cards

Flash Cards කියන්නෙත් අපි මීට කලින් කතාකරපු ගොඩක් ප්‍රයෝජනවත් ක්‍රමයක්. විශේෂයෙන්ම විද්‍යාව පාඩම් කරද්දි Flash Cards ක්‍රමයෙන් ඔයාට පුළුවන් එක පැත්‍තක අර සංකීර්ණ සමීකරණය ලියලා අනිත් පැත්තේ ඒකට සම්බන්ධ සරල උදාහරණය ලියන්න. එතකොට ඔයාට පුළුවන් මොනතරම් අමාරු දෙයක් වුණත් ලේසියෙන්ම මතක තියාගන්න.

 

ඉතින් මේ ටිප්ස් හත ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. මේ ටික හරියට කරගත්තොත් ඔයාට විද්‍යාවට ලකුණු ගන්න එකනම් අමාරු දෙයක් නොවේවි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *