ලාවුළු වලින් හදන්න පුලුවන් කෑම වර්ග 7ක්

දියවැඩියාවට, ශරීරයේ ප්‍රතිශක්තිකරණය වඩවන්න වගේම මස්පිඩු ශක්තිමත් කිරීමට මොළේ වර්ධනයට, අධි රුධිර පීඩනය අඩුකිරීමට බෙහෙවින් උදව් වෙන මේ රසම රස ලාවුළු ගෙඩියෙන් හදාගන්න පුලුවන් කෑම මොනවද කියලා බැලුවා. ඉතින් මේ ගෙනාපු රෙසිපි ඔයාලට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.

01. ලාවුළු මිල්ක්ශේක්

අවශ්‍ය ද්‍රව්‍ය:-
හොඳින් ඉදුණු ලාවුළු ගෙඩි 2
සීනි මේසහැඳි 4
ටින්කිරි මේසහැඳි 2
කිරි කෝප්ප 3

  • ලාවුළු වල මදය සූරා බ්ලෙන්ඩර් කප් එකට දාගන්න.
  • මේකට සීනි, ටින්කිරි, වැනිලා හා කිරි ටික දාගන්න.
  • මේක හොඳට බ්ලෙන්ඩ් කරලා ග්ලාස් වලට දාගන්න

02. ලාවුළු පුඩින්

අවශ්‍ය ද්‍රව්‍ය:-
හොඳින් ඉදුණු ලාවුළු ගෙඩි 2
කිරි කෝප්ප 2
ටින්කිරි කෝප්ප 1
සීනි කෝප්ප 1/2
ආමන්ඩ් ස්වල්පයක්
කජු ස්වල්පයක්

  • ලාවුළු මදය සූරා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • පෑන් එකට කිරි ටික දාලා රත් වෙන්න තියන්න.
  • මේකට ටින්කිරි ටිකත් දාගන්න.
  • ටින්කිරි ටික දාලා හැඳිගාමින් උණුකරගන්න.
  • වෙනම පෑන් එකකට සීනි ටික දාලා ලිපේ තියන්න.ටිකකින් වතුර මේසහැඳි 2ක් දාලා හැඳිගාන්න.
  • කැරමල් එක හැදීගෙන එනකොට ආමන්ඩ් හා කජු ටික දාගන්න.
  • ටිකකින් ලිපෙන් බාගන්න.
  • දැන් බ්ලෙන්ඩ් කරගත් ලාවුළු වලට උණුකරගත් කිරි ටික දාලා හොඳට බීට් කරගන්න.
  • මේක තික් වැඩි නම් උණුවතුර ටිකක් දාලා කලවම් කරගන්න.
  • දැන් පුඩින් බෝල් එකට මේක දාලා උඩින් කැරමල් කරගත් කජු හා ආමන්ඩ් ඉසගන්න.
  • පැය 2ක් ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න.

03. ලාවුළු රොටී

අවශ්‍ය ද්‍රව්‍ය:-
බාගෙට ඉදුණු ලාවුළු ගෙඩි 3
පාන්පිටි කෝප්ප 1
පොල් කෝප්ප 1
ලුණු ස්වල්පයක්
ලියාගත් රතුළූණු ගෙඩි 2
ලියාගත් අමුමිරිස් කරල් 2
ලියාගත් කරපිංචා ස්වල්පයක්

  • ලාවුළු ගෙඩි පලලා ඇට අයින් කරලා හිරමණෙන් ගාගන්න.
  • දැන් මේවා භාජනයකට දාලා වතුර ටිකක් දාලා පෙඟෙන්න තියලා මිරිකලා ගන්න.
  • මේකට පාන්පිටි, පොල්, ලුණු හා ලියාගත් සියල්ලම දාලා හොඳට අනාගන්න.
  • වතුර චුට්ටක් දාලා ඩෝ එක අනාගන්න.
  • දැන් මේකෙන් බෝල හදලා තුනී කරන්න.
  • රොටී තැටියකට දාලා දෙපැත්ත පුළුස්සාගන්න.

04. ලාවුළු අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය:-
හොඳින් ඉදුණු ලාවුළු ගෙඩි 2
කිරි කෝප්ප 1
හෙවික්‍රීම් මිලිලීටර් 500
ටින්කිරි මිලිලීටර් 300

  • ඇට අයින් කරලා ලාවුළු ටික හොඳට පොඩි කරගන්න.
  • මේකට කිරි ටික දාලා බ්ලෙන්ඩ් කරගන්න.
  • හෙවික්‍රීම් ටික ස්ටිෆ් වෙනකල් බීට්කරගන්න.
  • මේකට ටින්කිරි ටිකත් දාලා හොඳට බීට් කරගන්න.
  • දැන් මේකට ලාවුළු පියුරි එක දාලා ස්පැචූලා එකෙන් කලවම් කරන්න.
  • දැන් මේක ෆුඩ් කන්ටේනර් එකේ දාලා පැය 4ක් ෆ්‍රීස් කරගන්න.

05. ලාවුළු චිප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය:-
ඉදුණු ලාවුළු ගෙඩි 2
පාන්පිටි කෝප්ප 1
කිරි කෝප්ප 1/4
බිත්තර 1
සීනි කෝප්ප 1/4
බේකින් පව්ඩර් තේහැඳි 1/2
බැදීමට තෙල්

  • ලාවුළු මද සූරලා බෝල් එකකට දාලා හොඳට මෑශ් කරගන්න.
  • මේකට පාන්පිටි හා කිරි, සීනි හා බිත්තරය දාලා හොඳට කලවම් කරගන්න.
  • පිටි මදිනම් තව ටිකක් දාලා බේකින් පව්ඩර් ටිකත් දාලා කලවම් කරගන්න.
  • තරමක තික් බැටර් එකක් හදාගන්න ඕනේ.
  • දැන් පෑන් එකට තෙල් ටිකක් වැඩිපුර දාලා රත්වෙනකොට මේ බැටර් එකෙන් ටික ටික පෑන් එකේ තැන්තැන් වලට දාලා බැදෙන්න අරින්න.
  • දෙපැත්තම ෆ්‍රයි කරගන්න.

06. ලාවුළු වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය:-
ලාවට ඉදුණු ලාවුළු ගෙඩි 2
පෙඟෙන්න දැමූ පරිප්පු කෝප්ප 1
කපාගත් වියළි මිරිස් කරල් 2
කපාගත් අමුමිරිස් කරල් 2
චොප්කරගත් ළූණු ගෙඩි 1
ලියාගත් කරපිංචා ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
බැදීමට තෙල්

  • ලාවුළු කිරි අයින් කරලා කපාගන්න.
  • තරමක කෑලි කපලා වතුරට දාලා සෝදගන්න.
  • දැන් මේ ටික බ්ලෙන්ඩර් එකට දාගන්න.කපාගත්ළූණු, මිරිස් හා කරපිංචා ටිකත් දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
  • ඊලඟට පරිප්පු ටිකත් මේකටද දාලා රස අනුව ලුණු දාලා පරිප්පුවල තරමක කෑලි හිටින විදියට බ්ලෙන්ඩ් කරගන්න.
  • දැන් අතේ තෙල් ටිකක් ගාගෙන මිශ්‍රණයෙන් ටික ටික අරන් වඩේ වගේ අතින් හදලා ගැඹුරු තෙලේ බැදගන්න.

07. ලාවුළු පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය :-
තරමක ඉදුණු ලාවුළු ගෙඩි 2
ලුණු ස්වල්පයක්
ගාගත් පොල් කෝප්ප 1
හාල්පිටි ග්‍රෑම් 250

  • වතුට කෝප්ප 2කට ලුණුකුඩු ටිකක් දාලා දියකරගන්න.
  • ලාවුළු ටික ග්‍රේට් කරගන්න.
  • දැන් මේ ටික ලුණු වතුර වල දාලා ටිකක් වෙලා තියලා මිරිකලා ගන්න.
  • හොඳට වතුර අයින් කරගන්න.පොල් වලට ලුණු දාලා කලවම් කරගන්න.
  • දැන් මේකට ග්‍රේට්කරගත් ලාවුළු ටිකත් දාලා අතින් කලවම් කරගන්න.
  • අවශ්‍ය නම් වතුර ටිකක් දාලා පිට්ටු හදනවා වගේ කලවම් කරගන්න.
  • මේකට හාල්පිටි ටිකත් දාලා අතින් කලවම් කරගන්න.
  • දැන් පිට්ටු බම්බුව අරන් ලාවුළු පිට්ටු මිශ්‍රණය පුරවලා හොඳට තම්බගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *