අති උද්ධමනයකට අහුවෙන්නද යන්නේ? එහෙමනම් ඒකෙන් බේරිලා ඉන්න මේ උපදෙස් කීපයක්!

අපි උද්ධමනය කියන වචනේ අහලා තියෙනවනේ. හැබැයි ගොඩක් දෙනෙක්ට මෑතක් වෙනකල්ම උද්ධමනය කියන්නේ නිකම්ම ආර්ථික විද්‍යාවේ එන වචනයක් විතරයි. හැබැයි තවදුරටත් එහෙම නෙවෙයි. ශ්‍රී ලංකාව මේ වෙනකොට ලෝක උද්ධමන දර්ශකයේ උඩින්ම දෙවෙනි තැනටත් දෙයියනේ කියලා ඇවිත් තියෙනවා. ඉතින් තවදුරටත් අපිට උද්ධමනය කියන්නේ මොකක්ද කියලා නොහිතා ඉන්න බෑ,. උද්ධමනය කියන්නේ යම් කාල සීමාවක් ඇතුළත ආර්ථිකයක භාණ්ඩ සහ සේවාවල තියෙන සාමාන්‍ය මිල අඛණ්ඩව ඉහළ යෑම. එහෙම නැතිනම් වෙනත් විදියකින් කිව්වොත් මුදලේ වටිනාකම අඩු වීම. හැබැයි මෙතනදී ඔය තාවකාලිකව බඩු ගණන් වැඩි වෙලා ආයෙමත් පරණ මිලටම එන එක උද්ධමනය කියලා කියන්නෙ නෑ. ඇත්තටම උද්ධමනය ඕනම දියුණු නොදියුණු රටක පවතිනවා. හැබැයි සාමාන්‍යයෙන් රටක ආර්ථිකයක උද්ධමනය 8%-9% ක් වගේ ප්‍රමාණයකින් පවතිනවා නම්, ඒක අවධානයට ගන්න ඕන කාරණාවක්.

 

එතකොට අති උද්ධමනයක් කියන්නේ මොකක්ද? ඇත්තටම ඒකෙන් කියන්නේ මුදලේ වටිනාකම ශීඝ්‍රයෙන් අඩු වෙන, ඒ වගේම භාණ්ඩ සහ සේවා මිල ශීඝ්‍රයෙන් ඉහළ යන පාලනයකින් තොර තත්වයක්. ඒ කියන්නේ සරලව කිව්වොත් බඩු ආයෙ හිතාගන්න බැරි ගණන් වලින් ඉහළ යන්නේ. හැබැයි අපේ අතේ රැඳෙන මුදල් ඒ ප්‍රමාණෙට ඉහළ යන්නෙ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, මීට මාස තුනකට කලින් සාලයෝ කිලෝවක් රුපියල් 180 ට ගත්තට, අද වෙනකොට සාලයෝ කිලෝවක් රුපියල් 800 ක් වෙලා. එතකොට දැන් ඉන්ධන මිල වුණත් ඉස්සර ඉහළ ගියේ උපරිම රුපියල් දහයකින් දොළහකින් වගේ. හැබැයි දැන් වෙනකොට ඉන්ධන මිල වැඩිවෙන්නේ කෙලින්ම රුපියල් අසූවකින් සීයකින්. ආන්න අති උද්ධමනය.

 

දැන් ඇයි අපි මේ තත්වයට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕන කරන්නේ? නිකමට හිතලා බලන්න. රුපියල් දාහේ නෝට්ටුවක මීට අවුරුද්දකට දෙකකට කලින් තිබ්බ වටිනාකම අපිට දැන් දැනෙනවද? අවුරුද්දකට දෙකකට කලින් රුපියල් දාහකින් ගන්න පුලුවන් වුණු බඩු ප්‍රමාණය දැන් රුපියල් දාහකින් ගන්න පුලුවන්ද? ඉතින් තාමත් අපි මේ අර්බුදයේ භයානක අවස්ථාවට ලඟා වෙලා නැහැ කියලා තමයි විශේෂඥයෝ කියන්නේ. අන්න ඒ නිසා, ඒ තත්වය ලඟා වෙන්න කලින් අපි බලමු කොහොමද අති උද්ධමනයකට මුහුණ දෙන්න අපේ ගේම් ප්ලෑන් එක හදාගන්නේ කියලා!

 

01. මුදල් මෙට්ටෙ අස්සේ ඉතුරු නොකරන්න

සාමාන්‍යයෙන් අති උද්ධමනයකදී අද අපේ අතේ තියෙන රුපියල් දහදාහක සැබෑ වටිනාකම ඊලඟ දවස වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා. උදාහරණයකින් කිව්වොත්, අද රුපියල් සීයට ගත්තු බිස්කට් පැකට් එක ඊලඟ දවස වෙනකොට රුපියල් එකසිය අසූවක් දක්වා ගණන් යන්න පුලුවන්. අන්න එතකොට අපි සල්ලි මෙට්ටෙ අස්සෙ හංගලා ආච්චිලාගෙ සීයලාගෙ ක්‍රමයට ඉතුරු කරනවා කියන්නේ සල්ලි ටික පුච්චලා දානවා වගේ වැඩක්. ඇත්තටම ඔය අති උද්ධමනයක් තියෙන රටක මුදල් ඒකක හඳුන්වන්නෙත් ‘පිළිස්සුණු මුදල්’ විදියට තමයි. අන්න ඒ නිසා, හම්බු කරලා තියෙන් වැඩිපුර මුදල් ඔහේ පර්ස් එකේ හරි ගෙදර හරි තියාගන්නවා වෙනුවට ඒක මේ මොහොතේ වියදම් කරන්න හෝ ආයෝජනය කරන්න පුලුවන් නම් හොඳයි.

 

02. අත්‍යවශ්‍ය දේට වියදම් කරන්න

සාමාන්‍යයෙන් රටක ආර්ථික අර්බුදයක් තියෙනකොට මිනිස්සු උත්සාහ කරනවා සල්ලි තමන් ගාව ඉතුරු කරගන්න. හැබැයි අපි අත්‍යවශ්‍ය දේට වියදම් නොකර සල්ලි ඉතුරු කරන්න යන එකෙන් සිද්ධ වෙන්න පුලුවන් කාරණාව වෙන්නේ උඩ කියපු විදියට අපි අතේ තියෙන මුදල වියදම් නොකරලත් නාස්ති වෙලා ගිහිල්ලා, ඒ වගේම, අත්‍යවශ්‍ය දේවල් මිලට ගන්නත් බැරි වෙලා තිබීම තමයි. අන්න ඒ නිසා, අති උද්ධමනයක් තියෙන කාලෙකදී කඩේ විවිධාකාරයේ බඩු තිබ්බත් නැතත්, දුවගෙන ගිහිල්ලා ඒ හැමදේම ගන්න එපා. විශේෂයෙන්ම දිගුකාලීන මූල්‍ය වටිනාකමක් නැති දේවල් ගන්න උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට, තමන්ගේ වියදම් ශක්තිය එදිනෙදා අත්‍යවශ්‍ය දේ මිලදී ගන්න යොදන්න. හැබැයි තව දෙයක්. එදිනෙදා කන බොන බඩු වුණත් අති උද්ධමනය තියෙනකොට සතියකින් ගාණ ඩබල් වෙන නිසා කියලා තොග පිටින් ගොඩගහගන්න හිතන්නත් එපා. ඒක බැලූ බැල්මට තමන්ට හොඳයි වගේ පෙනුණත්, එහෙම අනවශ්‍ය විදියට බඩු තොග ගොඩගහගන්න එකේ අහිතකර ප්‍රතිඵල සමස්ත සමාජයටම ලැබෙනවා.

 

හැබැයි එකක්, එහෙමයි කියලා වෙනද වගේ දවස් දෙකකට පාරක් සුපර් මාකට් යන්න තියාගන්න එපා. ඒ වෙනුවට අඩුම සති දෙකකට තුනකටවත් අවශ්‍ය බඩු එක පාර ගන්න. ඒකෙන් බඩු දවසින් දවස ගණන් යන එකටත් යම් තාක් සහනයක් ලැබෙනවා.

 

03. ක්‍රෙඩිට් කාඩ් හැකි තාක් ඉක්මනට ගෙවා දමන්න

සාමාන්‍යයෙන් අති උද්ධමනයක් තියෙනකොට සිද්ධ වෙන දෙයක් තමයි, ණය පොලී අනුපාතික, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතික එහෙමත් අසීමිත විදියට ඉහළ යෑම. උදාහරණයක් විදියට ක්‍රෙඩිට් කාඩ් වලට අති උද්ධමනය ලඟා වෙන්න කලින් 15% ක පොලියක් නම් අය කළේ, අති උද්ධමනය ලඟා වුණු ගමන් ක්‍රෙඩිට් කාඩ් ණය පොලිය කෙලින්ම 30% වෙනකල් යන්න පුලුවන්. එතකොට අපි ගෙවන්න අවශ්‍ය මුදලත් වැඩියි. මතක තියාගන්න, අතිඋද්ධමනය එක්ක භාණ්ඩ සහ සේවා මිල, ණය පොලී අනුපාතික වැඩි වුණාට, ඒ ගාණට අපේ ආදායම වැඩි වෙන්නෙ නෑ. අන්න ඒ නිසා, මෙච්චර කල් අවම පොලිය ගෙවමින් ක්‍රෙඩිට් කාඩ් මේන්ටේන් කළා නම්, හැකි ඉක්මනට ක්‍රෙඩිට් කාඩ් ණය ගෙවා ඉවර කරන්න ප්ලෑන් එකක් හදාගන්න. ඒ ඇරෙන්න එදිනෙදා වුණත් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනකොට පොළිය හැදෙන දවස් ගාණ පනින්න දෙන්නෙ නැතුව (දින 55ක් කියමු) කාඩ් එකට ආයෙම සල්ලි දාන්න. එහෙම දාන්න පුලුවන් කියලා ෂුවර් එකක් නැති අවස්ථාවලදී ක්‍රෙඩිට් කාඩ් වලින් වියදම් නොකරන්න.

 

04. බැකප් ප්ලෑන් අවශ්‍යයි

සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට අපේ හැම දේකටම බැකප් ප්ලෑන් එකක්, එහෙම නැතිනම් ප්ලෑන් බී එකක් තියෙන එක හොඳ දෙයක්. හැබැයි විශේෂයෙන්ම ආර්ථික අර්බුදයක, අති උද්ධමනයක් එන්න පුලුවන් කාලයක ජීවත් වෙනකොට, අනිවාර්යයෙන්ම හැම දේකටම බැකප් ප්ලෑන් එකක් තිබිය යුතුයි. එක උදාහරණයක් තමයි රැකියාව සඳහා. අති උද්ධමන කාලයකදී සාමාන්‍යයෙන් වැටෙන්නෙ නෑ කියලා හිතන ක්ෂේත්‍රයක පවා සේවක කප්පාදු අනං මනං එන්න පුලුවන්. අන්න ඒ නිසා, විකල්ප මුදල් ඉපයීමේ මාර්ගයක් එහෙම හදාගෙන තියෙන එක කෝකටත් හොඳයි. ඩොලර් වලින් එහෙම උපයන්න පුලුවන් ක්‍රම හොයාගන්න පුලුවන් නම් වඩාත් හොඳයි.

 

එතකොට ඔය ගෑස් මිල එහෙම දරන්න බැරි විදියට වැඩි වෙන්න කලින්ම, ඔය විකල්ප පොල් කටු අඟුරු ලිප් වගේ ඒවා බැකප් එකක් විදියට තියාගත්තට කමක් නෑ. මොකද, අති උද්ධමනයට ආවහම, ඒ වගේ විකල්ප වුණත් හිතන්න බැරි විදියට ගණන් යනවා. හැබැයි තව දෙයක්, එහෙම බැකප් ප්ලෑන් එකක් ගහනකොට, ඒකේ ප්‍රායෝගික පැත්ත ගැනත් හිතන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, නාගරික පරිසරයක ජීවත් වෙන කෙනෙක් දර ලිප විකල්පයක් විදියට තෝරගත්තට, දර හොයාගන්න ක්‍රමයක් හිතලා නැතිනම් තේරුමක් නැතිවෙන්න පුලුවන්. මොකද, අති උද්ධමනයකදී ගෑස් විතරක් නෙවෙයි ගණන් යන්නේ, මිටි බැඳලා විකුණන්න තියෙන දර පවා ගණන් යනවා.

 

05. වියදම් කපා හරින ක්‍රම ගැන හිතන්න

අති උද්ධමනයක් තියෙන කාලෙකදී අපිට වෙනදට සාමාන්‍යයෙන් කරන වියදම් කපාහරින්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට, ඉන්ධන මිල හිතාගන්න බැරි විදියට ඉහළ යනකොට, ඉන්ධන නැති වෙනකොට අපේ අනවශ්‍ය ගමන් බිමන් අනිවාර්යයෙන්ම කපා හරින්න සිද්ධ වෙනවා. වර්කින් ෆ්‍රොම් හෝම් විදියට වැඩ කරන්න පහසුකම තියෙනවා නම්, අනිවාර්යයෙන්ම ඒ ක්‍රමය පාවිච්චි කරන එක හොඳයි. එතකොට අපි ගෙදර උයාගන්න එහෙම පහසුකම් තියෙනකොටත් උයන්න පිහන්න බැරි නිසා කඩෙන් කනවා වගේ දේවල් තියෙනවා නම්, ඒ පුරුද්ද පොඩ්ඩක් අඩු කරලා ගෙදර මොනවා හරි හදාගන්න ඉගෙන ගන්න හොඳයි. මොකද, මාසෙම කඩෙන් කනවා කියන්නේ අති උද්ධමනයක් තියෙන කාලෙකදී දරන්න බැරි වියදමක් වෙන්න පුලුවන් නිසා.

 

06. ආයෝජන ඥාණවන්තව

සමහර වෙලාවට අති උද්ධමනයක් තියෙන කාලෙකදී වුණත් අත්‍යවශ්‍ය දේට වියදම් කරලත් අපේ අතේ මුදල් ඉතුරු වෙන්න පුලුවන්. එතකොට ඒ මුදල් වලට කරන්නේ මොකක්ද කියන එක ප්‍රශ්නයක්. මොකද අපි කලිනුත් කිව්වනේ මුදල් මුදල් විදියට අතේ තියාගෙන හිටියට වැඩක් නෑ, අති උද්ධමනයක් තියෙනකොට දවසින් දවස මුදලේ වටිනාකම අඩු වෙනවා කියලා. සාමාන්‍යයෙන් මෙහෙම කාලෙකදී ඔය බැංකු ණය වල එහෙම පොළී අනුපාතික ඉහළ දානවා වගේම, ෆික්ස් ඩිපොසිට් එහෙම නැතිනම් ස්ථාවර තැන්පතු වගේ දේවලත් පොළී අනුපාතයන් ඉහළ දැමෙනවා. එතකොට බැංකුවේ ෆික්ස් දාලා සල්ලි තියන්න පුලුවන් වුණත්, ඒක පොඩ්ඩක් උද්ධමන වේගය සහ ස්ථාවර තැන්පතු වලට ලැබෙන පොලිය අනුව අපට මුදලට ලැබෙන අගය ගැන එහෙම හොඳට හිතලා ගන්න ඕන තීරණයක්. එතකොට කොටස් වෙළඳපොළ වගේ ආයෝජන වුණත්, හොඳට දැනගෙන, හොඳින් හිතලා මතලා තමයි තීරණ ගන්න ඕන. ඒ ඇරෙන්න ඉතින් රත්තරන්, ඉඩම් කඩම් වගේ ආයෝජන නම් වටිනාකම අපතේ යන්නෙ නෑ. අවශ්‍ය නම් කල් පවතින ගෘහභාණ්ඩයකට වුණත් ආයෝජනය කරන්න පුලුවන් මේ වගේ කාලෙකදී.

 

07. ආරක්ෂාව ගැන හිතන්න

ඇත්තටම අති උද්ධමනයක් ඇති රටක අපිට හිතන්න වෙන්නේ මූල්‍යමය සහ ආර්ථික කරුණු කාරණා ගැන විතරක් නෙවෙයි. ඒ එක්කම එන සමාජයීය ගැටළු ගැනත් අපිට හිතන්න වෙනවා. උදාහරණයක් තමයි, අති උද්ධමනයක් එක්ක බොහෝ දෙනෙක්ගේ රැකියා අහිමි වීම, වියදම් කිරීමේ ශක්තිය අඩු වීම, මූලික අවශ්‍යතා පවා සපුරා ගන්න අසීරු වීම වගේ ගැටළු එක්ක, හොර හතුරු උවදුරුත් ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ආන්න ඒ නිසා, තමන්ගේ නිවසේ ආරක්ෂාව ගැන කිහිප වරක්ම හිතලා, අවශ්‍ය ආරක්ෂක පියවර, ආරක්ෂක විධිවිධාන යොදන්න. පාරේ යන එනකොට පවා රත්තරන් එහෙම පැළඳගෙන, අතේ සල්ලි අරගෙන යන එකෙන් වළකින්න. තමන්ගේ පර්ස් එක වුණත් වෙනදා වගේ සාක්කුවේ දාගෙන යනවද, එහෙම නැතිනම් වඩාත් ආරක්ෂාකාරී විදියකට අරගෙන යනවද කියන එක ගැන හිතන්න.

 

08. පාස්පෝට් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ලියකියවිලි හදලා තියාගන්න

මේ කියන්නේ අති උද්ධමනය ආපු ගමන් රටින් පනින්න කියන එක නෙවෙයි. කෙනෙක්ට රට හැරලා යන්න වුවමනාද නැද්ද කියන එක ඇත්තටම පෞද්ගලික තීරණයක්. හැබැයි අපි මේ කියන්නේ වෙනම අදහසක්. සාමාන්‍යයෙන් අති උද්ධමනයක් එහෙම තියෙනකොට රටක රාජ්‍ය පද්ධති යම් තාක් දුරකට බිඳ වැටෙන්න පටන් ගන්නවා. අන්න එතකොට වෙනදට සතියෙන් හදාගන්න පාස්පෝට් එකක් වුණත් හදාගන්න සෑහෙන්න කල් ගත වෙන්න, රස්තියාදු වෙන්න ඉඩ වැඩි වෙන්න පුලුවන්. ඉතින් එතකොට යම් විදියකින් රටින් පිටවෙන්න, වෙනත් රටක රැකියාවක් කරන්න වගේ අවස්ථාවක් ලැබුණහම ඒකට හදිසියේ පාස්පෝට් හදන්න බෑ. අන්න ඒ නිසා, පාස්පෝට් ඇතුළු පුරවැසියෙක් විදියට අත්‍යවශ්‍ය ලියකියවිලි පවුලෙ හැමෝටම හදලා තියාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *