පෝලිමේ ඉන්න වුණත් විදියක් තියෙනවා, ඒ මෙහෙමයි!

අපි ඉස්සර අහල තියෙනවනේ අම්මලා තාත්තලගේ, ආච්චිලා සීයලගෙ කාලේ තිබුණු පෝලිම් ජීවිතේ ගැන. හාල් පෝලිම්, භූමිතෙල් පෝලිම්, සමූපකාර පෝලිම් වගේ මෙකී නොකී පෝලිම් සිරිමාවෝ ආණ්ඩුව කාලේ තිබ්බා කියලා ඔය වැඩිහිටියෝ කියනවා. හැබැයි ඉතින් අපි එතනින් ඉස්සරහට ගිහිල්ලා සංවර්ධනය කරා ඇවිල්ලා කියලා හිතාගෙන හිටියට, ඔන්න දැන් රවුමක් කැරකිලා ආයෙමත් අපි පෝලිම් යුගේට ඇවිල්ලා ඉන්නවා. විශේෂයෙන්ම ඉන්ධන පෝලිමේ ඉන්න එක, ගෑස් පෝලිමේ ඉන්න එක, කිරිපිටි පෝලිමේ ඉන්න එක, භූමිතෙල් පෝලිමේ ඉන්න එක වගේ දේවල් දැන් වෙනකොට ටික ටික ආයෙමත් රටේ ජනතාවට  සාමාන්‍ය දේවල් වේගෙන යනවා. ඇත්තටම මේක බොහොම අසීරු කාලයක්, අපි මේ අසීරු කාලේ නොවැටී ඉන්න හිතාගන්න ඕන. ඒ වගේම, හැමෝම සෑහෙන්න ආතතියකින් පීඩනයකින් ඉන්න නිසා, ගැටුම් ඇති කරගන්නෙ නැතුව ඉන්න ඕන. හැබැයි ඒ වගේම තව දෙයක් තියෙනවා. අපිට මේ පෝලිම් එක රැයින් වළක්වන්න බෑ. අවශ්‍ය දේවල් ගන්න පෝලිමේ ඉන්න වෙනවා. හැබැයි පෝලිමේ ඉන්නකොට වුණත් වගකීම් සහගත පුරවැසියෝ විදියට, සදාචාරයක් තියෙන මිනිස්සු විදියට පෝලිමේ ඉන්න වගබලා ගන්න ඕන. මොකද, මොන තත්වයට අපි පත්වුණත්, අපේ මනුෂ්‍යත්වය නැති කරගන්නෙ නැතුව ඉන්න එකත් මේ ප්‍රශ්නෙට පුරවැසියෝ විදියට අපි කරන අරගලයේම කොටසක්!

 

01. පෝලිම් පනින්න එපා

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයිනේ. යම් කිසි දෙයක් ගන්න පෝලිමක ඉන්නවා නම්, පෝලිම් පනින්නෙ නැතුව ඉන්න එක තමයි එතන ඉන්න ඕන හරි විදිය. ආයෙ කිසිම හේතුවකට පෝලිම් පනින එක වැරදියි. හැබැයි සමහර වෙලාවට දරුවට බෙහෙත් ටිකක් ගන්න යන්න පෙට්‍රල් ගහගන්න වගේ හදිසියක් වෙන්න පුලුවන්. හැබැයි එතකොට වුණත් කළ යුතු දේ වෙන්නේ අදාළ තැන පරිපාලනය කරන මනුස්සයෙක්ට කතන්දරේ කියලා, පෝලිමේ ඉන්න අයටත් කතන්දරේ කියලා, හැමෝගෙම අනුමැතිය උඩ පෝලිම බයිපාස් කරන එක. ඒ ඇරෙන්න පෝලිමක ඉන්නවා නම්, තමන් අහවලා කියලවත්, තමන්ගේ තාත්තා අහවලා කියලවත් පෝලිම් පනින්න බෑ.

 

02. යාළු මිත්‍ර පෝලිම් ෆේවර්ස්

මෙන්න මේකත් සමහර වෙලාවට ඔය පෝලිම් වල ඉන්න අය සහ පෝලිමට අලුතෙන් එකතුවෙන්න එන අයත් කරන නරක වැඩක්. ඔන්න අපි ගෑස් පෝලිමට එනවා. පෝලිම දිගයි හැතැප්මක්. හැබැයි ඔන්න අපි දකිනවා ගමේ බොක්ක සුදා ඉන්නවා පෝලිමේ ගෑස් ටැංකියත් තියාගෙන. ඉතින් අපිත් එතනට ෂේප් එකේ ගිහින් සුදාට පොඩ්ඩක් ටෝක් කරලා පෝලිමේ සුදා ඉන්න තැනට ප්ලග් වෙනවා. ආන්න ඒක නරකයි. කෙනෙක් කියන්න පුලුවන් සුදා පෝලිමේ තමන් ඉන්න තැනටම තව කෙනෙක් ගත්තට මොකද වෙන්නෙ කියලා. බෑ, එහෙම බෑ. එහෙම පෝලිමේ ඉන්න ගමන් පෝලිමෙන් එළියේ ඉන්න කෙනෙක්ට ඉඩ දෙන්නත් බෑ, එහෙම ඉඩ ඉල්ලන්නත් බෑ. දැන් අපි වෙනුවෙන් වෙන කෙනෙක් වෙනුවෙන් පෝලිමේ ඉන්නවා නම්, අපි පෝලිමට එකතු වෙන මොහොතෙදී, ඒක පෝලිමේ එතැනට කලින් සහ පස්සේ ඉන්න දෙන්නට කියලා, අපි වෙනුවෙන් පෝලිමේ හිටපු ඒ කෙනා අයින් කරලා අපි පෝලිමට සෙට් වෙන්න ඕන.  

 

03. පෝලිමෙන් තාවකාලිකව ඉවත් වෙනවා නම්

පෝලිමෙන් තාවකාලිකව ඉවත් වෙන්න ඕන අත්‍යවශ්‍ය කාරණයකට විතරයි. උදාහරණයක් විදියට ඔය ෆුඩ් සිටි බිලින්ග් පෝලිමට එහෙම එකතුවෙන සමහරු, පෝලිමේ ඉන්න ගමන් එහේ මෙහේ රාක්ක අතරට දුවලා මොකක් හරි බඩුවක් අරගෙන එනවා. ඒවා වැරදියි. පෝලිමට එන්න ඕන බඩු ඔක්කොම අරගෙන, අමතක වෙන එකක් පෝලිමෙන් ගිහින් අරගෙන එන එක වෙනම දෙයක්. දැන් තෙල් පෝලිමක, ගෑස් පෝලිමක වුණත් ඉන්නකොට හදිසි ශාරීරික අවශ්‍යතාවයක් එහෙම සෙට් වෙන්න පුලුවනිනේ. අන්න එතකොට පෝලිමේ තමන්ට පස්සේ ඉන්න කෙනාට කියලා දුවලා ගිහින් වැඩේ කරගෙන එන එකේ අවුලක් නෑ. හැබැයි එහෙම හදිසිම හදිසියක් නැතුව, පෝලිමේ හිටගෙන ඉන්න කම්මැලියි වගේ නිසා, පෝලිමෙන් එලියට ගිහින් තේ එකක් එහෙම බීලා ඇවිත්, ආයෙමත් තමන්ගේ තැන ඉල්ලලා හිටියොත් සමහර වෙලාවට අනික් අය ඒක ගැටළුවක් විදියට දකින්න පුලුවන්. හැබැයි පෝලිමේ අන්‍යාන්‍ය අවබෝධය මත එහෙම කරන එකේ අවුලක් නෑ. උදාහරණයක් විදියට අපි දකිනවනේ පෙට්‍රල් එනකල් පෝලිමේ වාහන නවත්තලා, කට්ටිය සෙට් වෙන එක, එක තැනකට වෙලා කයිය ගහන එක වගේ සීන්. ඒක අවුලක් නෑ.

 

04. පර්සනල් ස්පේස් එකට ගරු කරමු

අපි හැම මොහොතකම කොහේ ප්‍රසිද්ධ ස්ථානයක හිටියත්, අනික් කෙනාගේ පර්සනල් ස්පේස් එකට, පෞද්ගලික අවකාශයට ගරු කරන්න ඕනනේ. ඒ කියන්නේ තමන් පෝලිමේ ඉන්නකොට වුණත්, පෝලිමේ ඉන්න අනික් අයගේ පුද්ගලික අවකාශයට ගරු කරන්න ඕන කියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, පෝලිමේ ඉන්නකොට එකිනෙකා ගාවින් ඉන්න ඕන නියමිත දුරක් තියෙනවානේ. එහෙම නැතුව ගිහින් පෝලිමේ ඉස්සරහින් ඉන්න කෙනාගේ ඇඟේ ඇලෙන්න යනවා කියන්නෙම අපි ඒ කෙනාගේ පුද්ගලික අවකාශය උල්ලංඝනය කරනවා කියන එක. එතකොට අපි පෝලිමේ පිටුපස්සෙ ඉන්න කෙනා එක්ක බලෙන්ම කතාවට ප්ලග් වෙන්න යනවා නම්, පොරට කතා කරන්න වුවමනාවක් නෑ කියලා තේරෙනකොටත් අරින්නෙ නැතුව ප්‍රශ්න අහනවා නම්, ඒකත් ඔය පුද්ගලික අවකාශය උල්ලංඝනය කරන සීන් එකා තමයි. එතකොට, අපි පෝලිමේ අන්තිමයටයි පළවෙනියටයි පවා කණක් ඇහිලා ඉන්න බැරි සද්දෙන් පුද්ගලික කෝල්ස් අරගෙන කතා කරනවා නම්, ඒකත් එමම තමයි.

 

05. අවධානය හරියටම

දැන් පෝලිමක් කියන්නේ ක්‍රමක්‍රමයෙන් හරි ඉස්සරහට යන එකක්නේ. එතකොට අපි කියමු අපි ෆෝන් එකට සමවැදිලා ඉන්නවා කියලා. අපි දන්නෙත් නෑ අපිට ඉස්සරහින් පෝලිම ඉස්සරහට යනවා. හැබැයි අපි එතනමයි. දැන් පෝලිමේ අපි ඉන්න තැන ගැප් එකක්. එතකොට අපිට පිටුපස්සේ ඉන්න එවුන් බලාගෙන ඉන්න ඕන අපි කීයට හරි ෆෝන් එකේ දැහැනෙන් මිදිලා පෝලිමත් එක්ක යනකල්. ආන්න ඒ නිසා, පෝලිමේ ඉන්නකොට අපි වෙන මොනවා හරි ටයිම් පාස් කරගන්න දෙයක් හරි, ඒ කාලය ප්‍රයෝජනයට ගන්න දෙයක් හරි කළාට කමක් නෑ, අවට ගැනත්, අපි ආපු කාරිය ගැනත් අවධානෙන් ඉන්න ඕන. සරලවම කියනවා නම්, පෝලිමේ ඉඳන් පොතක් කියෙව්වට කමක් නෑ. හැබැයි සම්පූර්ණයෙන්ම ඒකට සමවැදිලා ඉන්නෙ නැතුව, අවට මොනවද වෙන්නේ කියන එකත් එක ඇහැකින් බලාගෙන ඉන්න ඕන.

 

06. වැරැද්දට කතා කරන්නේ මෙහෙමයි

දැන් පෝලිමක ඉන්නෙත් මිනිස්සුනේ. ඉතින් මිනිස්සු අතින් සාමාන්‍යයෙන් වැරදි සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, එක ඩයල් එකක් එන්න පුලුවන් ෂේප් එකේ පෝලිම් පනින්න. එතකොට අපි කරන්නේ මොකක්ද? කෙලින්ම තග් සීන් එකෙන් බැහැලා ඌට කණට එකක් ගහලා එලවන එකද? නෑ. හොඳින් කියන්න. ගොඩක් වෙලාවට වෙන කෙනෙක් වැරැද්දක් කරනකොට, හොඳින් කිව්වහම ඒ වැරැද්ද කරන මනුස්සයා ඒක අහලා (ගොඩක් වෙලාවට ලැජ්ජ වෙලා) ඒ වැරැද්ද නොකර ඉන්නවා. “පෝලිමේ අපි සෑහෙන වෙලාවක ඉඳන් ඉන්නවනේ, ඉතින් ඔයා දැන් ඇවිත් පෝලිම පනින එක හරි නෑ නේද?” කියලා ඇහුවත් ඇති ගොඩක් දුරට. හැබැයි තව දෙයක්. සමහර වෙලාවට ඒ කෙනා පෝලිමේ වෙන කවුරුහරි තියලා ගිහින් දැන් ඇවිත් වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවකට කරන්න දෙයක් නෑ. හොඳම දේ, ඉවසීමෙන් සාවධානයෙන් ඇහුම්කන් දෙන එක සහ අවධානය යොමු කරන එක. ඊට පස්සෙ ඒ වැරැද්දට එරෙහිව කතා කරන්න. යම් විදියකින් පෝලිමේ වැරැද්දක් කරන මනුස්සයෙක් අපි ඒකට විරුද්ධව කතා කළහම අපෙන් ගේම ඉල්ලන්න එනවා නම්, හොඳම දේ අපි අතින් පයින් උත්තර දෙන එක නෙවෙයි. පෝලිම තියෙන තැන පරිපාලනමය බලය තියෙන කෙනෙක් ඉන්නවනේ. උදාහරණයක් විදියට ෂෙඩ් එකේ නම්, එතන ඉන්න සේවකයෝ. ඒත් බැරි නම් ෂෙඩ් එකේ මැනේජර්. ආන්න එහෙම බලය තියෙන කෙනෙක්ට කම්ප්ලේන් කරන්න. එහෙමත් වැඩේ කරගන්න බැරි නම් ඉතින් පොලිසියට කතා කළත් කමක් නෑ.

 

07. සුහදතාවය සහ අන්‍යාන්‍ය උපකාරය

අපි පෝලිමක ඉන්නකොට අවබෝධ කරගන්න ඕන දේ තමයි, මේ පෝලිමේ ඉන්නේ සල්ලිකාරයෝ, සල්ලි නැති මිනිස්සු වගේ ඕනම කෙනෙක් වෙන්න පුලුවන්. හැබැයි ඒ හැමෝම අපිත් එක්ක එකම පෝලිමේ ඉන්නේ. අන්න ඒ නිසා, අපි අපේ ස්ට්‍රෙස් එක පිටකරගන්න ගේම ඉල්ලන්න යන එක, අපේ ස්ට්‍රෙස් එක අනික් පෝලිමේ ඉන්න මිනිස්සු පිටින් අරින එක වැරදියි. ඊට වඩා, අපි සුහදත්වයෙන්, මනුෂ්‍යත්වයෙන් යුතුව වැඩ කරන්න ඕන. මොකද, මේ වගේ අර්බුදයකදී මුලින්ම නැතිවෙන්න ඉඩක් තියෙන්නෙත් මනුෂ්‍යත්වය තමයි. ඒ නිසා අනික් මිනිස්සුත් එක්ක සුහදත්වයෙන් ඉන්න එකත්, එකිනෙකාට උපකාර කරගන්න එකත් වැදගත්. පෝලිමේ තමන් ගාව ඉන්න මනුස්සයට හිනාවකින් හරි සංග්‍රහ කරන එකේ ඉඳන්, අපි බෝතලේකින් වතුර ටිකක් බොනවා නම් එයාටත් ඕනෙද කියලා අහන එක දක්වා සුළු දේකින් වුණත් මේක කරන්න පුලුවන්. හැබැයි එකක්, සුහදතාවය සහ අන්‍යාන්‍ය උපකාරය කියන්නේ කපටින්ට අහුවෙන එක, හාවා වෙන එක නෙවෙයි හරිද!

 

08. හැමෝටම ගෞරවය සහ ඉවසීම

අපි කිව්වනේ ඉස්සරවෙලත්, පෝලිමක අපිත් එක්ක ඉන්න හැමෝම සහෝදර පුරවැසියෝ විදියට සලකන්න කියලා. ඒ කියන්නේ ආයෙ ප්‍රාඩෝ එකෙන් එන මිනිහට එක විදියකටයි, බයිසිකලෙන් එන මිනිහට තව විදියකටයි සලකන්න එපා කියන එක තමයි. ඔක්කොම එකයි. අන්න එතකොට තමන් බයික් එකට පැට්‍රල් ගහගන්න ඇවිත් ඉන්නකොට, කාර් එකේ එන මිනිහා ධනපතියෙක්, ඌට අපි ඉඩ නොදෙන්න ඕන වගේ මානසිකත්වයන්ගෙන් අත්මිදෙන්න වෙනවා. බැරිවෙලාවත් කාර් එකේ එන මනුස්සයා තමන් ස්පෙෂල් කියලා හිතාගෙන පෝලිම පනින්න හදනවා නම්, උඩ කියලා තියෙන වැරැද්දට කතා කරන විදිය මතක තියාගන්න. අපි හැමෝටම සම සාධාරණ වෙන්න ඕන. හැමෝටම ගරුත්වයෙන් සලකන්න ඕන. ඔය හැමදේමත් එක්ක, මේ වගේ කාලෙක ඉවසීම සෑහෙන්න ප්‍රගුණ කරන්න ඕන. එච්චරයි.

 

අන්තිමට ආයෙමත් මතක තියාගන්න, හරි විදියට, සදාචාරයට අනුව පෝලිමේ ඉන්න කියන එකෙන් කියන්නේ, මේ පෝලිම් සංස්කෘතිය සාමාන්‍යය විදියට අරගෙන ඒකට හුරුවෙන්න කියන එක නම් නෙවෙයි. මේකට කිසිසේත්ම හුරුවෙන්න එපා. හැබැයි පෝලිමේ ඉඳලා හරි අවශ්‍ය දේවල් ගන්න ඕන. ඒ නිසා හරි විදියට පෝලිමේ ඉන්න. හැබැයි මේ පෝලිම් සංස්කෘතිය නැති කරන්නත්, ඒකට දායක වුණු මහ එවුන් පන්නන්නත් නොනවත්වාම අරගලයේත් යෙදෙන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *