ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වළක්වන්නට උපදෙස් කිහිපයක්!

දැන් පවුල කියන්නේ සමාජයේ මූලික තැනුම් ඒකකයනේ. එතකොට පවුල ඇතුළේ සාමාජිකයෝ එකට එකතු වෙලා, අන්‍යන්‍ය ගෞරවයකින් සහ ආදරයකින්නේ කටයුතු කරන්න ඕන. හැබැයි එහෙම වුණාට සමහර වෙලාවට මේ පවුල් ඒකකයේ සාමාජිකයෙක් හෝ සමාජිකයින් කිහිප දෙනෙක් හෝ තමන් ඇතුළේ හට ගන්න යම් යම් මනෝකායික සාධක නිසා එකිනෙකා කෙරෙහි හිංසනයට, ප්‍රචණ්ඩත්වයට යොමුවෙන්න පුලුවන්. ඒක ස්වාමි පුරුෂයා විසින් භාර්යාවට හිංසා කිරීම, භාර්යාව විසින් ස්වාමි පුරුෂයාට හිංසා කිරීම, තාත්තා දරුවන්ට හිංසා කිරීම වගේ ඕනෑම දෙයක් වෙන්න පුලුවන්. දැන් එහෙම කිව්වහම හිතන්න එපා මේ ගෘහස්ථ හිංසාව, ප්‍රචණ්ඩත්වය කියන්නේ ශාරීරික පහර දීම් විතරයි කියලා. ගෘහස්ථ හිංසනය කියන්නේ ශාරීරික, චිත්තවේගීය, ලිංගිකමය, ආර්ථික, මානසික හෝ බලපෑම් සහගත කියන ඕනම විදියකට සිද්ධ වෙන්න පුලුවන්. ඒක අනවශ්‍ය පාලනය, මානසික හිංසනය, ශාරීරික හිංසනය, ලිංගික අපයෝජනය, චිත්තවේගීය අපයෝජනය සහ බියගැනගැන්වීම, වාචික හිංසනය බලහත්කාරය, තර්ජන සහ දෝෂාරෝපණය, ස්ත්‍රී හෝ පුරුෂ වරප්‍රසාද භාවිතා කිරීම, ආර්ථික අපයෝජනය කියන ඕනෑම විදියකට සිද්ධ වෙන්න පුලුවන්. 

 

හරි, අපිට එතකොට තේරෙනවා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, හිංසනය කියන්නේ සිදු නොවිය යුතු දෙයක් කියලා. එහෙමනම්, කොහොමද ඒක වළක්වන්නේ අපි පවුල් ඒකකය ඇතුළේ ඉඳන්? ආන්න ඒක ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

 

01. අවදානම් සලකුණු ගැන අවධානයෙන් ඉන්න

ගෘහස්ථ හිංසනය කියන එක කවුරුහරි පවුලේ කෙනෙක්ගෙන් එක පාර, එක රැයින් පටන් ගන්නෙ නෑ. ඒක ඇතිවෙන්නේ ක්‍රම ක්‍රමයෙන්. හැබැයි ඒක හිංසනයක් කියන තැනට යන්න කලින්ම ඒකේ සලකුණු දැකගන්න පුලුවන්. ආන්න ඒ අවදානම් සලකුණු ගැන අවධානයෙන් ඉන්න එක ගෘහස්ථ හිංසනය පටන් ගන්න කලින්ම වළක්වන්න හොඳ උපාය මාර්ගයක්. උදාහරණයක් විදියට ගත්තොත්, දැඩි පවුල් ප්‍රශ්න වලට තුඩු දෙන විදියේ ඊර්ෂියාව, තමන්ගේ නිදහස නැතිවෙන විදියට තමන්ව පාලනය කරන්න එන එක, තමන්ව අවමානයට, ලැජ්ජාවට ලක් කිරීම, මූල්‍ය කටයුතු සම්පූර්ණයෙන්ම පාලනය කිරීම, අධික කෝපය සහ ඒ නිසා හිතා මතාම බඩු පොළවේ ගහන එක සහ ගෘහභාණ්ඩ විනාශ කිරීම, ප්‍රචණ්ඩත්වය මුදාහරිනවා කියලා තර්ජනය කිරීම, එහෙම නැතිනම් ගෙදර සුරතල් සතෙක්ට එහෙම කෝපය නිසා හිංසා කිරීම, තමන්ගේ කැමැත්ත නැතුව ලිංගික අවශ්‍යතා බලෙන් ඉටු කරගන්න යෑම,  ආයුධ මොනවහරි පෙන්නලා තර්ජනය කරන එක වගේ දේවල් ගෘහස්ථ හිංසනය පටන් ගන්න පුලුවන් අවදානම් ලකුණු. ආන්න ඒ ලකුණු තියෙනවා නම් ඊළඟට ගන්න ඕන පියවර තියෙනවා.

 

02. කතා කරලා විසඳගන්න

දැන් ගෘහස්ථ හිංසනය කියන දේ අපි පටන් ගන්නකොටම කිව්වනේ නිකම්ම කණට එකක් ගහන එක හරි, බලහත්කාරී ක්‍රියාවන් කිරීම හරි ඒ වගේ වෙනත් ශාරීරික ප්‍රචණ්ඩ ක්‍රියාවකින් හරි විතරක් මනින්න යන්න එපා කියලා. හැබැයි අතිශයින්ම සාමකාමී පවුලක් ඇතුළේ වුණත් ප්‍රශ්න ගැටළු ඇතිවෙනවා. අන්න එතකොට ඒ ප්‍රශ්න ගැටළු විසඳගන්න පුලුවන් ක්‍රමය වෙන්නේ හරියට සන්නිවේදනය පවත්වා ගන්න එකෙන්. සරලවම කියනවා නම්, ප්‍රශ්නයක් ඇති තැනකදී සාමයෙන්, ආදරයෙන්, කරුණාවෙන් කතාබහ කරලා විසඳගන්න උත්සාහ කරන්න. ගොඩක් දුරට, පවුල් ඒකකය ඇතුළේ පටන් ගැන්මේ ඉඳලම සන්නිවේදනය කියන එක ප්‍රොමෝට් කරන එක නුවණට හුරුයි. හැබැයි එකක්, මෙතනදී ඉවසීම තියෙන්නම ඕන. ඒ කියන්නේ, අපි කියමු හස්බන්ඩ්ට පොඩ්ඩ ඇත්නම් තරහ යනවා කියලා. එතකොට ඒක එයාගෙ විදිය කියලා ඉන්න අවශ්‍ය නෑ. ඒ ගැන අපි තව ඉදිරියේදී කියනවා. හැබැයි එහෙම තරහ යන හස්බන්ඩ් කෙනෙක් එක්ක සාමකාමීව, ඉවසීමෙන් කටයුතු කරනවා වෙනුවට එකට එක කියාගෙන, ඇඟට කඩාගෙන පැනගෙන රණ්ඩු කරන වයිෆ් කෙනෙක් නම් ඉන්නේ, එතන ප්‍රශ්නයක් විසඳගන්න පුලුවන් වාතාවරණයක් තියේවිද කියන එක සැකසහිතයි.

 

හැබැයි එකක්, එහෙම සාමයෙන්, ඉවසීමෙන් කටයුතු කරනවා කියන්නේ, අනික් කෙනාගේ වැරැද්ද කතා නොකර, ඒක පහුගියාවේ කියලා ඉන්න එක නෙවෙයි. පවුලක් ඇතුළේ වුණත් තමන්ගේ අයිතිවාසිකම් ගැන අදහසක් කෙනෙක්ට තියෙන්න ඕන. ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඕන. උදාහරණයක් විදියට අපි කියමු තමන් රැකියාවක් කළත්, තමන්ට මූල්‍යමය ස්වාධීනත්වයක් තියාගන්න පාට්නර්ගෙන් ඉඩක් නෑ කියලා. පඩිය එයාගෙ එකවුන්ට් එකට දාලා, ඕන කමක් වුණොත් එයාගෙන් සල්ලි ඉල්ලගන්න ඕන කියලා එයා නියම කරනවා කියලා. අන්න එතකොට ඒ ගැන කතා කරලා, තමන්ගේ ස්ථාවරය පෙන්නලා දීලා, පවුල ඇතුලේ මූල්‍යමය වශයෙන් සම තැන් ලබාගන්න ඕන. හැබැයි ඒක කරන්න ඕන ගේමෙන් නෙවෙයි, ඉවසීමෙන් සහ සාමයෙන්.

 

03. වැරැද්ද මගේ, මේ ඒකට දඬුවම කියලා නොහිතන්න

අපි හැමෝම මිනිස්සුනේ. එතකොට මිනිස්සු අතින් වැරදි සිද්ධ වෙනවා. අපි අතිනුත් එහෙමයි. හැබැයි ගෘහස්ථ හිංසනය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන්නේ වැරදීම් නෙවෙයි. දැන් අපි කියමු, අපි අතින් සිද්ධ වෙනවා කියලා මොකක් හරි වැරැද්දක්. එතකොට අපේ පවුලේ සමීපතමයෙක්ට පුලුවන්ද ඒ වැරැද්ද හේතුවෙන් අපිට ප්‍රචණ්ඩත්වය මුදාහරින්න? උදාහරණයක් විදියට කිව්වොත්, තමන්ට ලයිට් බිල ගෙවන්න අමතක වුණා කියලා, එහෙම නැතිනම් තමන්ගේ යාළු මිත්‍ර පිරිමියෙක් එක්ක කතා කළා කියලා හස්බන්ඩ්ට පුලුවන්ද වයිෆ්ට ගහන්න? කිසිසේත්ම බෑ. හැබැයි දැන් සමහරු ඉන්නවා, ඒ අය ගෘහස්ථ හිංසනය කියන්නේ තමන්ගේ වැරැද්දකට ලැබෙන දඬුවමක් විදියට භාරගන්නවා. කෙලින්ම තමන් වින්දිතයා වෙන්නේ තමන්ගේ වරදකින් කියලා පිළිඅරගෙන ඉන්නවා. සමහරු තමන්ට ගෘහස්ථ හිංසනයට මුහුණ දෙන්න වෙන්නේ තමන් පෙර කරපු කරුම විපාක හින්දා කියලත් හිත හදාගන්න උත්සාහ කරනවා. කරුණාකරලා, මෙන්න මේ විදියට හිතන්න යන්න එපා. තමන්ගේ ආකල්පය වෙනස් කරගන්න. කිසිම කෙනෙක් ගෘහස්ථ හිංසනයට මුහුණ දිය යුතු නැහැ. තමන් වින්දිතයා බවට විහින් පත් වෙන්න යන්න එපා!

 

04. ආදරේට, පවුලට බැර නොකරන්න

ගෘහස්ථ හිංසනය ගැන කතා කරන කොට මෙන්න මේ කාරණාව අතිශයින්ම වැදගත්. දැන් ගෘහස්ථ හිංසනය සිද්ධ වෙන්නේ තමන්ගේ පවුල ඇතුළේ ඉන්න පවුලේ සමීපතමයෙක්ගෙන්නේ. එතකොට අපි ඒ කෙනා එක්ක එක්කෝ ආදරය නිසා, එහෙම නැතිනම් වගකීම නිසා එකට ජීවත් වෙන්න තෝරගෙන තියෙන්නේ. එහෙම නැතිනම් පවුලේ කෙනෙක් වීම නිසා නිසඟයෙන්ම එයා එක්ක ජීවත් වෙන්න වෙනවා. එතකොට අපිට හිංසනයක් සිද්ධ වුණත්, ඒක අපි පවුලේ නාමයෙන්, ආදරේ නාමයෙන් ඉවසන්න උත්සාහ කරනවා. ආන්න ඒක නොකළ යුතුයි. පවුලේ ඇතුළේ ප්‍රශ්නයක්නේ කියලා හිතාගෙන, එහෙම නැතිනම් මොනව වුණත් මගෙ ගෑණිනේ, මගෙ මනුස්සයනේ, මගෙ තාත්තනේ වගේ දෙයක් නිසා පළවෙනි පාර ප්‍රචණ්ඩත්වය ඇති වුණහමත් ඉවසලා, දෙවෙනි පාරත් ඉවසන එක කිසිසේත්ම නොකළ යුතුයි. සරලවම ගෘහස්ථ හිංසනය ප්‍රචණ්ඩත්වය කරා යනවා නම්, වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. මොකද, ආයෙ දෙවෙනි පාරත් ඉවසන්න හිටියොත් තුන්වෙනි පාර දිහා බලන්න අපි ජීවතුන් අතර නැති වෙන්නත් පුලුවන්!

 

05. අවශ්‍ය වෙලාවට ඇතුළත ගිනි පිටතට දෙන්න

දැන් අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නේ විශාඛා සිටුදේවියට ලැබුණු උපදෙස් අනුව තමයි පවුල් පන්සල් වුණහම ජීවත් වෙන්න ඕන කියලනේ. ඒ කියන්නේ ‘ඇතුළු ගිනි පිටතට නොදීම’ සහ ‘පිටත ගිනි ඇතුළට නොගැනීම’ වගේ දේවල්. ඒකෙන් දෙවෙනි එක හරි වෙන්න පුලුවන්. හැබැයි පළවෙනි එක හරියි කියන්න බෑ හැම මොහොතකදීම, ඒ කියන්නේ ඇතුළු ගිනි, නැතිනම් තමන්ගේ පවුලේ ඇතුළේ ප්‍රශ්න සමහර විට පිටට දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ගෘහස්ථ හිංසනය වගේ කාරණයක් එතන තියෙනවා නම්, වෙන කරන්න දෙයක් නෑ. හැබැයි මේ වගේ වෙලාවක ඇතුළු ගිනි පිටතට දෙන්න කියන්නේ ෆේස්බුක් එකේ දාන්න කියන එකවත්, ඔය ෆේස්බුක් ගෘප් එකක ෂෙයාර් කරගන්න කියන එකවත් නෙවෙයි. ඊට වඩා වගකීම් සහගත වැඩිහිටියෙක්, සමීපතම මිතුරෙක් වගේ කෙනෙක්ව දැනුවත් කරන එක ගැන අපි කියන්නේ. සාමාන්‍යයෙන් නම් ඉතින් අපි දෙමාපියන්ටනේ මේ වගේ දෙයක් වුණත් කියන්නේ. කොහොම හරි, තත්වය අවබෝධයෙන් තේරුම් ගන්න පුලුවන්, අපිට විශ්වාසවන්ත බාහිර පාර්ශවයක් මේ ගැන දැනුවත් වෙන්නම ඕන.

 

06. ප්‍රචණ්ඩත්වයක් ඇති වෙන්න පුලුවන් විටකදී එතනින් පිට වෙන්න

ගෘහස්ථ හිංසනය කියන එක විවිධාකාර විදියට සිද්ධ වෙන්න පුලුවන් කියන එක අපි කලින් කිව්වා. දැන් ගෘහස්ථ හිංසනය අපිට ශාරීරිකව හරි මානසිකව හරි ප්‍රශ්නයක් වෙන මට්ටමට යනවා කියලා දැනෙනවා නම්, කොටින්ම තමන්ට ශාරීරික අනතුරක් පවුලේ කෙනෙක්ගෙන් පැමිණෙන්න අවදානමක් තියෙනවා කියලා දැනෙනවා නම් වහාම එතනින් පිට වෙන්න. ඒක තමන්ට මානසිකව අනතුරක් ඇති වෙනවා කියලා දැනෙනවා නම් ඒත් එහෙමමයි. ඒ කොයි විදියට වුණත් ඔබ හිංසකයා එක්ක එක ගෙදරක ජීවත් වෙනවා නම්, වහාම එතනින් පිට වෙන්න. ඒ වගේම, තත්වය අනුව බලලා, අවශ්‍යයි කියලා හිතෙනවා නම් මතු ආරක්ෂාව තකා පොලිසියේ පැමිණිල්ලකුත් ගොනු කරන්න. දැන් එහෙම පිට වෙලා කොහාටද යන්නේ? හොඳම දේ තමයි තනියෙන් ඉන්නේ නැතුව තමන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, පවුලේ සමීප ඥාතීන්, සමීප මිතුරන් වගේ කෙනෙක් එක්ක ඉන්න එක. මොකද, ගෘහස්ථ හිංසනය කියන එක ඇත්තටම තමන්ගේ ගෙදර බිත්ති හතරට විතරක් නෙවෙයි සීමා වෙන්නේ.

 

දැන් එහෙම ප්‍රචණ්ඩත්වයක් ඇති වෙන්න පුලුවන් තැනින් ඉවත් වෙලා මොකද කරන්නේ? ඊට පස්සේ එයාගෙ තරහ නිවුණට පස්සේ ගෙදර යනවා කියන එක වැරදි ක්‍රියාමාර්ගයක්. එතනින් පිට වෙලා ඇවිත් ප්‍රශ්නේ විසඳන්න ඕන. එක්කෝ උපදේශන සේවයක් ඔස්සේ. හැබැයි ඒ කිසිම විදියකට ගොඩදාගන්න බැරි නම්, නීතිය ඔස්සේ.

 

07. උපදේශන සහායත් වැදගත් විය හැකියි

දැන් අපි කිව්වනේ කලිනුත්, සාමයෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන්න කියලා ගෘහස්ථ හිංසනය ඇති කරන හිංසකයෙක් තමන්ගේ පවුලේ කෙනෙක් වෙන අවස්ථාවකදී. දැන් අපි කියමු වයිෆ්ට නිරන්තරයෙන්ම යකාට වගේ කේන්ති යනවා, බඩු පොළවෙ ගහනවා කියලා. ඒක ඇත්තටම සාමාන්‍ය හැසිරීමක් නෙවෙයි. ඒ සම්බන්ධයෙන් අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕන තමයි. හැබැයි ඉවසීමෙන් වැඩ කරනවා කියන්නේ එහෙම කේන්ති යන ප්‍රශ්නයක් තියෙනවා කියන එක නොසලකා හරින එක නෙවෙයි. ඒක බොහොම පහසුවෙන් ගෘහස්ථ හිංසනය කරා දිගු වෙන්න පුලුවන්. ආන්න ඒ වගේ මොහොතක උපදේශන සහාය ඉතාම වැදගත් වෙන්න පුලුවන්. ඒ කියන්නේ එයත්, තමනුත් දෙන්නම උපදේශනය කරා යොමු වෙලා, එයාට ඒ පෞරුෂත්ව ගැටළුව විසඳාගන්න එතනින් උපදේශනය ඔස්සේ උපකාර ලබාදීමත්, තමනුත් එයාට සපෝට් සිස්ටම් එකක් වෙලා සහාය දීමත් කරන්න පුලුවන්.

 

තව දෙයක්, ගෘහස්ථ හිංසනයට මුහුණ පාන ඔබටත් උපදේශන සහාය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්න පුලුවන් ආයෙමත් ප්‍රකෘති තත්වයට එන්න. ඒ නිසා උපදේශන සහාය ඔබටත් වැදගත් කියන එක අමතක කරන්න එපා.

 

08. බැරිම තැනකදී නීති අධිකාරීන්ගේ පිහිට පතන්න

සාමාන්‍යයෙන් අපි කැමති නැහැනේ පවුලේ ප්‍රශ්නයක් නීතිය ඉස්සරහට අරගෙන යන්න. ඒ නිසා අපි ගොඩක් වෙලාවට කරන්න උත්සාහ කරන්නේ ඒක ගොඩින් බේරගෙන ආයෙමත් සමාදානෙන් දවසක් හරි ඉන්න උත්සාහ කරන්න. හැබැයි ඒක නිවැරදි දෙයක් නෙවෙයි. මොකද, ගෘහස්ථ හිංසනය කියන එක ප්‍රචණ්ඩත්වය කරා යොමු වුණොත්, ආයෙ බේරුම් කරගන්න කෙනෙක් නැතිවෙන්න ඉඩ තියෙනවා. එහෙම නැතිනම් තමන්ට මානසික අවපීඩනයක්, මානසික ආතතියක්, විශාදමය තත්වයක් කරා යොමු වුණොත්, ඒකත් තමන්ටම ලොකු හානියක් වෙන්න ඉඩ තියෙනවා. ආන්න ඒ නිසා උඩින් කියපු එක විදියකටවත් තත්වය සමනය කරගන්න බැරි නම්, ගෘහස්ථ හිංසනය සිද්ධ කරන හිංසකයාගෙන් තමන්ගේ ජීවිතයට හානිදායක තත්වයක් තියෙනවා නම්, නීතියේ පිහිට පතන එක තමයි කරන්න පුලුවන් හොඳම දේ. හදිසි අවස්ථාවකදී 119 ගහලා වුණත් තත්වය පැහැදිලි කරලා නීතිමය පිහිට ලබාගන්න පුලුවන්.

 

මතක තියාගන්න ඕන දේ මේකයි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියන්නේ නීතියෙන් දඬුවම් ලැබෙන වරදකාරී ක්‍රියාවක්. එතකොට අපි අපේ පවුලෙන් පිට කොහේ හරි තැනක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සිදුවෙනවා දැක්කත්, “අනේ ඒක ඒ ගොල්ලන්ගේ පවුලේ දෙයක්නේ, අපිට අත දාන්න බැහැනේ” කියලා අහක බලාගෙන ඉන්නෙ නැතුව, ඒකට එරෙහිව කතා කරන්න ඕන. අඩු තරමින් නීති අංශ දැනුවත් කරන්නවත් ඕන. ශ්‍රී ලංකා පොලිසිය, කාන්තා හා ළමා කාර්යාංශය, ජාතික ළමාරක්ෂක අධිකාරිය (1923 සහ1929 අංක) වගේ ඕනම තැනකට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව පැමිණිලි කරන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *