අපි හැමෝටම ජීවිතේ සාර්ථක වෙන්න තදබල වුවමනාවක් තියෙනවා කිව්වොත් ඒක බොරු නෙවෙයිනේ. විශේෂයෙන්ම දැන් කාලේ විදියට ගත්තත්, අපිට එක්කෝ කොහොම හරි සාර්ථක වෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම ගොඩක් අයට තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න සිහින තියෙනවා. දැන් ඔය වොරන් බුෆේගේ, ජැක් මාගේ, ස්ටීව් ජොබ්ස්ගේ එහෙම චරිත කතා කියවලා අපිටත් හිතෙනවා ඇයි අපිටත් ඒ විදියට වැඩ කරලා ජීවිතේ දිනන්න බැරි කියලා. ඇත්තටම එහෙම පුලුවන්. හැබැයි ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ නෑ. ඇයි? එක්කෝ අපිට ඒ අවශ්‍ය දක්ෂතාවය නෑ, එහෙම නැතිනම් මග පෙන්වීම නෑ. ඒ නිසාද? ඇත්තටම නෑ. ගොඩක් වෙලාවට අපි එහෙම අති සාර්ථක මිනිස්සු නොවී, සාමාන්‍ය කවුරුත් නොදන්න කවුරුහරි විදියට මැරිලා යන්නේ අපිට අවශ්‍ය කඩාගෙන බිඳගෙන කාගෙන වැඩ කරන හැකියාව නැති නිසා. ඇත්තටම දක්ෂතාවය පවා එහෙම වැඩ කරලා ලබාගන්න ඕන දෙයක්නේ. මේකට ප්‍රධානම හේතුවක් තමයි ගොඩක් අයට තියෙන වැඩ කල්දැමීමේ පුරුද්ද. එහෙම නැතිනම් සුද්දා කියන විදියට procrastination. හරි, වැඩ කල්දැමීමේ පුරුද්ද අත්හැරලා හෙට කරන්න තියෙන දේ අද වෙනකොටම ඉවර කරලා, ෆුල් ඩම් එකෙන් ඉස්සරහට යන මිනිස්සුන්ට සාර්ථක වෙන්න පුලුවන්. අපි ඇත්තටම මීට කලින් කතා කරලත් තියෙනවා කොහොමද ජීවිතේ සාර්ථකත්වය අඩාල කරවන වැඩ කල්දාන පුරුද්ද අත්හැරගන්නේ කියන එක ගැන.
හැබැයි ඒකට මූලික පියවර වෙන්නේ, තමන්ට ඇත්තටම මේ වැඩ කල්දාන, අද නෙවෙයි හෙට කියන බාලගිරි දෝෂය තියෙනවද කියලා දැනගන්න එක. ආන්න ඒ නිසා, අපි හිතුවා තමන්ටත් වැඩ කල්දාන පුරුද්ද තියෙනවද කියලා හොයාගන්නේ කොහොමද කියලා හොයාගන්න පුලුවන් ක්‍රම කීපයක් ගැන කතා කරන්න!
01. ඩෙඩ්ලයින් ප්‍රශ්න
අපි ගොඩක් අයට වැඩ කරනකොට ඩෙඩ්ලයින් එනවා. ඩෙඩ්ලයින් වලට වැඩ කරන්න සිද්ධ වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ගොඩක් අයට මේ හරිහැටි ඩෙඩ්ලයින් මීට් කරන්න බැරි ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. ඒකට විවිධ හේතු තියෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට වර්ක්ලෝඩ් එක වැඩි නිසාම ඩෙඩ්ලයින් වලට වැඩ කරන්න බැරි වීම එක හේතුවක්. හැබැයි වැඩ කල් දාන පුරුද්ද නිසා ඩෙඩ්ලයින් අතපහු වෙන්නත් පුළුවන්. එතකොට ඩෙඩ්ලයින් පහුකිරීම පුරුද්දක් විදිහට වෙනවා නම්, ඒකට අපි නිදහසට හේතුත් හදා ගන්නවා නම්, ඒ කියන්නේ ගොඩක් දුරට අපිට වැඩ කල් දාන පුරුද්ද තියෙනවා කියන එක. උදාහරණයක් විදිහට සමහරුන් හිතනවා තමන් අන්තිම මොහොතේ වැඩේට බහින එකෙන් තමයි තමන්ට හොඳටම වැඩ කරන්න පුළුවන් කියලා. ඒක ගොඩක් වෙලාවට තමන්ගෙ වැඩ කල් දාන පුරුද්ද සාධාරණීකරණය කර ගන්න තමන්ටම කියා ගන්න නිදහසට හේතුවක්. අන්න ඒ විදියට කෙනෙක් ඩෙඩ්ලයින් වලට වැඩ කරන්න උත්සාහ නොගෙන, ඩෙඩ්ලයින් පහු වීම සාධාරණීකරණය කර ගන්න එක වැඩ කල් දැමීමේ ලක්ෂණයක්.
02. පැයක වැඩේට පැය පහක්
දැන් අපි එක එක්කෙනා වැඩ කරන වේගය, වැඩ කරන විදිහ එකිනෙකාට වෙනස් නේ. සමහරු ඉක්මනට ඉක්මනට වැඩ කරනවා. තවත් සමහරු වැඩක් කරන්න ටිකක් වෙලාව ගන්නවා. යම් වැඩකට කෙනෙක් පැයක් ගන්නකොට තව කෙනෙක් පැය දෙකක් ගන්න එක වෙන්න පුළුවන් දෙයක්. හැබැයි ඇත්තටම පැයක් යන වැඩේට කෙනෙක් පැය පහක් ගන්නවනම්, අන්න ඒක වැඩ කල් දැමීමේ ලක්ෂණයක් විදිහට අඳුනගන්න පුළුවන්. එතැනදී ගොඩක් දුරට වෙන්නේ තමන් වැඩේ එක දිගට කරගෙන යන්නැතුව, වැඩේ කරන අතරවාරයේදී අවධානය වෙන අතකට යන විවිධාකාර තවත් දේවල් කිරීම. අපි කියමු මොනවා හරි ලියනවා කියලා. එතකොට ඒ ලියන එකට මනස හැදිලා, ඒකට සමවැදිලා ලියන්න ඕන, හොඳ කොලිටියට තමන් ලියන දේ ලියවෙන්න. හැබැයි විනාඩි පහළොවක් ලියමින් ඉඳලා ඊට පස්සේ ෆේස්බුක් එකට යනවා නම්, තව පැය භාගයක් හෙමිහිට හෙමිහිට ලියමින් ඉඳලා ඊට පස්සේ මොනවා හරි කන්න ඕන කියලා හිතලා යනවනම්, එතකොට දන්නෙම නැතුව හයෙන් ඉවර කරන්න පුළුවන් වැඩේට පැය පහක් හයක් ගිහිල්ලා. ඒක වැඩ කල්දාන්නෙකුගේ ලක්ෂණයක්.
03. අවධානය රඳවා ගැනීම ගැටලුකාරී වීම
වැඩ කල් දාන එක මානසික ගැටලුවක් විදියටම විදියට ම පවතින කෙනෙක්ගේ තවත් ලක්ෂණයක් තමයි, එයාට එක වැඩකට එක දිගට අවධානය රඳවා ගන්න අසීරු වීම. හැබැයි වරදවා වටහාගන්න එපා. අවධානය එක දිගට එක තැනකට රඳවාගන්න අසීරු වෙන්න වෙනත් කරුණු කාරණාත් තියෙන්න පුළුවන්. හැබැයි වැඩ කල් දාන කෙනෙක් තමන් කළ යුතු දේ කරනවා වෙනුවට වෙන දහසකුත් එකක් දේවල් කරන්න නොයෙකුත් හේතු තමන් නොදැනුවත්වම හොයාගන්නවා. උදාහරණයක් විදියට වැඩක් ඉවර කරන්න තියෙද්දි, ෆේස්බුක් යන්න එයා තමන්ටම කියා ගන්න කාරණාව තමයි, අලුතෙන් රටේ ලෝකේ මොනවද වෙලා තියෙන්නෙ කියලා ෆේස්බුක් එකට ගිහිල්ලා දැනගන්න ඕන කියන එක. හැබැයි ඇත්තටම රටේ ලෝකෙ දේවල් දැනගන්න එක වැඩ ඉවර කරලත් කරන්න පුළුවන්. ඒක ප්‍රමුඛතාවයකුත් නෙවෙයි. ඒත් එයාට එහෙම කරන එකෙන් ගැලවෙන්නත් බෑ. අන්න ඒක වැඩ කල් දමන කෙනෙකුගේ ලක්ෂණයක්.
04. ප්රමුඛතාවයන් තෝරාගන්න අසමත්වීම
සාමාන්‍යයෙන් අපි එදිනෙදා වැඩ සැලසුම් කරනකොට, දවසේ කළ යුතු වැඩ ටික ලැයිස්තු ගත කරනවා වගේම, ඒ වැඩ වලින් ප්‍රමුඛතාවය හිමි විය යුතු වැඩ මොනවාද කියන එක හඳුනා ගන්නත් උත්සුක වෙන්න ඕන. අන්න එතකොට තමයි හරිම කාර්යක්ෂමතාවයකින් දවසේ නියමිත වැඩ ටික ප්රමුඛතාවයන්ගේ අනුපිළිවෙලට ඉවර කරගන්න පුලුවන් වෙන්නේ. හැබැයි වැඩ කල් දාන කෙනෙක්ට මේ ප්රමුඛතාවයන් අඳුනගන්න එක ගැටලුවක්. ගොඩක්ම වෙලාවට සිද්ද වෙන දේ තමයි වැඩ කල් දාන ලක්ෂණ තියෙන කෙනෙක්, තමන් ප්‍රමුඛතාව දීලා කළ යුතු වැඩේ වෙනුවට, වෙනත් නොවැදගත්, පුංචි පුංචි බොරු වැඩ කරමින් බොරුවට කාලය ගත කරන එක.
05. පුද්ගලික ජීවිතයත් කල් දාන එක
අපි සාමාන්‍යයෙන් හිතනවා මේ වැඩ කල් දාන නරක පුරුද්ද තියෙන්නේ තමන්ගේ රාජකාරී වැඩ හෝ ඉගෙනුම් වැඩ සම්බන්ධයෙන් විතරයි කියලා. ඇත්තටම එහෙම නෑ. වැඩ කල් දාන පුරුද්ද තියෙන මනුස්සයෙක් තමන්ගේ පුද්ගලික ජීවිතයේ වැඩ කටයුතු වුණත් ඒ විදියටම කල්දාන ප්රවණතාවයක ඉන්නවා. උදාහරණයක් විදිහට කවුරුහරි නෑදෑයෙක් ට දුරකථන ඇමතුමක් දීලා බලන එක හරිම සරල, විනාඩි කිහිපයක් ගත වෙන වැඩක්. හැබැයි ඒ විනාඩි කිහිපය ගත වන වැඩේ උනත් අපි කරන්නේ නැහැ සති ගානක් යනකල්. ඒක කරන්න බෑ බෑ වගේ කියලා හිතනවා. සමහර වෙලාවට අපි ඒ වගේ සුළු වැඩක් කල්දාන්න නිදහසට කරුණුත් හදාගන්නවා. උදාහරණයක් විදිහට අපි හිතනවා ඒ නෑයාට කෝල් එකක් දීලා කතා කරන්න නම්, සම්පූර්ණයෙන්ම වෙන වැඩ නැති නිදහස් වෙලාවක් එනකල් ඉන්න ඕන කියලා. හැබැයි ඒක තමන්ටම කියාගන්න බොරුවක්. ඇයි? තමන්ට ඇත්තටම තියෙන්නෙ වැඩ කල් දාන පුරුද්ද නිසා.
06. අනාගතය ගැන අනවශ්‍ය විදිහට සිහින මවමින් විතරක් සිටීම
අපි හැමෝටම වගේ අනාගත සිහින තියෙනවනේ. ඒ කියන්නේ, අනාගතයේ මම ලෝක ප්‍රකට නිර්මාණ ශිල්පියෙක් වෙනවා, අනාගතයේ මම හොඳට මුදල් හොයාගෙන ලෝකෙ රටවල් දකින්න යනවා, මගේ රැකියාවෙන් ඉහළටම ගිහිල්ලා සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙක් වෙනවා. ඔන්න ඔය වගේ හීන ඕනම කෙනෙක්ට තියෙන්න පුළුවන්. ඇත්තටම එහෙම හීන තියෙන එක හොඳයි. හැබැයි අපි ඒ හීන සාක්ෂාත් කරගන්න නම්, අද ඉඳන්, දැන් ඉඳන්, මේ මොහොතේ ඉඳන් ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරන්න ඕන. තමන්ගේ අනාගත අරමුණු වලට යන්න සැලසුම් ක්‍රියාත්මක කරන්න ඕන. කැපවීමෙන් වැඩ කරන්න ඕන. හැබැයි අපි හිතමු අපි හැමදාමත් කරන්නේ වාඩි වෙලා අනාගතේදී තමන්ට වෙන්න ඕන කොයි වගේ වගෙ කෙනෙක්ද, අනාගතයේ තමන් ඉන්න ඕන කොහොම තැනකද කියන එක ගැන නොනවත්වාම සිහින මවන එක විතරයි කියලා. ඒ වෙනුවෙන් වැඩ කිරීම හැමදාමත් හෙට පටන් ගන්න ඕන කියලා හිතනවා කියලා. ඒක තමයි වැඩ කල් දැමීමේ පුරුද්ද කියන්නේ. මතක තියාගන්න. සිහින දැකීම සහ සිහින වෙනුවෙන් දැන් ඉඳන් ම වැඩ කිරීම කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් දෙකක්.
07. තේරුමක් නැති නිදහසට කාරණා
සාමාන්‍යයෙන් අපි වැඩ කල් දානවා කියන්නේ, අපිට වෘත්තීය ජීවිතයේදී හෝ අධ්‍යාපන ජීවිතයේදී ප්‍රශ්න වලට ඉක්මනින් හෝ ප්‍රමාද වෙලා හෝ මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක. හැබැයි වැඩ කල් දාන රෝග ලක්ෂණ තියෙන කෙනෙක්, ඒකට විවිධ නිදහසට හේතු හදාගන්නවා. “අය්යෝ අද පැය පහක් පවර් කට්, ඉතින් ඉතුරු වෙලාව වැඩ කලාට වැඩක් නෑ, ඔන්න ඔහේ හෙටම ඔෆිස් වැඩ ඉවර කරනවා”. එහෙම නැතිනම් “ඊයෙ ට්‍රිප් එක ගිහිල්ලා ඇවිල්ලා අද ඇඟ ටිකක් රිදෙනවා වගේ, ඒ නිසා හෙටම වැඩ කරනවා”. එහෙමත් නැතිනම් “දැන් රෑ වෙලා, මේක ලොකු වැඩක් නිසා මේක ෆ්‍රෙෂ් පිට පටන් ගන්න ඕන, ඒ නිසා හෙටම පටන් ගන්නවා”. හැබැයි නිකමට හිතලා බලන්න. ඔය හැම අවස්ථාවකදිම අපිට ඇඟ ටිකක් රිදුනත්, වැඩ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ පැය දෙකක් වුණත්, පැය පහක් පවර්කට් තිබ්බත්, ඕන නම් වැඩ වලින් කොටසක් හරි ඉවර කරන්න පුළුවන්. හැබැයි අපි නිදහසට හේතු කිය කිය වැඩේ පටන් ගන්න එක කල් දාන්නේ, වැඩ කල් දැමීම ඇබ්බැහියක් වෙලා නිසා.
08. ස්නූස් ස්නූස් ස්නූස්
දැන් අපි උදේට නැගිටින්න එලාම් එක තියෙනවනෙ. එලාම් එකෙන් කරන්නේ අපිව ඇහැරවන්න එක. සමහරු එක පාරක් ඇහැරිලා ආයි නිදාගන්න නිසා ඒ අය එලාම් දෙක තුනක්, වේලාවන් කිහිපයකට තියාගන්නවා. හැබැයි අපි හිතමු එලාම් එකට ඇහැරිලා, ආයෙ නිදාගන්නෙත් නැතුව, ඒත් නැගිටින්න කම්මැලියි වගේ නිසා, එලාම් එක ස්නූස් කර කර ඇඳට වෙලා පෙරළි පෙරළි ඉන්නවා කියලා. ඒක ගොඩක් දුරට වැඩ කල් දාන ඇබ්බැහියේ ලක්ෂණයක්.
09. සෝෂල් මීඩියා
සමාජ මාධ්‍ය ජාල නැතිනම් සෝෂල් මීඩියා කියන්නේ ඇත්තටම නරක දෙයක් නෙවෙයි. හැබැයි අපි සෝෂල් මීඩියා වල තමන්ගෙ වැඩ අතපහු කරගෙන රැඳිලා ඉන්නවනම්, ඒ සෝෂල් මීඩියා වල රැඳිලා ඉන්න කාලය ඇතුළත කිසිම ඵලදායි දෙයක් සිද්ධ වෙන්නෙත් නැත්නම්, ඒක වැඩ කල් දැමීමේ ඇබ්බැහියේ රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. සමහරු මේකටත් නිදහසට කාරණයක් හදාගන්නවා, මම ෆේස්බුක් ගියාට එකේ චැට් කර කර කමෙන්ට් කර කර කාලය ගත කරන්නේ නැහැනෙ කියලා. හැබැයි එයා කරන්නේ ඔහේ ෆේස්බුක් ෆීඩ් එකේ උඩට පල්ලෙහාට යන එක. ඒක වැඩ කල් දැමීමේ පුරුද්ද තියනවා කියන්න ලක්ෂණයක් තමයි.
දැන් දන්නවනේ තමන්ටත් වැඩ කල්දාන පුරුද්ද තියෙනවා කියලා. හරි. ගැටළුවක් නෑ. එහෙමනම්, හෙට ඉඳන් නෙවෙයි, දැන් ඉඳන් පටන් ගමු ඒ පුරුද්ද නැති කරගන්න. මේ ටිප්ස් ටිකට අනුව දැන් ඉඳන්ම සාර්ථකත්වය කරා වැඩ කරමු!
Leave a Reply