පෞරුෂත්වය කියන එක අපිට නිතරම අහන්න ලැබිලා තිබුණට, මොකක්ද පෞරුෂත්වය කියන්නේ කියලා කෙනෙක් ඇහුවොත් අපි හිරවෙන්න පුලුවන්. ඇත්තටම කෙනෙකුගේ පෞරුෂයක් කියල සරලවම කියන්නේ ඒ පුද්ගලයාගේ සිතුම් පැතුම්, හැසිරීම සහ කතාබහ එහෙම එයාටම අනන්‍යව අනුගමනය කරන විදිහ. සාමාන්‍යයෙන් හොඳ පෞරුෂත්වයක් කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුණත්, හොඳ පෞරුෂත්වයක් අගය කරන්න තියෙන හැකියාව සමාජයටම පොදුයි. අන්න ඒ නිසා තමයි හොඳ පෞරුෂත්වයක් තියෙන අය සහ පෞරුෂත්වය දුර්වල අය කියන එක වෙන් කරලා දක්වන්න සමාජයේ අනික් අයට හැකියාව තියෙන්නේ.
හැබැයි හොඳ පෞරුෂත්වයක්, ආකර්ෂණීය පෞරුෂත්වයක් කියන එකට කෙනෙක්ට උපතින් එන යම් යම් ගතිගුණ, එතකොට කෙනෙක් ඇතිදැඩි වෙන විදිය, හැදෙන වැඩෙන පසුබිම එහෙමත් හේතු වුණාට, අවශ්‍ය නම් කෙනෙක්ට දැන් වුණත් තමන්ගේ පෞරුෂත්වය හොඳ අතට දියුණු කරගන්න පුලුවන්. අන්න එහෙම පෞරුෂත්වය වැඩි කරගන්න එකට අපි මීට කලින් සාර්ථක ටිප්ස් කීපයක් දීලා තියෙනවා. එතකොට, ඔය සමාජයේ කොහේ ගියත් අනික් අයගේ ආකර්ෂණය දිනා ගන්න අය ඉන්නේ. එහෙම ආකර්ෂණීය පෞරුෂත්වයක් ගොඩනංවා ගන්නේ කොහොමද? අන්න ඒක ගැන තමයි අද මේ කියන්න යන්නේ!
01. පිටතට විහිදෙන ආත්ම විශ්වාසය
දැකලා තියෙනවද ආකර්ෂණීය පෞරුෂත්වයක් තියෙන මනුස්සයෙක් කොහේ හරි පිරිසක් මැදට ආවහම කොහොමද කියලා? එහෙම පෞරුෂත්වයක් තියෙන කෙනෙක් කාමරයකට ඇතුළු වුණත්, ඇතුළු වෙන්නේ හරියට එතන හිමිකම තියෙන්නේ තමන්ට වගේ. පිරිසක් මැද්දට ආවත් එන්නේ එතන අයිතිකාරයා තමන් වගේ. මේ කියන්නේ වචනයක් වත් කියන්නෙ නැතුව own the place ආකල්පයකින් ඉන්න එක ගැන. ආන්න ඒකට අවශ්‍ය වෙන්නේ පිටතට දැනෙන ආත්ම විශ්වාසයක්. මෙහෙම ආත්ම විශ්වාසයක් ඇති වෙන්න නම්, මුලින්ම තමන් ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න ඕන. එහෙම තමන් ගැන හොඳ හැඟීමක් ඇති වෙන්න නම්, තමන්ට තමන්ගේ වටිනාකම් දැනෙන්න ඕන. එහෙම වටිනාකම් දැනෙන්න නම්, තමන් ඒ වටිනාකම් ඇති කරගන්න ඕන. සරල උදාහරණයක් ගමු. තමන් කෙට්ටු, මහත, කළු, සුදු මොන වගේ රූපයක් තියෙන කෙනෙක් වුණත්, එයා අදාළ තැනට ගැලපෙන විදියට හොඳට ඇඳලා පැළඳලා ඉන්නවා නම්, එයාට තමන් ගැන ඒ හොඳ හැඟීමෙන්, හොඳ ආත්ම විශ්වාසයකින් එතනට යන්න පුලුවන්. එතකොට තමන් කතාවක් පවත්වන්න පිරිසක් මැදට යනවා නම්, තමන් ඒ කතාවට සූදානම් වෙලා, ඒ කතාවට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ වෙලා එතනට යනවා නම්, අර කියපු ආත්ම විශ්වාසය ලැබෙනවා.
02. ශරීර අභිනයන්
මෙන්න මේවා නම් කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් හරි පුරුදු වෙන්න ඕන දේවල්. නිකමට හිතන්න. අපි හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට නිකම් ඉස්සරහට කුදු වෙලාද ඉන්නේ? එහෙම නැතුව කෙලින් හිටගන්න පුලුවන්ද බලන්න. හැබැයි ඒ කියන්නේ අර ඕනෑවට වඩා පපුව ඉස්සරහට දාගෙන ඉන්න කියන එක නෙවෙයි. හැබැයි සෘජුකායෙන්, උරහිස් පිටුපස්සට දාලා ඉන්න එක. ඇවිදිනකොට වුණත් කන්ෆිඩන්ස් ඇතුව, ෂුවර් පිට ඇවිදින එක. හිටගෙන ඉන්නකොට කොහේටවත් මුක්කු ගහගෙන, ඇලවෙලා ඉන්නෙ නැතුව සෘජුව අත් බැඳගෙන නැතිනම් අත් සාක්කුවේ දාගෙන නැතිනම් අත් පිටුපසට බැඳගෙන ඉන්න එක. නිකමට බලන්න එහෙම ඉන්නකොට තමන් සෑහෙන්න උසයි වගේ හැඟීමක් එනවා. තමන් දැවැන්තයි වගේ දැනෙනවා. ආන්න ඒක තමයි පිටත ඉන්න අයටත් අපි ගැන දැනෙන්නේ. ඒක එන්නේ ආත්ම විශ්වාසයත් එක්ක. අන්න ඒ නිසා මේ ශරීර අභිනයන් හරියාකාරව තියෙන එක විතරක් මදි හැබැයි ආකර්ෂණීය පෞරුෂත්වයක් ඇති වෙන්න. ඒකට අර උඩ කියපු, රැස් වළල්ලක් වගේ පිටතට විහිදෙන ආත්ම විශ්වාසයත් අවශ්‍ය වෙනවා.
03. පුරාජේරු කම්, උඩඟු කම් එපා
දැන් අපි පිරිසක් මැද්දේ ඉන්නකොට, අපි කොහොමද කැපිලා පේන්නේ? හරි. උඩ කියපු ඒවා ඇරෙන්න. ඒකට ඉතින් තමන් කවුද කියලා අනික් අයට කියන්න වෙනවා, එහෙම නේද? දැන් කවුරුවත් පැනලා ඇවිත් අහන්නෙ නෑනේ ඔයාට සල්ලි කොච්චර තියෙනවද, ඔයාට කොච්චර උගත්කම තියෙනවද කියලා. ආන්න ඒ නිසා ගොඩක් දෙනෙක් තෝරගන්නේ තමන් ගැන අනික් අයට කියන්න. සමහරුන්ගෙන් ‘ඉතින් ඔයා මොනවද කරන්නේ?’ කියලා සරල ඇහුවහම ඔන්න පැයක් යනකල් තමන්ගේ රස්සාවේ ලොකු කම, තමන්ට තියෙන වගකීම් ගැන කියනවා. ඒකෙන් තමන්ගේ වටිනාකම ඉහළ යනවද? නෑ. එතකොට තවත් අය තමන්ගෙන් ඇහුවත් නැතත්, පැනලා පුරාජේරුව කියනවා. ඒකත් ලොකු උඩඟු කමකින්. හැබැයි ඒකෙන් වටිනාකම ඉහළ යන්නෙත් නෑ. ඇත්තටම එහෙම පුරාජේරු පුරසාරම් කියන එකෙන් වෙන්නේ තමන්ගේ වටිනාකම, පෞරුෂත්වය බහින එක. එතකොට කොහොමද තමන් පෞරුෂත්වයෙන් කැපිලා පේන්නේ? සරලයි. තමන් ගැන පම්පෝරි නොගහ ඉන්න. තමන්ගේ ආත්ම විශ්වාසයෙන්, පෞරුෂත්වය විදහා දක්වන ශරීර අභිනයන්ගෙන් අවධානය දිනා ගන්න. ඒ අතරට තව එකතු වෙන්න ඕන දේවල් තියෙනවා. හැබැයි ඒ ඇරෙන්න, තමන් කරන දේ ඇහුවත් ඒක කොටින්, සරලව සහ පැහැදිලිව කියන්න. ඒක නිහතමානී විදියට කියනවා මිසක්, ලොකු කමට කියන්න යන්න එපා. ඇත්තටම තමන් කරන දේ, තමන් සාක්ෂාත් කරගෙන තියෙන දේ ගැන කොටින්, පැහැදිලිව, නිහතමානීව සඳහන් කරන එකෙන් හොඳ ආකර්ෂණීය පෞරුෂත්වයක් තියෙනවා කියන එක පේන්න පටන් ගන්නවා.
04. සමාජය එක්ක පොඩි පොඩි දෙයින් ගනුදෙනු කරන්න
අපි උඩින් කිව්වනේ ආකර්ෂණීය පෞරුෂත්වයකින් තමන් යන යන තැන අවධානය ලබාගන්න පොඩි පොඩි දේවල් උපකාරී වෙනවා කියලා. එයින් එකක් තමයි හොඳ හිනාවක් සහ ප්‍රසන්න පෙනුමක්. දැන් ප්‍රසන්න පෙනුමක් ඇති කරගන්න අපිට බාහිරව කරන්න පුලුවන් දේවල් තියෙනවා. ඒ තමයි ගෘමින් නැතිනම් පිළිවෙලකට තමන්ව පවත්වා ගන්න එක. ඒ ඇරෙන්න, තමන්ගේ බැල්ම, මුහුණ හොඳ පෞරුෂත්වයක් පිළිබිඹු කරන විදියට ප්රක්ෂේපණය කරන්න අපිට කණ්ණාඩිය ඉස්සරහදී ප්‍රැක්ටිස් කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් ඉන්නකොට කොහොමද අපේ පෙනුම හොඳටම පේන්නේ? අපිට බැරෑරුම් මූණක් ගැලපෙනවද? එහෙම ඉන්නකොට අපි රවාගෙන මුඩුම විදියට ඉන්නවා වගේ පේනවද? කොහොමද හිනා වෙන්නේ? හිනා වෙන්න පුලුවන් විදි මොනවද? මෙන්න මේ දේවල් තමන්ට ගැලපෙන හොඳම විදියට තෝරාගන්න. ඒ තෝරාගත් අභිනයන් ප්‍රැක්ටිස් කරන්න. දැන් ඒවා පාවිච්චියට ගන්න. ඒ මෙහෙමයි.
දැන් අපි කොහේ හරි ඇවිදගෙන යනකොට අපිට විවිධ මිනිස්සු මුණගැහෙනවා. එතකොට ඒ අය දිහා බලන්න පුලුවන්. කෙනෙක් අපි දිහා විමසිල්ලෙන් බැලුවොත්, ඒ කෙනාට මඳ සිනහවකින් සංග්‍රහ කරන්න පුලුවන්. අපිට කෙනෙක්ව හිතෛෂී විදියට හඳුන්වා දෙනකොට වෝල්ට් තිස්තුන්දාහක ප්‍රියංකර හිනාවක් පාන්න පුලුවන්. මිනිස්සුන්ගේ ඇස් දිහා බලලා හිනාවෙන්න, ඇස් කෙලින් බලලා කතා කරන්න පුලුවන්. ආන්න ඒවැයින් ආකර්ෂණීය පෞරුෂත්වයකට සෑහෙන්න දේවල් එකතු වෙනවා.
05. කැමරා ෂයි නැති වෙමු
දැන් කැමරාවක් ඉස්සරහට ගියහම සමහරුන්ට කොහොම ඉන්නද කියලා තේරුමක් නෑ. එක්කෝ ඔහේ අත් දෙපැත්තට දාගෙන හිටගෙන බුම්මගෙන ඉන්නවා. සමහරු නම් කෙලින්ම ඩක් ෆේස් දාගෙන ඉන්නවා. ඒ අතරේ සමහරු කැමරාවක් ඉස්සරහට යන්න ලැජ්ජයි. ෆොටෝ එකක් ගන්න ගියහම මුල්ලකින්, පැත්තකින්, පිටිපස්සෙන්, අන්තිමට තමයි ඉන්නේ. හැබැයි ඔය ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම තමයි, කැමරාවට මුහුණ දෙන්න හොඳ පෝසස් ටිකක් ඉගෙන ගන්න එක. මුලින්ම කණ්ණාඩිය ඉස්සරහට ගිහින්, ෆොටෝ එකකට තමන්ගේ ගැලපෙනම මුහුණේ කෝණය, ඉරියව්ව, හිනාව වගේ දේවල් ට්‍රයි කරලා බලන්න. ඕන නම් සෙල්ෆි අරගෙන ට්‍රයි කරන්නත් පුලුවන්. ඊට පස්සේ, පොඩ්ඩක් ඔය ටික් ටොක් එකේ, ගූග්ල් එකේ එහෙම සර්ච් කරලා බලන්න හොඳ කැමරා පෝසස්. ඒ කියන්නේ වෙලාව බලන ඉරියව්ව, පැත්තට බලාගෙන ඉන්න ඉරියව්ව, කකුලක් ඉස්සරහට තියාගෙන ඉන්න ඉරියව්ව, මූණ බාගෙන අතින් වහගෙන ඉන්න ඉරියව්ව වගේ එක එක ෆැන්සි පෝසස් ගැන හොයාගන්න පුලුවන්. දැන් ඒවා ට්‍රයි කරලා බලන්න. කණ්ණාඩිය ඉස්සරහා තමයි හොඳ. ඕන නම් ට්‍රයල් ෆොටෝස් අරගෙන බලන්නත් පුලුවන් කාවහරි උදව්වට සෙට් කරගෙන. දැන් එහෙම තමන්ට හරියටම සෙට් වෙන කැමරා පෝසස් වල ප්‍රවීණයෙක් වුණහම, තවදුරටත් කැමරා ෂයි වෙන එකක් නෑ. දැන් ඒක පෞරුෂත්වයට වැදගත්ද? ඔව්. අපි ඉන්නේ ඩිජිටල් යුගයකනේ. අපේ ෆොටෝස් ඔන්ලයින් තියෙනවා. ආන්න ඒ නිසා මේ කැමරාවට ආකර්ෂණීය විදියට මුහුණ දෙන්න දැනගන්න එක, ආකර්ෂණීය පෞරුෂත්වයක් විදහා පෙන්නන්න හොඳ උදව්වක්.
06. දැනුම්වත් වෙන්න
ආකර්ෂණීය පෞරුෂත්වයක් කොහොමද අපි අභ්‍යන්තරයෙන් නිර්මාණය කරගෙන බාහිරට ප්රක්ෂේපණය කරන්නේ කියලනේ උඩ කියලා තියෙන දේවලින් සාකච්ඡා වෙන්නේ. හැබැයි කෙනෙක්ගේ පෞරුෂත්වය ආකර්ෂණීය වෙන්න තවත් වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි සරලවම කියනවා නම් දැනුම සහ දැනුම හසුරුවන්න පුලුවන් වීම. සරල උදාහරණයක් ගමු. දැන් ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය කිව්වහම ඕනම කෙනෙක්ට ඒ ගැන ඔපීනියන් එකක් තියෙනවා. සමහර ඒවා ගොබ්බ කතා වෙන්න පුලුවන්. සමහර ඒවා ඇත්ත අදහස් වෙන්න පුලුවන්. හැබැයි ඇත්ත අදහසක් වුණත් දැනුමෙන්, විශ්ලේෂණයෙන් රුකුලක් නැතුව නම් ඉදිරිපත් වෙන්නේ, ඒක ඉදිරිපත් කරන කෙනාගේ පෞරුෂත්වයට ඒකෙන් ආකර්ෂණයක් ලැබෙන්නෙ නෑ. ආන්න ඒ නිසා, දැනුම එකතු කරන්න. ඒක අමාරු නෑ. උදාහරණයක් විදියට අපිට පුලුවන් විවිධ දේවල් ගැන තියෙන යූටියුබ් චැනල් හරහා දේවල් ඉගෙන ගන්න. එතකොට වෙබ්සයිට් හරහා ඉගෙන ගන්න. ඒ වගේම, වර්තමාන ලෝකයේ දේවල් ගැන අවධානයෙන් ඉන්න. නිව්ස් බලන්න, අහන්න. හැබැයි ඔය ඔක්කොම කළාට, ඒ මදි. මේ එකතු කරගන්න දැනුම විශ්ලේෂණාත්මකව මතයන් විදියට ඉදිරිපත් කරන්නත් හැකියාව තියෙන්න ඕන. ඒ ඉදිරිපත් කිරීම, තමන් අදහස් හුවමාරු කරගන්නා පිරිසට අවබෝධ වෙන විදියට කරන්න පුලුවන් වෙන්නත් ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, ඒ තරම් දේශපාලන බුද්ධියක් නැති පිරිසක් එක්ක කතා කරනකොට, සංකීර්ණ සංකල්ප වුණත් වඩාත් සරලව ඉදිරිපත් කරන්න පුලුවන් වෙන්න ඕන. ආන්න ඒකට තියෙන විශ්ලේෂණාත්මක දැනුම තමයි ආකර්ෂණීය පෞරුෂත්වයට සාධකයක් වෙනවා කියන්නේ.
07. රහස් ඔත්තුකාරයෙක්ගේ විදියේ පෞරුෂත්වයක්?
මේ කියන්නේ ගිහින් කාගෙහරි රහස් හොයන්න කියන එක නෙවෙයි. හැබැයි නිකමට හිතන්න ඔය ෆිල්ම්ස් වල එහෙම දකින්න ලැබෙන රහස් ඔත්තුකාරයෝ කොයි වගේද කියලා? ඒ අය සයිලන්සර් හයිකරපු පිස්තෝලෙ අරගෙන වහලවල් උඩ බඩගාන වෙලාවල් ගැන නෙවෙයි මේ කියන්නේ. ඒ අය සමාජයත් එක්ක මුහු වෙන වෙලාව. ආන්න ඒක තමයි කතන්දරේ. ඒ අයට ඕනම සමාජ කණ්ඩායමක් එක්ක මුහුවෙන්න පුලුවන්, තමන් හැදුණු වැඩුණු සංස්කෘතිය මොකක් වුණත්. ආන්න ඒකට හොඳ සෝෂල් ස්කිල්ස්, එහෙම නැතිනම් සමාජ කුසලතා තියෙන්න ඕන. ඒ වගේම, කිසිම දෙයක්, කිසිම කෙනෙක් විනිශ්චය කරන්නෙ නැති, ඒ කියන්නේ ජජ්මෙන්ටල් වෙන්නෙ නැති ආකල්පයක් තියෙන්න ඕන. කිසිම කෙනෙක්ව කොන් නොකරන ආකල්ප පද්ධතියක් තියෙන්න ඕන. ආන්න එහෙම කෙනෙක්ගේ පෞරුෂත්වය, මොන සමාජ කණ්ඩායම් ඇතුළේ වුණත් ආකර්ෂණීයව කැපී පේනවා. අපි ඔය සෝෂල් ස්කිල්ස් ගැන වැඩි දුරටත් වෙන දවසක කතා කරමු.
මේ ඇරෙන්න අනිත් අයගේ ආකර්ෂණය ලැබෙන විදියට කතාබහ කරන්නත් පුලුවන් වීම, හොඳ ආකර්ෂණීය පෞරුෂත්වයක් ලබාගන්න අවශ්‍ය වෙන කාරණයක්. ඒ ගැන අපි කලින් කියලා තියෙනවනේ.
Leave a Reply