මේ කාලෙ අපි ආහාර ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ.මොකද ලෝක ආර්ථික විශ්ලේෂකයින් කියන විදියට ඉදිරි මාස 3 ඇතුළත උග්‍ර ආහාර හිඟයකට අපේ රට ඇතුළු මුළු ලෝකෙම මුහුණ දෙනවා. ඉතින් අපු දැන් තියාම ඒකට සූදානම් වෙන්න ඕනේ. අපිට අපේ ගෙවත්තෙ වවාගන්න පුලුවන් එළවළු, පළතුරු ටිකක් හදාගන්න එක ගොඩක් වටිනවා. ඒ වගේම ගොඩක් අය නොදන්නවා උනාට අපේ ගෙවල් වල ඔහේ වැවෙන සමහර කොළ වර්ග ගොඩක් ගුණදායක වගේම ආහාරයට ගන්න පුලුවන් හරිම රසවත් දේවල්. ඉතින් අද අපි ඒ දේවල් ගැන පොඩ්ඩක් කියලා දෙන්න හිතුවා. බලන්න මේක ඔයාට කොයිතරම් වැදගත් වෙයිද කියලා.
01. කිරි හැන්ද කොළ
දියවැඩියාවට හා ආතතියට ගොඩක් හොඳයි.
අවශ්‍ය ද්‍රව්‍ය :-
කිරිහැන්ද කොළ මිටියක්
ගාගත් පොල් කෝප්ප 1
ලියාගත් සුදුළූණු බික් 1
කහකුඩු තේහැඳි 1/2
අබ ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් ඇට ස්වල්පයක්
තුනපහකුඩු තේහැඳි 1/2
- කොළ ටික සෝදලා හීනියට ලියාගන්න.
- අබ, කහකුඩු ,ගම්මිරිස් , සුදුළූණු හා තුනපහකුඩු හා ලුණු එකට දාලා හොඳට අඹරාගන්න.
- මේකට පොල් ටිකත් දාලා අඹරගන්න.
- ඊළඟට කිරිහැන්ද ටික ඇතිලියකට දාලා ලිපේ තියලා උඩින් පොල් ටික දාලා මලවගන්න.
02. නිල්කටරොළු මල් පකෝඩා
තරුණ පෙනුම රැකගැනීමට හා දියවැඩියාව ගුණ මල් වර්ගයක්.
අවශ්‍ය ද්‍රව්‍ය :-
නිල්කටරොළු මල් කිහිපයක්
කඩලපිටි කෝප්ප 1/2
කහකුඩු තේහැඳි 1/4
මිරිස්කුඩු තේහැඳි 1/2
ලුණු හා ගම්මිරිස්කුඩු
බැදීමට තෙල්
- මල් ටික හොඳට සෝදලා වතුර පෙරාගෙන වේලෙන්න තියන්න.
- ඒ අතරේ බැටර් එක හදාගන්න.
- කඩලපිටි වලට මිරිස්කුඩු, කහකුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා වතුර ටික ටික දාලා තික් බැටර් එකක් හදාගන්න.
- දැන් තෙල් රත්වෙන්න තියලා මල් වල නටුවෙන් අල්ලලා බැටර් එකේ ඔබලා වැඩි ටික අයින් කරලා තෙලට දාගන්න.
- රන්වන්පාට වෙනකල් බැදගන්න.
03. කැරන් කොකු ඇඹුල
අස්ථි රෝග සඳහා විශේෂයි.
අවශ්‍ය ද්‍රව්‍ය :-
සෝදාගත් කැරන් කොකු ඉති කිහිපයක්
රම්පේ හා කරපිංචා
කොච්චි ස්වල්පයක්
ලියාගත් රතුළූණු ගෙඩි 5
හාල්මැස්සන් කිහිපයක්
මිරිස්කුඩු තේහැඳි 1
කහකුඩු තේහැඳි 1/2
තුනපහකුඩු තේහැඳි 1/2
ලුණු ස්වල්පයක්
මිටිකිරි කෝප්ප 1/2
- කැරන්කොකු ටික පොඩියට කපාගන්න.
- ඇතිලියකට දාලා කපාගත් රම්පේ, කරපිංචා, කොච්චි හා රතුළූණු දාගන්න.
- මේකට මිරිස්කුඩු, තුනපහකුඩු, කහකුඩු හා රස අනුව ලුණු දාලා මිටිකිරි ටික දාලා ලිපේ තියන්න.
- හොඳට තැම්බුනාම කැමතිනම් තව කිරි චුට්ටක් දාලා හින්දලා ගන්න.
04. කැහිපිත්තන් ජෙලි
ගැස්ට්‍රයිටිස් සඳහා විශේෂයි.
අවශ්‍ය ද්‍රව්‍ය :-
කැහිපිත්තන් කොළ ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
- කැහිපිත්තන් කොළ සෝදලා වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න.
- දැන් මේක පිරිසිදු රෙදි කෑල්ලකට දාලා පෙරාගන්න.
- දැන් මේකට රස අනුව ලුණු දාලා බෝල් එකකට දාලා නොසෙල්වෙන්න තියන්න.
- පැය කිහිපයකින් ජෙලි වගේ හැදෙනවා.
05. ජපන් බටු තෙලට
මව්කිරි වැඩීමට හා ලිංගික හැකියාව වර්ධනයට විශේෂයි.
අවශ්‍ය ද්‍රව්‍ය :-
ජපන් බටු ගෙඩි 20 පමණ
ලියාගත් ළූණු ගෙඩියක්
කපාගත් තක්කාලි ගෙඩි 1
කපාගත් රම්පේ හා කරපිංචා
උම්බලකඩ ස්වල්පයක්
තුනපහකුඩු තේහැඳි 1/2
කහකුඩු තේහැඳි 1/4
කෑලිමිරිස් තේහැඳි 1/2
ලුණු ස්වල්පයක්
තෙල් ස්වල්පයක්
- ජපන් බටු දෙකට පලලා ඇට අයින් කරලා සෝදගන්න.
- දැන් භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු, රම්පේ හා කරපිංචා දාලා බැදෙන්න අරින්න.
- ඊළඟට තුනපහකුඩු, කහකුඩු, කෑලිමිරිස් හා උම්බලකඩ දාලා කලවම් කරන්න.
- ඊළඟට කපාගත් තක්කාලි හා ජපන් බටු ටික දාලා කලවම් කරලා වහලා තියන්න.
- බටු තැම්බුනාම ලිපෙන් බාගන්න.
06. කෝප්ප කොළ මැල්ලුම
ශරීරයේ විස නැසීමට උපකාරී වේ.
අවශ්‍ය ද්‍රව්‍ය :-
ලියාගත් කෝප්ප කොල 15ක් පමණ
ගාගත් පොල් කෝප්ප 1
ලියාගත් රතුළූණු ගෙඩි 8
ලියාගත් අමුමිරිස් කරල් 2
කහකුඩු තේහැඳි 1/2
ලුණු ස්වල්පයක්
දෙහි යුෂ ස්වල්පයක්
- ලියාගත් කෝප්ප කොළ වලට පොල් එකතු කරන්න.
- මේකට රතුළූණු, අමුමිරිස්, ලුණු , කහකුඩු දාලා කලවම් කරන්න.
- දැන් මේක ලිපේ තියලා මලවගන්න.
- ලිපෙන් බාලා දෙහි යුෂ දාලා කලවම් කරන්න.
07. වැල් කොහිල මාළුව
අර්ශස් රෝගය සඳහා කදිමයි.
අවශ්‍ය ද්‍රව්‍ය :-
සෝදාගත් වැල්කොහිල දළු 4-5
කපාගත් අමුමිරිස් කරල් 2
රම්පේ හා කරපිංචා
ලියාගත් රතුළූණු ගෙඩි 5-6
ලියාගත් සුදුළූණු ගෙඩි 3-4
මිරිස්කුඩු තේහැඳි 1
කහකුඩු තේහැඳි 1/2
ලුණු ස්වල්පයක්
මිටිකිරි කෝප්ප 1
තුනපහකුඩු තේහැඳි 1/2
කුරුදුපොතු කෑල්ලක්
- මැටි ඇතිලියකට වැල්කොහිල හැර අනික් සියල්ලම දාලා ලිපේ තියන්න.
- කිරි උතුරගෙන එනකොට කපාගත් දළු ටික දාලා ටිකක් හින්දලා ගන්න.
- රතුළූණු වැඩිපුර දානවනම් රසයි.
Leave a Reply