LinkedIn ප්‍රොෆයිල් එකට වැඩි කොලිටියක් දෙන ට්‍රික්ස් කීපයක්!

LinkedIn කියන්නේ මොකක්ද කියලා නොදන්න අය කරුණාකරලා ගිහින් LinkedIn ගිණුමක තියෙන වැදගත්කම ගැන කියවලා එන්න. LinkedIn කියන්නේ ප්‍රොෆෙෂනල්ස්ලට තියෙන සෝෂල් නෙට්වර්ක් එකක් කියලානේ ගොඩක් අය දන්නේ. ටෙක්නිකලි ගත්තහම ඒක බොරු නෙවෙයි. හැබැයි LinkedIn කියන්නේ ඊට වඩා සෑහෙන්න එහා ගියපු දෙයක් කියලා LinkedIn පාවිච්චි කරලා තියෙන අය දන්නවා ඇති. දැන් ජොබ් හොයන අයට, ජොබ් එකකට කට්ටිය හයර් කරන අයට විතරක් නෙවෙයි, දැනට රැකියාවක නිරත වෙලා ඉන්න වෘත්තිකයන්ටත් හරියට පාවිච්චි කරනවා නම් LinkedIn කියන්නේ රත්තරන් වටින ටූල් එකක්. අපි මීට කලිනුත් කියලා තියෙනවා ඕනෑම වෘත්තිකයෙක්ට නියමාකාරයේ LinkedIn ප්‍රොෆයිල් එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන.

 

හරි, දැන් කියන්න යන්නේ LinkedIn ගේම් එකේ සුපිරි කොලිටි බුලට් එකක් වෙන්න, LinkedIn ප්‍රොෆයිල් එකේ කොලිටි එක ඉහළ නංවා ගන්න ප්‍රයෝජනවත් වෙන තවත් ට්‍රික්ස් කීපයක් ගැන.

 

01. LinkedIn ස්කිල් ඇසෙස්මන්ට්

මේක මෑතකාලීනව LinkedIn එකට ආපු පහසුකමක්. ඒ තමයි, තමන්ට තියෙන මොකක් හරි කුසලතාවයක් ප්‍රශ්නෝත්තර ක්‍රමවේදයකින් තක්සේරු කරලා, ඒකෙන් ලකුණු හොඳට ගත්තොත්, LinkedIn ප්‍රොෆයිල් එකට එකතුවෙන එක. මේක විශේෂයෙන්ම අදාළ වෙන්නේ කවුරුහරි සේවායෝජකයෙක් යම් කුසලතාවයක් ඒ ජොබ් එකට අවශ්‍යයි කියලා දාලා තිබ්බොත්. උදාහරණයක් විදියට අපි කියමු SEO දැනුම කියලා. දැන් ඕක අපි නිකම්ම CV එකට කුසලතා යටතේ දැම්මහම අපිව ඉන්ටර්වීව් කරන කෙනෙක් ඒ සම්බන්ධයෙන් අපේ වචනය තමයි විශ්වාස කරන්න වෙන්නේ. හැබැයි LinkedIn එකේ අපෙන් SEO ගැන ප්‍රශ්න සෙට් එකක් අහනවා. ඒකට බහුවරණ උත්තර වලින් හරි උත්තර තෝරලා දෙන්න ඕන. එතකොට අපි ඒ ප්‍රශ්න වලට හරි උත්තර දුන්නහම, අපිට හොඳ ලකුණු ප්‍රමාණයක් ලැබුණොත්, අපේ ප්‍රොෆයිල් එක ඒ අදාළ ජොබ් එකට ඇප්ලයි කරලා තියෙන අනික් ප්‍රොෆයිල් අතරින් ඉහළ තැනකට එනවා.

 

02. ජොබ් පෝස්ටින්ග් කී වර්ඩ්ස්

අපි හිතමු, අපේ සිහින රැකියාව අපිට හොයාගන්න ඕන කියලා. ඒකට අවශ්‍ය කුසලතාවයන් අපි හදාගනිමින් යන්නේ කියලා හිතමු. එතකොට අපිට කරන්න පුලුවන් හොඳම දෙයක් තමයි, මුලින් අපිට අවශ්‍ය ජොබ් එක LinkedIn ජොබ්ස් වල සර්ච් කරලා හොයාගන්න එක. දැන් බලන්න ඒ ජොබ් ලිස්ටින් වල තියෙන කී වර්ඩ්ස් මොනවද කියලා. උදාහරණයක් විදිය‍ට SEO, WordPress වගේ එව්වා වෙන්න පුලුවන්. අන්න දැන් අපිට පුලුවන් ඒ කී වර්ඩ්ස් වලට අදාළ කුසලතාවයන් ඉගෙන ගන්න සහ, වඩාත් වැදගත් වශයෙන් අපේ LinkedIn ප්‍රොෆයිල් එකට ඒවා එකතු කරන්න. එතකොට, ඒ අපේ සිහින ජොබ් එකට අදාළව ජොබ් පෝස්ටින්ග්ස් වැටෙන කොට, අපේ LinkedIn ප්‍රොෆයිල් එකට හොඳ ප්‍රමුඛතාවයක් හිමි වෙනවා.

 

03. හයර් කරන කෙනාට මැසේජ් එකක්?

සාමාන්‍යයෙන් දැන් කාලේ ඉහළ මට්ටමේ කම්පැණි එකක ඉන්න අලුතින් සේවකයෝ හයර් කරන මැනේජර්, මානව සම්පත් කළමනාකරු වගේ අය අනිවාර්යයෙන්ම Linkedin ඉන්නවා. දැන් අපි ජොබ් එකකට ඇප්ලයි කළාට පස්සේ, එහෙම කෙනෙක් හොයලා, එයාට Linkedin හරහා මැසේජ් කළාට කමක් නැද්ද? කිසිම ගැටළුවක් නෑ. ගොඩක් වෙලාවට ජොබ් ලිස්ටින්ග් එකේම තියෙනවා අදාළ කම්පැණි එකේ කවුද හයරින් පාට් එක කරන්නේ කියන එක. ජොබ් එක පෝස්ට් කරන කෙනාම වෙන්නත් පුලුවන්. ඒක පොඩි රිසර්ච් පාරක් දාලා හොයාගමු. ඊළඟට, ඒ කෙනාට Linkedin එකේ හායි හලෝ කියලා මැසේජ් කරන්න යන්න එපා. ඊට වඩා ප්‍රොෆෙෂනල්, පැහැදිලි මැසේජ් එකක් තමයි දෙන්න ඕන. උදාහරණයක් විදියට කොටස් කීපයක් ඒ මැසේජ් එකේ තියෙන්න පුලුවන්. (1) ඔබ කවුද, ඇයි මැසේජ් කරන්නේ, (2) ඔබේ සුදුසුකම්, අත්දැකීම් සහ කුසලතාවයන් මොනවද, (3) ඔබේ දැක්ම මොකක්ද. ඔන්න ඔය ටිකත් ප්‍රමාණවත්.

 

04. ඔබේ කතාව කියන්න

ඇත්තටම ඉස්සර Linkedin එකවුන්ට් එකක් හදනකොට, ඒකේ නිකම්ම ඇතුළත් කෙරෙන්නේ සුදුසුකම් සහ විස්තර විතරයි, හරියට ජීව දත්ත සටහනක් ලියනවා වගේ. හැබැයි මේ ට්‍රෙන්ඩ්ස් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. උදාහරණයක් විදියට, දැන් කාලේ ජීව දත්ත සටහනක් වුණත් වඩාත් ඉන්ටරෙස්ටින්ග් වෙන තරමට වාසියි. ඒ නිසා, Linkedin එකවුන්ට් එක ඇතුළේ ඔබ සම්බන්ධයෙන් සියලුම වෘත්තිය තොරතුරු සහ සුදුසුකම් තියෙන්න අවශ්‍යයි. හැබැයි ඒවා නිකම්ම ලැයිස්තුගත වෙනවට වඩා, ඔබ ගැන කතාවක් කියන්න අවශ්‍යයි. ආන්න ඒ කතාව ඉන්ටරෙස්ටින්ග් වෙන තරමට, ඔබව රැකියාවක් සඳහා තෝරාගන්න ඉඩ කඩ වැඩි වෙනවා. උදාහරණයක් විදියට, ඔබේ කවර් ෆොටෝ එක පවා ඔබේ ප්‍රොෆෙෂන් එකට ගැලපෙන විදියට ඇතුළත් කරන්න. ඒ වගේම, ඔබේ කලින් අත්දැකීම්න් ගැන ලියනකොට ඒක ඉන්ටරෙස්ටින්ග් කතාවක් විදියට ඇතුළත් කරන්න.

 

05. තමන් රැකියාවෙන් පිට මොනවද කරන්නේ?

Linkedin කියන්නේ තනිකරම ප්‍රොෆෙෂනල් නෙට්වර්ක් එකක් තමයි. එතකොට Linkedin ප්‍රොෆයිල් එකක ටෙක්නිකලි ගත්තහම තියෙන්න අවශ්‍ය වෙන්නෙත් ප්‍රොෆෙෂනල් තොරතුරු තමයි. හැබැයි ඊට වඩා තමන්ගේ Linkedin ප්‍රොෆයිල් එකට පොඩි මානුෂීය ටච් එකක් දෙන්න පුලුවන් නම් වඩාත් හොඳයි. උදාහරණයක් විදියට, තමන්ගේ විනෝදාංශ ගැන, තමන්ගේ විවේක වෙලාවෙදී කරන්න කැමති දේවල් ගැන, තමන් කරන සමාජ සේවා කටයුතු ගැන Linkedin ප්‍රොෆයිල් එකේ සඳහන් කළාට කිසිම ගැටළුවක් නෑ. හැබැයි අර උඩ කියපු කාරණාව මතක තියාගන්න. ඔබේ Linkedin එකවුන්ට් එක ඔබ ගැන ඉන්ටරෙස්ටින්ග් කතාවක් කියන්නයි ඕන කරන්නේ. එතනදී අර බොරු පුරසාරම් වලට වඩා ඇත්ත ජීවිතේ ඔබ කොහොමද කියන එක තමයි වැදගත් වෙන්නේ. උදාහරණයක් විදියට, ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක උද්‍යාන අලංකරණය කරන ෆොටෝ එකක් වුණත්, හරි විදියේ කැප්ෂන් එකක් එක්ක Linkedin එකවුන්ට් එකේ දාන්න පුලුවන්. ඒකෙන් ප්‍රොෆයිල් එකට හොඳ වටිනාකමක් ලබාගන්නත් පුලුවන්.

 

06. ඔබටම ෆලෝවර්ස්ලා ප්‍රමාණයක්

ඉස්සර Linkedin කියන්නේ ඔබේ වෘත්තිය තොරතුරු අන්තර්ගත වෙන, වඩාත් උත්කර්ෂවත් ජීව දත්ත සටහනක් වගේ එකක්. හැබැයි තවදුරටත් එහෙම නෑ. දැන් වෙනකොට Linkedin කියන්නේ අර ප්‍රොෆෙෂනල් සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් කියන නිර්වචනයට වඩාත් ගැලපෙන තැනකට ආපු ප්ලැට්ෆෝම් එකක්. ආන්න ඒ නිසා, නිකම්ම Linkedin එකේ තමන්ගේ එකවුන්ට් එක නිර්මාණය කරලා ඉන්නෙ නැතුව, ඒකේ සක්‍රිය වෙන්න. පෝස්ට්ස් පළ කරන්න, නෙට්වර්ක් එකක් හදාගන්න. හැබැයි මතක තියාගන්න, මේ ෆේස්බුක් හෝ ට්විටර් නෙවෙයි. අන්න ඒ නිසා, පොඩ්ඩක් ලෝකේ ඉන්න ටොප් ලෙවල් එකේ ව්‍යවසායකයෝ, මැනේජර්ලා, ප්‍රධාන විධායක නිලධාරියෝ එහෙම Linkedin එකේ සර්ච් කරලා බලලා, ඒ අය ෂෙයාර් කරන, පෝස්ට් කරන අන්තර්ගතයන් මොනවද කියලා බලන්න. ආන්න එතකොට, ඔබේ ප්‍රොෆෙෂනල් ඉමේජ් එක හදාගන්න Linkedin එකේ පෝස්ට් කරන්න ඕන මොන වගේ දේවල්ද කියලා අදහසක් එයි. දැන් එහෙම සක්‍රිය Linkedin එකවුන්ට් එකක් පවත්වාගෙන යනකොට, හොඳ ෆලෝවර්ස්ලා ප්‍රමාණයක් එකතු වෙයි. මොකද, එහෙම හොඳ පෝස්ට් අපි දානකොට, ඒ පෝස්ට් වලට අදාළ ඉන්ටරෙස්ට් තියෙන අනික් අයට Linkedin එකෙන්ම අපේ පෝස්ට්ස් සජෙස්ට් කරනවා.

 

07. ප්‍රිමියර් එකවුන්ට් එකක්


LinkedIn කියන්නේ නොමිලේ ලබාගන්න පුලුවන් සේවාවක්. හැබැයි ඒකේ තියෙනවා සල්ලි ගෙවලා ලබාගන්න පුලුවන් කොටසකුත්. ඒ කියන්නේ LinkedIn Premier ගැන. ඇත්තටම LinkedIn ෆ්‍රී එකවුන්ට් එකක් ඔස්සේ වුණත් කෙනෙක්ට හොඳ ජොබ් එකක් හොයාගන්න සහ සාර්ථක ප්‍රොෆෙෂනල් පෝට්ෆෝලියෝ එකක් හදාගන්න පුලුවන්. හැබැයි යම් මුදලක් මාසිකව ගෙවලා ලබාගන්න ඕන LinkedIn Premier එක්ක ප්‍රොෆෙෂනල් මනුස්සයෙක්ට ජොබ් මාකට් එකේ සීරියස් ප්‍රතිලාභයක් ලබාගන්න පුලුවන්. හැබැයි පැනපු ගමන් LinkedIn ප්‍රිමියර් එකට සබ්ස්ක්‍රයිබ් වෙන්න දඟලන්න එපා. අපි කලින් ලියලා තියෙන ආටිකල් එකත්, මේකත් හොඳට කියවලා බලලා, මේ තියෙන ටිප්ස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න. තමන්ගේ LinkedIn ප්‍රොෆයිල් එක උපරිම කොලිටි ලෙවල් එකට අරගෙන එන්න. තමන්ට කරන්න ඕන ජොබ් එක ගැන නිශ්චිත වෙන්න. දැන් හැමදේම රෙඩී නම් විතරක් ප්‍රිමියර් සබ්ස්ක්‍රිප්ෂන් එකකට යන්න. පළවෙනි මාසේ නොමිලේ ලබාගන්න පුලුවන්. ඒ වගේම, ප්‍රිමියර් එකවුන්ට් සඳහා විවිධ ඩිස්කවුන්ට් එහෙමත් තියෙනවා. LinkedIn හෙල්ප් එකෙන් පොඩ්ඩක් අහලා බලන්න. ඒ වගේම වැදගත්ම දේ මේකයි. LinkedIn ප්‍රිමියර් එකවුන්ට් එකක් හැමදාම තියෙන්න ඕන නෑ. ඒක හරියට පාවිච්චි කරනවා නම් මාසයක් තිබ්බත් ඇති!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *