දැන් ඔය එක එක බොස්ලා වර්ග ඉන්නවනේ. රළු පරුෂ බොස්ලා ඉන්නවා, ෂේප් න්‍යායේ බොස්ලා ඉන්නවා. ඔය වගේ එක එක අය. දැන් අපි කලිනුත් කියලා තියෙනවා කොහොමද රළු පරුෂ නොවී ටීම් එක පාලනය කරන හොඳ බොස් කෙනෙක් වෙන්නේ කියන එක ගැන. ඇත්තටම එහෙම බොස් කෙනෙක්ට හැමෝම වගේ කැමතියිනේ. හැබැයි ඔතන මෙන්න මෙහෙම පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා. හොඳ බොස් කෙනෙක් එක්ක උපරිමයෙන් කැප වෙලා, හොඳින් වැඩ කරන්න හිතන හොඳ සේවකයෝ වගේම, බොස් අර බැණගෙන කෑ ගහගෙන ඉන්නෙ නැති සෞම්‍ය කාරුණික මනුස්සයෙක් නම්, ඒක නෝංජල්කම කියලා හිතාගෙන, බොස්ගේ කණෙන් රිංගන්න බලාගෙන ඉන්න සේවකයොත් ඉඳලා හිටලා හරි ඉන්නවා. හැබැයි බොස් කෙනෙක් සැර වැර නැති හොඳ බොස් කෙනෙක් වෙන්න හිතනවා වගේම පරිස්සම් වෙන්න ඕන, ඔය උඩ කිව්වා වගේ බොස්ගේ හොඳ කමෙන් ප්‍රයෝජන ගන්න, කණෙන් රිංගන්න සහ ඒ හේතුවෙන් රස්සාවේ වැඩ වලට හානි වෙන්න ඉඩ දෙන ජාතියේ සේවකයන්ව හරි තැන තියාගන්නත්. මොකද, එහෙම නූනොත් වෙන්නේ ඒක මුළු ඔෆිස් එකටම සෘජුව හෝ වක්‍රව නරකක්, හානියක් වීම.
ආන්න ඒ නිසා, බොස් හොඳ කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. නිකම්ම ලොක්කෙක් නොවී හොඳ නායකයෙක් වෙන්නේ කොහොමද කියන එක ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කොහොමද අනික් අයට තමන්ගේ කණෙන් රිංගන්න දෙන්නෙ නැති හොඳ බොස් කෙනෙක් වෙන්නේ කියන එක ගැන අපි බලමු.
01. ප්‍රශ්න විසඳනකොට ඉවසනවද නෝංජල් වෙනවද?
මෙන්න මේක ඇත්තටම හොඳ, කාරුණික බොස් කෙනෙක්ට තියෙන ලොකුම චැලෙන්ජ් එක වෙන්න පුලුවන්. ඒ තමයි, ප්‍රශ්නෙකදී තද තීරණයක් ගන්න පුලුවන්ද බැරිද කියන එක. ඇත්තටම හොඳ කාරුණික බොස් කෙනෙක්ට තමන්ගේ සේවකයෝ හැමෝම මිනිස්සු කියන මානව භක්තිය තියෙන්න ඕන. හැබැයි ඒ වගේම, තමන්ගේ රාජකාරිය වෙන්නේ මේ ආයතනයෙන් උපරිම කාර්යයක් ඉෂ්ට කරලා දීම කියන වගකීම තියෙන්නත් ඕන. දැන් ඔන්න ඔය දෙක අතරේ සමබරව තමයි බොස් වැඩ කරන්න ඕන. එතනදී හොඳ, කාරුණික බොස් කෙනෙක් සාමාන්‍යයෙන් ඉවසිලිවන්ත වෙන්න පුලුවන්. එතකොට, වැරැද්දක් කරන සේවකයෙක්ට වුණත් සෙකන්ඩ් චාන්ස් එකක් දෙන්නත් පුලුවන්. ඒක හරි, ඒක තමයි විදිය. හැබැයි දෙවෙනි තුන්වෙනි සහ හතරවෙනි වතාවටත් වැරදි කරනවා නම්, බොස් කාරුණික නිසා සොරි කියලා, එහෙම නැතිනම් ආයෙ ඒ වැරැද්ද කරන්නෙ නෑ කියලා ෂේප් වෙන්න හදනවා නම්, ඒ වගේම ඒ නිසා මුළු ටීම් එකටම හානියක් වෙනවා නම්, බොස්ට සිද්ධ වෙනවා දැඩි තීරණයක් වුණත් ගන්න. ඒකෙන් බොස්ගේ කාරුණික කමට නරකක් වෙන්නෙ නෑ, හැබැයි බොස් නෝංජල් නැහැ කියන පණිවිඩේ ටීම් එකටම යනවා. ඒ වගේම ආයතනයේ වැඩ වලට හානි වීමත් වළකිනවා.
02. පර්සනල් ලෙවල් පරිස්සමෙන්
සාමාන්‍යයෙන් ඔය හොඳ මනුස්සයෙක්ව දැක්කහම කරේ නගින්න එන අය ඉන්නවා කියන එක බොරුවක් නෙවෙයිනේ. ඒක ඉතින් ඔෆිස් එකකදී වුණත් වෙන්න පුලුවන්, විශේෂයෙන්ම බොස් හොඳ, කරුණාවන්ත මනුස්සයෙක් නම්. ආන්න ඒ තත්වය වළක්වා ගන්න නම් බොස් කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක් තමයි, තමන් කොයි තරම් හොඳ සහ කාරුණික බොස් කෙනෙක් වුණත්, තමන් එක්ක ඉන්න සේවකයෝ එක්ක පර්සනල් ලෙවල් එකකට නොයන එක. ඒ කියන්නේ, සේවකයෙක් ඇවිත් තමන්ගේ පර්සනල් දේවල් ගැන කියනකොට, ඒක අහන එක, සහකම්පනයෙන් යුතුව වැඩ කරන එක වෙනම දෙයක්. හැබැයි ඒ සේවකයා කොයි තරම් තමන්ගේ ප්‍රියතම මනුස්සයෙක් වුණත්, එයා එක්ක පර්සනල් ලෙවල් එකට බැහැලා, ඒ සේවකයගේ පර්සනල් දේවල් වලටත් මැදිහත් වෙන එක හොඳ දෙයක් නෙවෙයි.
03. කඳුළට නැවෙන්නෙ නැති බොස්
මේක අපි ගොඩක් අයට තියෙන්න පුලුවන් ප්‍රශ්නයක්. කෙනෙක් අඬනවා බලාගෙන ඉන්න බැරි කම. කෙනෙක් දුකක් කියනකොට හිත උණුවෙන එක. ඒක ඉතින් මනුස්ස සොබාවය. බොස් කෙනෙක් කියන්නෙත් මනුස්සයෙක්නේ. හැබැයි බොස් කෙනෙක් වුණහම අපිට ඇත්ත ප්‍රශ්නෙකදී හිත උණුවෙන්න පුලුවන්. එතකොට ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න දෙයක් කරන්නත් පුලුවන්. හැබැයි බොස් හොඳ කාරුණික මනුස්සයෙක් නිසා, කඳුල පෙන්නලා, දුක් කතාවක් කියලා බොස්ව නවාගන්න පුලුවන් කියලා හිතන මිනිස්සුන්ට ඒවලට ඉඩ තියන්නේ නැති බොස් කෙනෙක් කියන එක හරියට පෙන්නන්නත් ඕන. ඒකට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඕනම කඳුළු කතාවක් කෙනෙක් කියපු පලියට ගිලින්නේ නැතුව, ඒ ගැන විස්තර හොයලා බලන එක. ඒ වගේම, තමන් යටතේ වැඩ කරන මිනිස්සු මොන වගේද, ඒ අයගේ වැඩ කරන විදිය කොහොමද වගේ කාරණා ගැන විමසිල්ලෙන් ඉන්න එක. ආන්න එතකොට, බොස් හොඳ නිසා කඳුළු කතාවක් කියලා නවාගන්න එන අයට චාන්ස් නැතුව යනවා.
04. හැමටම සමානව
දැන් අපි ගමු අපේ නෑදෑ පිරිවර. එතන ඉන්නවා නේද අපි කැමතිම නෑදෑයෝ, ඔන්න ඔහේ ෂේප් නෑදෑයො සහ සමහර විට අපිට පෙන්නන්න බැරි නෑදෑයෝ? ඒක යාළුවෝ අතර වුණත්, වෙනත් ඕනම සමාජ කවයක වුණත් එහෙම තමයි. එතකොට ඔෆිස් එකේ ගත්තොත්, එතනදිත් ඒක එහෙම තමයි. හැබැයි කොහොමත් හොඳ බොස් කෙනෙක් කොයිතරම් කාරුණික වුණත් නැති වුණත් ඔෆිස් එකේ හැම කෙනෙක්ටම සමානව සැලකිය යුතුයි කියලා අපි මීට කලිනුත් කියලා තියෙනවනේ. එතකොට කණෙන් රිංගන්න එන සේවකයන්ව ටැකල් කරනකොටත් මෙන්න මේ ‘හැමට සමානව’ කියන සංකල්පය ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. අඩු තරමේ ඔෆිස් එකේ ඉන්න අපේ ප්‍රියතම මනුස්සයා වුණත්, ඇත්තටම අපේ ෆේවරිට් කියන එක දැනගන්න ඕන අපේ හිත විතරයි. එතනින් එහාට වෙන කිසිම කෙනෙක්ට ඉඟියකින් හරි දැනෙන්න තියන්න හොඳ නෑ. ආන්න එතකොට, ඔය කණෙන් රිංගන්න හිතාගෙන ඉන්න සේවකයෝ අපේ ෆේවරිට් වෙන්න දඟලන එක තේරුමක් වෙන්නෙත් නෑ. අපි එහෙම ෆේවරිට් සේවකයෝ තියාගෙන ඉන්නවය, එක් එක් සේවකයට එක් එක් විදියටය සලකන්නේ කියලා කෙනෙක්ට කියන්න ලැබෙන්නෙත් නෑ.
05. පැමිණිලි ද? කේලාම් ද?
ඇත්තටම අපි ගොඩක් බොස්ලගේ දකින නරකක් තමයි අනික් අයගේ කේලාම් අහන එක. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි කියමු එක් සේවකයෙක්ට තව සේවකයෙක්ගේ වැඩ කරන විදිය ගැන, එයාගේ වැඩ වල කොලිටි අඩු වීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ සේවකයා ඒක පැමිණිල්ලක් විදියට ඉදිරිපත් කරනවා. මොකද, එක ටීම් එකේ නිසා දෙවෙනි සේවකයගේ වැඩ කොලිටි අඩු වීම ටීම් එකටම බලපාන හින්දා. දැන් අපි කරන්න ඕන බොස් විදියට ඒ පැමිණිල්ල සලකලා බලලා, ඔය කියපු දෙවෙනි සේවකයගේ වැඩ වල කොලිටිය කොහොමද මැනේජ් කරන්නේ කියන කාරණාව විසඳන එකනේ. එතනදී පුද්ගලයෝ අදාළ වෙන්නෙ නෑ, වැරදිකාරයෝ හොයන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. ඒක හරි.
හැබැයි සේවකයෙක් ඇවිත් කියනවා අහවල් සේවකයා බොස් ගැන වැරදි තැන තැන කියනවා කියලා. ඒක ඇත්තටම කේලමක් මිසක් පැමිණිල්ලක් නෙවෙයි. මොකද, කවුරු ගිහින් අපේ වැරදි කොහේ කිව්වත්, අපි රාජකාරිය හරියට ඉෂ්ට කරනවා නම් ඒක අදාළ නෑ. එතකොට ඒක ජොබ් එකට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. හැබැයි අපි ඇත්තටම හිතන්න ඕන දේ මේකයි. කොහොමද කාරුණික බොස් කෙනෙක් වෙන එක මෙතනට අදාළ වෙන්නේ? සාමාන්‍යයෙන් සැරපරුෂ බොස් කෙනෙක් ගාවට කෙනෙක් කේලමක් තියා පැමිණිල්ලක් කරන්න වුණත් එන්න ටිකක් බයයිනේ. හැබැයි කාරුණික බොස් එක්ක ඕනම දෙයක් කියන්න පුලුවන් නිසා කේලමක් වුණත් කියන්න පුලුවන් කියලා කට්ටිය හිතනවා. ආන්න ඒ නිසා, කාරුණික බොස් කොච්චර හොඳ වුණත්, තමන් ගාවට පැමිණිලි අරගෙන එන්න පුලුවන් හැබැයි කේලම් අහන්නෙ නෑ කියන ස්ථාවරය පෙන්නන්න ඕන.
06. අදාළ රාජකාරිය
දැන් අපි කියමු අපි තමයි ඔෆිස් එකේ ලොකුම බොස්. ඔය අතරේ එක සේවකයෙක් අපි ගාවට එනවා නිවාඩුවක් අනුමත කරගන්න. හැබැයි එයාට නිවාඩු අනුමත කරන්න ඕන අපි නෙවෙයි, එයාට උඩින් ඉන්න බොස්. හැබැයි ඒ මැද බොස් නිවාඩු අනුමත කළේ නැති නිසා තමයි මේ සේවකයා එයාව බයිපාස් කරලා අපි ගාවට එන්නේ. ඇයි ඉතින් අපි කාරුණික බොස්නේ. ඒ නිසා වැඩේ කරලදෙයි කියල හිතාගෙන. හැබැයි කවදාවත් අන්න එහෙම දේවලට ඉඩ තියන්න හොඳ නෑ. මැද බොස් සාධාරණ නැතුව වැඩ කරනවා නම්, ඒක වෙනම හොයලා බලලා ගනුදෙනු කරන්නත් අවශ්‍යයි. හැබැයි මැද බොස්ව බයිපාස් කරලා තමන් ගාවට එන්න සේවකයෙක්ට ඉඩ තියන්න නරකයි. කොයි තරම් කාරුණික බොස් කෙනෙක් වුණත් දැනගෙන ඉන්න ඕන තමන්ට අදාළ රාජකාරි සහ තමන් ඇඟිලි ගැසිය යුතු නැති රාජකාරි ගැන. ඔෆිස් එකේ මොකක් හරි ඩිපාට්මන්ට් එකකින්, වෙනත් බොස් කෙනෙක්ගෙන් හරියට වැඩේ වෙන්නෙ නැතිනම්, සේවකයන්ට ප්‍රශ්න වෙනවා නම් ඒ ගැටළුව තමන් වෙනම විසඳන්න ඕන. ඒ විදියේ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යනකොට, සේවකයන්ට බැහැ කාරුණික බොස්ව යූස් කරන්න්න.
07. නීතිගරුක, හරියට වැඩ බොස්
අවසාන වශයෙන් ගත්තොත්, ඔය ඔෆිස් එකක ඉන්න සෞම්‍ය, මෘදු කතාබහ තියෙන, කාරුණික බොස් කෙනෙක් වෙන එක වගේම අතිශයින්ම වැදගත් දෙයක් තමයි, රාජකාරිය දේවකාරිය විදියට ගන්න, ජොබ් එකේ වැඩ උපරිමයෙන් ඉෂ්ට කරන, නීතිගරුක බොස් කෙනෙක් වෙන එක. ඇත්තටම දෙවෙනි දේ නැතිව පළවෙනි දේ තිබ්බට කිසිම වැඩක් නෑ. අන්න ඒ නිසා, හොඳ කාරුණික බොස් කෙනෙක් වෙන්න හිතනවා වගේම, තමන්ගේ රාජකාරිය සීරියස් ගන්න, නීතිගරුක, උපරිමයෙන් තමන්ගේ රාජකාරිය කරන බොස් කෙනෙක් වෙන්නත් කෙනෙක් හිතට ගන්න ඕන. අන්න එතකොට එකක් අනික් සේවකයන්ටත් තමන්ව හොඳ ආදර්ශයක් වෙනවා. ඒ වගේම, කණෙන් රිංගලා අයිස් ගහන්න හිතන සේවකයෙක්ට බොස් එක්ක නටන්න බැහැ කියන එකත් ඒත්තු යනවා. අනික, එහෙම කණෙන් රිංගන්න හිතාගෙන කවුරුහරි ගේමක් ගහන්න හැදුවත්, තමන් වැඩේ හරියට සහ කල්පනාකාරීව කරන නිසා ඒ ගේම් සාර්ථක වෙන්න තියෙන ඉඩත් නැති වෙනවා.
Leave a Reply