දැන් කසාදයක් බඳිනවා කියනකොට ආයෙ පුරාණේ කියලා තියෙන්නේ රන් රස සේ එක් වෙනවාය, දෙන්නා එතැන ඉඳන් එක්කෙනෙක් වෙනවාය වගේ කතන්දරනේ. එතකොට ඕකත් එක්කම එන කතාවක් තමයි, කසාදයක් බැඳලා එක්කෙනෙක් වුණාට පස්සේ ආයෙ දෙන්නා අතර රහස් නැහැය, දෙන්නට දෙන්නා හැම දෙයක්ම කියන්න ඕනැය කියන එක. ඒ කතාවේ ඇත්තක් නැත්තෙම නෑ. ඒ කියන්නේ, ඇත්තටම කසාදයක් බඳිනවා කියන්නේ දෙන්නා එක ටීම් එකක් වෙනවා කියන එකනේ. ඊට පස්සේ ඉතින් දෙන්නම එක ටීම් එකට සෙල්ලම් කරන්න ඕන. එතකොට තමයි ජීවිතේ ජයගන්න, සාර්ථක කරගන්න පුලුවන් වෙන්නේ. එහෙම නැතුව දෙන්නා එක ටීම් එකේ ඉඳන් තනි තනියෙන් හරි, වෙන වෙන ටීම් වලට හරි සෙල්ලං කරන්න ගියොත් සාර්ථකත්වයක් නෑ. දැන් එහෙම දෙන්නා එක ටීම් එකකට ප්ලේ කරනකොට දෙන්නට දෙන්නා හොඳ සන්නිවේදනයක් තියෙන්න ඕන, දෙන්නට දෙන්නා හංගන්නේ නැතුව දේවල් කතාබහ කරගන්න ඕන. අන්න ඒ කෝණයෙන් බලන කොට ඔය කසාද බැඳපු දෙන්නෙක් අතරේ රහස් නොතියෙන්න ඕන කියන කතාව හරි.
හැබැයි ඇත්තටම කසාද බැඳපු දෙන්නෙක් අතරේ රහස් තියෙනවා. තියෙන්නත් ඕන. ඒ කියන්නේ දෙන්නා එක ටීම් එකට ප්ලේ කරනකොට, ඒ කියන්නේ දෙන්නගේ හවුලේ ගෙවන ජීවිතේ කිසිම දෙයක් හංගන්නෙ නැතුව ඉන්න එක තමයි හරි. හැබැයි එතනින් පිට, සමහර දේවල් තියෙනවා, දෙන්නට දෙන්නා නොකියා ඉන්නවා නම් වඩාත් හොඳ. ඒ මොනවගේ එව්වද හැබෑටම?
01. කලින් කොල්ලගෙ කලින් කෙල්ලගේ දස්කම් විස්කම්
සාමාන්‍යයෙන් අපි හැම වෙලාවකම කියනවා සංසන්දනය කියන්නේ විසකුරු දෙයක් කියලා. ඒ කියන්නේ අපි අපේ පාට්නර්ව අපේ පරණ පාට්නර් එක්ක සංසන්දනය කරන්න ගියොත්, එතන හිත් බිඳීම් තමයි ඇතිවෙන්නේ. එතකොට අපේ පාට්නර් එයාවම අපේ පරණ පාර්නර් එක්ක සංසන්දනය කරලා හිතුවත් හිත් බිඳීමක් තමයි. ආන්න ඒ නිසා, පරණ පාට්නර් ගැන, එක්ස්-ගර්ල්ෆ්‍රෙන්ඩ්, එක්ස්-බෝයිෆ්‍රෙන්ඩ් ගැන කියලා තිබ්බට කමක් නෑ, හැබැයි තමන්ගේ දැන් ඉන්න පාට්නර් එක්ක, කලින් කෙනාගේ දක්ෂකම් මෙහෙමයි, මේ වගේ මාර සිරා දේවල් කරලා තියෙන්නේ කියලා කලින් කෙනාගේ දස්කම් විස්කම් වර්ණනා නොකර ඉන්න එක හොඳයි. මොකද, එහෙම කලින් කෙනාගේ දස්කම් විස්කම් අපි කියනකොට, අපේ දැන් පාට්නර් නොදැනුවත්වම තමන්ව අපේ කලින් කෙනා එක්ක සංසන්දනය කරනවා. ඒකෙන් හිත් රිදිලා නොහොඳ නෝක්කාඩු ඇතිවෙන විතරයි වෙන්නේ!
02. කතා කරපු කියපු දේවල්
මේකත් පරණ පාට්නර්ලා සම්බන්ධ සීන් එකක්. දැන් තමන්ගේ පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ් හෝ පරණ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක සම්බන්ධය නැවතුණත්, හැම වෙලේම ඒක නරකින් කෙළවර වෙන්නෙ නැහැනේ. සම්බන්ධය අවසාන වුණත් යාළු ෆිට් එකෙන් ඉන්න අය ඉන්නවා. දැන් එහෙම යාළු ෆිට් එක තියෙන අතරේ, අපි කියමු අපිට අළුත් පාට්නර් කෙනෙකුත් ඉන්නවා කියලා. එයත් දන්නවා අපේ පරණ පාට්නර් අපේ යාළුවෙක් දැන් කියලා. අපේ දැන් ඉන්න පාට්නර් හොඳ අවබෝධයකින් යුක්ත මනුස්සයෙක් නම්, අපි එක්ස් එක්ක යාලුමිත්‍ර කමින් ඉන්න එක, කතා බහ කරන එක, කැෂුවලි මුණ ගැහෙන එක ප්‍රශ්නයක් කරගන්නෙ නෑ එයා. හැබැයි ඒක එහෙම වුණාට, පරණ පාට්නර් නොහොත් දැන් ෆිට් එක එක්ක අපි කතා කරන කියන හැම කෙහෙල්මලම දැන් කෙනා එක්ක කියන්න යන එක නම් ගැටළුවක්. ඒවා නිකම්ම වල්පල් වෙන්න පුලුවන්. හැබැයි අපේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හෝ බෝයිෆ්‍රෙන්ඩ් කැමති වෙන එකක් නෑ ඒවා අහන්න!
03. සෙක්ස් හිස්ටරි
මේකත් ඉතින් පරණ කට්ටිය සම්බන්ධ වෙන රහසක් තමයි. දැන් සමහරු ඉන්නවා, ජීවිතේ පළවෙනි වතාවට සෙක්ස් කරන්නේ තමන්ගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි එහෙම නැතිනම් පාට්නර් එක්ක හරි තමයි. හැබැයි තවත් ගොඩක් අයට තමන්ගේ හස්බන්ඩ්, වයිෆ් නැතිනම් පාට්නර්ට කලින් අයත් එක්ක ලිංගික සම්බන්ධතා තිබිලා තියෙනවා. ඒක අතිශයින්ම ස්වභාවික දෙයක්. දැන් අපි කෙනෙක් එක්ක කල් පවතින සම්බන්ධයකට යනකොට, අපේ හැම දෙයක්ම ඒ අයත් එක්ක ෂෙයාර් කරගන්නවනේ. එතකොට අපේ පරණ සම්බන්ධකම්, පරණ සෙක්ස් සීන් ගැන පවා අපි කියනවා. ඒක ගැටළුවක් නෑ. හැබැයි එක දෙයක්. තමන්ගේ පාට්නර් එක්ක සෙක්ස් හිස්ටරි එක ෂෙයාර් කරනකොට, එයාගේ මනෝභාවයන් සහ ආකල්පයන් ගැනත් හිතලා බලන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ට සෙක්ස් පාට්නර්ස්ලා පහළොවක් විස්සක් ඉඳලා තියෙනවා නම්, ඒක පිළිගන්න භාරගන්න පුලුවන් මනෝභාවයක් තමන්ගේ පාට්නර්ට නැතිනම්, ඒ ගාණ නොකියා ඉන්න එක වඩා හොඳයි. හැබැයි එහෙමයි කියලා තමන් කාගෙවත් අතින්වත් අල්ලලා නැති වර්ජින් කෙනෙක් විදියට රඟපාන්න යන එක වැරදියි. ඔය ඇරෙන්න, සමහර වෙලාවට තමන්ගේ සෙක්ස් හිස්ටරි එක විස්තරාත්මකව, ඒ කියන්නේ කරපු කියපු දේවල්, සෙක්ස් කරපු ඉරියව් වල ඉඳන් කියන්න යන එකත් ප්‍රශ්නකාරී වෙන්න පුලුවන්. අන්න ඒ නිසා වැඩි විස්තර රහස් විදියටම තියාගන්න එකයි හොඳ.
04. නෑයන්ගේ සහ යාළුවන්ගේ විවේචන
අපි පටන් ගන්නකොටම කිව්වනේ දෙන්නෙක් දීර්ඝ කාලීන සම්බන්ධතාවයකට හරි විවාහයකට හරි යනවා කියන්නේ එක ටීම් එකක ඉඳන් දෙන්නත් එක්ක මැච් එකක් ගහනවා වගේ වැඩක් කියලා. එතකොට ඔය නෑදෑ හිතමිත්‍රයින්ගේ අවුල් සීන් එහෙම වුණත් අපි ෂෙයාර් කරගන්නේ, ඒවා දෙන්නට දෙන්නා දැනගෙන ඉන්න අවශ්‍ය නිසා. හැබැයි දැන් මෙහෙම දේකුත් තියෙනවා. ඔය අපේ සමහර යාළුවන්ට හරි නෑදෑයන්ට හරි අපි විවාහ වෙන හරි සම්බන්ධ වෙන හරි පාට්නර් දේවදූතයෙක් දේවදූතියක් වුණත් එයාලා ගැන විවේචන තියෙනවා. නාහෙ ඇදයි කියයි, ඉගෙනගෙන නෑ කියයි, ඔය වගේ මොකක් හරි කතන්දරයක්. දැන් පාට්නර් සහ තමන් එක ටීම් එක වුණාට, මෙන්න මේ විවේචන ගැන එයාට කියන්න යන්න ඕන නෑ. හැබැයි එහෙම විවේචනයක් කවුරුහරි එයා නැති තැනක අපිට කියනවා නම්, අපිට කොන්දක් තියෙන්න ඕන ‘එයා මගේ ගෑණි’ නැතිනම් ‘එයා මගේ මිනිහා’, ඒ නිසා ඔය විවේචන අරගෙන එන්න එපා කියන්න. හැබැයි එහෙම වුණාට, එයාට එහෙම විවේචන එල්ල වුණා කියලා එයාගේ ෆීලින්ග්ස් හර්ට් කරන්න ඕන නැහැනේ.
05. සැක සංකාවන්
අපිට ඕනම සම්බන්ධතාවයකට ගිය ගමන් ආයෙ අහසින් රෝසමල් පෙති වැටෙන්නේ, කුරුල්ලෝ ප්‍රේම ගී ගයන්නේ නැහැනේ. සම්බන්ධතාවයක් කියන්නේ ප්‍රොසෙස් එකක්. එතනදී යම් යම් තැන් වලදී අපිට “මේකද අපිට ජීවිතේට හරියටම ගැලපෙන සම්බන්ධතාවය?” කියලා සැක සංකාවන් පහළ වෙනවා. අපේ තෝරාගැනීම නිවැරදිද, දෙන්නා ගැලපෙනවද කියන එක ගැන පොඩ්ඩක් දෙපාරක් හිතන්න එහෙම පෙළඹෙනවා. ඒක හරි. හැබැයි කරුණාකරලා අන්න ඒ සිතුවිලි තමන් ළඟ විතරක් තියාගන්න. කිසිසේත්ම තමන්ගේ පාට්නර්ට පස්සෙ කාලෙකදීවත් කියන්න යන්න එපා. මොකද, ඒකෙන් වෙන්නේ අනවශ්‍ය ප්‍රශ්න දෙන්නගේ සම්බන්ධතාවය ඇතුළට එන එක විතරයි.
06. එයාගෙ හොට් යාළුවා
දැන් අපි අපේ වයිෆ්, හස්බන්ඩ්, පාට්නර් එක්ක දීර්ඝ කාලීනව සම්බන්ධතාවයක ඉන්න කොට, එකිනෙකාගේ යාළුවෝ, නෑදෑයෝ, ඒ වගේම ඔෆිස් එකේ අය එහෙමත් අඳුනාගන්නවනේ. දැන් සමහර වෙලාවට ඔතන ඉන්න පුලුවන් ඇහැට කණට පේන විදියේ ගෑණු ළමයි, පිරිමි ළමයි එහෙම. දැන් අපි කියමු සාමාන්‍යයෙන් දෙන්නා අතරේ තියෙන්නේ බොහොම හොඳ, ඊර්ෂියාවන් නැති, ස්ථාවර සම්බන්ධයක් කියලා. ඒ කියන්නේ මනුස්සයා වයිෆ් එක්ක පාරේ යනකොට ලස්සන කෙල්ලෙක් දිහා බැලුවා කියලා වයිෆ් අප්සට් යන්නෙ නෑ, වයිෆ් කොල්ලෙක් පෙන්නලා ලස්සනයි කිව්වා කියලා හස්බන්ඩ් අප්සට් යන්නෙ නෑ කියලා හිතමු. හැබැයි එහෙම සම්බන්ධතාවයක් තියෙන වයිෆ් හෝ හස්බන්ඩ් එක්ක වුණත්, එයාගේ යාළුවෙක්, නෑදෑයෙක් හෝ එකට වැඩ කරන කෙනෙක් සෙක්සි, හොට් කියලා කියන්න නම් යන්න එපා. විවෘත අදහස් තියෙන පාට්නර් කෙනෙක් නම් එහෙම කිව්වත් ඒක දුර දිග හිතන එකක් නෑ, හැබැයි අපි නොහිතන මොහොතක, නොහිතා සිද්ධ වෙන දේකින් ඔය අනවශ්‍ය සැකයන් එහෙම ඇතිවෙන්න පුලුවන් ඔය වගේ කතන්දර නිසා. ඒ නිසා, වයිෆ්ගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් පට්ට හොට් කෑල්ල කියලා හිතුණත්, ඒක හිතේ විතරක් තියාගෙන ඉන්න!
07. පර්සනල්ම පර්සනල් ෆැන්ටසීස් සහ ආසාවන්
මෙන්න මේක බොහොම සංවේදී කතන්දරයක්. දැන් සාමාන්‍යයෙන් ඕනම මනුස්සයෙක්ට එයා ජීවිතේ විඳින්න ආස කරන ෆැන්ටසීස්, ආස කරන දේවල් තියෙන්න පුලුවන්. සමහර වෙලාවට මේවා සෙක්ස් සම්බන්ධ ආසාවන් සහ ෆැන්ටසීස් වෙන්නත් පුලුවන්, එහෙම නැති වෙන්නත් පුලුවන්. හැබැයි දැන් ඔය අපේ ආසාවන් සහ ෆැන්ටසි ගොඩක් වෙලාවට අපේ පාට්නර් එක්ක ෂෙයාර් කරගන්න පුලුවනිනේ. ඒ විතරක් නෙවෙයි, එයත් එක්ක ඒවා ඉෂ්ට සිද්ධ කරගන්නත් පුලුවනිනේ. උදාහරණයක් විදියට, කෑම්පින්ග් ගිහින් ටෙන්ට් එකක සෙක්ස් කරන්න ෆැන්ටසි එකක් තියෙනවා කියන එක කියන්න බැරි දෙයක් නෙවෙයි. ඒක දෙන්නට කරගන්නත් පුලුවන්. හැබැයි අපි හිතමු, අපිට ෆැන්ටසි එකක් තියෙනවා කියලා වයිෆ්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එක්ක සෙක්ස් කරන්න, එහෙම නැතිනම් මිනිහෙක්ව ඇත්තටම මරන්න, නැතිනම් ඒ වගේ සාම්ප්‍රදායිකත්වයෙන් සෑහෙන්න පිට යන නැතිනම් අඳුරුයි කියන්න පුලුවන් ආසාවන් හෝ ෆැන්ටසීස්. මළාට ඒවා පාට්නර් එක්ක කියන්න යන්න එපා. හැබැයි මේකත් මතක තියාගන්න. ඕනම සාමාන්‍ය මනුස්සයෙක්ගේ ඔළුවේ ඔය වගේ ඩාර්ක් ආසාවන්, ෆැන්ටසීස් තියෙන්න පුලුවන්. හැබැයි ඒවා උමතුවෙන් හැබෑ කරගන්න හිතෙන්නෙ නැති නම් ගැටළුවක් නෑ. හැබැයි ඒවා ඇත්ත කරගන්න මාරම වුවමනාවක් තියෙනවා නම්, ඒවා අතිශයින්ම ප්‍රශ්නකාරී වෙන්න පුලුවන් නම්, හොඳම දේ මානසික උපදේශන සහාය ලබාගන්න එක.
හැබැයි තව දෙයක්. මේ අපි කතා කරන්නේ පොදුවේ හස්බන්ඩ් හරි වයිෆ් හරි දැනගත්තොත් හිත් රිද්දගන්න පුලුවන්, අප්සට් යන්න පුලුවන් විදියේ දේවල් ගැන. පොදුවේ එහෙම වුණාට, සමහර හස්බන්ඩ් කෙනෙක් හරි වයිෆ් කෙනෙක් හරි මේ දේවල් දැනගත්තත් ගණන් නොගෙන ඉන්නත් සෑහෙන්න ඉඩ තියෙනවා. ඒවා ඉතින් එක් එක් පුද්ගලයාගේ තේරුම් ගැනීමේ ශක්තිය සහ ආකල්ප මත තමයි තීරණය වෙන්නේ!
Leave a Reply