කොහිල කියන්නෙ ගොඩක් ගුණ කෑමක්.අධික වශයෙන් කෙඳි තියන, අර්ශස් රෝගයට ගොඩක් හොඳ කෑමක් තමයි මේ.ඔන්න ඉතින් අපි කොහිල අල වලින් හදාගන්න පුලුවන් රස කෑම ටිකක් තමයි ගෙනාවෙ.කොහිල කවාගන්න අමාරු අයට දැනෙන්නෙවත් නැතිවෙන්න කොහිල කවන විදි කියලා දෙන්නයි හදන්නෙ.එහෙනම් හැමෝම ආටිකල් එක කියවලා ඉන්න.
01. කොහිල ඇඹුල
අවශ්‍ය ද්‍රව්‍ය :-
කොහිල අලයක්
කහකුඩු තේහැඳි 1/2
ලුණු ස්වල්පයක්
මිරිස් කුඩු තේහැඳි 1
කැකුළු හාල් මේසහැඳි 2
තෙල් ස්වල්පයක්
අබ ඇට ස්වල්පයක්
ලියාගත් ළූණු ගෙඩි 1/2
ලියාගත් සුදුලුණු බික් 2
රම්පේ හා කරපිංචා
සේර කෑල්ලක්
බැදපු තුනපහ කුඩු තේහැඳි 1
ගොරකා කෑලි 3-4
අඹරා ගත් පොල් කෝප්ප 1
- කොහිල තරමක කෑලි කපා සෝදා වතුර බේරා කහ, ලුණු හා මිරිස් කුඩු ස්වල්පයක් අතගා කරවෙන්න නොදී බැදගන්න.
- කැකුළුහාල් හා ගාගත් පොල් වෙන වෙනම රන්වන් පැහැවන තුරු බැදගෙන ග්‍රයින්ඩ් කරගන්න.
- තෙල් ස්වල්පයක් ලිපේ තියලා අබ ඇට ටිකක් පුපුරවන්න.
- ඒකටම කපාගත් ළූණු, සුදුලුණු, රම්පා, කරපිංචා, සේර එකතු කර රන්වන් පැහැවන තුරු බැදගන්න.
- ඊළඟට මිරිස් කුඩු හා බැදපු තුනපහ කුඩු එකතු කර විනාඩියක් විතර හැන්දෙන් එහා මෙහා කරන්න.
- ඊළඟට බැඳ ගත් කොහිල, ගොරකාකෑලි 2 ක් විතර එකතු කරන්න.
- බැඳ අඹරා ගත් පොල් හා හාල් ටික වතුර ටිකක දිය කරලා එකතු කරන්න.
- ඊළඟට මේක මදගින්නෙන්ම ඉදෙන්න හරින්න.ටිකක් හිඳෙන්න ඇරලා ලිපෙන් බාගන්න.
02. කොහිල පෙති බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය :-
පෙති කපා ගත් කොහිල අලයක්
ලුණු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක්
කොන්ෆ්ලර් මේසහැඳි 2
කහකුඩු තේහැඳි 1/2
මිරිස්කුඩු තේහැඳි 1
බිත්තර 1
පාන් පිටි කෝප්ප 1
තක්කාලි සෝස් ස්වල්පයක්
බැදීමට තෙල්
- කොහිල හොඳින් සුද්ද කරලා තුනීයට පෙති කපලා ලුණු, ගම්මිරිස් කුඩු දාලා අතගාලා ටික වේලාවක් තියන්න.
- දැන් වෙනම භාජනයක් අරගෙන පාන්පිටි, කොන්ෆ්ලර්, කහකුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු, තක්කාලි සෝස් හා බිත්තරයක් හා වතුර ටිකක් දලා උකු බැටර් එකක් හදා ගන්න.
- ඊළඟට කොහිල පෙති බැටර් එකේ දවටලා අඩු ගින්නෙන් ගැඹුරු තෙලේ බැඳගන්න.
03. කොහිල මෝජු
අවශ්‍ය ද්‍රව්‍ය :-
කොහිල අල 2
මිරිස් කුඩු මේස හැඳි 2
අමුමිරිස් කරල් 10 පමණ
ලුණු ස්වල්පයක්
රතුලුණු ගෙඩි 10-15
කහකුඩු ස්වල්පයක්
විනාකිරි කෝප්ප 1/2
තෙල්
කරපිංචා කොල කිහිපයක්
එනසාල් කරල් 2-3
කුරුදු පොතු කැබැල්ලක්
සීනි ස්වල්පයක්
- කොහිල අල අරගෙන හොඳින් සෝදා දික් අතට සිහින් තීරු කපා ගන්න.
- දැන් මේකට ලුණු හා කහ අතගාලා ගැඹුරු තෙලේ බැදගන්න.
- ඊළඟට තෙල් බේරෙන්න තියන්න.
- දැන් කරපිංචා බැඳගන්න.
- ළූණු හා අමුමිරිස් පොඩ්ඩක් බ්ලාන්ච් කරගන්න.
- ඊළඟට විනාකිරි ලිප තබා රත් වීගෙන එද්දි එයට සිනි හා මිරිස් කුඩු දා ගන්න.
- මේකටම බැඳ ගත් කොහිල කරපිංචා, එනසාල්, කුරුදු දාලා හොඳින් කලවම් කරලා රස බලා ලිපෙන් බා ගෙන නිවෙන්න තියන්න.
- ජීවාණුහරණය කළ බෝතලයකට දාගන්න.
04. කොහිල කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය :-
කැකුළු හාල් කෝප්ප 1
හොදින් පැසුණු කොහිල අල 1
සුදුළූණු බික් 6-7
පොල් කිරි කොප්ප 3
ලුණු කුඩු ස්වල්පයක්
වතුර
- හාල් හොඳින් සෝදා ඒකට කොහිල අල සිහින්ව කපලා සුදුළූණු සුද්ද කරලා එයට දමා වතුර දාලා ලිපේ තියලා තම්බන්න.
- මේක හොඳට තැම්බුනාම ටිකක් නිවෙන්න තියලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- ඊළඟට බ්ලෙන්ඩ් කර ගත් බැටර් එකට පොල් කිරි දාලා ලිපේ තියලා උතුරවාන්න.
- රස අනුව ලුණු දාලා කලවම් කරගන්න.
05. කොහිල සම්බෝල
අවශ්‍ය ද්‍රව්‍ය :-
හීනියට ලියාගත් කොහිල අල 2
ලියාගත් රතුළූණු ගෙඩි 2
ලියාගත් අමුමිරිස් කරල් 2
ගාගත් පොල් කෝප්ප 1/4
ලුණු හා ගම්මිරිස්කුඩු
දෙහි බෑයක යුෂ
උම්බලකඩ ස්වල්පයක්
- කොහිල ටික පුලුවන් තරම් හීනියට ලියාගන්න.
- මේ ටික ලුණු හා කහ දියකරගත් වතුර එකක ටික වෙලාවක් තියලා මිරිකලාගන්න.
- දැන් මේකට අනික් සියල්ලම දාලා අනලා ගන්න.
06. කොහිල සොසේජස්
අවශ්‍ය ද්‍රව්‍ය :-
කොහිල අල 2
මිරිස්කුඩු තේහැඳි 1/2
ලුණු හා ගම්මිරිස්කුඩු
චොප්කරගත් අමුමිරිස් කරල් 2
චොප්කරගත් සුදුළූණු බික් 3
චොප්කරගත් ඉඟුරු තේහැඳි 1
කඩලපිටි ග්‍රෑම් 100
- කොහිල පෙති කපලා ලුණු ටිකක් දාලා විනාඩි 15ක් තියන්න.
- ඊළඟට මේ ටික ආයෙ ටිකක් සෝදලා වතුර හා ලුණු දාලා අඩු ගින්දරේ තම්බගන්න.
- ඊළඟට වතුර පෙරලා මේකට ගම්මිරිස්කුඩු හා මිරිස්කුඩු ටිකක් දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න.
- ඊළඟට මේකට අමුමිරිස්, ඉඟුරු, සුදුළූණු, කඩලපිටි දාලා හොඳට කලවම් කරගන්න.
- රස අනුව ලුණු දාගන්න.
- දැන් මේ පේස්ට් එකෙන් ටිකක් අරන් ලන්ච් ශිට් එකක් මැදට තියලා සොසේජස් වගේ දෙපැත්තෙන් රෝල් කරගන්න.
- මේකට ෆොයිල් උනත් ගන්න පුලුවන්.
- මුළු මිශ්‍රණයම මේ වගේ හදලා විනාඩි 20-30ක් ස්ටීම් කරගන්න.
- ඊළඟට රැප් එක ගලවලා ෆ්‍රිජ් එකට දාගන්න.අවශ්‍ය වෙලාවට බැදගන්න.
07. කොහිල සීනි සම්බෝල
අවශ්‍ය ද්‍රව්‍ය :-
හීනියට ලියාගත් කොහිල කෝප්ප 2
කරපිංචා ස්වල්පයක්
කපාගත් අමුමිරිස් කරල් 2
සීනි තේහැඳි 2
කූනිස්සන් ස්වල්පයක්
උම්බලකඩ ස්වල්පයක්
ලියාගත් ළූණු ගෙඩි 2
කෑලිමිරිස් තේහැඳි 2
දෙහි යුෂ ස්වල්පයක්
බැදීමට තෙල්
- කපාගත් කොහිල ටික ගැඹුරු තෙලේ බැදගන්න.
- ළූණු ටිකත් රන්වන්පාට වෙනකල් බැදගන්න.
- කරපිංචා හා අමුමිරිස් තෙලට පොඩ්ඩක් දාලා ගන්න.
- වෙනම පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට කූනිස්සො හා කෑලිමිරිස් ටික දාගන්න.
- මේටික ටිකක් බැදුනම බැදගත් සියල්ලම දාලා කලවම් කරලා රස අනුව ලුණු හා සීනි දාගන්න.
- උම්බලකඩ ටිකත් දාලා කලවම් කරලා ලිපෙන් බාලා දෙහි යුෂ එකතු කරන්න.
Leave a Reply