නොබෙල් සම්මානලාභී කතුවරුන් හත්දෙනෙකුගේ සිංහලය​ට පරිවර්තනය වූ කෘති හතක් – 2 කොටස

නොබෙල් සාහිත්‍ය සම්මානය දිනූ කතුවරුන්ගේ කෘති අතරින් සිංහලට පරිවර්තනය වූ හොඳම කෘති කීපයක් ගැන අපි මීට කලින් ලිපියක් පළකළා ඔබට මතක ඇති. අද අපි ගෙන එන්නේ එහි දෙවැනි කොටසයි.

1. රත් වරලැති ලිය

මුලින්ම අපි කතාකරන්න හිතුවේ ඔර්හාන් පමුක් කියන තුර්කි ජාතික නොබෙල් සම්මනලාභී ලේඛකයාගේ කෘතියක් ගැන. මොහු නොබෙල් ත්‍යාගය දිනාගන්නේ 2006 වසරේදීයි. ඔහුගේ කෘතියක් මුල් වරට සිංහලට පරිවර්තනය වුණේ නිලූක කදුරුගමුව කියන පරිවර්තකයාගේ අතින්. මීට අමතරව ඔහුගේ “My Name is Red”, “Strangeness in My Mind” වගේ කෘතීනුත් සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා.

2. චෝකර් බාලි

රබින්ද්‍රනාත් තාගෝර් කියන නම අහලා නැති කෙනෙක් නෑනෙ. නොබෙල් ත්‍යාගයක් ගන්න ඔහුට හැකිවුණේ 1913 වසරෙදියි. ඔහුගේ මේ චෝකර් බාලි කියන කෘතිය අතිශයින්ම ජනප්‍රිය වුණා. විශේෂයෙන්ම ඒ ඇසුරෙන් නිමැවුණු සිනමාපටයත් විශිෂ්ටයි. චෝකර් බාලි කියන ඒ සිහින කොටුකරගත්ත වැන්දඹුවගේ චරිතය අයිශ්වර්‍යා රායි විසින් අපූරුවට නිරූපණය කරනු ලැබුවා.

3. කොළරා කාලේ ආලේ

ෆර්මිනා දාසා​ගේ ආදරය වෙනුවෙන් අවුරුදු ගණ​නක් බලාගෙන හිටපු ෆ්ලොරෙන්ටිනෝ අරීසා ගේ ආදර කතාව නොකියවපු කෙනෙක් නම් නැති තරම්. ලාංකීය පාඨකයන් ඒ තරම් ආදරයෙන් වැළඳ ගත්තු ආදර කතාවක් මේ​ක. ​මේ කෘතිය රචනා කරපු ගබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්ට නොබෙල් ත්‍යාගය ලැබෙන්නේ 1982 වසරේදියි. මීට අමතරව ඔහුගේ පරිවර්තනය වුණු කෘති කිහිපයක් ගැන අපි මීට කලින් සටහනක් තියලා තියෙනවා. ඒ ලිපිය පහලින් කියවන්න.

ඔබ කියවිය යුතුම ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්ගේ පරිවර්තන පොත් හතක්

4. මරණයේ රළ නැගුම

2018 වසරේ නොබෙල් ත්‍යාගයට හිමිකම් කියපු ඔල්ගා ටොකර්චුක්ගේ අතිශයින්ම ජනප්‍රිය වුණු විශිෂ්ට කෘතියක පරිවර්තනය තමයි මේ. ඇය පෝලන්ත ජාති​ක කතුවරියක්. තවම ඇගේ සිංහලට පරිවර්තනය වුණු කෘතියකට තියෙන්නේ මේ කෘතිය විතරයි. මේ කෘතිය ගැන යමක් කිව්වොත් මේකට පාදක වෙන්නේ එක් කාන්තාවක් හා ඇය වටා සිදුවන අභිරහස් මරණ ගොන්නක්. මේක සිංහල භාෂාවට පරිවර්තනය කරන්නේ රශ්මික මණ්ඩාවල කියන පරිවර්තකයා. මේක විශිෂ්ට පරිවර්තනයක් කිව්වොත් නිවැරදියි.

5. මතක මං අතර

කසුවෝ ඉෂිගුරෝ කියන්නේ මොන තරම් විශිෂ්ට කතුවරයෙක් ද කියලා ආයේ අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. සාහිත්‍යට ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ නම කණට ඇහිලා හරි තියෙන්න ඕනේ. 2017 තරම් බොහොම මෑතකදි තමයි ඉෂිගුරෝ සාහිත්‍ය සඳහා වන නොබෙල් සම්මානය දිනා ගන්නේ. මේ පොත ගැන යමක් කිව්වොත් මේකේ මුල් කෘතිය තමයි “When We Were Orphans” කියන කෘතිය. 1900 මුල් භාගයේ දෙමව්පියන් අහිමි වෙන ක්‍රිස්ටෝපර් කියන දරුවාගේ කතාව මේ පොතට පාදක වෙලා තියෙනව.

6. අඩමාන අඩවිය

නදීන් ගෝඩයිමර් කියන්නෙත් ලෝකයේ අතිශය ජනප්‍රිය වුණු දකුණු අප්‍රිකානු ජාති​ක කතුවරියක්. 2001 වසරේදී ඇයට සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගයත් හිමි වුණා. ඇගේ “July’s People” පොත තමයි මේ නමින් කුසුම් දිසානායක මහත්මිය පරිවර්තනය කරන්නේ. ඇත්තටම මේ කෘතියත් හරිම රසවත් කෘතියක්. විශේෂයෙන්ම උසස් පෙ​ළ ඉංග්‍රීසි සාහිත්‍යටත් මේ පොත නිර්දේශ වෙලා තියෙනවා. මෙහි පරිවර්තනයත් විශිෂ්ටයි.

7. හිමබිම

අවුරුදු හැත්තෑ දෙකේදි සියදිවිනසා ගත්තු ඒ විශිෂ්ට ජපන් කතුවරයා යසුනරි කවබතා කියන්නේ අපේ රටෙත් අතිශයින්ම ජනප්‍රිය වුණු කතුවරයෙක්. 1968 වසරේදී ඔහු නොබෙල් සාහිත්‍ය සම්මානයෙන්ද පිදුම් ලබනවා. “The Snow Country” නමින් ලියවුණු මේ කෘතිය 1948 තමයි එළිදක්වලා තියෙන්නේ. ජයන්ත විමලසේන තමයි හිමබිම නමින් මේ කෘතිය සිංහලට හරවන්නේ. නිවාඩුවකට හිමබිමකට පැමිණෙන ෂිමාමුරා සං කියන පුද්ගලයාත් ගේෂාවකුත් අතර ඇතිවන සම්බන්ධතාව පාදක කරගෙනයි මේ කතාව ගලා යන්​නේ. මීට අමතර​ව යසනූරිගේ තවත් කෘති ගණනාවක්​ම සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා.

මීට අමතරව සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය හිමි කර ගත්තු කතුවරයන් ත​ව ගොඩක් ඉන්නවා. අපි ආයෙත් එවැනි කතුවරුන් හත්දෙනෙක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් මේ තොරතුරු අමතක නොකර යාළුවෝ එක්කත් ෂෙයාර් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *