අපි කම්මැලි කම ගැන සෑහෙන්න කතා කරලා තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, කම්මැලි කම නිසා පොඩි වැඩ නොතකා හැරලා සුපිරියටම කෙල වෙන අවස්ථා ගැන. එතකොට උදාසීනත්වය සහ කම්මැලිකම නිසා ජීවිතෙන් මගහැරෙන දේවල් ගැන. ඒ වගේම, කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නැති කම්මැලි කම නැති කරගන්න ටිප්ස්, එතකොට කම්මැලි අයට උදේම නැගිටලා වැඩ කටයුතු පහසු කරගන්න වැදගත් වෙන ටිප්ස් එහෙමත් අපි කතා කරලා තියෙනවා. දැන් අද අපි කතා කරන්න යන්නේ, කම්මැලි කම නැති කරගන්න අවශ්‍ය කෙනෙක්ට වැදගත් වෙන වඩාත් ඇඩ්වාන්ස් උපදෙස් කීපයක් ගැන.
හරි, දැන් අපි වැඩ කල්දැමීම ගැනත් මීට කලින් කතා කරල තියෙනවනේ. එතකොට ඔය වැඩ කල්දැමීම සහ කම්මැලිකම කියන්නේ එකක් ද? නැත්තං දෙකක් ද? ඇත්තටම ඒ දෙක දෙකක්. වැඩ කල්දැමීම නැතිනම් procrastination කියන්නේ වැඩ කරන්න අවශ්‍යතාවය තිබුණත් කරන්න බැරුව ඔහේ කල් දාන එකට. එතකොට කම්මැලිකම නැතිනම් laziness කියන්නේ වැඩ කරන්න වුවමනාවක් නැතිවීම. හැබැයි මේ කම්මැලිකම කියන්නේ හැම තිස්සෙම නරක දෙයක් නම් නෙවෙයි. සමහර වෙලාවට කම්මැලියෙක් වෙන එකෙන් වඩාත් ප්‍රීතිමත්ව ජීවත් වෙන්න පුලුවන් වෙන්නත් හැකියි. හැබැයි කම්මැලිකම නිසා අපේ ජීවිතේ සීරියස් විදියට පහුබහිනවා නම්, දේවල් මගහැරෙනවා නම්, අපි මේ කියන ටිප්ස් කියවලා ජීවිතේ කම්මැලිකම නැති කරගන්න එක ඇඟට ගුණයි.
මේවා කම්මැලිකම නැති කරගන්න ඇඩ්වාන්ස් උපදෙස් කිව්වට, ඇත්තටම ජීවිතේ පොඩි පොඩි කම්මැලිකම් නැති කරගන්න ඕනම කෙනෙක්ට කරන්න පුලුවන් දේවල්. හරි එහෙමනම් පටන් ගමු!
1. තත්පර පහේ කවුන්ට් ඩවුන් එක
දැන් අපි මොනවා හරි වැඩක් කර කර ඉන්නකොට, අපිට ඒක දිගටම කරගෙන යන්න කම්මැලි හිතෙනවනේ. ආන්න එතකොට අපි කරන්නේ එක්කෝ ෆෝන් එක අතට අරගෙන සෝෂල් මීඩියා එකකට ගිහින් ඔහේ උඩට පහළට යන එක. එහෙම නැතිනම් නෙට්ෆ්ලික්ස් හරි මොකක් හරි තියෙන ෆිල්ම් එකක් ටීවී සීරීස් එකක් බලන එක. සමහර වෙලාවට අපි හිතාගන්නවා පැය කාලකට විතරයි කියලා. හැබැයි දන්නෙම නැතුව එතකොට පැය දෙකකුත් ගිහින් ඉවරයි. ආන්න ඒකට හොඳ ක්‍රමයක් තමයි මේක. දැන් අපිට වැඩක් කරන්න කම්මැලි හිතෙන නිසා ෆෝන් එක අතට ගන්නවා. හැබැයි ඒ වෙලාවට එතනින් එහාට ෆෝන් එකෙන් කිසිම දෙයක් කරන්න කලින් පහේ ඉඳන් පහ, හතර, තුන, දෙක, එක කියලා ගණන් කරන්න. ආන්න එතකොට අර වැඩේ තියලා වෙන මොකක් හරි කරන්න තියෙන කම්මැලි පෙළඹවීම නැති වෙනවා.
2. මිනිත්තු දෙකේ නීතිය
මේකත් ඔය මොනවාහරි පොඩි වැඩක් සම්පූර්ණ කරන්න තියෙන කම්මැලි කමට හොඳ විසඳුමක්. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කියමු ඊමේල් එකකට රිප්ලයි කරන එක කියලා. ඒකට කොයි තරම් වෙලා යයිද? විනාඩියක්? ආන්න එහෙමනම්, ඒක අපේ ප්‍රමුඛතා ලැයිස්තුවේ අන්තිමටම තිබ්බත් කමක් නෑ. ඒ මොහොතේම කරලා දාන්න. මිනිත්තු දෙකේ නීතියෙන් කියන්නේ, අපිට කරන්න තියෙන ඕනම දෙයකට ගත වෙන්නේ මිනිත්තු දෙකකට වඩා අඩු වෙලාවක් නම් ඒක වහාම කරන්න කියන එක. ඒක කරන්න කම්මැලි හිතෙනවා නම්, ආයෙමත් යන්න උඩ පොයින්ට් එකට. පහේ ඉඳන් පහළට ගණන් කරලා, ඒ වැඩේ කරන්න අවශ්‍ය පෙළඹවීම හදාගන්න. දැන් ඒ වැඩේ සම්පූර්ණ කරලා ඉන්න.
3. ටයිම් එකට පටන් ගන්න ඉන්න එපා
අපි පටන් ගන්නකොටත් කිව්වනේ අපි හැමෝම වගේ කරන දෙයක් ගැන. ඒ තමයි නැකත එනකල් බලන් ඉන්න එක. “මම හරියටම 9.30 ට වැඩ පටන් ගන්නවා” කියලා අපි හිතාගන්නවා. එහෙම නැතිනම්, “10 වෙනකල් ඉඳලා එක දිගට වැඩ කරනවා” කියලා හිතනවා. මෙහෙම ගොඩක් වෙලාවට හිතන්නේ 9.15 ට වගේ. මොකද ඒක නිකම් රවුම් වෙලාවක් නෙවෙයි නෙවෙයි වගේනේ, ඒ නිසා. එහෙම හිතලා 10 වෙනකල් පොඩ්ඩක් ඇලට් එකක් දාන්න යනවා. එතකොට ඇහැරෙන්නේ? ඇහැරෙනකොට 11.20 යි! ආන්න ඒ නිසා, එහෙම තමන් හිතෙන් හදාගන්න නැකතක් එනකල් වැඩ කරන්න ඉන්න එපා කියන එක තමයි ටිප් එක. වෙලාව 8.23 ද? කමක් නෑ, ඒ වෙලාවට වැඩ පටන් ගන්න. බෑ බෑ වගේ නම්, ආයෙමත් උඩ කියපු විදියට පහේ ඉඳන් පහළට ගණන් කරන්න කම්මැලි කම නැති කරලා අවශ්‍ය පෙළඹවීම හදාගන්න.
4. පටන් ගන්නකල් තමයි අමාරුව
දැන් හිතන්න අපිට රිපෝට් එකක් ලියන්න තියෙනවා කියලා. රිපෝට් එකක් ලියනවා කිව්වහම නිකම් බෑ බෑ වගේනේ, හා නැද්ද? සෑහෙන්න ලොකු වැඩක් වගේ. අනික, ඒක පටන් ගන්න විදියක් ගැන හිතාගන්නත් බෑ. ඒ නිසා අපි කරන්නේ අවිඥාණිකවම ඒක කරන එක කල් දමමින් ඉන්නවා. අන්තිමට ඩෙඩ්ලයින් එක කට උඩට ආවහම බය වෙලා ඔන්න පටන් ගන්නවා. එහෙම පටන් ගත්තහම තමයි තේරෙන්නේ ඇත්තටම වැඩේ අමාරු නැති බව. හැබැයි ඉතින් අපි සුපර්මෑන් නෙවෙයිනේ. ඉතින් කොහොම කළත් ඒක ඉවර කරන්න වෙලාවක් යනවා. අන්න එතකොට තමයි අපි අපිටම බැණගන්නේ, ඇයි මේ කරන්න පුලුවන් වැඩේ කලින් පටන් ගත්තෙ නැත්තේ කියලා. අර නෙට්ෆ්ලික්ස් බල බලා වැඩේ පටන් ගන්න එක කල්දමමින් හිටියේ මොන යකෙක් වැහිලද කියලා අපි අපිටම බැණගන්නවා!
ඇත්තටම මේකට හේතුව දෙයක් කරන්න පළවෙනි පියවර තියන එක අමාරු වීම. ආන්න ඒ නිසා, කරන්න පුලුවන් හොඳම දෙයක් තමයි, මොකක් හරි වැඩක් කරන්න තියෙනවා නම්, මොහොතක් අරගෙන ඒකේ පළවෙනි පියවර මොකක්ද කියලා හිතන එක. ඒ වගේම, ඒ පළවෙනි පියවර හැකිතාක් සරල සහ පැහැදිලි කර ගැනීම. අපි මීට කලින් ආටිකල් එකකත් කියලා තියෙනවා, කම්මැලිකම නැති කරගන්න හොඳම ක්‍රමයක් තමයි කියලා ලොකු වැඩක් පොඩි පොඩි වැඩ වලට කඩා ගැනීම. ආන්න ඒක මෙතනටත් ගැලපෙනවා. උදාහරණයක් ගත්තොත්, රිපෝට් එක ලියන්න පළවෙනි පියවර මොකක්ද කියලා හිතන්න. පළවෙනි පියවර පරණ රිපෝට්ස් කියවීම. 1999 න් තමයි පටන් ගන්න තියෙන්නේ. අන්න එතකොට ආයෙ වෙන කිසිම දෙයක් හිතන්න එපා. 1999 වසරේ රිපෝට් එක කියවන එක ගැන විතරක් හිතන්න. ඒකට අවධානය දෙන්න. අනික් දේවල් පසුවට පුලුවන්.
5. කම්මැලි වෙන එක අමාරු කරමු
මේ කාරණාවට අදාළ දේවලුත් අපි වෙනස් වෙනස් අවස්ථාවලදී කතා කරලා තියෙනවා. දැන් හිතන්න අපි කම්මැලි වෙනවා කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. අපි මොකක් හරි කරන්න තියෙන දෙයක් නොකර, එක්කෝ ඔහේ ඉන්නවා. හැබැයි ඒ ඔහේ ඉන්නවා කියන එකත් තමන්ගේ වැඩ කරන මේසේ වාඩි වේලා ඔහේ ඉඳීමක් වෙන්නෙ නෑ නේද? උදාහරණයක් විදියට, අපි වැඩේ නොකර ඇඳට වැටිලා ඔහේ ඉන්නවා. එහෙම නැතිනම් වැඩේ නොකර ඔහේ ෆිල්ම් එකක් බලනවා. එහෙමත් නැතිනම් වැඩේ නොකර ඔහේ ෆේස්බුක් එකේ උඩ පහළ යනවා. දැන් ඔන්න ඔය කම්මැලිකම මග අරින්න කරන්න පුලුවන් දේවල් උඩ කියලා තියෙනවා. හැබැයි සමහරුන්ට මොකක් හරි කම්මැලි ඇබ්බැහියක් තියෙන්න පුලුවන්, උඩ කියපු ස්ටෙප්ස් වලින් වත් කඩාගන්න අමාරු. ආන්න ඒ වගේ දේකදී හොඳම දෙයක් තමයි, කම්මැලි කමත් එක්ක තමන්ට කරන්න හිතෙන ඇබ්බැහිය සහ තමන් අතරේ වැඩිපුර ස්ටෙප් එකක් නිර්මාණය කරන එක. උදාහරණයක් විදියට ඇඳේ ඔහේ වැටිලා ඉන්න බෑ, අපි වැඩ කරන තැන ඇඳක් නැතිනම්. අන්න එතකොට වැඩ කරන කාමරේ වෙනම තියාගන්න එක කරන්න පුලුවන් දෙයක්. එහෙම නැතිනම් ෆෝන් එකේ ෆේස්බුක් ඇප් එකෙන් ලොග් අවුට් වෙලා ඉන්න. අන්න එතකොට, ඔහේ ෆේස්බුක් එකේ සරන්න හිතෙන වෙලාවකදී වුණත් ඒක කරගන්න නම් අමුතුවෙන් ලොග් වෙන්න සිද්ධ වෙනවා. ඒකෙන් ඒ කම්මැලි ඇබ්බැහිය කඩාගන්න පුලුවන් වෙන්න හැකියාව තියෙනවා.
6. ගේමක් ගහනවා කියන මානසිකත්වය
ගොඩක් වෙලාවට අපි කම්මැලිකමෙන් ඔහේ ඉන්න එක හේතුවක් තමයි, අපිට අවශ්‍ය දෙයක් කරලා උඩට එන්න කිසිම ධනාත්මක හැඟීමක් නැති වීම. වෙන විදියකට කිව්වොත්, අපිට හිතෙන්නේ මේක කළත් වැඩක් තියෙනවද වගේ දෙයක්. එහෙම කම්මැලි සෘණාත්මක මානසිකත්වයක් ඇති වෙන්න ගොඩක් වෙලාවට අසාර්ථක වෙන්න තියෙන බයත් හේතුවක්. ආන්න ඒ නිසා, එහෙම වෙලාවට නිකමට හිතලා බලන්න, රටේ දේශපාලනය ගත්තොත්, පිට පිටම මැතිවරණ පැරදුණු, අසාර්ථක දේශපාලකයෙක් කියලා හංවඩු ගැහුණු රනිල් වික්‍රමසිංහට, පක්ෂෙන් එක පාර්ලිමේන්තු ආසනයක් විතරක් තියාගෙන අගමැතිකම හම්බුණේ නැද්ද කියලා! එහෙමනම්, රනිල්ට පුලුවන් වුණා නම්, අපිටත් කවදාහරි බැරි වෙයිද?
විහිළු පැත්තකින් තියලා කථා කළොත්, ඇත්තටම අපි ඕනම කෙනෙක් ඇතුළේ හොඳ විභවයක් තියෙනවා, අපිට අවශ්‍ය ඕනම දෙයක් කරන්න පුලුවන් විදියේ. ඇත්තටම අවශ්‍ය වෙන්නේ ඒ ඕනම දෙයක් කරන්න පුලුවන් කියන මනෝභාවය විතරයි. ඉතින් ආන්න ඒක හදාගන්නයි ඕන කරන්නේ. අසාර්ථක වෙයිද? කමක් නෑ. අනික් මිනිස්සු හිනාවෙයිද? කමක් නෑ. අලුතෙන් දෙයක් ඉගෙන ගෙන වැඩක් කරන්න පරක්කු නැද්ද? කිසිම පරක්කුවක් නෑ. තමන් ගේමක් ගහලා තැනකට එනවා කියන ධනාත්මක සිතුවිල්ල හදාගන්නයි තියෙන්නේ. එච්චරයි!
7. උදවු සිස්ටම් එකක්
ඇත්තටම අපිට ජීවිතේ අනවශ්‍ය විදියට කම්මැලි වීමෙන් වුණත් ගොඩ එන්න පුලුවන් තව කෙනෙක්ගේ උදව්වෙන්. ඒ නිසා, මුලින්ම උදවු ඉල්ලන්න කිසිසේත්ම පැකිලෙන්න එපා. තමන්ට විශ්වාසවන්ත, තමන්ට සමීප මනුස්සයෙක්ට තත්වය පැහැදිලි කරන්න. තමන්ගේ කම්මැලිකම ගැන කියන්න. එහෙම කියලා, එයාට කියන්න අපිට උදව් කරන්න කියලා. හැබැයි එයා කරන්න ඕන අර කෙවිට අතේ තියන් හරකා පස්සෙ යනවා වගේ වැඩක් නෙවෙයි. අපිට පුලුවන් අපේ ටයිම් ටේබල් එක එයත් එක්ක ෂෙයාර් කරගන්න. උදාහරණයක් විදියට රිපෝට් එක දවස් තුනකින් ඉවර කරන්න ඕන. ඒක නිසා මෙන්න මේ විදියට ඒක ඉවර කරනවා දවස් තුන ඇතුළත. දැන් අපේ සපෝටර්ට පුලුවන් අපිට මතක් කරන්න වැඩේ, අපිව පොඩ්ඩක් පුෂ් කරන්න පුලුවන්, ඒ වගේම වැඩේ ඉවර කළාම ඉවරයිනේ කියන එක මතක් කරන්න පුලුවන්. ඒකෙන් තියෙන ප්‍රතිලාභත් මතක් කරන්න පුලුවන්.
දැන් තව ප්‍රශ්නයක් එන්න පුලුවන් ගොඩක් අයට. කම්මැලිකම නැති කරගන්න ඔය කියපු දේවල් කරලා පුලුවන් තමයි. හැබැයි ඔය කියපු දේවල් කරන්නත් කම්මැලි නම් මොකද කරන්නේ? මෙහෙමයි, දැන් මේ ටික කියවනවා කියන්නේ, අඩු ගාණේ කම්මැලි නැතුව ආටිකල් එක අගට යනකල් කියවලා කියන එකනේ. ඒ කියන්නේ අපි දන්නවා කම්මැලිකම අපිට යම් තාක් දුරකට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා ඒක මගහරවා ගන්නත් ඕන කියලා. ආන්න ඒ දැනගැනීම සහ අවශ්‍යතාවය තමයි ඕන කරන්නේ. මේ උපදෙස් ලැයිස්තුවෙන් එක පාරකට එක ගාණේ කරලා බලමු. හරිද?
Leave a Reply