විනෝදාංශෙට මුද්දර එකතු කරන එකේ තියෙන වාසි!

ඉස්සර ඉස්කෝලෙ යන කාලේ අපි හැමෝටම විනෝදාංශ තියෙන්න ඕන කියලා ඉස්කෝලෙන්ම කියනවා. එතකොට අපෙන් අහනවත් එක්ක මොනවද විනෝදාංශ කියලා. ඒ කාලේ ඉතින් ගොඩක් අයට සුලභවම තිබුණු විනෝදාංශ දෙක තමයි පොත් කියවීමයි, මුද්දර එකතු  කිරීමයි. හැබැයි එහෙම විනෝදාංශේ ඇහුවහම මුද්දර එකතු කරනවා කියලා කිව්වට, ගොඩක් අය එහෙමට මුද්දර එකතු කරලත් නෑ අන්තිමට බලනකොට. ගොඩක් වෙලාවට අම්මා හරි තාත්තා හරි විනෝදාංශෙට එකතු කරපු මුද්දර සෙට් එකකට එක්කො වැඩේ දීලා. එහෙම නැතිනම් ගෙදරට සතියකට එන ලියුමක දෙකක තියෙන මුද්දරයක් දෙකක් ගලෝගෙන එකතු කරගත්තු මුද්දර සූ ගාලා දහයක විස්සක කලෙක්ෂන් එකක් තියාගෙන මුද්දර එකතු කරනවා කියලා ලොරි ටෝක් දීලා. හරි, ඔය කොහොම වුණත්, මුද්දර එකතු කරන එක හොඳ විනෝදාංශයක්. විශේෂයෙන්ම හොඳ ප්‍රතිලාභ තියෙන විනෝදාංශයක්. ආන්න ඒ නිසා, අපි හිතුවා මුද්දර එකතු කරන එකේ තියෙන වාසි ටිකක් ගැන කියන්න. ඕන කෙනෙක්ට ආසාව තියෙනවා නම් අද ඉඳන් වුණත් මුද්දර එකතු කරන්න පටන් ගන්න පුලුවන්.

 

01. ඉවසිල්ල සහ අවධානය

ඇත්තටම විනෝදාංශයක් විදියට මුද්දර එකතු කරනවා කියන්නේ කොහෙන් හරි හම්බෙන මුද්දර ටිකක් පෙට්ටියක දාලා තියාගන්නවා කියන එක නෙවෙයි. ඒක ඊට වඩා සීරියස් වැඩක්. උදාහරණයක් විදියට ගත්තොත්, ලියුම් කවරයක අලවලා තියෙන මුද්දරයක් ප්‍රවේසමෙන් ඇලවිලා තියෙන කොලේ එක්කම ඉරලා අරගෙන, වතුරට දාලා හරි හුමාලයට අල්ලලා හරි මුද්දරේට හානි නොවෙන්න මුද්දරේ කොළෙන් වෙන් කරලා ගලවගන්න ඕන. ඊට පස්සේ ඒක තවත් කොලේක උඩ තියලා, ඒකේ ඇලෙන්නේ නැති වෙන්න වේලගන්න ඕන. ඊට පස්සේ ට්වීසර් එකකින් ප්‍රවේසමෙන් අරගෙන මුද්දර ඇල්බම් එකකට ඇතුළත් කරන්න ඕන. ඒක ඉහළ ඉවසිල්ලක් සහ අවධානයක් අවශ්‍ය වෙන වැඩක්. භාවනාවක් වගේ තමයි. ඉතින් ඉවසීම සහ අවධානය වර්ධනය කරන්න මේක හොඳ විනෝදාංශයක් නෙවෙයිද?

 

02. හිත නිස්කලංක වෙන විනෝදාංශයක්

මේක තමයි ඉතින් පළවෙනියටම මුද්දර එකතු කිරීමෙන් කෙනෙක්ට ලැබෙන ප්‍රතිලාභය. හරියටම ගත්තොත්. දැන් අපි කලිනුත් කිව්වනේ මුද්දර එකතු කරනවා කියන්නේ හදිසියට කරන්න ඕන දෙයක් නෙවෙයි, ඊට වඩා ඉවසිල්ලෙන් සහ අවධානයෙන් කරන්න ඕන දෙයක් කියලා. දැන් නිකමට හිතන්න, අපි උඩ කියපු විදියට සකසා ගත්තු මුද්දර ටික පිළිවෙලකට සංවිධානය කරලා මුද්දර ඇල්බම් වල ප්‍රවේසමට අසුරා ගන්න එක ගැන. ඒක බොහොම රිලැක්සින් වැඩක් නෙවෙයිද? ඒ විතරක් නෙවෙයි. අපි පුංචි කාලේ එකතු කරපු මුද්දර එකතුවක්, අද වැඩිහිටියෙක් වෙලා ඉන්න කාලෙක පවා ආයෙමත් එළියට අරගෙන නරඹන එකෙන් හිත කොයි තරම් නිස්කලංක වෙනවද? හිතට කොයි තරම් සතුටක් ලැබෙනවද? ආන්න ඒක විශේෂ දෙයක්.

 

03. ලෝකේ රටවල්  ගැන දැනුම

සාමාන්‍යයෙන් අපි පොඩි වසරවලදීම ලෝකේ තියෙන රටවල් ගැන ඉගෙන ගන්නවනේ. ඔය භූගෝලය විෂය පොඩි වසර වල ඉඳලම එහෙන් මෙහෙන් උගන්වනවා. හැබැයි අර නිල් පාටයි සුදු පාටයි සිතියම් කොළ වල රටවල් ලකුණු කළා කියලා, ඇත්තටම එහෙම රටවල් ගැන ගැඹුරු දැනුමක් ලැබෙන්නෙ නෑ. ඒත් සිතියමේ විවිධ රටවල් තියෙන තැන ගැන මූලික දැනුම ගත්තට පස්සේ, රටවල් සම්බන්ධයෙන් හොඳ විශේෂීකරණ දැනුමක් ලබාගන්න පුලුවන් මුද්දර එකතු කරන විනෝදාංශය හරහා. ඒ සම්බන්ධයෙන් එක දෙයක් විදියට කියන්න පුලුවන්, රටවල් සම්බන්ධ සංස්කෘතික දැනුම පවා මුද්දර හරහා ලබාගන්න පුලුවන් කියලා. ඇයි එහෙම කියන්නේ? ඕනම රටක මුද්දර වලට ඇතුළත් කරන්නේ ඒ රටට ආවේණික දේවල් ගොඩක් වෙලාවට. එහෙම නැතිනම් ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂී දේවල්. උදාහරණ විදියට කිව්වොත්, යම් රටක මුද්දර වල ඒ රටේ ජාතික පුෂ්පය, ජාතික සත්වයා වගේ දේවල් ඉදිරිපත් වෙනවා. එහෙම නැතිනම් ඒ රටේ ජාතික වීරයෝ ඉදිරිපත් වෙනවා. ඒ රටට වැදගත් ඓතිහාසික චරිත ඉදිරිපත් වෙනවා. ඔය කීපයක් විතරයි.

 

04. මුද්දර සහ තැපැල් ඉතිහාසය ගැන ප්‍රවීණත්වයක්

මෙන්න මේකත්, හරියට කාලයක් තිස්සේ මුද්දර එකතු කරපු කෙනෙක්ට ලැබෙන දෙයක්. ඒ තමයි, ලෝකේ විවිධ රටවල මුද්දර සහ තැපැල් ඉතිහාසයන් ගැන හොඳ ප්‍රවීණත්වයක්. හැබැයි ඒ ප්‍රවීණත්වය එතනින් එහාට නතර වෙන්නෙ නෑ. විශේෂයෙන්ම මේ දැනුම අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්, දේවල් වැඩිදුර අන්තර්ජාලයෙන් හොයාබලන්න පුලුවන් යුගයේ, ඒ ප්‍රවීණත්වය විවිධ රටවල ඉතිහාසය, සංස්කෘතිය ගැන එහෙමත් දැනගන්න පාවිච්චි කරන්න පුලුවන්. අපි උදාහරණයක් ගමු. දැන් හංගේරියාවේ මුද්දර වල සාමාන්‍යයෙන් හංගෙරි කියලා ගහන්නෙ නෑ. ඒ අය ගහන්නෙ මග්යාර් පෝස්ටා කියලා. ඉතින් එහෙම මුද්දරයක් හම්බුණහම ඒක හංගේරියාවේ කියලා දැනගන්න නම් ඔය උඩ කියපු ප්‍රවීණත්වය තියෙන්න ඕන. දැන් තව හොයලා බැලුවොත් මොකක්ද මේ මග්යාර් කියන්නේ කියලා, කෙනෙක්ට දැනගන්න පුලුවන්, හංගේරියානුවන්ට ඇත්තටම කියන්නේ මග්යාර්වරු කියලා. ඒ කියන්නේ ඌරල් කඳුවැටියෙන් ඇවිත් ක්‍රි.ව.9 වෙනි ශතවර්ෂයේදී දැන් හංගේරියාව තියෙන භූමිභාගයේ පදිංචි වුණු අය. හැබැයි ඇත්තටම ඔතනින් නවතින්නෙත් නෑ. හංගේරියාවේ මුද්දර වල ඉතිහාසය, හංගේරියානු ඉතිහාසයත් එක්ක දැඩිව බැඳී තියෙනවා. ඉතින් අවශ්‍යකමක් තියෙන අයට ඒ සම්පූර්ණ ඉතිහාස පාඩමම ඉගෙන ගන්න මග පෑදෙනවා හංගේරියානු මුද්දරයකින්.

 

05. ආට් ෆෝර්ම් එකක්

මුද්දර එකතු කිරීම කලා නිර්මාණ ආකාරයක් විදියට ඔබ කවදාවත් දැකලා තියෙනවද? මෙහෙම හිතන්න. දැන් සාමාන්‍යයෙන් නම් මුද්දර එකතු කරන අය ඒ මුද්දර තැන්පත් කරන්නේ මුද්දර දාන ඇල්බම් වලනේ. හැබැයි ඔය මුද්දර ප්‍රදර්ශන වලට එහෙම මුද්දර ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා දැකලා තියෙනවද? ලස්සන බෝර්ඩ් එකක බොහොම විචිත්‍රවත් රටාවකට අනුව පෙළගස්වලා තමයි ගොඩක් වෙලාවට ප්‍රදර්ශන වල මුද්දර ඉදිරිපත් කෙරෙන්නේ. ඒක ඉතින් තමන්ගේ ඉමැජිනේෂන් එක. හැබැයි ලස්සන ලස්සන මුද්දර වල පාට හරි හැඩතල හරි අනුව විතරක් එහෙම පෙළගස්වන්නත් බෑ. යම් කිසි අර්ථයක් තියෙන්නත් ඕන. උදාහරණයක් විදියට සත්තු ඉන්න මුද්දර විතරක්, අන්න ඒ වගේ. ඉතින් ඒක ආට් ෆෝම් එකක් නෙවෙයිද?

 

06. ක්ලැසික් විනෝදාංශයක්

අපි ආටිකල් එකේ අන්තිමටත් කියලා තියෙන විදියට, අසූ ගණන් වල, අනූ ගණන් වල, දෙදාහෙ කාලෙ පවා මුද්දර එකතු කරන එක විනෝදාංශයක් විදියට ප්‍රචලිත වුණාට, පස්සෙ පස්සෙ හැමදෙයක්ම ඩිජිටල්කරණය වීමත් එක්කම, ඒ විනෝදාංශයත් යම් තරමකට අභාවයට ගියා කිව්වොත් වැරදි නෑ. හැබැයි ඒත් මුද්දර එකතු කරන්න තාමත් බැරි කමක් නෑ. ඇත්තටම දැන් වෙනකොට මුද්දර එකතු කිරීම කියන්නේ බොහොම ක්ලැසික් විනෝදාංශයක්. ඒ නිසාම ඒකට වෙනම විශේෂ වටිනාකමකුත් තියෙනවා. ඉතින් මුද්දර එකතු කිරීමේ විනෝදාංශයක් තියෙන එකෙන් ඔබත් එක්තරා විදියකට ක්ලැසික් පුද්ගලයෙක් විදියට පෙනී යනවා.

 

07. මූල්‍යමය වටිනාකම

මේක නම් ඉතින් සාපේක්ෂ කතන්දරයක්. සාපේක්ෂ වෙන්නේ මුද්දර එකතු කරන්නාට. දැන් ඔය අද ඊයේ අවුට් කරලා, අපි සීල් එක ගහලා ගත්තු මුද්දරයක් නම් ඉතින් අද දවසේ ලොකු වටිනාකමකින් යුක්ත වෙන්නෙ නෑ. හැබැයි නිකමට හිතන්න වෙන රටවල මුද්දර වලට යම් මූල්‍ය වටිනාකමක් නැද්ද කියලා. ඇත්තටම ඔය මහජන පුස්තකාලේ තියෙන මුද්දර ප්‍රදර්ශන වලදි එහෙම ඒ වගේ මුද්දර අලෙවි කරන මුද්දර එකතු කරන්නෝ ඉන්නවා. ඒ ඇරෙන්න, සමහර මුද්දර ලක්ෂ ගණන් වලට වුණත් විකිණිලා තියෙනවා. එක පාරක් 1856 වර්ෂයේ බ්‍රිටිෂ් ගිනියා 1c මැජෙන්ටා මුද්දරය අලෙවි වෙලා තිබුණා ඩොලර් මිලියන 9.48 ක් වගේ මුදලකට. එතකොට ස්වීඩනයේ නිකුත් කරපු පළමු මුද්දර වලින් එකක් වෙන 1855 වසරේ මුද්‍රණ වර්ණ දෝෂයක් එක්ක නිකුත් වුණු Treskilling Yellow මුද්දරය අලෙවි වෙලා තිබුණේ ඩොලර් මිලියන 2.6 කට. එතකොට හිතාගන්න පුලුවනිනේ මුද්දර එකතුවක තියෙන මුද්දරයක් දුර්ලභ සහ පැරණි වෙනකොට ඒකේ වටිනාකම වැඩිවෙන විදිය. ඉතින් ඇත්තටම එහෙම බලනකොට ඔය පැරණි මුද්දර එකතුවකට හොඳ මූල්‍යමය වටිනාකමක් තියෙනවා කියන එක අපිට අමතක කරන්න බැහැ.

ඇත්තටම මුද්දර එකතු කරන විනෝදාංශය මීට අවුරුදු විස්සකට තිහකට කලින් නම් පහසුයි. ඇයි, ගෙවල් වලට ටෙලිෆෝන් වත් තිබුණු නැති ඒ කාලේ කොයි තරම් ලියුම් වලින් සන්නිවේදන කටයුතු සිද්ධ වුණාද. හැබැයි දැන් වෙනකොට නම් තත්වේ වෙනස්. ගෙදරකට ලියුමක් කියලා එන්නේ කලාතුරකින් බිලක් විතරයි. ඒවලත් මුද්දර අලවන්නෙ නැහැනේ. එතකොට ඒ කියන්නේ දැන් කාලේ මුද්දර එකතුකරනවා වගේ විනෝදාංශයක් කරන්න බැරිද? අපොයි පුළුවන්. ටිකක් අභියෝගයක්. හැබැයි ඕන තරම් මුද්දර හොයාගන්න ක්‍රම සහ විධි තියෙනවා. ඒ ගැන අපි මීට කලින් කතා කරලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *