පැටවු හම්බුවෙන්න ඉන්න පූස් අම්මෙක්ට සලකන්න ඕන විදිය ගැන උපදෙස් කීපයක්!

මේ ආටිකල් එක ඇත්තටම විශේෂ වෙන්නේ පූසෝ ඇති කරන, පූසන්ට ආදරේ කරන කට්ටියට විතරක් නෙවෙයි, පූසන්ට පොඩ්ඩක්වත් කැමැත්තක් නැති වුණත්, සතෙක්ට සලකන එක මනුස්සකම කියලා හිතන ඕනම කෙනෙක්ට මේක වැදගත් වෙයි. ඒකට හේතුව මේකයි. දැන් ඔය පූසෝ කියන්නේ ශ්‍රී ලංකාව ගත්තත් ඕනම අස්සක මුල්ලක දකින්න ලැබෙන සත්ව වර්ගයක්නේ. සමහරු ගෙදර හුරතලේට ඇති කරනවා. සමහර ගෙවල් වල හුරතලේට ඇති කළත්, නොකළත්, කොහෙන් හරි පාත් වුණු පූස් නාම්බෙක් දෙන්නෙක් වත්තේ හරි ඉන්නවා. ඉතින් අපි ඇත්තටම කතා කරන්න යන්නේ, මේ පූස් වර්ගයා අතුරින් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න, ඒ කියන්නේ පැටවු ගහන්න ඉන්න, පූස් බබාලා ලැබෙන්න ඉන්න පූස් අම්මෙක් දැක්කොත් හරි, එහෙම පූස් අම්මෙක් ගෙදර ඉන්නවා නම් හරි මොකද කරන්නේ කියන එක ගැන. දැන් අපි බස් එකේ යනකොට බඩදරු අම්මා කෙනෙක්, එහෙම නැතිනම් හරි විදියට කිව්වොත් ගර්භණී මාතාවක් බස් එකට නැග්ගොත් වහාම නැගිටලා සීට් එක දීලා සැලකුම් කරනවනේ. ඒකට හේතුව, ඒ කාලෙදී ඒ අයට අපේ උදව්ව උපකාරය අවශ්‍ය වීම. ඉතින් පූසියෙක් ගත්තත් එකේ වෙනසක් නෑ. පූස් අම්මෙක්ට වුණත් දරුවෝ ලැබෙන්න ගර්භණී වෙලා ඉන්නවා නම් අපි ඒ සැලකුම ලබාදෙන්න ඕන.

 

ආන්න ඒ නිසා, කොහොමද පැටවු ලැබෙන්න ඉන්න පූස් අම්මා කෙනෙක්ට සලකන්නේ කියලා ටිප්ස් කීපයක් අපි ලබාදෙන්න කැමතියි!\

 

01. පූසි ප්‍රෙග්නන්ට් කියලා කොහොමද කියන්නේ?

මේක මොන මෝඩ ප්‍රශ්නයක්ද කියලා කෙනෙක් අහන්න පුලුවන්. ඇයි වදේ, බඩ ලොකු වෙලා තියෙනකොට තේරෙන්නෙ නැතිද ප්‍රෙග්නන්ට් කියලා? ඇත්තටම එහෙම කියන්න බෑ. මොකද, මිනිස් අම්මා කෙනෙක්ගේ වගේම, පූසියෙක්ගේ වුණත් බඩ ලොකු වෙන්නේ පහුවෙනකොට තමයි. ඒ නිසා, මුලින්ම පූසියෙක් ප්‍රෙග්නන්ට් කියලා දකින්න පුලුවන් ලක්ෂණ දෙකක් අපිට කියන්න පුලුවන්. පළවෙනි එක පූසිගේ නිපල්ස් එහෙම නැතිනම් තනපුඩු ලොකු වෙලා, තද රතු පාට වෙලා තිබීම. විශේෂයෙන්ම අර කිරි දෙන්න සූදානම් වෙන විදියේ පැහැදිලි වෙනසක් පූසිගේ තනපුඩු වල දකින්න පුලුවන්.

 

අන්තිමට සති පහකට විතර පස්සේ ඔන්න බඩ ලොකු වෙන්න පටන් ගන්නවා දකින්න පුලුවන්. ආන්න ඒකෙන් අපිට කොහොමත් තේරුම් ගන්න පුලුවන් පූසි ප්‍රෙග්නන්ට් කියලා ඉතින්.

 

02. හැසිරීම තේරුම් ගමු

සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් වෙන්න යන මනුස්ස කාන්තාවකගේ වුණත් හැසිරීම වෙනස් වෙනවනේ. මූඩ් වෙනස් වීම්, තරහ යෑම්, දුක හිතීම් වගේ එව්වා එන්න පුලුවන්. ආන්න ඒ හැසිරීම් වෙනස් වීම පූස් අම්මා කෙනෙක්ගෙන් වුණත් දකින්න පුලුවන්. සමහර වෙලාවට ඉස්සර හරිම මිත්‍රශීලී විදියට හිටපු පූසෝ ප්‍රෙග්නන්ට් වුණහම ඉක්මනට තරහ යන, එහෙම නැතිනම් නිතරම කොහේ හරි හැංගිලා ඉන්න, අපිව රුස්සන්නෙ නැති හැසිරීමක් දක්වන්න පුලුවන්. ඒ වගේම, ඉස්සර අපිව තඹ සතේකට ගණන් නොගෙන හිටපු පූසියෙක් වුණත් ප්‍රෙග්නන්ට් වුණහම හරිම ආදරේ දක්වන, නිතර අපි ගාවට වෙලා ඔලුව අතගාවගන්න හදන, ආදරේ හිතෙන විදියට හැසිරෙන ඩයල් එකක් වෙන්නත් පුලුවන්. මේ විදියේ ඕනම හැසිරීමක් ප්‍රෙග්නන්ට් පූසියෙක්ගෙන් දකින්න පුලුවන්. ආන්න එතකොට, අපිට යුතුකමක් තියෙනවා, ප්‍රෙග්නන්ට් පූසියෙක් මේ මොන විදියේ හැසිරීමක් පෙන්නුවත්, ඒක ඉවසා දරා ගෙන එයාට වෙනසක් නොකර සලකන්න.

 

03. කෑම කොහොමද?

සාමාන්‍යයෙන් කොහොමත් ප්‍රෙග්නන්ට් වුණු කාලෙට පූසියෙක් වෙනද කන ප්‍රමාණෙට වඩා වැඩියෙන් කෑම කන බව නම් අනිවාර්යයෙන්ම දකින්න පුලුවන් දෙයක්. ඒක සොබාවිකයිනෙ ඉතින්. එතකොට ඔය වෙනදා කරදරයක් නැතුව කැට්ෆුඩ් කන පූසියෙක්ට හදිසියේ කැට්‍ෆුඩ් එපා වෙන්නත් පුලුවන්. හරි එහෙනං මාළු කූරියෙක් කාපංකෝ කියලා සාලයෝ ගෙනැල්ලා දුන්නහම, ඒක දවසක් දෙකක් කන පූසිට ඊට පස්සේ මාළු කූරියත් එපා වෙන්න පුලුවන්. ඒකත් ඇත්තටම සොබාවිකයිනේ. නිකමට හිතලා බලන්නකෝ, බඩදරු අම්මා කෙනෙක්ට කොයි තරම් එක එක විදියේ වෙනස් කෑම කන්න ආසාවක් එනවද? කොයි තරම් වෙනදා කන කෑම එපා වෙනවද? ඉතින් පූසිට කතා කරලා කියන්න පුලුවනැයි “මට දොළදුකක් තියෙනවා වෙල්ලවැහුම් කන්න” කියලා. ආන්න ඒ නිසා, හොඳම දේ තමයි, පොඩ්ඩක් එයා කෑම කන රටාව නිරීක්ෂණය කරලා, එයාට කන්න හොඳ විවිධ කෑම දීලා බලන එක. එයා මොනවා හරි කෑමක් කනවා කියලා පෙන්නනවා නම්, ටිකක් වෙනදට වඩා වැඩිපුර කෑම දෙන්න වෙයි. කොහොමත් වැඩි කැලරි ප්‍රමාණයක් එහෙම පූසිට මේ කාලෙදී අවශ්‍ය වෙනවා.

 

04. රෙස්ට් එකේ ඉන්න තැනක්

සාමාන්‍යයෙන් ඉතින් ඔය පූසෙක් පූසියක් ගෙදර ඇතිකරනකොට වුණත් ගොඩක් තැන් වල ඌට ඉන්න වෙනම තැන් හදලා තියන්නෙ නැහැනේ. ආයෙ ඌට හිතුණහම ඕන මේසයක් උඩ, ඕන පුටුවක් උඩ තමයි ඌ ඉන්නේ. හැබැයි ප්‍රෙග්නන්ට් කාලෙට සමහර වෙලාවට එයා අපි ඉන්න අහළක පහළකම ඉන්න කැමැත්තක් දක්වන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, අපි වැඩ කරන තැන මේසෙම වාඩි වෙලා ඉන්න එයාට වුවමනා වෙන්න පුලුවන්. ඒකට ඉතින් ඉඩ දෙන එක හොඳයි. එහෙම නැතිනම් මේ කාලෙට එයාට රෙස්ට් එකේ ඉන්න පහසු හැනක් හදලා දෙන එකත් හොඳයි.

 

05. අපහසුකම් ගැන අවධානයෙන් ඉන්න

සාමාන්‍යයෙන් පූසෝ කියන්නේ බොහොම නම්‍යශීලී දඩයක්කාර වර්ගයක්නේ. විශේෂයෙන්ම ගත්තහම පූසියෝ ඉන්නෙම දඩයක්කාර සීන් එකේනේ. ඒක ගොඩක් වෙලාවට ප්‍රෙග්නන්ට් කියලා වෙනස් වෙන්නෙත් නෑ. හැබැයි එහෙම වුණාට, විශේෂයෙන්ම ප්‍රසූතිය ලං වෙනකොට එයාට බඩ ලොකු වීමයි ශාරීරික අපහසුතායි නිසා, ප්‍රායෝගික ජීවිතේ අපහසුකම් ඇති වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, වෙනදට ගේමක් නැතුව වහලෙට ගොඩ වෙලා ඕන වෙලාවට ගෙයින් එළියට යන, ඇතුළට එන පූසියෙකුට, ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න අන්තිම කාලේ එහෙම ලොකු උසකට වෙනදා වගේ නගින්න බැරි වෙන්න පුලුවන්. අන්න ඒ නිසා, එයාට එළියට යන්න, ඇතුළට එන්න තියෙන අවශ්‍යතා ගැන අපි පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න ඕන.

 

06. පශුවෛද්‍යවරයාවත් අමතක නොකරන්න

සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් ගෙවල් වල පූසියක් ප්‍රෙග්නන්ට් වුණා කියලා එයාව අරගෙන පශුවෛද්‍යවරයා නැතිනම් වෙට් ගාවට දුවන්නෙ නෑ තමයි. හැබැයි එහෙම යන්න පුලුවන් නම් හොඳයි. එතකොට පශුවෛද්‍යවරයට පුලුවන් හැම දෙයක්ම සාමාන්‍යයිද කියලා චෙක් කරලා බලන්න. විශේෂයෙන්ම පූසියෙක්ට පළවෙනි ගර්භණීභාවය එහෙම අසීරු කාරණයක්, සමහර වෙලාවට ජීවිතේට තර්ජනයක් එහෙමත් වෙන්නත් පුලුවන් නිසා, එහෙම අවස්ථාවකදී පශුවෛද්‍යවරයා මුණගැහෙන එක අත්‍යාවශ්‍යයි. ඒ වගේම, සමහර වෙලාවට පශුවෛද්‍යවරයා විසින් පූසිට ලබාදෙන්න විටමින් හෝ වෙනත් ආහාර අතිරේක එහෙමත් නිර්දේශ කරනවා.

 

07. ප්‍රසූතියට තැනක්

දැන් අපි කලින් කතා කළානේ, අපේ පූස් අම්මට රෙස්ට් එකේ ඉන්න හිටින්න තැනක් අවශ්‍යයි කියලා. හැබැයි පැටවු ලැබෙන කාලේ ලං වෙනකොට එයාට ඒකට විශේෂ තැනක් ඕන වෙනවා. ඒ බව දැනගන්න පුලුවන්, ඔය අහුමුළු වලට රිංග රිංග තැන් හොයමින් ඇවිදින්න පටන් ගන්නකොට. එතකොට අපිට කරන්න පුලුවන් දෙයක් තමයි, එයාට ප්‍රමාණවත් ඉඩක් තියෙන කාඩ්බෝඩ් පෙට්ටියක් අරගෙන, ඒක වැඩිය බාධා සිද්ධ වෙන්නෙ නැති තැනකින් තියලා, ඒක පතුලට ඝනකමට රෙදි කෑල්ලක් එහෙම දාලා සූදානම් කරලා දෙන එක. එයා ඒක පැටවු දාන තැන විදියට එතකොට තෝරාගනියි. ඒ වගේම මතක තියාගන්න. පොඩි පැටවුන්ව කන්න බලාගෙන ඉන්න තව විලෝපිකයෝ එහෙමත් ඉන්නවා. ආන්න ඒ නිසා, මේ පෙට්ටිය තියන තැන ආරක්ෂාකාරී වෙන්නත් ඕන. ගෙදර ඇතුළේ වගේ නම් වඩාත් හොඳයි.

 

මේ හැමදේමත් එක්ක පූස් අම්මා කෙනෙක්ට නොවැරදීම ලබා දෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ආදරය, රැකවරණය සහ කරුණාව. ඒකත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *