හිමි අහිමි – 30 කොට​ස

“නැහැ අන්කල්.. කියාගෙන යන්න.. මට ඔක්කොම අහන්න ඕන” සැණින් හිස ඔසවපු විමංග එහෙම කිව්වා..

“ඔව් සුරේ.. ඔයාට අමාරු නැත්තම්, පුතත් කැමතිනම් අපි කතාව අහලම මොනවහරි බොමු” නිතූගේ තාත්තගෙත් යෝජනාව වුණේ ඒක.

“හරි.. මට ගැටළුවක් නැහැ” නැවත හරි බරි ගැහෙමින් රෝද පුටුවේ පිටුපසට හේත්තුවුණු සුරවීර කිව්වා..

“හරි.. “ ඔහු එහෙම කියමින් ටික වෙලාවක් කල්පනා කළා..

“ජයේ ඒ දවස්වල බිස්නස් ගොඩදාගෙන යන ගමන්.. ඔය පුතාල හිටපු කොළඹ ගෙදර වැඩ ජයේ පටන් අරගෙන තිබුනේ. මුලින් පුංචි ප්ලෑන් එකකට. පස්සෙ පුතා ඉස්කෝලෙත් යන කාලෙනෙ ගේ ලොකුවටම හැදුවේ” සුරවිර කිව්වේ විමංගගේ මුහුණ දෙස බලමින්. විමංග හිස වනමින් ඒ කතාව අනුමත කළා.

“අනෝජා දන්නෙ නැහැ ජයේ ගේ හදන්න පටන් ගත්තු බව. මට මතකයි ජයේ “එයාට තව චුට්ටයි ඉවසන්න තිබ්බෙ” කිය කියා දුක්වුණ හැටි. ජයේ හිතන් හිටියේ එක කාමර කෑල්ලක් හරි හදාගෙන ඔය දෙන්නව එක්කගෙන යන්න. ඒත් අපි නොහිතපු විදිහකට හැමදේම සිද්ධවුණා”

“පුතාගෙ සියා, ඒ කිව්වෙ අනෝජගේ තාත්ත ඒ දවස්වල කොහොමත් හිටියේ ලෙඩින්. මේ හිතේ අමාරුවත් එක්කම ඊට පොඩි කාලෙකට පස්සෙ තාත්තා නැතිවුණා. ඔය ඔක්කොම එක්ක ඔයාව ඒ ගෙදර හදන්න පරිසරයක් නැති නිසාත්, ජයේ ගේ අම්මලාගේ ගෙදර ඔයාට කොහොමත් ඉඩක් නොලැබුණ නිසාත් ජයේ තීරණය කළා ඔයාගෙ මේ අම්මව කසාද බඳින්න. ඒක ඇත්තටම ගිවිසුමක් කිව්වත් වැරදි නැහැ”

“මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා අන්කල්?” විමංග කතාවට බාධා කලා.

“අහන්න පුතා” සුරේ බොහොම උනන්දුවෙන් විමංගගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න බලාගෙන කිව්වා.

“මම අප්පච්චි එක්ක පුංචි කාලේ කුරුණෑගල අප්පච්චිගේ මහගෙදර ගිහින් තියෙනවනේ අන්කල්. මට ආච්චිගෙන් ඔහොම වෙනස්කමක් කවදාවත්ම දැනිලා නැහැ” විමංගට තවමත් මේ කතාව ඇත්තක්දෝ කියන සැකය තිබුණා.

“ජයේ ගෙ අප්පච්චි නම් කොහොමත් නිශ්ශබ්ද මනුස්සයෙක් පුතේ. එයා ඕවට ඇඟිලි ගැහුවේ නැහැ. අම්ම තමයි ප්‍රශ්න ඇදගෙන ගියේ. ඒත් මේ සිද්ධි වලින් පස්සේ ජයේ හිතුවක්කාර වෙලා තනිමතේට වැඩකරන්න ගත්තා. එයාගේ ජීවිතේට ආයේ ඇඟිලි ගහන්න එපා කියල තදින්ම අම්මට කියල තිබුණා. අනික ජයේගෙ බිස්නස් සරු වෙද්දී අම්ම වුණත් එයාට ලොකු බයක් පෙන්නුවා. සල්ලි වලට නෙමෙයි. මේ මෑතක ජයේම විකුනනකම් ඒ පවුලේ නමට සෑහෙන්න ඉඩකඩම් තිබුණා. ඒත් රටේම පිළිගත්ත නමක් ඇතිවෙද්දී ඇතිවෙන බය පක්ෂපාතකමක් වගේ. අනික මරණයකට වගකියන්න වුණා කියන පසුතැවීමත් අම්මගේ හිතේ තිබුණා. මාත් එක්ක කතාකරපු වෙලාවල් වල මට එක තේරුණා.” 

“එතකොට අන්කල් මට වෙන නෑදෑයෝ කවුරුත්ම නැද්ද? මට බැරිද අම්මගේ අම්මලා බලන්න යන්න? මම ඒ අයව දැකලවත් නැහැනේ. අඩුගානෙ අම්මගේ පින්තූරයක්වත්. අප්පච්චිගේ පැත්තේ ආච්චියි සීයයි දෙන්නම මැරුණ බව මම දන්නවා. සීයගේ මතක නැතත් ආච්චිගේ මලගෙදරත් මට මතකයි. ඒ මම හුඟක් ලොකු කාලෙ.” විමංග ඊළඟ පැනය යොමුකලා.

“අප්පච්චිගේ පැත්තෙන් නැහැ පුතා. ජයේ තනි දරුවා. වෙන දුර නෑයෝ එහෙමනම් ඇති. ඒත් මමත් ඒ අය ගැන දන්නෙ නැහැ. අනෝජගෙ තාත්ත ඒ කාලෙම නැතිවුණා කියල මම කිව්වනෙ. අම්මත් පුතාට වයස 10ක් 12ක් විතර කාලෙදි නැතිවුණේ. පුංචිම කාලේ ගමේ ආවහම ජයේ පුතාව ඒ ආච්චි බලන්න එක්කගෙන ගියා නෑයෙක් විදිහට හඳුන්වලා නොදුන්නට.”

“මට මතකයක් නැහැ අන්කල්” විමංග කිව්වේ කල්පනා කරමින්.

“පුතා හුඟක් පුංචියි. මාවවත් මතක නැහැනේ” සුරේ හිනාවෙමින් කිව්වා..

“අනෝජට හිටියා නංගි කෙනෙක්. හිටියා කිව්වෙ තාමත් ඉන්නවා. ඒ කිව්වෙ ඔයාගෙ පුංචි. ජයේ තමයි එයාට ඉගෙනගන්න හැමදේටම වියදම් කලේ. ඒ පවුලට එයා නිසා වෙච්ච අසාධාරණේ ගැන ජයේ හැමවෙලාවෙම දුක්වුණා. පුංචි දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ. ජයේමයි රට යැව්වේ. දැන් පවුලත් එක්කම එහේ පදිංචි. එයා දන්නවා ඔයා අද මෙහේ එන බව. මාත් එක්ක ඉඳහිට කතාකරනවා. පුතා මාස්ටර්ස් වලට රට යන්න හිතාගෙන ඉන්නවනම් ඔයා වෙන කොහෙවත් නොයා යන්න ඕන පුංචි ළඟට.” 

මේ ලෝකයේ කොහේ හරි තමන්ගේ කියන නෑයෙක් ඉන්නවා කියන සැනසුම් සහගත හැඟීමෙන් විමංග ලොකු සුසුමක් හෙළුවා.

“ආපහු කතාවට යමුකෝ. ගෙදර ඉන්න පුතාගෙ අම්ම ජයේ කසාද බැන්දේ ගිවිසුමකට කියල මම කිව්වනෙ. ඒ ජයේගෙ මුල්ම කාලේ ෆැක්ටරි එකක වැඩ කරපු ගැහැණු ළමයෙක්. එහෙදි රැවටිලි කාරයෙක් අතින් ප්‍රෙග්නන්ට් වෙලා, ගමේ යන්න බැරුව අසරණ වෙලා ඉද්දි මුලින් ජයේ ඉදිරිපත්වුණා දරුවා ලැබෙනකන් අවශ්‍ය පහසුකම් සලසලා දරුවව පරිවාසේට බාරදෙන්න වැඩකරන්න. ඒ ආයතනේ අයිතිකාරයා විදිහට. ඒත් පස්සේ ඔයාව කොළඹට, ඒ කිව්වේ ජයේ ළඟට ගන්න තිබ්බ උවමනාවයි, අර ගැහැණු දරුවගේ උවමනාවයි දෙකම ගැලපුනා. එයා ඔයාට අම්මෙක් වෙන පොරොන්දුව පිට ජයේ ඒ දරුවට තාත්තෙක් වුණා. ඒ තමයි ඔයාගෙ මල්ලි” 

“ඔන්න ඔච්චරයි ඉතින් අතීත කතාව” සුරවීර කිව්වේ ලොකු සුසුමක් හෙලමින්

නිතාරා මුකුත්ම හිතාගන්න බැරි පුදුමය පිරුණු බැල්මකින් හැමෝගෙම මුහුණු දිහා බලමින් හිටියා.

“තව ඉවර නැහැ හැබැයි. අර මුලින් කියපු පොරොන්දු ඒ විදිහටම ඔයාගෙ අළුත් අම්මගෙන් ඉෂ්ට නොවෙන බව ජයේට කාලයක් යද්දි තේරුණා. ඔයාට වෙනස්කමක් නොකලට එයාගේ පුතා හැමතැනකදිම විශේෂවුණු බව ජයේ දැක්කා. ජයේනම් දෙන්නටම සැලකුවේ එකම විදිහට. ඒත් එයා නැති දවසක මේවා සම්බන්ධ ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් බව ජයේ කලින් ඉඳලම හිතුවා. හිතුවත් වගේම වුණානේ පුතා”

“ඔව් අන්කල්. එයා මට ගෙදරින් යන්න කියල නොකියා කිව්වා” විමංග කිව්වේ කදුළු පිරුණු දෑසින්. අම්ම කව්ද කියලා හරියටම දැනගත්තට පස්සෙත් ගෙදර හිටපු ඒ ගැහැණියට අම්ම කියන්න අපහසු ගතියක් විමංගට දැනුණා.

 

හිමි අහිමි – 1 කොටස

හිමි අහිමි – 2 කොට​ස

හිමි අහිමි – 3 කොටස

හිමි අහිමි – 4 කොටස

හිමි අහිමි – 5 කොට​ස

හිමි අහිමි – 6 කොටස

හිමි අහිමි – 7 කොටස

හිමි අහිමි – 8 කොට​ස

හිමි අහිමි – 9 කොටස

හිමි අහිමි – 10 කොට​ස

හිමි අහිමි – 11 කොට​ස

හිමි අහිමි – 12 කොට​ස

හිමි අහිමි – 13 කොට​ස

හිමි අහිමි – 14 කොට​ස

හිමි අහිමි – 15 කොට​ස

හිමි අහිමි – 16 කොට​ස

හිමි අහිමි – 17 කොට​ස

හිමි අහිමි – 18 කොට​ස

හිමි අහිමි – 19 කොට​ස

හිමි අහිමි – 20 කොට​ස

හිමි අහිමි – 21 කොට​ස

හිමි අහිමි – 22 කොට​ස

හිමි අහිමි – 23 කොට​ස

හිමි අහිමි – 24 කොට​ස

හිමි අහිමි – 25 කොට​ස

හිමි අහිමි – 26 කොට​ස

හිමි අහිමි – 27 කොට​ස

හිමි අහිමි – 28 කොට​ස

හිමි අහිමි – 29 කොට​ස

Leave a Reply

Your email address will not be published.