අපිව පෙන්නන්න බැරි, අපිට ද්වේෂ කරන මිනිස්සු එක්කත් කටයුතු කරන්න ටිප්ස් කීපයක්!

අපි ඕනම කෙනෙක් කැමතියිනේ අපි හරිම ෂෝක්, හැමෝම අපිට කැමති ඇති කියලා හිතන්න. හැබැයි ඉතින් ඇත්තටම ඇත්ත ජීවිතේදී එහෙම හැමකෙනෙක්ම අපිට කැමති වෙන්නෙ නෑනේ. ඇත්තම කිව්වොත් අපිට කැමති නැති අය හිටියට ලොකු අවුලක් නෑ. හැබැයි අපිට ද්වේෂ කරන මිනිස්සු ඉන්න එක ටිකක් අවුල්. ඒ කියන්නේ හේටර්ස්ලා. හරි. අපිට ද්වේෂ කරන, අපිව පෙන්නන්න බැරි මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න පුලුවන්. ඒ මිනිස්සුන් එක්ක සම්බන්ධ නොවී ඉන්න පුලුවන්. එතකොට ගැටළුවක් නැහැනේ. මුළු ලෝකෙම අපිට කැමති වෙන්න ඕන කියලා දෙයක් නෑනේ. හැබැයි සමහර වෙලාවට අපිට ද්වේෂ කරන, අපිව පෙන්නන්න බැරි මිනිස්සු එක්ක පවා අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒක කොයි තරම් අමාරු වැඩක් වුණත්, ඒකට කරන්න දේකුත් නැති වෙන්න පුලුවන්. එහෙම අවස්ථාවකදී අපි කොහොමද වැඩ කරන්නේ? ආන්න ඒක තමයි අපි හොයාගන්න ඕන. මේ කියන්න යන්නේ ඒකට උපදෙස් කීපයක්!

01. විවේචනයන් ඉන්ධන කරගන්න

සාමාන්‍යයෙන් කෙනෙක් අපිව විවේචනය කරනකොට අපිට තරහ යනවනේ. නැද්ද? ඒක ඉතින් හැටියක්. සාමාන්‍යයෙන් ඕනම මනුස්සයෙක්ට එහෙම තමයි. හැබැයි සාර්ථක මනුස්සයෙක් කියන්නේ තවත් එක් සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි. එයාට විවේචන දරාගන්න බැරිකමක් නෑ. ඉතින් අපි යෝජනා කරන්නේ ඔබත් අන්න එහෙම කෙනෙක් විය යුතුයි කියලා.

දැන් මෙහෙම හිතන්න. කෙනෙක්ට අපිව පෙන්නන්න බැරි නම්, එයා කරන මූලිකම දෙයක් තමයි අපිව විවේචනය කරන එක. හැබැයි ඒ විවේචනය ඇතුළේ තියෙන්න පුලුවන් ඇත්තටම අපේ දුර්වලකම්. ඒ විවේචනය ඇතුළේ තියෙන්න පුලුවන් ඇයි ඒ කෙනා අපිට ඇත්තටම ද්වේෂ කරන්නේ කියන එක පවා. ආන්න ඒ නිසා, අපි යෝජනා කරන්නේ මේ විවේචන කියන එක ඉන්ධනයක් කරගන්න කියලා තමයි. අපිට ද්වේෂ කරන, අපිව පේන්න බැරි කෙනෙක් අපිව කොහේදී හරි විවේචනය කරනවා නම්, ඉවසිලිවන්තව, සාවධානව ඒ විවේචන වලට ඇහුම්කන් දෙන්න. එහෙම අපිට විවේචන එල්ල කිරීම ගැන ස්තුතිය පුද කරන්න. ඊට පස්සේ, හැඟීම් වලට ඉඩ නොදී, ඇත්තටම ඒ විවේච්න ඇතුළේ ගත යුත්තක් තියෙනවද කියලා හිතලා බලන්න. ඇත්තටම ඒ විවේචන ඇතුලේ අපේ මොනවහරි දුර්වලකම් අඩංගු වෙනවා නම්, අන්න ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පටන් ගන්න. සාර්ථක මිනිස්සු එහෙමයි වැඩ කරන්නේ!

02. සම්පූර්ණයෙන්ම වෘත්තිමය වෙන්න

අපි කලිනුත් කියපු විදියට, අපිට ද්වේෂ කරන මනුස්සයෙක් එක්ක අපිට වැඩ කරන්න හෝ ගැටෙන්න හෝ වෙනත් පාර්ශවයක් නිසා හෝ සම්බන්ධකමක් පවත්වන්න සිද්ධ වෙන එකනේ ප්‍රශ්නේ. හැබැයි ඒ මොහොතේදී සම්පූර්ණයෙන්ම වෘත්තිමය වෙන්න පුලුවන් නම්, ඒක සෑහෙන්න ඵලදායී වෙනවා. උදාහරණයක් විදියට, අපි කියමු අපිව පෙන්නන්න බැරි, අපිට ද්වේෂ කරන මනුස්සයෙක් එක්ක එදිනෙදා කාර්යාල මට්ටමෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා කියලා. එතකොට සමහර විට ඒ කෙනා අපේ ඔෆිස් ලයිෆ් එක එපා වෙන තැනට වැඩ කරන්න ට්‍රයි කරයි. පුලුවන් තරම් අපේ වැරදි හොයන්න ට්‍රයි කරයි. ඒකට කමක් නෑ. අපි කළ යුත්තේ, අපි ප්‍රොෆෙෂනල් විදියට ඒ කෙනත් එක්ක වැඩ කරන එක. ඒ කියන්නේ, අපි සම්පූර්ණයෙන්ම වෘත්තිය මට්ටමෙන්, වෘත්තිය විදියට ඒ කෙනත් එක්ක වැඩ කරනවා. එයා වෘත්තිය නොවෙන විදියට වැඩ කරනවා නම් ඒක එයාගෙ වැඩක්. හැබැයි අපි අපේ ජොබ් එක හරියට කරනවා නම් බය වෙන්න දෙයක් නෑනේ. අපි ගැන තියෙන ද්වේෂය නිසාම එයා අපිට වෘත්තිමය නොවෙන විදියකට වළ කපන්න ගියත්, අපි ප්‍රොෆෙෂනල් නම් අපිට බය වෙන්න දෙයක් නෑ. උදාහරණයක් විදියට එයා දිගින් දිගටම ජොබ් එකට හානියක් වෙන විදියට අපේ ජොබ් රෝල් එකේ වැඩ වලට බාධා කරනවා නම්, ඒ ගැන අපිට පැමිණිලි කරන්න පවා පුලුවන්. මේ අපිට ද්වේෂ කරන මනුස්සයා බොස් කෙනෙක් වුණත් ඒක එහෙම තමයි.

03. කාරුණික වෙන්න, ප්‍රතිචාර නොදක්වන්න

අපිට ද්වේෂ කරන මනුස්සයෙක්ට වුණත් කාරුණික වෙන එක කරන්න පුලුවන් වැඩක්ද? ඇත්තටම අමාරු වැඩක්. හැබැයි කරන්න බැරි වැඩක් නෙවෙයි. දැන් කෙනෙක් අපිට ද්වේෂ කරනකොට, එයාට අපිව පෙන්නන්න බැරි නම්, ඒ කෙනා කරන්න පුලුවන් අපිට එක්කෝ අකුල් හෙලන එක. එතනදී මොකද කරන්නේ කියලා අපි කලින් කතා කලා. එහෙම නැතිනම් අපි ගැන නරක කතා කරන්න පුලුවන්. එතනදී මොකද කරන්නේ කියන එක ගැනත් අපි දිගින් දිගටම කියලා තියෙනවා මේ ආටිකල් එක පුරාම. හැබැයි ඔය හැම දෙයක්ම අතරේ, අපිට පුලුවන් නම් ඒ කෙනාට වෙනසක් නැතුව, කාරුණිකව සලකන්න, එයා අපිට මොන නරක දේ කළත් ඒකට ප්‍රතිචාර නොදක්වන්න, ආන්න ඒක ඉතාම විශිෂ්ට දෙයක්. ඒ වගේම ඒක අපිට වාසිදායක දෙයක්. ඇයි එහෙම කියන්නේ? නිකමට හිතන්න. කෙනෙක් අපිට දිගින් දිගටම පහර දෙනකොට වුණත් අපි ඒ කෙනාට කාරුණිකව සලකනවා නම්, එක මොහොතකදී ඒ කෙනාගේ ආකල්පය වුණත් වෙනස් වෙන්න පුලුවන්. ද්වේෂය නැති වෙන්න පුලුවන්. හා නැද්ද? එහෙම අපිට ද්වේෂ කරන මනුස්සයෙක්ගේ ද්වේෂය අපි කෙරෙහි නැති නොවුණත්, මේ දිහා බලාගෙන ඉන්න අනික් මිනිස්සු අපි ගැන හොඳ ආකල්පයක් ඇති කරගන්න පුලුවන්. ඔය එකක්වත් නොවුණත්, අපිට ද්වේෂ කරන කෙනෙක්ට වුණත් මෛත්‍රී කරලා, කාරුණිකව සලකලා ඉන්න පුලුවන් නම්, අපිට අපේ හිත නිදහසේ, පිරිසිදුව තියාගන්න පුලුවන්. ආන්න ඒක තමයි වැදගත්.

04. නරක කතා නොකරන්න

සාමාන්‍යයෙන් කෙනෙක් අපි ගැන නරක දෙයක් කියලා තියෙනවා කියලා ආරංචි වුණහම, එහෙම නැතිනම් අපි ඉන්න තැනම අපි ගැන නරක දෙයක් කිව්වහම, ඒක හරිගස්සනකල් නැතිනම් ඒකට දෙකක් කියනකල් නින්ද යන්නෙ නැති ගතියක් එනව නේද? ඒක මනුස්ස සොබාවය. සමහර වෙලාවට කෙනෙක් අපි ගැන සම්පූර්ණ බොරු කතන්දරයක් ද්වේෂය පිට කියලා තිබුණත්, අපිට ඕන කරනවා ඒකට රිටර්න් එක දෙන්න. හැබැයි ඒක කරන්න යන්න එපා කියලා තමයි අපි කියන්නේ. උදාහරණයක් ගමු. ඔන්න අපිව පෙන්නන්න බැරි, අපිට ද්වේෂ කරන මනුස්සයෙක් කියනවා අපි කට ඇරියොත් බොරු කියන්නේ, අපිට ඔය ඩිග්රි අනං මනං ඇත්තෙත් නෑ, ඒකත් බොරුවක් කියලා. දැන් සමහර වෙලාවට අපිට ඇත්තටම ඒ මනුස්සයා ගැන කියන්න දේවල් තියෙන්න පුලුවන්. ඒ කියන්නේ අපිට ද්වේෂ කරන මනුස්සයා ගැන කියන්න එයාගෙ ජීවිතේ හැංගිච්ච කුණු අපි දැනගෙන ඉන්නවා වෙන්න පුලුවන්. හැබැයි වචනයක්වත් කටින් පිට කරන්න එපා එයාට විරුද්ධව. අඩුමගානේ එයා ගැන නරක වචනයක් වත් කටින් පිට කරන්න එපා. ආන්න එහෙම ඉන්න පුලුවන් නම්, මොළේ තියෙන මිනිස්සු ක්‍රමානුකූලව තේරුම් ගනීවි මෙතන කවුද හොඳ මිනිහා, කවුද ද්වේෂ සහගත මිනිහා කියන එක.

05. පාපිස්සක් වෙන්න නොයන්න

දැන් අපි කතා කලානේ අපිට ද්වේෂ කරන මනුස්සයෙක්ට වුණත් කාරුණික වෙන්න ඕන, එයා ද්වේෂයෙන් කරන කියන දේවලට ප්‍රතිචාර නොදක්වන්න ඕන, එයා ගැන නරකට කතා නොකරන්න ඕන කියලා. හැබැයි මේකෙනෙ කියන්නේ අපි පාපිස්සක් වෙන්න යන්න ඕන කියන එක නෙවෙයි. උදාහරණයක් විදියට කිව්වොත්, සමහරු ඉන්නවා කවුරුහරි කෙනෙක් තමන්ට අකමැතියි, තමන්ව පෙන්නන්න බෑ කියලා තේරුම් ගත්තහම පට්ට අවුල් යන. එහෙම නැතිනම්, කවුරුහරි තමන්ට ද්වේෂ කරනවා කියන එකටත් මාර විදියට බය කෙනෙක් ඉන්න පුලුවන්. අන්න එතකොට ඒ කෙනා කරන්න යන්නේ කොහොමහරි අනික් මනුස්සයා තමන්ට ද්වේෂ කරන එක, තමන්ව පෙන්නන්න බැරි එක නැති කරන්න යන එක. ඒ වෙනුවෙන් පාපිස්සක් වුණත් වෙන්න එයාලා ලෑස්තියි. පාපිස්සක් වෙනවා කියන්නේ, තමන්ව අමතක කරලා, තමන්ගේ ගරුත්වය අමතක කරලා, අනිකා කියන ඕනම දෙයක් කරලා ඉන්න සූදානම් වෙන එක. අන්න එහෙම වෙන්න එපා. කෙනෙක් අපිට ද්වේෂ කරනවා නම්, ඒක අපිට අදාළ දෙයක් නෙවෙයි. අපේ ගරුත්වය ඒ නිසා නැතිකරගත යුතු නෑ.

06. පුද්ගලයින් තෝරා බේරා ගෙන ආශ්‍රය කරන්න

අපිට ද්වේෂ කරන මිනිස්සු හිටියත් නැතත්, අපි ආශ්‍රය කරන මිනිස්සුන්ව තෝරාබේරාගෙන ආශ්‍රය කළ යුතුයි කියන එක, සාමාන්‍යයෙන් මුහුකුරා ගියපු මනුස්සයෙක් පිළිපදින කාරණයක්. ඒකට හේතුව, මුහුකුරා යනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා, ෆේස්බුක් එකවුන්ට් එකේ ඉන්න ඔක්කොම යාළුවෝ නෙවෙයි කියන එකත්, පණ දෙන්න කතා කරන හැමෝම අපි ගාව ඇත්ත අවශ්‍යතාවයකදි නැහැයි කියන එකත්. ආන්න ඒ නිසා තමයි, අපේ ජීවිතේට ඇත්තටම වැදගත් කියලා කියන්න පුලුවන්, අපේ යහපත ප්‍රාර්ථනා කරන, තෝරාබේරා ගත්ත පිරිසක් අපේ ජීවිතේට හොඳටම ප්‍රමාණවත් වෙන්නේ.

දැන් ඒක කොහොමද අපිට ද්වේෂ කරන අයට සම්බන්ධ වෙන්නේ? සරලයි. අපිට කවුරුහරි ද්වේෂ කරනවා නම්, ඒ කෙනාට හොඳ පුද්ගලික විනයකුත් නැතිනම්, ඒ කෙනා අනිවාර්යයෙන්ම අපි ගැන නරක කතන්දර කියනවා කියන එක අනුමාන කරන්න පුලුවන්. අන්න එහෙම මොහොතකදී, ඒ කියන ඒවා විශ්වාස කරන අයත් ඉන්නවා. හැබැයි අපි ළඟින් ඉන්න මිනිස්සු අපි තෝරගෙන බේරගෙන ආශ්‍රය කරන මිනිස්සු නම්, ඒ අය හොයලා බලන්නෙ නැතුව අපිට ද්වේෂ කරන කෙනෙක් කියන දේවල් විශ්වාස කරන්නෙත් නෑ, ඒවා තව තැනක කියන්නෙත් නෑ. එතනින් එහාට කවුරු මොනවා විශ්වාස කළත්, මොනවා අපිට විරුද්ධව කිව්වත් අපිට මොකෝ?

07. ඔබ යන ගමන ස්ථිරසාරව ගමන් කරන්න

අන්තිමට වැදගත් වෙන කාරණාව තමයි, අපි අපේ ගමන කොහොමද යන්නේ කියන එක. පාරේ රෑක යනකොට, අපිට බුරණ බල්ලන්ට ගල් ගගහා ඉන්න ගියොත් අපිට ගමන යන්න වෙන්නෙ නෑ. අන්න ඒ වගේම තමයි, අපිට ද්වේෂ කරන මිනිස්සුන්ට, අපිට වෛර කරන මිනිස්සුන්ට උත්තර දෙන්න නතර වෙවී හිටියොත්, අපේ ගමන බාධයි. හැබැයි අපි වෙනස් වෙන්නේ නැතුව, ස්ථිරසාරව අපේ ගමන යනවා නම්, ඒ ගමනෙන් අපි වෙනස් වෙන්නේ නැති නම්, කවදාහරි අපි සාර්ථක වෙනවාමයි. ආන්න එහෙම සාර්ථකත්වය කරා අපි යනවා කියන්නේ, එදාට අපිට ද්වේෂ කරන මිනිස්සුම එක්කෝ අපි ගාවට එයි, එහෙම නැතිනම් පැත්තකට වෙලා ඉඳියි. ඒකත් මතක තියාගන්න.

අන්තිමට මෙන්න මේ කරුණ මතක තියාගන්න. කෙනෙක් අපිට ද්වේෂ කරනවා නම්, ඒකට අපි කරපු වැරැද්දක් හේතු වෙලා තියෙනවා නම්, වහාම ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලන්න නිහතමානී වෙන්න. ඒ වැරැද්ද හැකි උපරිම විදියට නිවැරදි කරන්න උත්සාහ ගන්න. හැබැයි එතනින් එහාටත් ඒ ද්වේෂය තියෙනවා නම් අපිට ඒකට කරන්න දෙයක් නෑ. අපේ අතේ කිසිම වැරැද්දක් නැතුව කෙනෙක් අපිට ද්වේෂ කරනවා නම්, ඒකටත් අපිට කරන්න දෙයක් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *