මොකක්ද වින්ටේජ් කියන්නේ? වින්ටේජ් කියන්නේ අතීතයේ නිර්මාණය වුණු හොඳම කොලිටියේ මොනවා හරි දෙයක්. ඒ කියන්නේ වින්ටේජ් දෙයක් පැරණියි වගේම කොලිටියි. එතකොට ක්ලැසික් කියන්නේ? ක්ලැසික් කියන එකටත් තියෙන එක තේරුමක් තමයි යම් කිසි අතීතයේ නිර්මාණය වුණු, කාලයක් තිස්සේ පැවතුණු, ඒ වගේම ඊට පස්සේ කාලයක් තිස්සේ ඇගයීමට පාත්‍ර වුණු ඉහළම කොලිටියේ දෙයක් කියන එක. එහෙම බලනකොට වින්ටේජ් සහ ක්ලැසික් දෙයක් කියන්නේ නවීන නැති පැරණි දෙයක් කියන එක අපිට හිතාගන්න පුලුවන්. ඒ වගේම, වර්තමානයේදී දකින්න ලැබෙන්නේ නැති තරමේ ඉහළම කොලිටියක තියෙන දෙයක් කියලත් අපිට හිතාගන්න පුලුවන්. දැන් පැහැදිලියිනේ.
හරි, වින්ටේජ්, ක්ලැසික් කියන්නේ එහෙම අර්ථයක් ගෙන දෙන දෙයක් නම්, අපිට පුලුවන්ද ක්ලැසික් ගතියෙන් යුක්ත වින්ටේජ් මනුස්සයෙක් වෙන්නත්? ඇත්තටම වින්ටේජ්, ක්ලැසික් දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ අතීතයේදී වුණත්, අපිට වින්ටේජ් මනුස්සයෙක්ව අද වුණත් නිර්මාණය කරන්න පුලුවන්. හා බැරිද? ඒක කරන්නේ කොහොමද කියන එක ගැන අපි තවදුරටත් කියන්න ලෑස්තියි!
01. හරයන් තුළින් එන ගරුත්වය
ක්ලැසික් මනුස්සයෙක්ට මුලින්ම තියෙන්න ඕන දේ තමයි ක්ලැසික් අගයයන්, නැතිනම් ජීවන හරයක්. අර ක්ෂත්රිය ගුණ කියලා කියන්නෙත් ඒවටම කියලා ගන්න පුලුවන්. උදාහරණ ගමු. වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක් කවදාවත් තවත් මනුස්සයෙක්ට නිගරු කරන්නෙ නෑ, තවත් කෙනෙක්ව පහත හෙළලා කතා කරන්නෙ නෑ, තවත් කෙනෙක් ගැන විනිශ්චය කරන්න යන්නෙ නෑ. එතකොට ඔය බොරු කියන එක, ඕපදූප කියන එක වගේ කොමන් අවුල් වුණත් කවදාවත් වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක්ගෙන් දකින්න ලැබෙන්නෙ නෑ. තමන්ගේ වචනය තියනවා. කරන්න බැරි දෙයක් පොරොන්දු වෙන්නෙ නෑ, පොරොන්දු වුණු දෙයක් නොකර හරින්නෙත් නෑ. මෙන්න මේ වගේ හොඳ හරයක් එක්ක එන ගතිගුණ වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක් වෙන්න අත්‍යාවශ්‍ය වෙනවා.
02. කාන්තාවන් සම්බන්ධයෙන් හොඳ හැසිරීමක්
අර කියමනක් තියෙන්නේ ගොඩක් පිරිමි “පුරුෂ ලිංගයෙන් තමයි හිතන්නේ” කියලා. ඒ කියන්නේ තමන්ගේ ලිංගික ආශාවන් පාලනය කරගන්න බෑ. ඒක එතකොට යම් කිසි අසහනයක් දක්වා තමයි යන්නේ. වින්ටේජ් මනුස්සයෙක් කියන්නෙත් මනුස්සයෙක්නේ, ආශාවන් තියෙනවා. හැබැයි වින්ටේජ් මනුස්සයෙක්ට තමන්ගේ ආශාවන් -විශේෂයෙන්ම ලිංගික ආශාවන්- අසහනයක් දක්වා යන්න දෙන්න වුවමනාවක් නෑ. එයාට ආශාවන් පාලනය කරගන්න පුලුවන්. ඒ නිසාම, හෙට්රොසෙක්ෂුවල් ක්ලැසික් නැතිනම් වින්ටේජ් මනුස්සයෙක් කාන්තාවන් ඉස්සරහ ඇඹරෙන්නෙ නෑ. ලිංගික ආශාවන් කියන්නේ එයාගේ දුර්වලකමක් වෙන්නෙ නෑ. වෙන විදියකට කිව්වොත්, එහෙම මනුස්සයෙක් කිසිම දවසක කාන්තාවන් ඉස්සරහා දෙකේ කොළේට වැටෙන්නෙත් නෑ.
හැබැයි මේ කියන්නේ කාන්තාවන්ට නිගරු කරනවා කියන එක නෙවෙයි. වින්ටේජ්, ක්ලැසික් පර්සනැලිටි එකක් තියෙන මනුස්සයෙක් ලෝකේ ඕනම මනුස්සයෙක්ට ගරුත්වයෙන් සලකනවා. කාන්තාවන්ට මහාත්මයෙක් විදියට සලකනවා. සමහර විට මේ කොලිටීස් නිසාම කාන්තාවන් මේ වගේ කෙනෙක්ට තියෙන ආකර්ෂණයත් වැඩි වෙන්න පුලුවන්.
03. ක්ලැසික් ටේස්ට් එකක්
මේකත් ගොඩක් වෙලාවට ක්ලැසික්, වින්ටේජ් මනුස්සයෙක්ගෙන් දකින්න පුලුවන් දෙයක්. මේ ලෝකේ ආට් කියන දේ නිරන්තරයෙන් නිර්මාණය වෙනවනේ. හැටේ දශකයේත් සිංදු හැදුනා, අදටත් සිංදු හැදෙනවා. හැබැයි වින්ටේජ් මනුස්සයෙක්ගේ ටේස්ට් එකේ වෙනස මේකයි. ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ ආට් සම්බන්ධ ටේස්ට් එක නිර්මාණය වෙන්නේ ඒ කෙනා ඉපදුණු, හැදුණු වැඩුණු කාලෙට සාපේක්ෂව. උදාහරණයක් විදියට ගත්තොත්, අද ඉන්න තරුණයෙක් හෝ තරුණියක් බීට්ල්ස් සිංදු අහනවා නම් ඒක ඉතාම කලාතුරකින් වෙන දෙයක්. හැබැයි වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක්ට තමන්ගේම ක්ලැසික් ටේස්ට් එකක් තියෙනවා. ආට්, මියුසික්, සිනමා, සාහිත්‍ය මේ ඕනම දෙයක් සම්බන්ධයෙන්. මේ කියන්නේ වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක් වෙන්න කියලා තමන්ට සෙට් වෙන්නෙ නැති හැටේ දශකයේ හැත්තෑව දශකයේ සිංදු අමාරුවෙන් අහගෙන ඉන්න කියලා නෙවෙයි. අපි හැමෝටම පිළිගන්න පුලුවන්නේ ඉස්සර කාලෙත් මාස්ටර්පීස් බිහිවුණා කියලා. වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක් ආන්න ඒවා ගැන හොඳ දැනුමකින් යුක්තයි. ඒවා රසවිඳින්න සහ අගය කරන්න පුලුවන් හැකියාවකින් යුක්තයි. මේ කියන්නේ ඒ ගැන.
හැබැයි ඒ විතරක් නෙවෙයි, වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක්ට ඇල්කොහොල් ගැන ගත්තත් හොඳ දැනුමක් තියෙනවා. පාටි එකකට ගියත් සෝෂල් ඩාන්සින් හොඳට පුලුවන්. අන්න ඒ වගේ, වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක්ගේ ක්ලැසික් ටේස්ට් එක දේවල් කීපෙකට විතරක් සීමා වෙන්නෙත් නෑ.
04. දැනුමත් එක්ක එන ලෝක දැක්මක්
දැනුම බලය වේ කියලා කියනවනේ. ඒක බොරුවක් නෙවෙයි. අන්න ඒ නිසා, වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක් වෙන්න නම්, හොඳ දැනුමක් සහ ඒ දැනුම එක්ක එන හොඳ ලෝක දැක්මක් තියෙන්න ඕන. හරි, කොතනින්ද පටන් ගන්නේ? සාමාන්‍යයෙන් පොත් කියවීම තුළින් හොඳ, ටයිම්ලස් දැනුමක් ලබාගන්න පුලුවන් කියලා අපි දන්නවනේ. ඒ විතරක් නෙවෙයි, දැන් කාලේ දැනුම ලබාගන්න ඩොකියුමන්ට්‍රි බලන්න පුලුවන්, පොඩ්කාස්ට් අහන්න පුලුවන්. මේ වගේ ක්‍රම තියෙනවා. හැබැයි වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක් වෙන්න නම් ක්ෂණික නූඩ්ල්ස් ටයිප් එකට දැනුම හොයලා හරියන්නෙ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, දැන් කාලේ ඕන නම් රෙනේ ඩේකාට්ස් ගැන ඉගෙන ගන්න පුලුවන් යූටියුබ් වීඩියෝස් තියෙනවා. හැබැයි විනාඩි ගාණක යූටියුබ් වීඩියෝ එකකින් රෙනේ ඩෙකාට්ස් කියන්නේ කවුද, එයා මොනවා ගැනද කියලා තියෙන්නේ වගේ දේවල් ගැන සංක්ෂිප්ත අදහසක් ලබාගන්න පුලුවන් වුණාට, ඩේකාට්ස්ගේ දර්ශනය සම්පූර්ණයෙන් වටහා ගන්න හැකියාවක් නෑ. ආන්න ඒකට ගැඹුරට කියවන්න වෙනවා. වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක්ගේ දැනුම සහ ලෝක දැක්ම නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදියට ගැඹුරට කියවලා, ඒ ගැන හිතලා තමයි.
05. ක්ලැසික් ෆැෂන් සෙන්ස් එකක්
ඇත්තටම වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක්ට ගැලපෙන ක්ලැසික් ෆැෂන් වෝඩ්රෝබ් එකක් කියන්නේ සෑහෙන්න සරල අවුට්ෆිට් කීපයක එකතුවක් වෙන්න පුලුවන්. ඒ කියන්නේ ටයිම්ලස් ෆැෂන් කියන්නේ ඉස්සර බෙල් බොටම් ඇන්ද නිසා අදත් බෙල්බොටම් ඇඳගෙන යන එක නෙවෙයි. එක කාලෙක මල් ප්‍රින්ට් කරපු ෂර්ට් ෆැෂන් එකක් වෙලා තිබුණු නිසා අදත් එහෙම මල් ප්‍රින්ට් කරපු ෂර්ට් ඇඳගෙන යන එක නෙවෙයි. ක්ලැසික් ෆැෂන් සෙන්ස් එකක් ඇත්තටම ටයිම්ලස්. ඒ කියන්නේ, ක්ලැසික් විදියට ඇන්දා කියලා ඒ මනුස්සයා හැටේ නැතිනම් හැත්තෑවේ දශකයේ ඉඳලා කාලතරණය කරලා 2022 ට ගොඩබැස්සා කියලා හිතෙන්නේ නෑ. ඒකට හොඳම උදාහරණ තමයි ඩෙනිම්, ටී-ෂර්ට්, කුර්තා ෂර්ට් වගේ ඇඳුම්. මේ වගේ කිට් එකකට බූට්ස් දාන්නත් පුලුවන්. ක්ලැසික් වෝඩ්රෝබ් එකක් හදාගන්නේ කොහොමද කියන එක වෙනම විස්තරාත්මකව කතා කරන්න ඕන දෙයක්. හැබැයි අදහස පැහැදිලියිනේ.
06. ටයිම්ලස්
වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක් සම්බන්ධයෙන් නිර්වචනය කරන්න පුලුවන් හොඳම වචනයක් වෙන්නේ ‘ටයිම්ලස්’ කියන එක. ඒ කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන ලෝකේ එක්ක එකට, හරිහරියට යන්න පුලුවන් වුණත්, එහෙම මනුස්සයෙක් ඉන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන ලෝකේ වෙනස්වීම් වලට එහායින්. අපි උදාහරණ කීපෙකින් ඒක තේරුම් ගමු. දැන් අපි දකිනවනේ ලෝකේ දවසින් දවස රැළි නිර්මාණය වෙනවා. ඒකට එක උදාහරණයක් කාලෙන් කාලෙට එන ෆැෂන් ට්‍රෙන්ඩ්ස්. අපි කියමු අලුත්ම ඩිජිටල් අත්ඔරලෝසු ෆැෂන් එකක් මුළු ලෝකෙම ට්‍රෙන්ඩ් එකක් වෙලා කියලා. හැබැයි වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක් එහෙම රැල්ලක් ආපු ගමන් තමන්ගේ ඔරලෝසුව විසික් කරලා ඒ ෆැෂන් එකට අනුගත වෙන්න යන්නෙ නෑ. එයා තමන් දිගටම පාවිච්චි කරන ක්ලැසික් ඇනලොග් ඔරලෝසුවම පාවිච්චි කරයි. හැබැයි එකක්, ඒක බ්‍රෑන්ඩඩ්, තමන් වගේම ටයිම්ලස් කොලිටි එකක් තියෙන අත්ඔරලෝසුවක් නිසා, දකින ඕනම කෙනෙක් ඒක අගය කරනවා මිසක්, ඇයි අලුත් ට්‍රෙන්ඩ් එකට යන්නෙ නැත්තේ කියලා අහන එකකුත් නෑ! ෆැෂන් ට්‍රෙන්ඩ්ස් සම්බන්ධයෙන් ගත්තත් එහෙමයි. ලෝකේ කාලෙන් කාලෙට එන විවිධ මතිමතාන්තර සම්බන්ධ ට්‍රෙන්ඩ්ස් ගත්තත් එහෙමයි. වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක් මේ ට්‍රෙන්ඩ්ස් එක්ක දුවන්න යන්නෙ නෑ. හැබැයි ඒ ට්‍රෙන්ඩ්ස් ගැන නොදන්නෙත් නෑ. එයා ඉන්නේ එහෙම ලෝකේ කාලෙන් කාලෙට එන ට්‍රෙන්ඩ්ස් වලට උඩින්.
07. තමන්ගේම බලයක්
ඇත්තටම අපිට අපේම කියලා බලයක් ගොඩනැඟෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් මනුස්සයෙක්ට සමාජය ඇතුළේ තියෙන බලය හැදෙන්නේ විවිධ දේවල් වලින්. එක්කෝ සල්ලි තියෙන නිසා. එක්කෝ හොඳ රස්සාවක් කරන නිසා. එක්කෝ දැනඋගත් කම් තියෙන නිසා. එක්කෝ දේශපාලන බලතල තියෙන නිසා. එක්කෝ හොඳ පවුල් පසුබිමක් තියෙන නිසා. එක්කෝ සමාජ සේවය නැතිනම් සමාජ මෙහෙවර නිසා. එහෙමත් නැතිනම් හොඳ ගතිගුණ තියෙනවා කියලා හිතන නිසාත් මනුස්සයෙක්ට සමාජ බලයක් හැදෙන්න පුලුවන්. හැබැයි වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක් සම්බන්ධයෙන් ගත්තහම මේක වෙනස්. එහෙම මනුස්සයෙක්ට අනිවාර්යයෙන්ම හොඳ දැනඋගත් කම් තියෙන්න පුලුවන්. තමන් කරන දේ හොඳටම කරන්න අවශ්‍ය වෙන පර්සනැලිටි එක නිසා වෘත්තිමය අතින් ගත්තත් හොඳ තැනක ඉන්න පුලුවන්. ඇත්තටම වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක් වෙන්න නම්, තමන්ගේ වෘත්තියට, දැනුම නිර්මාණයට සහ සමාජ වගකීමට කැපවීමක් ලබාදෙන එක වැදගත්. හැබැයි ඒ ඇරෙන්න, වින්ටේජ්, ක්ලැසික් මනුස්සයෙක්ට තමන්ටම ආවේණික බලයක් නිර්මාණය වෙනවා. ඒක හරියට රැස් වළල්ලක් වගේ. අන්න ඒකට, උඩ කියපු හැම දෙයක්ම වගේ වැදගත් වෙනවා.
Leave a Reply