ලෝකයේ ම අවධානය දිනා ගත් උද්ඝෝෂණ

උද්ඝෝෂණ, විරෝධතා, පාගමන්, උපවාස, වැඩ වර්ජන, අකුරට වැඩ කිරීම් අරවා මේවා ඔක්කොම කරන්නේ කිසියම් කටයුත්තකට තමන්ගේ විරෝධය ප්‍රකාශ කරන්න හෝ අයිතිවාසිකම් දිනා ගන්න වගේ දේවල් වලට. බොහෝ දුරට ලෝකයේ වගේම ලංකාවෙත් ඔය කියපු දේවල් බොහෝ දුරට කෙරෙන්නේ දේශපාලනික කාරණා මූලික කරගෙනයි. ඉතින් ඒකට හොඳම උදාහරණය විදිහට පෙන්නන්න පුළුවන් දෙයක් තමයි “ගෝටා ගෝ ගම” මහජන විරෝධතාව. ලෝකයේ මේ විදිහේ විරෝධතා තිබිල තියෙන්නේ ඉතාම සීමිත වශයෙන්. කොහොම වුනත් විරෝධතා උද්ඝෝෂණ ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ මුල් පරිච්ඡේදයේ ඉඳන් ම පැවතුණු දෙයක්. ඒවායින් සමහරක්  සිවිල් ගැටුම් බවටත් පරිවර්තනය වුනු අවස්ථා තිබිලා තියෙනවා. ඉතින් අපේ ජන අරගලයටත් ජය වේවා කියන ගමන් අපි අද කතා කරමු ලෝක ඉතිහාසයේ සිදු වුනු විශේෂ විරෝධතා කිහිපයක් ගැන. 

 

01. ඉන්දියාවේ ගොවි අරගලය

මෑත කාලයේ ලෝකයේ ම අවධානය දිනා ගන්න සමත් වුනු විරෝධතාවක් තමයි 2020 ඉන්දියාවේ පැවැත්වුණු ගොවි අරගලය. මේ විරෝධතාවට මූලික හේතුව වුණේ 2020 සැප්තැම්බර් මාසේ ඉන්දියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කරපු කෘෂිකාර්මික පනත් තුන. මීට අදාළ පළවෙනි පනතෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ විවෘත කරලා තිබුණා. දෙවෙනි පනතෙන් කොන්ත්‍රාත්තු කෘෂිකර්මය සඳහා අවස්ථාව විවෘත කරන්න යෝජනා වෙලා තිබුණා. තුන්වැනි පනතෙන් කෘෂිකර්මය සඳහා රජයේ මැදිහත් වීම ඉවත් කරන්න යෝජනා කරලා තිබුණා. ඔන්න ඔය හේතු කෘෂිකර්මය කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කරන බව තමයි ගොවි සංවිධාන වල අදහස වුණේ. මේ වෙනුවෙන් රජය සමඟ සාකච්ඡා අසාර්ථක වීම නිසා රට පුරා ගොවි අරගලයක් ආරම්භ වෙන්න කටයුතු සිද්ධ වුණා. මේ අරගලය ආරම්භ වීමත් එක්ක රජයේ අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වීමත් සිදු වුණා. ඒ වගේම රට පුරා ගොවියන් දුම්රිය මාර්ග, මහා මාර්ග අවහිර කරමින් දැවැන්ත බලපෑමක් රජයට එල්ල කළා. ඒ අතර සීක් ජාතික පූජකයෙක් අරගලය වෙනුවෙන් සිය දිවි නසාගන්නට පවා පෙළඹුනා. ඒ සිද්ධියෙන් පස්සේ මේ අරගලය ලෝකය පුරා කතාබහට ලක් වුණා. රටවල් ගණනාවක මේ අරගලයට සහය පල කරමින් විරෝධතා පැවැත්වුනා. ඊට අමතරව රට පුරා පැවති උපවාස නිසා ගොවීන් 30කට වැඩි පිරිසක් මරණයට පත් වුණා. පස්සේ ආණ්ඩුව අරගලයට විරුද්ධව මර්දනය ක්‍රියාත්මක කලත් ඒ සියල්ල ගොවි අරගලය හමුවේ පුස්සක් වුණා. කෙසේ නමුත් අගමැති මෝධි 2021 නොවැම්බර් 19 වෙනිදා ලෝකයම මවිත කරවන ප්‍රකාශයක් කරමින් අරගලයට හේතු වුනු පනත් තුනම හකුළා ගත්තා. 

 

02. Black Lives Matter විරෝධතාව

ඔයාලා හැමෝටම මතක ඇති 2020 අවුරුද්දේ මැයි මාසේ 25 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ පොලිස් නිලධාරියෙක් විසින් සිවිල් වැසියෙකු ඝාතනය කරපු සිද්ධිය. යම් සිද්ධියක් මත ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් සිවිල් පුද්ගලයෙක් ව අත්අඩංගුවට ගන්නට උත්සහ කරද්දී තමයි මේ සිදුවීම වෙලා තිබුණේ. එහි දී අදාළ පොලිස් නිලධාරියා ෆ්ලොයිඩ් ගේ ගෙල මත විනාඩි නවයකට වඩා වැඩි කාලයක් දණ ගසා සිටීමෙන් මේ මරණය සිදුකර තිබුණා. එම මරණයෙන් පැය 48ක් යන්නට මත්තෙන් ඇමරිකානු වැසියන් කළු සුදු භේද නො තකා ෆ්ලොයිඩ් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිමින් විරෝධතා සිදු කළා. සතියක් ඇතුළත එම විරෝධතා ඇමරිකාවේ නගර 75ක පමණ ව්‍යාප්ත වුණා. පුද්ගලයන් 4,000 ක පමණ පිරිසක් මේ විරෝධතා වලදී අත්අඩංගුවට අරගෙන තිබුණා. ක්‍රමයෙන් අඩු වෙලා ගියත් මේ විරෝධතා 2020 ජූනි මාසය වගේ වෙනකන් පැවතුණා. 

 

03. ඉරාක යුධ විරෝධී අරගලය

අපිට තවත් හොඳින් ම මතක විරෝධතාවක් තමයි ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරාකය ආක්‍රමණය කිරීමට විරුද්ධව ලෝකය පුරා ඇතිවුණු විරෝධතා රැල්ල. 2002 අග භාගයේ ඉඳල ඉරාකයේ සමූල ඝාතක අවි තිබෙනවා ය, ඉරාකය එක්සත් ජාතීන්ගේ යෝජනා උල්ලංඝනය කරනවාය කියල එවකට ඇමරිකාවේ ජනාධිපති විදිහට හිටපු ජෝර්ජ් බුෂ් නොකඩවා මේ වැඩේට පාර හදා ගනිමින් හිටියා. ඉන් පස්සේ බුෂ් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමෙන් දින කිහිපයක් ගියා ම ලෝකය පුරා ඊට විරුද්ධව ජනතා විරෝධතා ඇතිවෙන්න පටන් ගත්තා. ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කරන්න කලින් සහ පසුවත් මේ විරෝධතා මහා පරිමාණයෙන් ලෝකය පුරා ක්‍රියාත්මක වුණා. වාර්තා වල සඳහන් වෙන විදිහට 2003 ජනවාරි 3 සිට අප්‍රේල් 12 වෙනකන් කාලසීමාව තුල සිදු කල විරෝධතා සඳහා ලෝකය පුරා මිලියන 36කට වැඩි ජනතාවක් සහභාගී වෙලා තියෙනවා.   

 

04. ටියනන්මෙන් චතුරශ්‍රයේ විරෝධතාව

1987 අවුරුද්ද වෙන කොට චීනයේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ රාශියක් ඇතිවෙමින් තිබුණා. මේ ප්‍රතිසංස්කරණ හේතුවෙන් චීනයේ ශිෂ්‍ය ප්‍රජාව වැඩි වශයෙන් පුද්ගල අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්නට පටන් අරන් තිබුණා. ඒ අරගල වඩා තීව්‍ර වෙන්න හේතු වුණේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ඉල්ලා අස් වීමත්, ඉන් පස්සේ සිදු වුනු ඔහුගේ මරණයයි. එම මරණයට ඔහුගේ බලහත්කාරයෙන් ඉල්ලා අස්වීමට සැලැස්වීම හේතු වුනු බව බොහෝ දෙනෙක් විශ්වාස කළා. ඉන් පස්සේ එම විරෝධතා දැඩිව ක්‍රියාත්මක වුණා. ඊට ප්‍රතිචාර විදිහට රජයෙන් යුධ නීතිය ප්‍රකාශයට පත් කරන්නත්, අරගලයට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කරන්නත් කටයුතු කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සිය දහස් ගණනක් මිනිසුන් මිය ගියා. අදටත් චීනයේ මේ විරෝධතාව සැමරීම තහනම්. 

 

05. දකුණු කොරියාවේ ඉටි පන්දම් විරෝධතාව

ඉටි පන්දම් රැලි කියන්නෙ දකුණු කොරියාවේ සංස්කෘතික අංගයක් විදිහට සැලකෙන දෙයක්. ඒ රටේ වරින් වර ඇතිවුණු යම් යම් ගැටලුකාරී තත්වයන් වලදී කොරියානු ජනතාව මේ ඉටි පන්දම් රැලි විරෝධතා ව්‍යාපාරයක් විදිහට යොදා ගත්තු අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ අතරින් විශේෂම විරෝධතාව විදිහට සලකන්න පුළුවන් වෙන්නේ 2016 අග හරියේ දී එවකට ජනාධිපති විදිහට හිටපු පාර්ක් ගුන් හේ ගේ පාලනයට විරුද්ධව දියත් කරපු ඉටි පන්දම් විරෝධතාවයි. ප්‍රචණ්ඩත්වය කිසි අයුරකින් යොදා නොගත් මේ විරෝධතාව සම්පූර්ණයෙන්ම දියත් වුණේ ඔවුන්ගේ අතේ තිබුණු ඉටි පන්දමකින් සහ ඔවුන්ගේ හිතේ අධිෂ්ඨානය මතයි. දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරයෙකුගේ දියණියක වූ ගුන් හේ ගෙන ගිය දූෂිත පාලනය පලවා හැරීම මෙම විරෝධතාවේ අරමුණ වෙලා තිබුණා. 2016 ඔක්තෝබර් මාසයේ දිනයක ඒ රටේ ජනාධිපති නිල නිවස වෙත ඉටි පන්දම් දල්වා ගනිමින් පැමිණි 10,000කට අධික ප්‍රමාණයකින් මේ අරගලය ආරම්භ වුණා. නොවැම්බර් වෙද්දී ඒ පිරිස ලක්ෂ දෙකක් විතර වුණා. ඉන් පස්සේ එම ප්‍රමාණය මිලියනයක් විතර වෙනකන් ඉහල ගියා. එරට සංගීත ශිල්පීන් ඒ භූමියේ ප්‍රසංග පැවැත්වුවා. නමුත් ඔවුන්ගේ අරමුණ ඒ කිසිවක් නිසා වෙනස් වුණේ නෑ

 

06. මිහිකත දින විරෝධතාව

මීට අවුරුදු 52 කට කලින් ආරම්භ වෙච්ච සංකල්පයක් තමයි අපි ලෝක මිහිකත දිනය විදිහට අදටත් සමරන්නේ. නමුත් මේ සංකල්පය මුලින් ම ඇති වුණේ 1969 අවුරුද්දේ ජනවාරි 28 වෙනිදා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා වෙරළ ආසන්නයේ තෙල් ළිඳක් හෑරීමේදී ඇතිවූ දෝෂයක් නිසා පිපිරීමක් ඇතිවීම නිසා. ඒ පිපිරීමෙන් මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් මිය ගියා. ඊට අමතරව තෙල් ගැලුම් මිලියන තුනකට වඩා මුහුදට එකතු වෙලා විශාල පරිසර හානියක් සිද්ධ වුණා. ඔන්න ඔය සිද්ධියෙන් පස්සේ පරිසරවේදීන් ඊට ප්‍රතිචාර දැක්වීමට පටන් ගත්තා. විශේෂයෙන් සෙල්මා රූබින්, මාක් මැක්ගින්ස්, බඩ් බෝටම්ස් වගේ අය මූලිකවම ක්‍රියාත්මක වුණා. ඉතින් ඒ අය එකතුවෙලා ලෝක පරිසර දිනය සඳහා මූලික අඩිතාලමක් සකස් කළා. ඉතාම හොඳින් සංවිධානය කෙරුණු පළවෙනි මිහිකත දින සැමරුමට ඇමරිකානු ජනතාව මිලියන 20ක් පමණ වීදි වලට බැස තමන්ගේ අරමුණු වෙනුවෙන් පෙළ ගැහුණා. ඒ 1970 අවුරුද්දේ අප්‍රේල් 22 වෙනිදා. 

 

07. ගාන්ධිගේ ලුණු ව්‍යාපාරය

ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් විදිහට පැවතුණු කාලේ ඔවුන් දැඩි නීති රීති මගින් ජනතාව තලා පෙලා දමන්නට කටයුතු කළා. විශේෂයෙන් ඉතා අසාධාරණ බදු පනවන්නට ඔවුන් ක්‍රියා කළා. ඒ අනුව 1882 ලුණු පනත නම් පනතක් හරහා ඉන්දියානුවන්ට ඔවුන්ගේ අහාර වලට ලුණු එකතු කිරීම සහ විකිණීම තහනම් කෙරුණා. ඉන් වසර ගණනාවකට පස්සේ මහත්මා ගාන්ධි තමන්ගේ මව් රටට ඇවිත් රටේ නිදහස දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් ඔහු ලුණු පනතට තමන් විරුද්ධ බව දන්වමින් එවකට ඉන්දියාව පාලනය කරපු අර්වින් සාමිවරයාට ලිපියක් යොමු කළා. එහි තමන් ලුණු නීතිය කඩ කරන්න කටයුතු කරන බවත් සඳහන් කරලා තිබුණා. ඒ අනුව 1930 මාර්තු 12 වෙනිදා තමන්ගේ අනුගාමිකයින් එක්ක මහත්මා ගාන්ධි වෙරළබඩ නගරයක් වුනු ඩැන්ඩි වෙත ගමන් කර මුහුදු ජලයෙන් ලුණු සාදන්නට පටන් ගත්තා. ඒ අතර ජනයා දැනුවත් කරමින් තමන්ගේ විරෝධතාව ඉදිරියට ගෙන ගියා. දින කිහිපයක යද්දී ගාන්ධිගේ විරෝධතාවට මිලියන ගණන් ඉන්දියානුවන් එකතු වුණා. මැයි 5 වෙනිදා ගාන්ධි අත්අඩංගුවට පත් වුනත් ඔහු නොමැතිව වුණත් විරෝධතාව ඉදිරියට ම ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *