පොඩ්ඩො කන්න ආසම කෑම ගෙදරදීම

පොඩි අය ආසාවෙන් ඉල්ලන සමහර කෑම අපිට එළියෙන් අරන් දෙන්න යනකොට දෙපාරක් හිතන්න වෙනවා නේද. ඒ කියන්නෙ ඒවයෙ තියන සෞඛ්‍යාරක්ෂිත බව කොහොමද කියලා දෙමව්පියො සෑහෙන්න හිතනවා. එත් මේවා පොඩ්ඩන්ට තේරෙන්නෙ නැති නිසා එයාලා ඒවාම ඉල්ලනවා. ඉතින් මේ වගෙ පොඩ්ඩො ආසාවෙන් ඉල්ලන කෑම වර්ග ටිකක් අපි ගෙදරදීම හදාගන්න හැටි කියලා දෙන්නයි ඔන්න ආවෙ. ලේසියෙන්ම වගේම ගුණාත්මකව මේ කෑම හදලා බයක් නැතුව පොඩ්ඩන්ට දෙන්න දැන් ඔයාලටත් පුලුවන්.

 

01. කින්ඩර් ජෝයි

අවශ්‍ය ද්‍රව්‍ය :-

මිල්ක් චොක්ලට් ස්ලැබ් 1

වැනිලා වේෆර්ස් බිස්කට් 3

වයිට් චොක්ලට් ග්‍රෑම් 50

කිරි මේසහැඳි 2

චොක්ලට් චිප්ස් මේසහැඳි 2

 

  • චොක්ලට් ටික ඩබල් බොයිල් කරගන්න.
  • බිස්කට් ටික අතින් කුඩු කරලා ඩබල් බොයිල් කරගත් චොක්ලට් වලට දාලා කලවම් කරලා අතින් බෝල හදාගන්න.
  • මේ ටිකක ෆ්‍රිජ් එකට දාන්න.
  • වයිට් චොක්ලට් ටික ඩබල් බොයිල් කරගන්න.
  • මේකට කිරි ටිකත් දාලා කලවම් කරගන්න.
  • චොක්ලට් චිප්ස් ටිකත් වෙනම ඩබල් බොයිල් කරගන්න.
  • දැන් කින්ඩර් ජෝයි එක හදන්න සුදුසු ප්ලාස්ටික් කප් එකකට මෙල්ට් කරගත් චොක්ලට් වලින් හැඳි 3ක් වගේ දාලා උඩින් වයිට් චොක්ලට් වලින් ලේයර් එකක් දාගන්න.
  • දැන් කින්ඩර් ජෝයි එකේ විදියට සාදාගත් බෝල වලින් දෙකක් තියලා ෆ්‍රිජ් එකේ තියලා පොඩි අයට කෑමට දෙන්න.

 

02. වොන්ඩර් බාර් අයිස්ක්‍රීම් 

අවශ්‍ය ද්‍රව්‍ය :-

කිරි කෝප්ප 2

පිටිකිරි මේසහැඳි 2

සීනි මේසහැඳි 2

කෝන් ස්ටාර්ච් මේසහැඳි 2 + කිරි කෝප්ප 1/4

ඩාක් චොක්ලට් ග්‍රෑම් 250

වැනිලා තේහැඳි 1

 

  • පෑන් එකට කිරි ටික දාලා ලිපේ තියන්න.
  • මද ගින්නෙ කලවම් කරගන්න.
  • මේකට පිටිකිරි ටික එකතු කරන්න.
  • හොඳට විස්ක් කරලා සීනිටික දාගන්න.
  • කෝන් ස්ටාර්ච් වලට කිරි කෝප්ප 1/4ක් වගේ දාලා දියකරලා මිශ්‍රණයට එකතු කරන්න.
  • කිරි නටනකල් විස්ක් කරගන්න.
  • ඊළඟට මේක ලිපෙන් බාලා නිවෙනකල් දිගටම හැඳිගාන්න.
  • වැනිලා එකතු කරගන්න.
  • පොප්සිකල් මෝල්ඩ් වලට දාලා ස්ටික්ස් ගහලා පැය 6ක් ෆ්‍රීස් කරගන්න.
  • ඊළඟට චොක්ලට් ටික ඩබල් බොයිල් කරගන්න.
  • ග්ලාස් එකකට මෙල්ට් කරගත් චොක්ලට් ටික දාලා ෆ්‍රිජ් එකෙන් එලියට ගත් පොප්සිකල් මෝල්ඩ් වලින් ගලවලා චොක්ලට් වල ඩිප් කරගන්න.
  • මේක තවත් පැය 2ක් ෆ්‍රීස්කරගන්න.

 

03. බොම්බයි මොටයි

අවශ්‍ය ද්‍රව්‍ය :-

කඩලපිටි කෝප්ප 1

පාන්පිටි ග්‍රෑම් 60

ගී ඔයිල් මේසහැඳි 7

සීනි කෝප්ප 1

වතුර කෝප්ප 1/2

දෙහි යුෂ ස්වල්පයක් 

 

  • පෑන් එකක් ලිපේ තියලා ගී ඔයිල් මේසහැඳි 5ක් දාගන්න.
  • ගී ඔයිල් ටික දියවුනාම කඩලපිටි ටික එකතු කරලා කලවම්කරගන්න.
  • ටිකකින් පාන්පිටි ටිකත් දාලා හොඳට කලවම් කරගන්න.
  • හොඳට කලවම් කරලා තෙල් ගතිය නැති වෙලා ඩෝ එක වියළි ගතියට එනකොට තව ගී ඔයිල් මේස හැන්දක් වගේ දාලා අනාගන්න.
  • ලාවට දියාරු මිශ්‍රණයක් හදාගන්න.
  • විනාඩි 10කට වගේ පස්සෙ ලිපෙන් බාලා තෙල් ගාගත් ට්‍රේ එකකට මේ මිශ්‍රණය දාලා ස්ප්‍රෙඩ් කරලා නිවෙන්න තියන්න.
  • වෙනම පෑන් එකකට ගී ඔයිල් ටිකක් ගාලා පැත්තකින් තියන්න.
  • භාජනයකට සීනි හා වතුර දාලා අඩු ගින්දරේ ලිපේ තියන්න.
  • සීනි උණුවෙලා තික් මිශ්‍රණයක් ආවම මේකෙන් ටිකක් අරන් වතුර එකකට දාලා බලන්න.
  • කැටි ගතියක් එනවනම් පදම හරි.
  • දැන් මේකට දෙහි යුෂ දාලා තවත් විනාඩි 2ක් ලිපේ තියලා හැඳිගාලා ලිපෙන් බාගන්න.
  • දැන් මේක ගී ඔයිල් ගාගත් පෑන් එකට දාගන්න.
  • දැන් මේක විනාඩියකට වඩා අඩු කාලෙකදි ගී ඔයිල් ගාගත් හැන්දකින් එකතු කරලා එක ගුලියක් හදාගන්න.
  • අතේ ඔයිල් ටිකක් ගාලා අතින් ගුලියක් හදාගන්න.
  • දැන් මේක බබ්ල්ගම් එකක් වගේ දිග ඇරලා තුනී කරලා හොඳට අනාගන්න.
  • විනාඩි 2ක් වගේ මේ විදියටම කරන්න.
  • දැන් මේක වලල්ලක් වගේ හදාගෙන කඩලපිටි මිශ්‍රණය මැදින් තියලා කඩලපිටි තවරගන්න.
  • හොඳට ඇදලා පොඩි කරලා මේ සීනි උණුකරපු මිශ්‍රණය නැවත හොඳට අනාගන්න.
  • මේක වලල්ලක් වගේ ඇදගන්න. සැරෙන් සැරේ කඩලපිටි තවරගෙන රවුමට අත් දෙකෙන්ම අදින්න.
  • විනාඩි 3-4ක් යනකොට මේක තීරු වලට වෙන් වෙනවා පෙනෙයි.
  • කෙඳි හොඳට දිගෑරෙනකල් මේක ඇදගන්න ඕනා.
  • බොම්බයි මොටයි පෙනුමට ආවම ප්ලේට් එකකට දාගන්න.

 

04. චොක්ලට් 

අවශ්‍ය ද්‍රව්‍ය :-

අයිසින් ශුගර් කෝප්ප 1

කිරිපිටි කෝප්ප 1/2

කොකෝවා පව්ඩර් කෝප්ප 1/2

පොල්තෙල් කෝප්ප 1/4

 

  • අයිසින් ශුගර්, කිරිපිටි හා කොකෝවා පව්ඩර් හලාගන්න.
  • වතුර භාජනයක් ඇතුලෙන් තවත් භාජනයක් තියලා ඒකට තෙල් ටිකදාගන්න (ඩබල් බොයිල්).
  • මේකට පිටි මිශ්‍රණයෙන් ටික ටික දාලා කලවම් කරගන්න.
  • තික් මිශ්‍රණයක් ආවම ලිපෙන් බාලා චොක්ලට් මෝල්ඩ් වලට දාලා ෆ්‍රීස් කරගන්න.

 

05. ටිපිටිප්

අවශ්‍ය ද්‍රව්‍ය :-

තම්බාගත් අල ගෙඩි 4

බිත්තර 1

පාන්පිටි මේසහැඳි 2

කෝන්ෆ්ලා මේසහැඳි 4

කිරිපිටි මේසහැඳි 2

චීස් කෑල්ලක්

කහකුඩු තේහැඳි 1/4

ලුණු හා ගම්මිරිස්කුඩු 

‍යීස්ට් මේසහැඳි 1

වතුර කෝප්ප 1/4

බැදීමට තෙල්

 

  • අල ටික මෑශ් කරලා පාන්පිටි හා කෝන්ෆ්ලා දාගන්න.
  • මේකට කිරිපිටි ටිකත් දාලා චීස්, ලුණු, කහකුඩු, ගම්මිරිස්කුඩු හා බිත්තරය කඩලා දාලා හොඳට කලවම් කරගන්න.
  • ඊළඟට මේකට ඊස්ට් ටික දාලා හොඳට කලවම් කරගන්න.
  • වතුර ටික ටික දාලා ටිකක් දියාරු ඩෝ එකක් හදාගන්න.
  • මේක වහලා විනාඩි 30ක් පිපෙන්න දෙන්න.
  • විනාඩි 30කට පස්සෙ මිශ්‍රණය පයිපින් බෑග් එකකට දාලා‍ රත් වුණු තෙලට කෑලි කෑලි පයිප් කරගන්න.
  • රන්වන්පාට වෙනකල් බැදගන්න.

 

06. ගමී කැන්ඩි

අවශ්‍ය ද්‍රව්‍ය :-

දොඩම් යුෂ කෝප්ප 1/2

මිදි යුෂ කෝප්ප 1/2

වතුර කෝප්ප 1/2

ලෙමන් යුෂ මේසහැඳි 1

කොළ පාට ෆුඩ් කලරින් ස්වල්පයක් 

ස්ප්‍රයිට් කෝප්ප 1/2

සීනි කෝප්ප 1/2

අගර් අගර් පව්ඩර් මේසහැඳි 5

 

  • වතුර වලට ලෙමන් යුෂ හා ෆුඩ් කලරින් දාගන්න.
  • පෑන් එකක් ලිපේ තියලා ඔරේන්ජ් ජූස් ටික දාගන්න.
  • මේකට සීනි මේසහැඳි 2ක්දාගන්න.
  • ඒ වගේම අගර් අගර් මේසහැඳි 1ක් එකතු කරන්න.
  • කලවම් කරලා මේක නටනකොට ලිපෙන් බාලා පෙරාගන්න.
  • මේ විදියට කොළපාට, මිදි හා ස්ප්‍රයිට් ෆ්ලේවර්ස් ටිකත් කරගන්න.
  • දැන් කැන්ඩි මෝල්ඩ් එකක් අරන් පිපෙට්ටුවකට පාට 4 වෙන වෙනම අරන් මෝල්ඩ් එක පිරෙන්න දාගන්න.
  • පැය 1/2ක් ෆ්‍රිජ් එකේ තියලා එලියට ගන්න.

 

07. ජුජුබ්ස්

අවශ්‍ය ද්‍රව්‍ය :-

සීනි ග්‍රෑම් 250

ජෙලටින් ග්‍රෑම් 30

දෙහි යුෂ මේසහැඳි 2

කලරින් 

එසන්ස් ස්වල්පයක් 

වතුර කෝප්ප 1/2

වෙනම සීනි ටිකක්

 

  • ජෙලටින් ටික වතුර මේසහැඳි 4ක දිය කරගන්න.
  • ඉතිරි වතුර ටික ලිපේ තියලා සීනි ටික දාගන්න.
  • මේකට ජෙලටින් ටික දාලා හැඳිගාලා මිශ්‍රණය නටනකොට ලිපෙන් බාගන්න.
  • දෙහි යුෂ එකතු කරන්න.
  • දැන් මේක වෙන් වෙන් භාජන වලට දාලා කලරින් හා එසන්ස් දාගන්න.
  • දැන් බටර් ගාගත් ට්‍රේ වලට දාලා සෙට් වෙන්න තියලා කෑලි කපාගන්න.
  • සීනි වල තවරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *