ජීවිතේ ගැටගැහුණු හැම තැනක්ම ලිහාගන්න කරන්න පුළුවන් එකම සහ හොඳම දේ මේ සුරේ අන්කල්ව මුණගැහීම බව විමංග තීරණය කරල තිබුණා. ඒ නිසාම තමයි හිතේ පුංචි බයක් තිබුනත් විමංග ජයන්ත සුරවිරට කතා කරලා මුණගැහෙන්න දිනයක් වෙලාවක් ඉල්ලගත්තේ. ජයන්තගේ ඉල්ලීම අනුව උදේ 10ට මුණගැහෙන්න යොදාගෙන තිබුනත් විමංග උදෙන්ම පිටත්වුනේ පුංචිම කාලේ අප්පච්චි එක්ක ආපු ගියපු ගමේ ලස්සන බලන්නත් පුංචි ආසාවකින්. ඒ ලස්සන ගම කොහෙද කියලා හරියටම හිතේ නිච්චියක් නැතිවුණත් සුරේ අන්කල් අප්පච්චිගේ ගමේම යාලුවෙක් කියපු නිසා ඒ කියපු කිට්ටුවටම ගිහිල්ලා හොඳ තැනක් බලලා උදේ කෑම ගත්තු විමංග වටපිටාවේ ලස්සන බලමින් ඔහේ එහාට මෙහාට වාහනය පදවමින් කාලය ගතකලා. හුඟක් දේවල් වෙනස් වෙලා තිබුනත්, අප්පච්චි ළඟ නැතිවුණත්, ඒ ගමනට විමංග ආස කළා. කියපු වෙලාව ලංවෙද්දි ඔහු කෝකටත් කියලා සුරේ අන්කල්ට කෝල් එකක් ගත්තා..
“අන්කල්.. මම විමංග.. මම මේ එන්නද අහන්න කෝල් කලේ?”
“ආ.. විමංග පුතා.. ඔයා ඇවිල්ලද ඉන්නේ?” එහා පසින් පිළිතුරු ලැබුණේ හරිම ප්‍රබෝධමත් හඬකින්..
“ඔව් අන්කල්.. උදේම ඇවිල්ලා ටිකක් වටපිටේ ඇවිද්දා..” විමංගත් ඒ ස්වරයෙන්ම පිළිතුරු දුන්නා..
“අයියෝ ළමයෝ. කෙලින්ම මෙහෙ එන්න එපැයි.. අපිට එකට බ්‍රෙක්ෆස්ට් ගන්න තිබ්බා.. කමක් නැහැ.. දැන් එන්නකෝ එහෙනම්. ලන්ච්වත් ගමු” ඔහු කිව්වේ හිනාවෙමින්.
“හරි අන්කල්” දුරකථනය විසන්ධි කරපු විමංග වට්සැප් පණිවිඩයක් විදිහට ආපු ලොකේෂන් එකට යන ගමන ආරම්භ කළා..
***************************
ජයන්ත සුරවීරගෙන් ලැබුණු උණුසුම් පිළිගැනීමත්, රසම රස තේ පැන් සංග්‍රහයටත් වඩා විමංගව පුදුමයට පත්කළේ ඔහු රෝදපුටුවක ගමන් කරන අබාධිත පුද්ගලයෙකු වීමයි. “මම නිතර ආවේ ගියේ නැත්තෙ ඇයි කියන එකට උත්තරේ පුතාට මාව මුණගැහුනම හම්බවෙයි” කියන කතාවේ තේරුම විමංගට ඔහුව දුටු සැනින්ම වැටහුනා. ඒ ගැන විස්තර අහන්න හිතේ මැලිකමකින් ඉද්දි සුරේ අන්කල්ම කතාව ආරම්භ කළා.
‘ඉතින් පුතා.. මම එදා කිව්ව නේද මට නිතර යන්න එන්න පුළුවන් වුණේ නැහැ කියලා.. දැන් පුතාට පේනවනේ ඇයි කියලා”
“ඔව් අන්කල්.. මට තේරුණා. මම අදනේ ඉතින් අන්කල්ව දැක්කෙ”
“දැන් මේ විදිහට ගෙවෙන්නෙ මේ දහඅටවෙනි අවුරුද්ද පුතා.. ඔයාට වඩා ටිකයි වයස අඩු මගේ රෝද පුටුවේ කතාවට” ඔහු ඒ කොටස කිව්වේ හිනාවෙමින්
“ඇත්තටම මේ මොනවා වෙලාද අන්කල්?” විමංග එහෙම ඇහුවේ ඒ ප්‍රශ්නය සුදුසුද කියලා හිතේ සැකයෙන් වගේ..
“මම වැඩකලේ ආර්මි එකේ පුතා. ඉතින් ඉතුරු හරිය කියන්න ඕන නෑනේ” ඒ කොටස කියනකොටත් ඔහුගේ මුහුණේ තිබුණේ මද සිනහවක්. ඒ තරම් සැහැල්ලුවෙන් මේ වගේ ලොකු අහිමිවීමක් සිහිකරන්නෙ කොහොමද කියලා විමංග හිතින් පුදුමවුණා. ඒ නිසා ඔහු හිනාවකින් පමණක්ම ඒකට පිළිතුරු දුන්නා.
“ඒකෙන් වැඩක් නැහැ. අපි ඔයාගෙ කතාවට බහිමුකො”
“හරි අන්කල්.. මමත් බලාගෙන ඉන්නේ ඒක අහන්න තමයි” මුකුත්ම නොකියා ඉන්න හොඳ නැහැ කියන සිතුවිල්ල නිසාම විමංග පිළිතුරු දුන්නා. ඇත්තටම ඔහුත් ලොකු කුතුහලයකින් හිටියේ කතාව පටන් ගන්නකම්.
“මට ඇත්තටම පටන් ගන්න මුලක් තේරුම් ගන්න අමාරුයි පුතා.. මම ඔලුවට එන පිළිවෙලට කියාගෙන යන්නම්. කොහොමවුණත් ජයේ විශ්වාස කළා මම මේක දවසක පුතාට කියයි කියලා”
“හරි අන්කල්”
“ඇත්තටම අත දරුවෙක් තරම් පුංචිම කාලෙ දැක්කට පස්සෙ මං අදනෙ ඔයාව දකින්නේ. ජයේගෙ පුතා කියන්නෙ මට මගේම දරුවෙක් වගේ තමයි. ඒත් ඔයා ලොකුවෙනවා බලන පින මට නැතිවුණා”
“අන්කල්ට මල්ලිව හම්බෙලා නැද්ද?” විමංග එහෙම ඇහුවේ මල්ලිව ඇත්තටම මතක්වුණ නිසා. අප්පච්චි නැතිවුණාට පස්සෙ අම්මගේ ප්‍රශ්නවලදී මල්ලි විමංග එක්ක කිසිම විදිහකින් යහපත් ගනුදෙනුවක් නොකලට විමංගගෙ හිතේ මල්ලි ගැන ලොකු ආදරයක් තිබුණා.
පිළිතුරක් වෙනුවට සුරේ මහා හයියෙන් හිනාවුණා. ඔහු කටහඬ අවදි කලේ තප්පර කිහිපයකට පස්සේ.
“මොකද දරුවෝ නැතුව? මං ඒ දරුවා ගැන නොකිව්වෙ ඇයි කියල ඔයාට හිතුනද?” ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්න කලින්ම ඔහුම නැවත කතාකලා.
“ඔන්න පුතාම මට මේක පටන් ගන්න හොඳ පොටක් හොයල දුන්නා”
දෙන්නා අතරේ මද නිශ්ශබ්දතාවයකට පස්සේ ඔහුම නැවත කතාව ආරම්භ කළා.
“මල්ලි කිව්වට ඒ ඔයාගෙම මල්ලි නෙමෙයි පුතේ. අම්මත් ඔයාගෙ අම්ම නෙමෙයි”
ඒ කතාවත් එක්කම විමංගට එදා අම්මා කියපු හැම දෙයක්ම එකින් එක මතක් වෙන්න ගත්තා.
“මම දන්නවා අන්කල්. මට අම්ම කිව්වා හැම දෙයක්ම. මම හදාගන්න ගත්ත දරුවෙක් කියන එක. ඒත් මම ඒක විශ්වාස කරන්න හරියට බයවුණා. අන්කලුත් කියන්න හදන්නෙ ඒ කතාවනම් එක අතකට මට ඒක අහන්න ඕන නෑ කියල හිතෙනවා. අප්පච්චි මගේ නෙමෙයි කියන වචනේ මට මේ කන් දෙකෙන් අහන්න ඕන නැහැ අන්කල්” ඒ අන්තිම වචන ටික කියද්දී විමංගගේ ඇස් දෙකේ ලාවට කදුළු පවා දිලිසුණා.
“අනේ කොල්ලෝ.. මට ළඟට එන්න බෑනෙ ඉතින් උබව සනසන්න.. අඬන්න කිසිම දෙයක් නැහැ. අප්පච්චි උබේ තමයි. මම ඒක නැහැ කිව්වෙ නැහැනේ” ඒ ලැබුණු පිළිතුරෙන් පුදුම වුනු විමංග සුරේගේ මුහුණ දිහා බැලුවේ අතිශය පුදුමයකින්.
“මට තේරෙන්න නැහැ අන්කල්. අම්ම මගේ නෙමෙයිනම්….?”
විමංගට ඒ අහපු ප්‍රශ්නය ඉවර කරන්න ලැබුණේ නැහැ. දොරට තට්ටු කරන හඬක් එක්ක දෙන්නාම දොර දිහා බැලුවෙත් විමංග පුදුමයෙන් පුටුවෙන් නැගිට්ටුනෙත් එකපාරටමයි. දොර ළඟ හිටගෙන ඉන්න නිතාරයි එයාගෙ තාත්තයි දැක්කම විමංගට දැනුණේ අදහාගන්න බැරි හැඟීමක්. අද දවසේ ඇහෙන, පේන දේවල්වල පුදුමවීම් වැඩිදෝ කියලා විමංගට ක්ෂණිකව හිතුණා.
“නිතාරා ක්ෂණිකව විමංග හිටපු තැනට දුවගෙන ආවෙත් නිතූගේ තාත්තා හිනාවෙමින් ගෙට ගොඩවුණෙත් එකටමයි.
“අපි ආවට කමක් නැද්ද මන්දා?” එහෙම ඇහුවේ නිතූගේ තාත්තා..
“අන්කල් මේ නිතාරා.. අර අන්කල් එදා කිව්වෙ. මේ එයාගෙ තාත්තා” නිතූගේ තාත්තා දිහා බලලා හිනාවෙන ගමන්ම ඔවුන්ව සුරේට හඳුන්වලා දුන්න විමංග ආපහු නිතූගේ මුහුණ දිහා බැලුවේ ප්‍රශ්න පත්තරයක්ම මුහුණේ ලියාගෙන.
Leave a Reply