ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් විදියට ලෝකේ ඕන තැනක ඉඳන් වැඩ කරමුද?

සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් රස්සාවක් කරන්න ඕනනේ ජීවත් වෙන්න. එහෙම නැතුව චිල් එකේ ආතල් එකේ ඉන්න නම් එක්කෝ අපේ අම්මලා තාත්තලා ඉතුරු කරපු ලොකු ධනයක් තියෙන්න ඕන, එහෙම නැතිනම් අපි දේශපාලනේ කරලා තියෙන්න ඕන, අඩු ගාණේ දේශපාලකයෙක්ගේ පුතෙක් දුවෙක් වෙන්න ඕන. හරි, දැන් රස්සාවක් කරනවා කියපු ගමන් අපේ ඔළුවට එන්නේ රස්සාව කරන තැනට ගිහිල්ලා වැඩ කරලා හවස ගෙදර එන සීන් එකක්. දැන් වෙනකොට නම් ගෙදර ඉඳන් රස්සාව කරන විකල්පත් තියෙනවා. හැබැයි නිකමට හිතලා බලන්න. අපිට මූද අයිනේ තියෙන පොල් ගහක් යට වාඩි වෙලා, ලැප්ටොප් එකත් දිග ඇරගෙන, පෝටබල් වයිෆයි එකට කනෙක්ට් වෙලා වැඩ කරන්න පුලුවන් නම් කොහොමද කියලා. එතකොට අද එහෙම වුණාට, හෙට ඉන්නේ වෙන රටක, කැෆේ එකක වාඩි වෙලා ලැප්ටොප් එකත් දිග ඇරගෙන වැඩ කරන ගමන් වෙන්න පුලුවන්. සරලවම කිව්වොත්, ඔන්න ඕකට තමයි ඩිජිටල් නෝමෑඩ්ලා කියන්නේ. ඒ කියන්නේ එක තැනක ඉන්න අවශ්‍යතාවයක් නැති, ඉන්ටර්නෙට් තියෙනවා නම් ලෝකෙ ඕනෙම තැනක ඉඳන් වැඩ කරන්න පුලුවන් විදියේ සෙටප් එකක් හදාගෙන, ලෝකෙ වටේ සංචාරය කරමින් රැකියාවත් කරන ඩයල් වලට තමයි ඩිජිටල් නෝමෑඩ්ලා කියන්නේ. ඇත්තටම ලෝකේ වටේ ඕන නෑ, තමන්ගේ රට වටේ සංචාරය කරමින් රැකියාවත් කරන කෙනෙක්ට වුණත් තමන්ට ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් කියලා කියාගන්න පුලුවන්.

 

හරි, දැන් ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙන එක හෙනම ආතල් වැඩක් වගේ නේද? ඇත්තටම කොහොමද ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙන්නේ?

 

01. හරියට සෙට් වෙන වැඩ

දැන් ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙනවා කියලා නිකම්ම තමන් කරමින් ඉන්න රැකියාව වර්ක් ෆ්‍රොම් හෝම් වුණාට හරියන්නෙ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, සාමාන්‍යයෙන් රැකියාවක් කොයි තරම් ඔෆිස් එකට නොයා කරන්න පුලුවන් වුණත්, ඒක අසීරු අවස්ථා එනවා. උදාහරණයක් විදියට ගත්තොත් ටීම් මීටින් එකක්. දැන් වෙනකොට මීටින්ග්ස් වුණත් ඔන්ලයින් තියෙනවා තමයි. හැබැයි දිනපතා තවත් ටීම් එකක් එක්ක කටයුතු කරන්න වෙන, දිනපතා වැඩ කටයුතු පිළිබඳ වගකීමක් තියෙන ජොබ් එකක් ට්‍රැවල් කරන ගමන් කරන එක සාර්ථක නෑ. ඊටත් වඩා ඒකෙන් ජොබ් එක හරියට සිද්ධ නොවෙන්න පුලුවන් අවදානමකුත් තියෙනවා. ආන්න ඒ නිසා, ඩිජිටල් නොමෑඩ් කෙනෙක් වෙන්න නම් ඒකට ගැලපෙන රස්සා හොයාගන්න ඕන. ඕන නම් තමන් කරමින් ඉන්න රැකියාව එහෙම එකකට පරිවර්තනය කරගන්නත් පුලුවන්. හැබැයි ඒක කතාබහ කරගෙන කරන්න ඕන දෙයක්. ඒ ඇරෙන්න ඩිජිටල් නෝමෑඩ් කෙනෙක්ට ගැලපෙනම රස්සා තියෙනවා. ප්‍රෝග්‍රැමර් කෙනෙක් විදියට, වෙබ් ඩිවලොපර් කෙනෙක් විදියට, ලේඛකයෙක් විදියට, සෝෂල් මීඩියා මාකටර් කෙනෙක් විදියට, ඩිජිටල් ව්‍යවසායකයෙක් විදියට එහෙම කරන ජොබ් ඔය ඩිජිටල් නෝමෑඩ් ලයිෆ්ස්ටයිල් එකකට ගැලපෙනවා.

 

02. කොහේටද යන්නේ?

ඩිජිටල් නෝමෑඩ් වෙන්න නම් කොහේද යන්නේ කියන එකත් වැදගත්. ඒ මොකක්ද ඒ කතාව? මෙහෙමයි. ඩිජිටල් නෝමෑඩ් කියලා හුළඟ වගේ ඔහේ යනවා කියලා හිතෙන හිතෙන ඕනම තැනකට යන එක අවදානම්. උදාහරණයක් විදියට, අපි ගමු ඩිජිටල් නෝමෑඩ් විදියට අපි යන්නේ ජීවන වියදම අතිශයින්ම සැර රටකට කියලා. එතකොට, ඒ ජීවන වියදම එක්ක අපිට ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් විදියට හොයන ආදායම මැච් කරන්න බැරි නම්? එතකොට? ආන්න ඒ නිසා තමයි, තමන් යන්නේ කොහාටද කියන එක තීරණය කරන්න ඕන, හැමදෙයක්ම හොයාබලලා. අනික, රටවලින් රටවලට දවස් දෙක තුන බැගින් ඉන්න හිතාගෙන ඇවිදින සංචාරකයන්ට ඩිජිටල් නෝමෑඩ්ලා වෙන්න නම්, හොඳට සල්ලි තියෙන්න ඕන වෙයි. ඊට වඩා සාර්ථක, එක තැනක යම් කාලයක් ඉන්න හිතාගෙන යන එක. ඒ වගේම, රටක ඩිජිටල් නෝමෑඩ් ප්‍රජාවන් ඉන්න තැනක්ම යන්න තෝරගන්න එක ගොඩක් පැතිවලින් වාසියි. එතකොට තමන්ට උදව් ලැබෙන ප්‍රජාවක් තමන් වටේ ඉන්නවා. එහෙම ප්‍රජාවන් ෆේස්බුක් ගෘප් වලින් පවා හොයාගන්න පුලුවන්.

 

03. වැඩ කරන වෙලාවල්

ඩිජිටල් නෝමෑඩ් කියන්නේ ඉතින් දවසම බීච් එකේ ආතල් එකක් අරගෙන, නාලා, කාලා, හවසට පැයක් වැඩ කරන එක නෙවෙයි කියලා මේ වෙනකොට තේරෙන්න ඕනනේ. අපි එහෙම ලොකු සල්ලිකාරයෝ නෙවෙයි නම්, ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් විදියට වුණත් දවසෙන් ප්‍රමාණවත් කාලයක් වැඩ කරන්න වෙන් කරගන්න සිද්ධ වෙනවා. එතකොට තමන් කරන රැකියාව තනියෙන් කරන වැඩක් නම්, ඒ වැඩ කරන වෙලාව තමන්ට අභිමත විදියට හදාගන්න පුලුවන්. උදාහරණයක් විදියට ස්වාධීනව වැඩ කරන ඇප් ඩිවලොපර් කෙනෙක් ගන්න පුලුවන්. හැබැයි එතනදී තමන්ට තියෙන ඩෙඩ්ලයින් ගැනත් හිතන්න ඕන. දැන් ඒ ඇරෙන්න අපි කියමු තව ටීම් එක්ක එක්ක වැඩ කරන්න වෙන ඩිජිටල් නෝමෑඩ් රස්සාවක් කරනවා කියලා. අන්න එතකොට, ඒ අයත් එක්ක වැඩ කරන්න, එහෙම නැතිනම් ක්ලයන්ට්ලා එක්ක වැඩ කරන්න පොදු වෙලාවකට එකඟ වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙනකොට.

 

තව කාරණයක්. දැන් අපි හිතමු උදේ අපි බීච් එකට ගිහින් නාලා කරලා ෆන් එකක් අරගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ වැඩ කරන්න දාගෙන තියෙන්නේ. හැබැයි අපිට චිල් මූඩ් එකෙන් අර වැඩ කරන මූඩ් එකට යන්න අමාරුයි. එතකොට හිතෙනවා වැඩේ පොඩ්ඩක් පස්සේ කරන්න. ඒක කේස්. ඒ නිසා, ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙනවා නම්, බොහොම බරපතළ විදියට තමන්ගේ වර්ක් ඩිසිප්ලින් එක හදාගන්නත් ඕන.

 

04. ගෙවන්නේ කොහොමද? 

දැන් වැඩ කළා වගේ නෙවෙයිනේ. ඒවලට අපිට ගෙවන්නත් ඕනනේ. දැන් ලංකාවෙ ඉන්නකොට නං, පඩිය එක්කෝ අතට දෙනවා, නැතිනම් දැන් හැමතැනම වගේ බැංකුවට දානවා. ඒක ඉතින් රුපියල් වලින් තමයි එන්නේ. දැන් එතකොට අපි ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් විදියට වැඩ කරනවා නං? ආන්න එතනදී ඒ තොරතුරු කතාබහ කරගන්න ඕන. ඊට පස්සේ තමන්ට ලෝකේ ඕනම තැනක ඉඳලා ඇක්සස් තියෙන විදියේ එකවුන්ට් එකක් හදාගන්නේ කොහොමද කියන එක තීරණය කරගන්න ඕන. ඊට පස්සේ තමන්ට ගෙවන විනිමය වර්ගය මොකක්ද කියන එක ගැන හිතන්න ඕන. ඒක නං ඉතින් අපිට තීරණය කරන්න බැහැනේ. ලංකාවේ කොම්පැණියක් නං ගෙවන්නේ රුපියල් වලින්. ඇමරිකාවේ කොම්පැණියක් නං ඩොලර් වලින් ගෙවයි.

 

දැන් ඕක තීරණය කරගත්තට වැඩක් නෑ. හරියන විදියේ බැංකු එකවුන්ට් එකක් හදාගන්න එක, හරියන ක්‍රෙඩිට් කාඩ් හදාගන්න එක කියන වැඩත් ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් කරගන්න ඕන දේවල්. ඒ නිසා, ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙන්න හිතනවා නම්, මුලින්ම බැංකු කටයුතු ගැන එක්ස්පර්ට් කෙනෙක් එක්ක කතා කරලා ඒ දේවල් දැනගන්න එක හොඳයි.

 

05. වියදම් මැනේජ්

ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් කියන්නේ ලක්ෂරි ට්‍රැවලර් කෙනෙක් නෙවෙයි කියන එක ඔක්කොටම කලින් තේරුම් ගන්න අවශ්‍යයි. ඊට වඩා බජට් එකකට ට්‍රැවල් කරන අය තමයි බොහෝ දුරට ඩිජිටල් නෝමෑඩ් කියන්න පුලුවන්. ආන්න ඒ නිසා, ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙන්න හිතනවා නං, ඔක්කොටම කලින් හිතල බලන්න ඕන කොහොමද තමන්ගේ වියදම් මැනේජ් කරගන්නේ කියලා. උදාහරණයක් විදියට ගත්තොත්, ඉන්නේ කොහෙද? ලංකාවේ සාමාන්‍යම හොටෙල් රූම් එකක මාසයක් නැවතිලා හිටියත් අඩුම රුපියල් ලක්ෂයක් වත් යනවා. ඒ වෙනත් කිසිම වියදමක් ගණන් හදන්නේ නැතුව. හැබැයි ටුවරිස්ට්ලට නවාතැන් දෙන තැනකින් මාසෙකට තැනක් ගත්තොත්, ඒ ගාණෙන් බාගෙකට ගන්න පුලුවන්. එතකොට හැමදාමත් රෙස්ටුරන්ට් වලින් කන්නේ නැතුව තමන්ගේ කෑම බීම ටික හදාගන්න පුලුවන්. යන්න එන්න පබ්ලික් ට්‍රාන්ස්පෝට් එහෙම පාවිච්චි කරන්න පුලුවන්. ආන්න එහෙම තමන් යන රටේ, යන තැන ඉඳන් තමන්ගේ වියදම් මැනේජ් කරගන්න ක්‍රම ගැනත් කල්පනා කරන්න ඕන, තමන් යන්නේ කොහාටද කියලා හිතුවට පස්සේ!

 

06. හැකියාවන්ට රැකියාවන්

දැන් අපි කලිනුත් කිව්වනේ ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙනවා නම් මොන වගේ රැකියාවන්ද හොයාගන්න ඕන කියලා. හැබැයි මේකේ තව කාරණයක් තියෙනවා, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටක ඉන්න අපි වගේ කෙනෙක් ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙනවා නම්. අපිට තියෙන යම් කිසි කුසලතාවයක ශ්‍රී ලංකාවේ ගෙවන මුදලත් එක්ක අපිට වෙන රටකට ගිහින් ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් විදියට ජීවත් වෙන එක ඒ තරම් පහසු කාරණාවක් නෙවෙයි. අන්න එහෙමනම්, අපිට ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් ඩිජිටල් නෝමෑඩ් රස්සාවක් එහෙම හොයාගන්න වෙනවා. අන්න ඒක කරන්න නිකම් බෑ. ඩිමාන්ඩ් එක වගේම ස්ටෑන්ඩර්ඩ් එකත් ඉහළ නිසා, අපිට සිද්ධ වෙනවා අලුත් කුසලතාවයන් ඇති කරගන්න, අලුත් දේවල් ඉගෙන ගන්න එහෙම. කොහොමත් දැන් ලෝකේ යන විදියත් එක්ක තමන් දන්න දේ ෂේප් එකේ කරගෙන, යන්තම් ගාණක් හොයාගෙන ඉන්න කෙනෙක්ට ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙන්න අමාරුයි. ඊට වඩා තමන්ගේ හැකියාවන්, කුසලතාවයන්, සුදුසුකම් වර්ධනය කරගන්න ඕන. ඒ නිසා, ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙන්න හිතනවා නම් ඒවා හදාගන්නේ කොහොමද කියන එක ගැනත් හිතන්න.

 

07. හරි හමන් ප්ලෑන් එකක්

දැන් බැලූ බැල්මට ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් කියන්නේ එහෙම විශේෂයෙන්ම ජීවිතේට ප්ලෑන් එකක් නැතුව, හුළඟ අපිව අරගෙන යන තැනට යන, ඒ යන තැන ඉඳන් වැඩ කරන මනුස්සයෙක්ටනේ. හැබැයි ඇත්තටම එහෙම ආවට ගියාට ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙන්න යන එක සෑහෙන්න අවදානම්. උදාහරණයක් විදියට මෙහෙම හිතන්න. දැන් ඔන්න අපි මුලින් ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් විදියට වැඩ කරන්න වැඩ එහෙම හොයාගෙන වැඩේ පටන් ගන්නවා. හැබැයි ඔහොම ටික කාලයක් යනකොට ඒ ජොබ් එක නවතිනවා. දැන් මොකෝ කරන්නේ? වෙන වැඩක් හොයාගන්න ඕන. හැබැයි එහෙම වැඩ ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙන් හොයාගන්න නම් ඉතාම ඉහළ හැකියාවන් තියෙන වෘත්තිකයෙක්, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ වෘත්තිකයෙක් වෙන්න ඕන. එහෙම නැතිනම් බඩු බනිස්. එතකොට අපි ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් කියලා එදා වේල ටුවර්ස් ගේමක් ගහලා හරියන්නෙත් නෑ. හදිසි මුදල් අවශ්‍යතාවයන්, හදිසි අවශ්‍යතාවයන් ඕනෑ තරම් එන්න පුලුවන්. අන්න එතකොට මොකෝ කරන්නේ? ඔන්න ඔය නිසා තමයි, ඩිජිටල් නෝමෑඩ් කෙනෙක් වෙන්න වුණත් හරි හමන් ප්ලෑන් එකක් තියෙන්න ඕන කියන්නේ. හොඳම දේ, උඩ කියලා තියෙන දේවල් ගැන නැවත නැවතත් හිතන්න. ඒ එක්කම ප්ලෑන් ඒ එකක් වගේම, හදිසියකට ප්ලෑන් බී එකකුත් තියාගන්න. එක ජොබ් එකක් නෙවෙයි, ජොබ් දෙකක් වත් තියාගන්න. තමන් යන තැන්, ඉන්න තැන් එක්ක හදිසියකට අවශ්‍ය කැපිටල් එකකුත් පවත්වා ගන්න. ආන්න එහෙම හරි සැලසුමක් එක්ක වැඩේ කරනවා නම්, ඩිජිටල් නෝමෑඩ් කියන්නේ ලෝකේ කරන්න පුලුවන් ආතල්ම රස්සාවක් වෙයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *