මේ දවස් වල කොහේ ගියත් ගැටුම් ඇති කර නොගෙන, ගැටුම් සංසිඳවා ගෙන වැඩ කරන්න, මේ උපදෙස් අනුගමනය කරන්න!

දැන් අපි හැමෝම දන්න කාරණාවක්නේ මේ දවස් වල රටේ ලෝකේ ඇතිවෙලා තියෙන ප්‍රශ්න ගැටළු. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළේ ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදය සහ, ඒක හින්දා මහජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන ප්‍රශ්න ගැන නම් නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, හැම තැනම පෝලිම්. වාහනේට පැට්‍රල් ගහගන්න ගියත් පෝලිමේ ඉන්න ඕන, ඩීසල් ටිකක් හොයාගන්න පෝලිමක් හොයන්නත් දහදුක් විඳින්න ඕන, ගෙදර තියෙන ගෑස් සිලින්ඩර් අරගෙන ඇවිත් පෝලිමේ හිටියත්, ඇත්තටම ගෑස් කොහේවත් හොයාගන්න නෑ, කිරිපිටි පැකට් එකක් ආසාවට කඩේක හොයාගන්න නෑ. ඔය වගේ පෝලිම් ප්‍රශ්න ඇරෙන්න බඩු මිල සහ ජීවන වියදම අහස උසට ගිහින් තියෙන ප්‍රශ්නෙත් තියෙනවා. විශේෂයෙන්ම මධ්‍යම පාංතික මිනිස්සු මේ වැඩි වෙන ජීවන වියදම සහ ඒ ගාණට වැඩි නොවෙන ආදායම එක්ක හාන්සි තමයි. ඔය ප්‍රශ්නත් එක්ක, මිනිහෙක්ට අනාගතයක් ගැන හිතන්නවත් බැරි තැනකට ඇවිත්. ඒ ඇරෙන්න, රටේ පාලක පංතිය ගැනත් මිනිස්සුන්ගේ හිත් වල බොහොම ලොකු කේන්තියක් ඇතිවෙලා තියෙනවා. ඔන්න ඕකනේ දැන් තියෙන තත්වේ!

 

හරි, ඔය තත්වයත් එක්ක, අපි පාලකයෝ ගැන කේන්ති ගත්තට, ඇත්තටම ගොඩක් මිනිස්සුන්ගේ කේන්තිය පිටවෙන්නේ තමන්ගේම පංතියේ අනික් මිනිස්සුන්ගේ පිටින්. උදාහරණයක් විදියට ගත්තොත්, දවස පුරා ගෑස් ගන්න පෝලිමේ ඉන්නකොට, කවුරුහරි ඇවිත් පෝලිම පැන්නොත්, ඒ පෝලිම පැන්න මනුස්සයාව මරාගෙන කන්න තරමට මිනිස්සු කේන්ති ගන්නවා. ඉතින් මේ මිනිස්සු ඉන්න පීඩනය, ආතතිය සහ අපේක්ෂා භංගත්වය නිසා බොහොම දරුණු විදියට ගැටුම් ඇතිවෙන්න පුලුවන්. ඔය ක්ෂණික කෝපය කියන්නේ සෑහෙන්න භයානක දෙයක්නේ. අන්න ඒ නිසා, අපි හිතුවා මේ තත්වයන් හැකි උපරිමයෙන් මගහරවා ගන්න වැදගත් වෙන උපදෙස් කීපයක් දීලා තියන්න.

 

01. නීතියට වැඩ කරමු

මෙන්න මේක අනිවාර්ය කාරණාවක්. මොන තරම් අරාජික කාලයකදී වුණත්, අපි හැකිතාක් දුරට නීති ගරුක වීම අපේ සමාජ වගකීමක් වගේම අපේ ආරක්ෂාවටත් හොඳ දෙයක්. හැබැයි ඉතින් මෙතනදී සීමාවන් එහෙමත් පැහැදිලිව හඳුනාගන්න අවශ්‍යයි. උදාහරණයක් විදියට ගත්තොත්, අපි ගෑස් හොයාගෙන ගෑස් ගේන නියෝජිතගේ ගෙදරට ගේට්ටු කඩාගෙන පනින එක නීති විරෝධියි. එහෙම දෙයක් කළ යුතු නෑ. ඒ අතරේදී අපි කියමු දැන් ලංකාවටම ඇඳිරි නීතිය දානවා කියලා, මහජන විරෝධතා මැඩලන්න. අන්න එතකොට සාමූහිකත්වයක් එක්ක, ඒ කියන්නේ විශාල ජන සමූහයක සහභාගීත්වය එක්ක ඇඳිරි නීතිය උල්ලංඝනය කරලා පාරට බහින්න සිද්ධ වෙන්න පුලුවන්.

 

දැන් ඔය උඩ කියපු විදියේ නීතියට යම් තාක් දුරකට හෝ පටහැණි වෙන්න සිද්ධ වෙන අවස්ථා එන්නේ ඉතාම කළාතුරකින්. ඒ ඇරෙන්න අනික් හෑම මොහොතකදීම තමන් නීතියට ගරු කිරීම, නීතියට අනුකූලව කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි සහ අනිවාර්යයි.

 

02. ආචාර ධාර්මික වෙමු

නීතිගරුක වීමේ අනික් කෑල්ල තමයි ආචාර ධාර්මික වීම. අපි ප්‍රශ්න ගැටුම් තියෙන කාල වලදී විතරක් නෙවෙයි ආචාර ධාර්මික විය යුත්තේ. අපි ඕනම තැනකදී, ඕනෑම කාලයකදී සදාචාර සම්පන්න විය යුතුයි, ආචාර ධාර්මික විය යුතුයි. උදාහරණයක් ගමු. ඔන්න අපිට ගෑස් පෝලිමේ ඉඳලා ගෑස් එකක් ගන්න ඕන. එතකොට, අපි ටිකක් වෙලා බලාගෙන ඉඳලා, ගෑස් ලොරිය ලං වෙනකොට ෂේප් එකේ පෝලිමට මුක්කුවක් ගහන්න ට්‍රයි කරනවා. ඒක වැරදියි. ආචාර ධර්ම විරෝධියි. එතකොට බඩු ගන්න සුපර්මාකට් එකට ගියපු ගමන් කැෂියර් පෝලිමේ පොඩි එකාව තියලා, ඊට පස්සේ ට්‍රොලිය තල්ලු කරගෙන වටේම ගිහිල්ලා බඩු ටික එකතු කරගෙන බබා වගේ පෝලිමේ පොඩි එකා ඉන්න තැනින් හිට ගන්න එක සදාචාරාත්මක නෑ.

 

03. හැම මනුස්සයෙක්ම ඉන්නේ එකම බෝට්ටුවේ බව හිතමු

සමහර වෙලාවට මිනිස්සු කරන මොට්ට වැඩ නිසා, මිනිස්සුන්ගේ ප්‍රමාදය නිසා, මිනිස්සුන්ගේ නීතිය නොතකන වැඩ නිසා නැතිනම් ආචාර ධාර්මික නොවෙන වැඩ නිසා අපිට කේන්ති යන එක ස්වභාවිකයිනේ. උදාහරණයක් විදියට, මේ අර්බුද තියෙන වෙලේ ඒටීඑම් එකක් ගාව මනුස්සයෙක් පැයක් විතර බොරුවට අංක ඔබ ඔබ ඉන්නවා නං, අපිට කේන්ති යන්න පුලුවන්. හැබැයි අපි හිතන්න ඕන ඇත්තටම එහෙම මනුස්සයෙක් වුණත්, අපිත් එක්කම එකම බෝට්ටුවේ ඉන්න, තවත් සහෝදර පුරවැසියෙක් නේද කියලා. ඒක අපි අතින් වැරදි වචනයක් හෝ කියැවිලා, දේවල් ගැටුමක් කරා උත්සන්න වෙන එක වළක්වාගන්න හොඳ ක්‍රමයක්.

 

04. හොඳ හුස්මක් හැම විටකම

අපි හැමෝම මිනිස්සුනේ. ඉතින් අපි හැමෝටම කේන්ති යනවා. හැබැයි එහෙම කේන්ති යන වෙලාවට තමයි අපිට කේන්තිය පාලනය කරගන්න හොඳ හුරුවක් අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම මේ දැන් තියෙනවා වගේ කාලෙකදී අපි කේන්තිය ඉතාම හොඳින් පාලනය කරගන්න ඉගෙන ගන්න ඕන. ඒකට හොඳ ක්‍රමයක් තමයි අපිට කේන්ති යාගෙන එනවා වගේ තේරෙන කොට, කතා නවත්වන එක. ඊට පස්සේ හොඳ හුස්මක් අරගෙන, අපිට අපි ගැන පාලනයක් තියෙනවා කියලා දැනුනහම තමයි ආයෙත් කතා කරන්න ඕන. කිසිම මොහොතක ඔළුව ලේ රත් වෙලා, කේන්තියෙන් ඉන්න වෙලාවක කටින් වචන පිට නොකර ඉන්න එක හොඳ පුරුද්දක්. ඒ ඇරෙන්න ඉතින් ඔය තරහ පාලනයට නම් ඕන තරම් ක්‍රම සහ විධි තියෙනවා. ඇස් පියාගෙන තමන්ගේ සිතුවිලි හසුරුවගන්න උත්සාහ කරන එක, රිලැක්ස් වෙන එකට ෆෝකස් වෙන එක වගේ එක එක එව්වා. ඕවෑයින් තමන්ට කැමති, තමන්ට හරියන ක්‍රමයක් පාවිච්චි කරන්න පුලුවන්.

 

05. විරෝධය හරි විදියට භාවිතා කරමු

අපි විරුද්ධ විය යුතු තැනදී විරෝධය දැක්විය යුතුයි කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි මහජන අරගලයකදී වේවා, ගෑස් පෝලිමකදී වේවා විරුද්ධ විය යුතු තැනට විරෝධය දක්වන විදියක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, මහජන විරෝධතාවයකදී හෝ උද්ඝෝෂණයකදී හෝ අපි විරෝධතාවය පෙන්නන්න ඕන අතින් පයින් හෝ ගල් මුල් වලින් හෝ වෙනත් ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රමයකින් නෙවෙයි. එතනදී මහජනතාව විදියට අපි යොදාගන්න ඕන සාමකාමී විරෝධතා, සටන් පාඨ වගේ දේවල්. එතකොට අපි කියමු ගෑස් පෝලිමක ඉන්නකොට කවුරුහරි චණ්ඩියෙක් ඇවිත් පෝලිම් පනිනවා කියලා. ගැටුම් ඇතිවෙයි කියලා එතනදී කට පියාගෙන ඉන්න ඕන නෑ. එතනදිත් අපේ විරෝධතාවය පෙන්විය යුතුයි. හැබැයි ඒ විරෝධතාවය පෙන්විය යුත්තේ ප්‍රචණ්ඩත්වය ඔස්සේ නෙවෙයි. එතනදී සාමූහිකව කතා කිරීම, අපි ඉන්න තැනට සම්බන්ධ අංශ, නීති අංශ එහෙම සම්බන්ධ කරගැනීම සහ ඒ අයව දැනුවත් කිරීම කරන්න පුලුවන්.

 

06. ඉවත් විය යුතු තැන ඉවත් වෙමු

මෙන්න මේක ඉතාම වැදගත් කාරණාවක්. සාමාන්‍යයෙන් ගැටුමක් ඇති වෙන්න එනකොට, අපි පැරදුම ලබාගන්න කැමති නෑ. අපි හැමෝටම දිනුම ගන්නනේ වුවමනා වෙන්නේ. හැබැයි දෙපැත්තම එහෙම පරාජයක් ලබාගන්න අකමැතිව දිනුම ලබන්නට දඟලනකොට තමයි ගැටුම් ඉතාම ඉක්මනට උණුසුම් තත්වයන් දක්වා උඩු දුවන්නේ. අන්න ඒ නිසා, විශේෂයෙන්ම මේ කාලෙදී කවුරුහරි අපිත් එක්ක කට ගහගෙන, ඇඟට එනවා නම්, අපිත් ඒකට ඒ භාෂාවෙන්ම ප්‍රතිචාර දක්වන්න යන එක නරකයි. ඊට වඩා, අපි ඕනෑම තත්වයක් උණුසුම් අතට හැරෙනවා නම්, වහාම එතනින් ඉවත් වෙන්න කටයුතු කරන්න ඕන. එතනදී, කොහොම හරි අපි දිනුම ලබාගන්න තියෙන වුවමනාව මැඩපවත්වා ගන්නත් ඕන.

 

07. කතා කරන්න පුලුවන් කෙනෙක්ට කතා කරමු

අපිට මේ තියෙන පීඩනකාරී තත්වයේදී, ඒ පීඩනය පුපුරා යන්න පුලුවන් තැනකදී පුපුරා යන්න පුලුවන්. අන්න ඒ නිසා, අපි ඒ පීඩනය හරි විදියට පිට කරන්න ක්‍රම හොයාගන්න වුවමනායි. දැන් තෙල් පෝලිමක, ගෑස් පෝලිමක එහෙම ඉන්නකොට, ඒ පීඩනය පිට වෙන්නේ තවත් කෙනෙක් එක්ක රණ්ඩුවක් විදියට නම්, ඒක භයානකයි. අන්න ඒ නිසා, හොඳම දේ තමයි, එහෙම තත්වයකදී තවත් කෙනෙක් එක්ක කතා කරන එක. හැබැයි ඒ කතාබහ තවත් ආවේගයන් අවුස්සන, හැඟීම් කුප්පන කතාබහක් වීම ගැටළුවක්. අන්න ඒ නිසා, හොඳම දේ තමයි තමන්ට කේන්තියක්, පීඩනයක් දැනෙනවා නම්, තමන්ගේ විශ්වාසවන්ත මිතුරෙක් හරි ඒ වගේ කෙනෙක් එක්ක කතා කරන එක.

 

මේ වගේ වෙලාවක ඕන නම් තමන් එක්ක පෝලිමේ හරි විරෝධතා ව්‍යාපාරයක ඉන්න කෙනෙක් එක්ක හරිත් කතා කරන්න ඕන. හැබැයි ඒ කතාබහ තවත් ලේ රත්කරන කතාබහක් නොවී, “පවතින තත්වයට මොන වගේ විසඳුම් ද හොයාගන්න පුලුවන්” වගේ කතාබහක් වුණාට කමක් නෑ.  

 

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි රට ගැන හිතන්න ඕන. රටේ පාලකයෝ මේ අර්බුදය විසඳන්න අසමත් නම්, රටේ පාලකයෝ මේ අර්බුදය ගැන ගාණක් නැතුව ඉන්නවානම්, රටේ පාලකයෝ මේ අර්බුදය තවත් උග්‍ර කරන්න කටයුතු කරනවා නම්, මිනිස්සු ඒ පාලකයන්ව ගෙදර යවන්න පෙළගැහෙන්න ඕන. ඔය ඔක්කොම ඇත්ත. හැබැයි ගැටුම් ඇති කරගැනීමෙන්, ක්ෂණික කෝපයට ඉඩ දීලා කටයුතු කිරීමෙන්, ඒ හින්දා දරුණු වැඩ කිරීමෙන් කාටවත් සෙතක් වෙන්නෙ නෑ. ආන්න ඒ නිසා, වෙන කවදාටත් වඩා සිහිය තියාගෙන, මොළේට ඉඩ දීලා වැඩ කරන්න ඕන දැන් තමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *