විමංග ලිපියේ හිමිකරු ජයන්ත සුරවීර කියන කෙනාව අමතන්න හිතුවේ අපාර්ට්මන්ට් එකට ගිහිල්ලත් සෑහෙන්න වෙලාවක් කල්පනා කලාට පස්සෙ. ජයන්ත කියල නමක් අප්පච්චිගේ කටින් කියවෙනවා විමංගගේ මතකයේ තිබිලම නැති තරම්. එහෙම නමක්වත් කියවුණු නැතිතරමේ යාළුවෙකුගෙන් මෙහෙම ලියුමක් ලැබීම එක අතකට විමංගට පුදුමයක්. ඔක්කොටම වඩා මේක අම්මලාම අටවපු මොකක්හරි උගුලක් වෙන්න බැරිද කියන එකත් විමංගට හිතුණා. කොහොමවුණත් හිතින් මුළුමනින්ම අමතක කරලා හිත හදාගත්ත ප්‍රශ්නය ආයේ මුල ඉඳලම හිතට වදදෙන්න අරගෙන බව විතරක්ම විමංග පැහැදිලිව දැනගෙන හිටියා. ඒ කරදරය ඉවරවෙන්න නම් මේ ගැටලුව ලිහාගන්න මේ ජයන්තට කෝල් එකක් ගන්නම ඕන බව විමංග හිතුවේ ඒකයි.
විමංග හිතේ තිගැස්මෙන් ෆෝන් නම්බර් එක ඩයල් කරලා ෆෝන් එක කනේ තියාගත්තා. අනෙක් පසින් පිළිතුරු ලැබුණේ සෑහෙන්න වෙලාවක් රින්ග්ස් ගියාට පස්සේ.
“හෙලෝ..” ඒක ටිකක් ගැඹුරු කටහඬක්. ඒ හඬ එක්කම හිතේ තිගැස්ම වැඩි වුණත් විමංග වෙනසක් නොදැනෙන්න පිළිතුරු දෙන්න උත්සාහ කළා.
“හෙලෝ.. මේ ජයන්ත සුරවීරද කතා කරන්නෙ?
“ඔව්.. මම තමයි ජයන්ත. කව්ද මේ?” ගැඹුරු කටහඬින් පිළිතුරක් එක්කම තවත් ප්‍රශ්නයක් ඇහුණා..
“අන්කල් මේ.. මම විමංග.. ජයදේවගේ ලොකු පුතා.. අර අන්කල් ලෙටර් එකක් එවලා තිබ්බේ”
“ආ.. විමංග පුතා.. එකක් නෙමේ දරුවෝ.. පණිවිඩනම් කීයක් එව්වද. ඉතින්? ඒ වතාවෙනම් ඔහු පිළිතුරු දුන්නේ තරමක් සුහඳ හඬකින්.
“අනේ මට ලැබුණේ මේ ලියුමයි තව එක පෝස්ට් කාර්ඩ් එකකුයි විතරයි අන්කල්” විමංගත් හිනාවක් එක්කම පිළිතුරු දුන්නා..
“ඔව් ඔව්.. මට හිතුණා පුතා. ඉතින් කොහොමද කැම්පස් එකේ වැඩ එහෙම?
මේ ඔළුව විකාරවෙන විදිහේ සටහනක් එක්ක ලියුමක් එවපු මනුස්සයා ආගිය තොරතුරු කතාකරන එක ගැන විමංගට ඇතිවුණේ තරහක්. කෙලින්ම කාරණේ කිව්වනම් ඉවරනේ කියලයි විමංගට හිතුණේ. කොහොමවුණත් එකපාරම ඒක අහන්න බැරිකමට විමංග පිළිතුරු දුන්නා.
“හොඳයි අන්කල්.. කරගෙන යනවා”
“මොකක්ද පුතා ඔයා ෆලෝ කරන ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එක?
“මම බිස්නක් මැනේජ්මන්ට් අන්කල් කරන්නෙ”
“මට ජයේ කියල තිබුණා. කැම්පස් එක ගැනත් කිව්වට මට පුතාගෙ පේපර් ආටිකල් එක දකිනකන්ම ඔලුවට ආවෙ නැහැ කැම්පස් එකට ලියුමක් යවන්න පුළුවන් බවක්”
කැම්පස් එකේ ලිපිනයට ලියුම ලැබුණ විදිහ ගැන ප්‍රශ්නයටනම් පිළිතුර විමංගට ඒ විදිහට ලැබුණා. ඒත් තව දැනගන්න දේවල් කොයිතරම්ද කියල හිතමින් ඔහු පසුවුනේ තරමක් නොසන්සුන්ව.
“ඉතින් පුතා..” එහෙම කියලා ලොකු සුසුමක් පිටකරපු ජයන්ත සුරවීර නැවත කතාව ආරම්භ කලා
“ජයේ මගේ හොඳ යාලුවෙක් පුතා.. ඔයා දන්නවට වඩා හොඳ යාළුවෙක්. පුතානම් මාව දන්නෙ නැහැ. ඒත් සුරේ කියල අහලා ඇති” සුරේ කියල යාළුවෙක් ගැනනම් අප්පච්චි සමහර දවසට කිව්වා බව විමංගට මතක් වුණේ එතකොට. සුරේ දුරක ඉන්න බවත්, දවසක මුණගැහෙන්න යන්නම ඕන බවත් අප්පච්චි කිව්ව ඔහුට මතකයි.
“පුතා.. ජයේ මට කියල තිබ්බ ඔයා එයාට සෑහෙන්න ක්ලෝස් බව. ඔය දෙන්නා නිතර ඩිනර් වලට යන රෙස්ටුරන්ට් එකක් තිබ්බ නේද.. මොකක්ද මේ…” සුරවීර මහතා යමක් මතක් කරන ස්වරයකින්
“ස්ටේෂන් එක අන්කල්. දෙහිවල”
“අන්න හරි.. මම ඒත් ඒ දවස්වල ජයේට හිනාවුණා. උබ ලෝභකමට කොල්ල එක්ක කෝච්චි ස්ටේෂන් ගානේ යනවා කියල” ඔහු ඒ කොටස කිව්වෙනම් හයියෙන් හිනාවෙන ගමන්.
“ජයේ ගියා කලින් වැඩියි පුතේ.. මොනවා කරන්නද? අපිත් ඉතින් අදද හෙටද දන්නෙ නෑ මේ හිටියට” ඒ අවසාන කොටස කතාවට එකතුවුනේ සුසුම් හඬකුත් එක්කයි.
විමංග නිශ්ශබ්දව දිගටම අහගෙන හිටියා
“මම කතාවට බහින්නම් පුතා. ජයේ නැතිවෙලා කියන ආරංචියෙන් හරියටම සතියකට පස්සෙ ඉඳලා මේ වෙනකන් මම පුතාට පෝස්ට් කාර්ඩ් දහයකට වඩා එව්වා. ඔක්කොම ගෙදර ඇඩ්‍රස් එකට. පුතාව කන්ටැක්ට් කරගන්න වෙන ක්‍රමයක් මට තිබුණෙම නැහැ. ඒ හැම කාර්ඩ් එකටම වගේ මට විමංග කෙනෙක් කතාකලා” ඔහු ඒ කොටස කිව්වේ නැවතත් හයියෙන් හිනාවෙමින්
“අනේ මම කතාකලේ නැහැනෙ අන්කල්” විමංග කිව්වෙ පුදුමයෙන්
“මම දන්නව පුතා. ඒ හොර විමංගලා.. ඒකයි මම පුතාගෙන් මේ තරම් විස්තර ඇහුවේ මේ දැන් උනත්”
“අනේ මට මේ කතාවේ අගක් මුලක් තේරෙන්නෙ නැහැ අන්කල්”
“මම කියල දෙන්නම් කොල්ලො. මුල මැද අග ඔක්කොම. හැබැයි මෙහෙම බැහැ. අපි මුණගැහිලා කතාකරමු.
“හරි අන්කල්. මම එන්නම්. ඒත් මට කියන්න මේ කාරණාව මොකක් ගැනද කියලා.. මගේ ඔලුවට මේ හැමදේම හරි වදයක්. කිසිම පැහැදිලිකමක් නැති නිසාම මම මේ දේවල් අමතක කරලයි හිටියේ”
“මට තේරෙනවා විමංග. ඔයා නොදන්න දේවල් ගොඩක් තියෙනවා. මම කිව්වනෙ මම ජයේගේ යාලුවෙක් කියලා. ඒත් හරියටම කිව්වොත් ඒ මගේ සහෝදරයා පුතේ. එකට ඉපදුනේ නැතිවුණාට අපි හැදුනේ එකටම වගේ. ජයේ මට නිතර කතාකලා. මම නිතර ආවේ ගියේ නැත්තෙ ඇයි කියන එකට උත්තරේ පුතාට මාව මුණගැහුනම හම්බවෙයි. ඒත් මේ අද මම කතා කරන්නෙ ජයේ මැරෙන්න කලින් හැමදාම මගෙන් කරපු ඉල්ලීමකට. එයා කලින් ගියොත් පුතාට එන ප්‍රශ්න හැමදෙයක්ම විසඳන්න මම එයාට පොරොන්දු වුණා”
“කොහොමද මම අන්කල්ව මුණගැහෙන්නෙ? ඒ හැමදේම අහගෙන ඉඳලා විමංග අන්තීමට ඇහුවා
“මම පුතාට ඇඩ්‍රස් එකක් එවන්නම්. මම ඉන්නෙ කොළඹින් පිට. කුරුණෑගල. පුතාට එන්න පුලුවන්ද?
“ඔව් අන්කල්. මම එන්නම්. විමංග ස්ථිර හඬකින් පොරොන්දු වුණා
“තව දෙයක් පුතා. මට ජයේ කිව්වා ඔයාගෙ කැම්පස් එකේ පොඩි පලහිලව්වක් ගැනත්” ඔහු ඒ කොටස කිව්වේ හිනාවෙමින්
“මොකද්ද අන්කල්” පලහිලව්ව මොකක්ද කියලා නොතේරුනා නෙමෙයි වුණත් විමංග එහෙම ඇහුවා
“මොකක්ද මේ.. විහාරා ද මොකක්ද කියල නමක් තියෙන දරුවෙක්”
“නිතාරා අන්කල්” විමංග තරමක් ලැජ්ජාවකින් උත්තර දුන්නා
“අන්න හරි. ඒ දුවවත් පුළුවන්නම් එක්කන් එන්න පුතා. ජයේ කෙල්ලව ඔයා තරමටම විශ්වාස කලා. නිතර මාත් එක්ක ඒ දරුවා ගැනත් කිව්වා.
ඒ කතාව ගැන විමංගට ඇතිවුණේ ලොකු සතුටක්. අප්පච්චි නිතූ ගැන ලොකු පැහැදීමකින් හිටපු බව විමංග හැමදාම දැනගෙන හිටියත් අප්පච්චි නැති කාලෙකත් තව කෙනෙකුගේ වචනයෙන් ඒක අහන්න ලැබීම විමංගට සතුටක් වුණා. නිතාරව මේ ගමන එක්කන් යන එක ගැන ලොකු විශ්වාසයක් නැතිවුණත් ඔහු හිනාවෙමින් පිළිතුරු දුන්නා.
“හරි අන්කල්. මම එක්කගෙන එන්නම්”
“හරි පුතා. මම තියන්නම් එහෙනම්. තෙරුවන් සරණයි”
“තෙරුවන් සරණයි අන්කල්”
Leave a Reply