තමන්ට ඇටිටියුඩ් ප්‍රශ්නයක් තියෙනවද කියලා හොයාගන්නෙ මෙහෙමයි!

මේ ගැන අපි කලින් කතා කරලා තියෙනවා. මොකක්ද ඇත්තටම මනුස්සයෙක්ගේ ඇටිටියුඩ් එක කියන්නේ? කවුරුහරි මනුස්සයෙක්ගේ හැසිරීමට, විදියට බලපෑම් කරන්න පුලුවන් විදියේ හිතන පතන විදියක් හෝ දැනෙන විදියක් තමයි ඇටිටියුඩ් එක කියලා හඳුන්වන්නේ. ඒක අපිට ආකල්පයක් විදියට හඳුන්වන්න පුලුවන්. මේ ගැන අපි කලිනුත් කතා කලා, අපේ ඇටිටියුඩ් වල ප්‍රශ්නයක් තියෙනවා නම්, හරි ඇටිටියුඩ් හදාගන්න ප්‍රයෝජනවත් වෙන ටිප්ස් ගැන. ඒකෙන් පොදුවේ මනුස්සයෙක්ට හොඳ ඇටිටියුඩ් එකක් හදාගන්න හැටි, ඒකට අනුගමනය කරන්න ඕන දේවල් ගැන අපි කතා කරලා තියෙනවා. හැබැයි ඒ විතරක් මදි. අපි දැනගන්න ඕන අපි ඇතුළේ නරක ඇටිටියුඩ් තියෙනවා නම්, ඒ ඇටිටියුඩ් නැති කරගන්නේ කොහොමද කියන එක ගැනත්. ඇත්තටම හොඳ ඇටිටියුඩ් ඇති කරගන්න කලින්, එහෙම නැතිනම් හොඳ ඇටිටියුඩ් ඇති කරගන්න උත්සාහ ගන්න අතරෙම අපි අවධානය යොමු කරන්න ඕන කාරණාව තමයි අපි ඇතුළේ තියෙන නරක ඇටිටියුඩ් නැති කරගන්නේ කොහොමද කියන එක.

 

ආන්න ඒ නිසා, අපි හිතුවා, කලින් ඇටිටියුඩ් හදාගන්න ලියපු ආටිකල් එකටත් ගාණට සෙට් වෙන විදියට, අපේ තියෙන නරක ඇටිටියුඩ් නැති කරගන්න පුලුවන් ක්‍රම සහ විධි කීපයක් ගැනත් ආටිකල් එකක් කරන්න. එහෙමනම් කියවගෙන යමු. කියවලා බලමු, මේ නරක ඇටිටියුඩ් නැතිනම් ආකල්ප අපේ ඇතුළෙත් තියෙනවා නම්, එව්වා නැති කරගන්න පුලුවන් වෙයිද කියලා!

 

01. ඕක හරියන්නෙ නෑ!

ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන නරක ආකල්පයක් තමයි කොයි වෙලෙත් බෑහ්, නෑහ්, වෙන්නෙ නෑහ් ගා ගත්තු ගමන් ඉන්න එක. ඕකට කියන්න පුලුවන් සෘණාත්මක වීම කියලා. සාමාන්‍යයෙන් ඔය විදියේ නෙගටිව් ඇටිටියුඩ් එකක් තියෙන මනුස්සයෙක් වුණහම වෙන්නේ, තමන්ගේ ජීවිතේ කිසිම සාර්ථකත්වයක් නැතිවෙන එක. ජීවිතේ ඔහේ ගලාගෙන යනවාට යනවා. හැබැයි සංවර්ධනයක්, සාර්ථකත්වයක් නෑ. ඒ විතරක් නෙවෙයි, අපිට ඔය හැම වෙලේම නෙගටිව් ඇටිටියුඩ් එකක් තියෙනකොට, ඒක අපි වටේ ඉන්න අයටත් නරකට බලපානවා. නෙගටිව් වීම කියන්නේ ඇත්තටම බෝ වෙන රෝගයක් වගේ. දැන් අපි ඔහොම ආකල්පෙකින් ඉන්නකොට අපිට කිසිම දේක හොඳක් දකින්න බෑ. නරකමයි පේන්නේ. දේක නරක දකින එකේ වැරැද්දක් නෑ, ඒකෙන් අපිට ප්‍රවේසම්කාරී තීරණ ගන්න පුලුවන්. හැබැයි ඒක උපාය මාර්ගික දෙයක් මිසක් ආකල්පයක් වුණහම තමයි ඔය නෙගටිව් ගතිය එන්නේ. අන්න ඒක අවුල්. 

 

මේ නෙගටිව් ඇටිටියුඩ් එක හදාගන්න හොඳම ක්‍රමයක් තමයි, ධනාත්මකව හිතන මිනිස්සුන්ව ඇසුරු කරන එක.

 

02. අනික් අය ගැන උපකල්පන!

දැන් ඔන්න අපි මනුස්සයෙක් දෙයක් කරන දිහා බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව ඒක කරන විදියට නැතුව ඒ මනුස්සයා වඩාත් සාර්ථක, ලෙහෙසි විදියකට කරනවා. අන්න එතකොට අපි උපකල්පනය කරනවා මේ මනුස්සයා වැඩේ කරන විදිය වැරදියි කියලා. ඔන්න තව උදාහරණයක් ගමු. අපි දකිනවා පාරේ යන මනුස්සයෙක් නිකම් ටී ෂර්ට් එකක් දාගෙන, රබර් සෙරෙප්පු දෙකක් දාගෙන යනවා. අන්න එතකොට අපි උපකල්පනය කරනවා මේ මනුස්සයා වැදගැම්මකට නැති කෙනෙක් කියලා. සමහර වෙලාවට අපි ඒ කෙනාව පහත් කරලා සලකනවා. ඔන්න ඕවා තමයි එදිනෙදා අපිට දකින්න ලැබෙන මිනිස්සු තවත් මිනිස්සු ගැන කරන සරල උපකල්පන. ඇත්තටම මීට වඩා සංකීර්ණව අපි තවත් මිනිස්සු ගැන උපකල්පනයන් කරනවා. එහෙම කරන සෘණාත්මක උපකල්පන නිසා ගොඩක් වෙලාවට අපි අතින් මිනිස්සුන්ව කොන් කෙරෙනවා, පහත් විදියට සැලකෙනවා. ආන්න ඒක තමයි අපි දේවල් හරි හැටි නොදැන උපකල්පනයන් කරන එකේ ගැටළුව.  

 

මේ බෑඩ් ඇටිටියුඩ් එක නැති කරගන්න හොඳම ක්‍රමය තමයි, මිනිස්සු හැම කෙනෙක්ටම, සමානව සලකන එක. කිසිම කෙනෙක්ව පූර්ව විනිශ්චය නොකරන පුරුද්දක් ඇති කරගන්න එක.

 

03. තමන් වටේ තමයි ලෝකේ කරකැවෙන්නේ!

සමහරු ඉන්නවා, හිතාගෙන ඉන්නේ ලෝකේ කරකැවෙන්නේ තමන්ගෙ වටේ කියලා. ඒ කියන්නේ ඒ විදියේ අය හිතනවා කොතන ගියත් තමන්ට හැමෝගෙම අවධානය ලැබෙන්න ඕන කියලා. ඒ වගේම, තමන්ට හැමතැනම ප්‍රමුඛස්ථානය ලැබෙන්නත් ඕන කියලා. ඇත්තම කිව්වොත් ඒක එයාලා ඩිමාන්ඩ් කරනවා. සමහර වෙලාවට ඒක අනික් මිනිස්සුන්ට කරදරයක් වෙන තරමට දුර දිග යනවා. ඇත්තටම අපිට එහෙම ආකල්පයක් තියෙනවා නම්, ඒක බෑඩ් ඇටිටියුඩ් එකක් විදියට තමයි ගන්න සිද්ධ වෙන්නේ. එහෙම අය අඩු ගාණේ පිරිසක් කතා බස් කර කර ඉන්නකොට තව කෙනෙක්ට කතා කරන්නවත් නොදී තමන්ම කතා කරන තරමට දුර දිග යනවා. 

 

මේ නරක ආකල්පය නැති කරගන්න හොඳම දේ තමයි, තමන් වගේම අනික් හැමදෙනාමත් විශේෂයි කියලා හිතන්න පටන් ගන්න එක. තමන් ලස්සන නිසා හෝ, තමන් පිරිමියෙක් හෝ ගැහැණියක් නිසා හෝ, තමන් ඉගෙන ගෙන තියෙන නිසා හෝ, තමන්ට සල්ලි තියෙන නිසා හෝ, තමන්ට වෙනයම් දෙයක් තියෙන නිසා හෝ කොහේවත් විශේෂ සැලකිලි ලැබිය යුතුයි කියන අදහසින් මිදෙන එකත්, මේ ආකල්පය නැති කරගන්න වැදගත් වෙයි.

 

04. අතීතයේම එල්ලිලා!

ඔය කියමනක් අහල තියෙනවද, අතීතය මැරිලා ඉවරයි, අනාගතය ඉපදිලා නෑ, ඒ නිසා වර්තමානයේ ජීවත් වෙන්න කියලා තියෙන්නේ. ඕක මේ කියන නරක ආකල්පය සම්බන්ධයෙන් ගත්තහම සෑහෙන්න වැදගත් වෙනවා. අතීතය මතක තියාගන්න එක හොඳයි. හැබැයි අපි අතීතය මතම පදනම් වෙලා වර්තමානයේ උපකල්පනන් කරන්න යන යන එක ඒ තරම් හොඳ නෑ. උදාහරණයක් ගමු. අපි ඉස්සර යාළුවෙලා හිටපු කෙල්ල අපි ඉන්නකොටම තව කොල්ලෙක් එක්කත් සෙට් වෙලා අපිට බොරු කරනවා. දැන් ඒ සම්බන්ධය ඉවරයි. හැබැයි අපි දැන් මුණගැහෙන හැම කෙල්ලෙක් දිහාම බලන්නේ ඒ වපර ඇහෙන් ම තමයි. හැබැයි අපි කොහොමද කියන්නේ අතීතයේ වෙච්ච එක සිදුවීමක් නිසා, වර්තමානයේ දීත් අනාගතයෙදීත් දේවල් සිද්ධ සිද්ධ වෙන්නේ ඒ විදියටමයි කියලා.

 

මේ නරක ආකල්පයෙන් මිදෙන නම් අපිට අතීතයේ ජීවත් වෙන එක නවත්තන්න වෙනවා.

 

05. මොකක් වුණත්, කාගෙ හරි තමයි වැරැද්ද!

දැකල තියෙනවද සමහරු ඉන්නවා මොන දෙයක් වුණත් ඒකට වරද පටවන්න කවුරු හරි හොයාගන්න. තමන්ගෙ අතින් කෝප්පයක් බිඳුනොත්, ඒකට වැරදි කාරයා වෙන්නේ කෝප්පෙට එහා පැත්තෙන් පිඟානක් තිබ්බ කෙනා. අපිට මොකක් හරි කැම්පස් එකේ ඩෙඩ්ලයින් එකක් මිස් වුණොත්, ඒකට වැරදිකාරයා වෙන්නේ අද උයන්න විනාඩි පහක් පරක්කු වුනු අම්මා. ඔන්න ඔය වගේ මේ නරක ආකල්පය තියෙන අය, තමන් අතින් වැරැද්දක් වුණත්, අනුන් අතින් වැරැද්දක් වුණත් ඒකට වැරැද්ද පටවන්න තමන් නැතුව වෙන කවුරුහරි කෙනෙක් හොයා ගන්නවා ම තමයි.

 

මේ නරක ආකල්පය මග හරින්න නම් කරන්න ඕන එක දෙයයි. කිසියම් දෙයක් උනහම ඒකේ වැරැද්ද තියෙන්නේ කොතනද කියල අපක්ෂපාතීව හිතන්න ඕනා. වැරැද්ද තියෙන්නේ තමන් අතේ නම් ඒක පැහැදිලිවම බාරගන්න නිර්භීත වෙන්න ඕන.

 

06. අසමත් වෙන්න බයයි!

මේක ඇත්තටම අනිත් අයට ප්‍රශ්නයක් වෙන නරක ආකල්පයක් නෙවෙයි. අසමත් වෙන්න බය වෙන එක නරක ආකල්පයක් නම්, ඒකෙන් ප්‍රශ්නයක් පාඩුවක් වෙන්නෙ තමන්ටම තමයි. ඇයි අපි එහෙම කියන්නේ? 

 

නිකමට හිතලා බලන්න. අපි ඉපදුනු ගමන් ඇවිද්දද? වැටි වැටි අසමත් වෙවී නෙවෙයිද අපි පුංචි කාලේ ඇවිදින්න පුරුදු වුණේ? ඉස්කෝලේ කාලේ ඉගෙන ගන්න කොට ගන්නකොට අපිට කොයිතරම් වැරදිලාද ගානක් හරියට හදන්න ඉගෙන ගෙන තියෙන්නෙ? ඉතින් මේ අසමත්වීම් කියන්නේ ඉගෙන ගන්න තියෙන ක්‍රමවේදය. අන්න ඒ නිසා අසමර්ථ මෙන්න බය නැති වෙන්න ඕනා. ඒකට, අසමර්ථ වීමෙන් තමන්ගේ අගයට හානියක් වෙනවා කියලා ආකල්පය නැති කරගන්න ඕන. 

 

07. මිනිස්සුන්ව තලා පෙලා සිටීම!

මේක ඇත්තටම මිනිසුන් ගොඩක් අය අතරේ තියෙන බොහොම නරක ගතිගුණයක්. ඒ තමයි අනිත් මිනිස්සුන්ව තලා පෙලා කටයුතු කිරීම. විශේෂයෙන්ම මේ විදිහේ ගතිගුණ තියෙන අය, තමන් මොනයම් හෝ තැනක ඉහළින් ඉන්නවා නම්, තමන්ට පහළින් ඉන්න අයට හිරිහැර කරන්න උත්සාහ කරනවා. නිස්කාරණේ තමන් යටතේ ඉන්න සේවකයන්ගේ වැරදි හොයන, හේතු නැතුව සේවකයන්ට බැනවදින බොස් කෙනෙක් වෙන්න පුලුවන්. තමන් කොන්දොස්තර රස්සාව කරන බස් එකට නගින මගීන්ට ලොකු පාට් දාන කොන්දොස්තර කෙනෙක් වෙන්න පුලුවන්. තමන්ට වඩා ශරීර ශක්තියෙන් අඩු අයට ශාරීරික තාඩන පීඩන කරන මැර අයියා කෙනෙක් වෙන්නත් පුළුවන්.

 

ඇත්තටම මෙන්න මේ නරක ගති ගුණයට හේතු වෙන්නේ, එහෙම කරන එක ප්‍රශ්නයක් නෑ කියලා හිතන නරක ආකල්පය. ඒක නැතිකරගන්න නම්, කරුණාව, මානව භක්තිය වගේ ගුණාංග පුරුදු පුහුණු කරන්න සිද්ධ වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *