විල් ස්මිත් ගැන නොදන්න කරුණු කීපයක්!

අපි ඉස්සර විල් ස්මිත් ගැන දැනගෙන හිටියේ අර මෙන් ඉන් බ්ලැක් ෆිල්ම්ස් වල හිටපු ඒලියන්ලා අල්ලන ඒජන්ට් විදියට, එතකොට බෑඩ් බෝයිස් ෆිල්ම් සීරීස් එකේ හිටපු නාහෙට අහන්නෙ නැති පොලිස් රහස් පරීක්ෂක විදියට, ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ ෆිල්ම් එකේ හීරෝ පයිලට් විදියට, හැන්කොක් ෆිල්ම් එකේ සුපර් හීරෝ විදියට, අයි රොබෝ ෆිල්ම් එකේ රොබෝලව පෙන්නන්න බැරි පොලිස් කාරයා විදියට, ඇලඩින් ෆිල්ම් එකේ පහනෙ භූතයා විදියට සහ ඔය වගේ සෑහෙන්න ෆිල්ම් චරිත විදියට තමයි. හැබැයි මේ අවුරුද්දේ අපි විල් ස්මිත්ව දන්නේ ඔස්කාර් සම්මාන උළෙලේ ස්ටේජ් එකේදී තමන්ගේ වයිෆ්ට ඕන්නැති ජෝක් එකක් කරපු නිවේදක ක්‍රිස් රොක් ට කණට ගහපු වීල් සුමිත් විදියට! හරි, දැන් ඔය සිදුවීම එක්ක විල් ස්මිත් හැසිරෙන්න දන්නෙ නැති මනුස්සයෙක් විදියට බොහෝ පිරිසකගේ විවේචනයට පාත්‍ර වුණා වගේම, තමන්ගේ වයිෆ් සම්බන්ධයෙන් සිදු නොවිය යුතු විහිළුවක් සිද්ධ වුණු වෙලාවක ඒකට එරෙහිව නැගී සිටි ස්වාමි පුරුෂයෙක් විදියට තවත් බොහෝ පිරිසකගේ ප්‍රශංසාවටත් පාත්‍ර වුණා. හැබැයි ඔය අවුල් අස්සේ විල් ස්මිත්ගේ සහ බිරිඳගේ සම්බන්ධතාවය ගැන පරණ කතා, ගම්මැදි හෑලි, ඕපදූප එහෙමත් පැතිරෙන්න පටන් ගත්තා. ඔය ඔක්කොම හරි. දැන් අපි ඇත්තටම විල් ස්මිත්ව එයාගේ රඟපෑම් වලින් එහාට දන්නවද? දන්නෙ නෑ කියලා හිතනවා නම්, මෙන්න විල් ස්මිත් ගැන ගොඩක් අය නොදැන ඉන්න පුලුවන් කරුණු කීපයක්!

 

01. ද ෆ්‍රෙෂ් ප්‍රින්ස්

ගොඩක් අය නොදන්නවා වුණාට, විල් ස්මිත් පටන් ගත්තේ නළුවෙක් විදියට නෙවෙයි, මියුසික් කාරයෙක් විදියට.  DJ Jazzy Jeff & The Fresh Prince හිප්-හොප් ඩබල් කණ්ඩායමේ ෆ්‍රෙෂ් ප්‍රින්ස් විදියට තමයි අපි මුලින්ම විල් ස්මිත්ව දකින්නේ. මේ කියන්නේ 1985-1992 කාලෙ ගැන. අහන්න ලැබෙන විදියට, සංගීත වෘත්තියෙන් තමන්ට අවුරුදු 20 පිරෙනකොට විල් ස්මිත් මිලියනපතියෙක් වුණාලු. මේ සෙට් එක 189 ග්‍රැමි සම්මාන එහෙමත් අරගෙන තියෙනවා. මේ අයගේ ගීතයක් බිල්බෝඩ් හොට් 100 ලිස්ට් එකේ අංක හතරටත් ඇවිත් තියෙනවා. හැබැයි සල්ලි හම්බු කළාට හරියට ටැක්ස් ගෙවල තිබ්බෙ නැති නිසා, විල් ස්මිත්ගේ වත්කම් රජයට පවරගෙන විල් ස්මිත්ට සෑහෙන්න මූල්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා කියලත් කියනවා. මේ විල් ස්මිත් ෆිල්ම් ස්ටාර් කෙනෙක් වෙන්න කලින් කාලේ.

 

02. සල්ලිකාර විල් ස්මිත්

විල් ස්මිත් කියන්නේ බොහොම සාර්ථක හොලිවුඩ් නළුවෙක් කියන එක අපි දන්නවනේ. හැබැයි ඇත්තටම විල් ස්මිත්ගේ වත්කම් කොයි තරම් ඇතිද? විල් ස්මිත් රඟපාපු චිත්‍රපටි ඇමරිකානු ඩොලර් බිලියන 9.3 ක ආදායම් උපයලා තියෙනවා කියලා තමයි IMDb වෙබ්සයිට් එකෙන් කියන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, විල් ස්මිත් පහනේ භූතයා විදියට රඟපාපු ඇලඩින් ෆිල්ම් එක ඩොලර් බිලියන 1.05 ක ආදායමක් උපයලා තියෙනවා. ලේසි නෑ නෙහ්? දැන් එහෙමනම්, විල් ස්මිත්ගේ වටිනාකම කොයි වගේද? Celebrity Net Worth වෙබ් එකේ කියන විදියට, විල් ස්මිත්ගේ ශුද්ධ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් වෙනවලු! හැම අවුරුද්දකම විල් ස්මිත් අඩු ගාණේ ඩොලර් මිලියන 40 ක් වත් උපයනවලු. මේ වැඩිහරියක් ආදායම එන්නේ විල් ස්මිත් කරන චිත්‍රපටි වලින් තමයි.

 

03. ජේඩාට කලින් විල් බැඳලා හිටියා!

මේක සමහරු දන්නවා ඇති. ඒ කියන්නේ ජේඩා ඇත්තටම විල් ස්මිත්ගේ දෙවන බිරිඳ කියන එක. විල් ස්මිත් ඊට කලින් ෂෙරී සැම්පිනෝව බැඳලා හිටියා 1992 දී. ඒ දෙන්නට පුතෙකුත් ලැබුණා 1992 නොවැම්බර් 11. ඒ පුතා තමයි විලර්ඩ් කැරොල් “ට්‍රේ” ස්මිත් III කියන්නේ. කොහොම හරි 1995 වෙනකොට දෙන්නා දික්කසාද වෙනවා. ඊට පස්සේ විල් ස්මිත් ජේඩා කොරෙන් පින්කට් ව විවාහ කරගන්නේ 1997 දෙසැම්බර් 31 වෙනිදා. අහන්න ලැබෙන විදියට මේ දෙන්නා මුණගැහෙන්නේ The Fresh Prince of Bel-Air ෆිල්ම් එකේ ෂූටින් වලදී. ජේඩා ට සහ විල් ට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි ජේඩන් ස්මිත් සහ විලෝ ස්මිත්. මේ දෙන්නම විල් ස්මිත් එක්ක විවිධ චිත්‍රපටි වල රඟපාලා තියෙනවා. ජේඩා සහ විල් දෙන්නා ෆිල්ම් ප්‍රොඩක්ෂන් කම්පැණීස් දෙකකුත් හවුලේ කරගෙන යනවා, Overbrook Entertainment සහ Westbrook Inc නමෙන්.

 

04. MIT යන්න බෑ කියපු විල් ස්මිත්

හැමෝම විල් ස්මිත්ව දන්නේ නළුවෙක් සහ රැපර් කෙනෙක් විදියට වුණාට, විල් ස්මිත් ඉගෙන ගෙනත් තියෙනවා කියලා තමයි අහන්න තියෙන්නේ. උදාහරණයක් විදියට, ඇමරිකාවේ හොඳම විශ්වවිද්‍යාලයක් විදියට සැලකෙන MIT නැතිනම් Massachusetts Institute of Technology එකට යන්න විල් ස්මිත් ට ශිෂ්‍යත්වයකුත් හම්බුණාලු. විල් ස්මිත් බොහොම තරුණ කාලේ ගැන මේ කියන්නේ. හැබැයි විල් ස්මිත් තීරණය කලාලු ඒක නෙවෙයි එයාගේ සිහිනය කියලා. එහෙම හිතලා MIT එකට යන්න තිබුණු ශිෂ්‍යත්වය එයා භාර නොගෙන හිටියලු. එහෙම භාර නොගෙන, රැපර් කෙනෙක් විදියට තමන්ගේ වෘත්තියේ ඉස්සරහට යන්න තීරණය කළාලු. මේ කතන්දරේ ගොඩක් තැන්වල අහන්න ලැබෙනවා. ඇත්ත බොරු මොකක් වුණත්, ගොඩක් විල් ස්මිත් ෆෑන්ස්ලා කියන්නේ, බැරිවෙලාවත් විල් ස්මිත් MIT ගියා නං, මේ වෙනකොට අපිට විල් ස්මිත් කියලා නළුවෙක් ගැන අහන්න ලැබෙන්නෙ නෑ කියලා. විල් ස්මිත් කියලා කවුරුත් නොදන්න ඉංජිනේරුවරයෙක් විතරක් ඉතුරු වෙලා ඉඳී කියලා!

 

05. ගේමක් නැතුව රූබික් කියුබ් විසඳන විල් ස්මිත්

දැන් විල් ස්මිත් කියන්නේ හොඳ හැකියාවක් තියෙන රංගන ශිල්පියෙක් සහ, ඔස්කාර් සම්මාන උළෙලේ ක්‍රිස් රොක් ට කණට ගහපු ඩයල් එක විදියට ගොඩක් දෙනෙක් දැනගෙන හිටියත්, එතනින් එහාට විල් ස්මිත් ඇත්තටම ස්මාට් ඩයල් එකක් කියලා විල් ගැන දන්න බොහෝමයක් දෙනා කියනවා. ඒක වෙන්න පුලුවන් MIT එකට ශිෂ්‍යත්වයක් ලැබුණා කිව්වහම. කොහොම වුණත්, ගොඩක් දෙනෙක් දැකලා තියෙන විල් ස්මිත්ගේ හැකියාවක් තමයි පට පට ගාලා රූබික් කියුබ් එකක් විසඳන්න තියෙන හැකියාව. ඒ කියන්නේ පාට පාට කැට තියෙන රූබික් කියුබ් එකේ හැම පැත්තටම තනි පාට කැට ගේන්න විල් ස්මිත්ට විනාඩි දෙකක් ඇතුළත පුළුවන් ලු. ඇත්තටම මේ හැකියාව Fresh Prince of Bel-Air ෆිල්ම් එකේදිත්, එතකොට Pursuit of Happiness ෆිල්ම් එකේදිත් දකින්න ලැබුණා. ඒ ඇරෙන්න, ලයිව් ටීවී ෂෝ එකකදීත් විල් ස්මිත් බොහොම දක්ෂ විදියට රූබික් කැට විසඳලා පෙන්නලා තියෙනවා!

 

06. විල් ස්මිත් තව පොඩ්ඩෙන් මෙට්‍රික්ස් එකේ!

දැන් මෙට්‍රික්ස් ෆිල්ම්ස් ගැන හිතනකොට අපිට මුලින්ම මතක් වෙන්නේ වෙන කාවද? නියෝගේ චරිතය කරන කියානු රීව්ස් ව නෙහ්? හැබැයි නිකමට හිතලා බලන්න විල් ස්මිත් ඔය චරිතේ කළා නම්, කොහොම වෙයිද කියලා. වැඩි කතා බතා නැති, හැම වෙලේම වගේ තමන්ගේම කල්පනාවක නිමග්න වෙලා ඉන්න නියෝ වෙනුවට, කොයි වෙලෙත් චිල් එකේ ඉන්න, ඕන දේකට කට කැඩිච්ච කතා කියන නියෝ කෙනෙක්ව අපිට දකින්න ලැබෙයිද? සමහර විට එහෙම වෙන්නත් තිබුණා. අපි එහෙම කියන්නේ, අහන්න ලැබෙන විදියට ඇත්තටම මුලින්ම මෙට්‍රික්ස් ෆිල්ම් සීරීස් එකේ නියෝගේ චරිතයට ආරාධනා ලැබිලා තියෙන්නේ විල් ස්මිත් ට කියලා කියන නිසා. හැබැයි විල් ස්මිත් ඒ චරිතේ භාර නොගෙන, වයිල්ඩ් වයිල්ඩ් වෙස්ට් ෆිල්ම් එකේ චරිතය භාරගත්තලු. ඒක හොඳ තීරණයක් ද, මෝඩ තීරණයක් ද කියලා කියන්න අපිට බෑ. හැබැයි ඉතින් මෙට්‍රික්ස් ෆිල්ම් සෙට් එකත් එක්ක බලනකොට වයිල්ඩ් වයිල්ඩ් වෙස්ට් කැලේ කියන එකත් නොකියම බෑ!

 

07. මිස්ටර් ඇන්ඩ් මිසිස් ස්මිත් ලව් එෆෙයාර්ස්

ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි, විල් ස්මිත් සහ වයිෆ් ජේඩා, විශේෂයෙන්ම ජේඩා, විවාහ වුණාට පස්සෙත් වෙන වෙන සම්බන්ධතා පවත්වගෙන ගියා කියන එක. ගොඩක් දෙනෙක් කියනවා ඒ නිසා විල් සහ ජේඩාගේ විවාහය ඕපන් මැරේජ් එකක් කියලා. ඒ කියන්නේ දෙන්නට දෙන්නගේ කැමැත්තෙන් වෙන වෙන සම්බන්ධතා තියාගෙන යන විදියේ සම්බන්ධයක් කියලා. හැබැයි මේ දෙන්නම මේ කතන්දර ට්විටර් ඔස්සේ සහ වෙනත් ක්‍රම වලට ප්‍රතික්ෂේප කරලා තිබුණා. විල් ස්මිත් කියන්නේ එයාගෙ රැජිණ ජේඩා කියලා. ජේඩා කියන්නේ විල් තමයි එයාගේ රජු කියලා. හැබැයි ඔහොම කිව්වට, ජේඩාගේ එහෙම තිබුණු සමහර සම්බන්ධකම් ඇත්ත කියලා එයාම පිළිඅරගෙනත් තිබුණා. තමන්ගේ ඕපන් මැරේජ් එකක් නැහැ කියන ගමන්ම මේ දෙන්නා කියන්නේ, “විල් සහ මගේ අතරේ තියෙන්නේ එකිනෙකා කෙරෙහි විශ්වාසයක්. අන්න ඒ නිසා, අපි දෙන්නට අපි දෙන්නට ඕන දෙයක් කරන්න පුලුවන්, ඒකට කියන්නේ ඕපන් මැරේජ් කියලා නෙවෙයි, ඒකට කියන්නේ මුහුකුරා ගියපු විවාහයක් කියලා” තමයි!

 

ආ තව දෙයක්. අපි හැමෝම විල්ව දන්නේ විල් ස්මිත් කියන නමෙන් වුණාට, ඇත්තටම විල් ස්මිත්ගේ නම ටිකක් වෙනස්. විලර්ඩ් කැරොල් ස්මිත් II තමයි උපතේදී විල්ට ලැබුණු නම!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *