විමංග කාර්යාලය පැත්තට ඇවිදගෙන ගියේ තරමක පුදුමයකුත් එක්ක. අද වෙනකන් පුරවපු කිසිම අයදුම්පතක, ලිපිනය ඉල්ලපු කිසිම තැනක මේ කැම්පස් එකේ ඇඩ්‍රස් එකනම් නොලියපු බව විමංගට හොඳටම විශ්වාසයි. එතකොට මොකක්ද මේ කියන ලියුම. අනික ලෙක්චරර් චමින්ද කියපු ඔෆිස් එකෙන් ලේටර්ස් බාරගන්නෙ නැහැ, එයාලට කරදරයක් කියන එකත් විමංගගේ හිතට හරි අවුලක්. කොහොම වුණත් බලලම ඉන්න එපැයි කියල හිතාගෙන විමංග පය ඉක්මන් කළා.
“එක්ස්කියුස් මී.. මම විමංග.. අර ලෙටර් එකක් ඇවිල්ල තියෙනවා කියල මැසේජ් එකක් තිබ්බා” විමංග එහෙම ඇහුවේ ඔෆිස් එකේ ඉස්සරහම ටේබල් එකේ හිටපු ලේඩිගෙන්.
“ඔයාට ආපු ලියුමක්ද?” අනිත් පැත්තට ඇහුණේ එහෙම ප්‍රශ්නයක්.
“ඔව්.. එහෙම තමයි මැසේජ් එක ලැබුණෙනම්”
“පොඩ්ඩක් ඔයාගෙ කෝස් කොර්ඩිනේටර්ගෙන් අහනවද? මෙතනටනම් එහෙම මුකුත් ඇවිල්ලා නැහැ” ඇය පිළිතුරු දුන්නා..
“හරි.. තෑන්ක්ස්” එහෙම කියාගෙනම විමංග ඇතුලට ඇවිදගෙන ගියා..
කලින් කරපු බාහිර වැඩ කිහිපයකම මුල්තැන අරගෙන වැඩ කරපු නිසා කෝස් කොර්ඩිනේටර් නම් විමංගව තරමක් අඳුරනවා..
“විමංග නෙ? ලෙටර් එක අහන්නද ආවේ” ළඟට යනකොටම හිනාවක් එක්කම ඒ ප්‍රශ්නය ඇහුණා.
“ඔව්නේ.. මේ අද තමා මැසේජ් එක ආවෙ” විමංගත් කිව්වෙ හිනාවෙමින්
“සති දෙකක් ඇතුලත ලේටර්ස් දෙකක් ආව විමංග. ලෙටර් එකක් කිව්වට පළවෙනි එක පෝස්ට් කාර්ඩ් එකක්. විහිලුවට එවපු එකක් කියල අපි ගණන් ගත්තෙ නැහැ. මෙහෙට ස්ටුන්ඩන්ට්ස්ලගෙ ලේටර්ස් එන්නෙ නැහැනෙ සාමාන්‍යයෙන්”
“ඒක තමයි. මමත් ඇඩ්‍රස් දීල නැහැ කවදාවත්. මටත් හිතාගන්න බැහැ කොහෙන් ආපු එකක්ද කියල. සොරි ඇත්තටම” විමංග එහෙම කිව්වෙ ඇත්තටම කණගාටුවෙන්.
“නෑ නෑ.. ඒකටනම් කමක් නැහැ. ආයේ එවන්න එපා කියන්නකෝ” ඇය කිව්වේ හිනාවෙමින්
“මේ තියෙන්නේ ලේටර්ස් දෙක. දෙවෙනි එකනම් රෙජිස්ටර් පෝස්ට්ම එවල. රිටර්න් ඇඩ්‍රස් දාල තියෙන්නෙ ලෝයර් කෙනෙක්ගෙ නමින්. ඒක නිසයි අපිත් මේක සීරියස් ගත්තේ” ඇය ලිපි දෙක විමංගට දෙන ගමන්ම එහෙම කිව්වා.
ලෝයර් කෙනෙක් කියද්දිම විමංගගේ හිත ගැස්සිලා ගියත් ඔහු වෙනසක් නොපෙන්වා ලියුම් දෙකත් අරගෙන එලියට ආවා. ලියුම් දෙක එහෙමම බෑග් එකට දාගත්ත විමංග මුලින්ම කලේ නිතාරට ඇමතුමක් ගන්න එක.
“බබා.. කැන්ටිමට එන්න.. තනියම හොඳේ.. අමාව යවන්න” එහෙම කියලා නිතූගේ පිළිතුර ඇහෙන්න කලින්ම විමංග ෆෝන් එක කට් කළා.
විමංග කැන්ටිමට යද්දී නිතාර එතනට ඇවිල්ල හිටියා.
“අයියෝ අමාගෙන් ප්‍රශ්න කෝටියයි. බලෙන් යැව්වේ. ඇයි විමංග. මොකක්ද ප්‍රශ්නේ? විමංගව දැක්ක ගමන් නිතාර නැවතුමක් නැතුව දිගටම කියාගෙන ගියා.
“ලියුම් දුන්නා බබා. ලෝයර් කෙනෙක්ගෙන්ලුනෙ” විමංග කිව්වේ බැරෑරුම් මුහුණක් මවාගෙන.
“කෝ බලමු ඉතින්” නිතාරා පුරුදු සැහැල්ලුවෙන්ම කිව්වා
විමංග කෙලින්ම ලියුම් දෙක අරන් නිතාරා දෙසට දිගු කළා.
“ඔයාම බලන්න එක්කො. මට බයයි” තවමත් ඔහු හිටියේ ප්‍රශ්නාර්ථය, බය දෙකම රැඳුනු මුහුණකින්.
“පිස්සු.. කෝ මෙන්න මෙහාට දෙන්න” නිතූ දෙපාරක් නොහිතාම ලියුම් දෙක ඇදලා ගත්තා
“කෝ ලියුමක් කිව්වට මේක කාර්ඩ් එකක්නේ.. අනේ ෂෝයි අනේ.. ඉස්සර වෙසක් වලට වගේ” හිනාවෙමින් එහෙම කියපු නිතාරා කාර්ඩ් එක අනෙක් පැත්ත හරවමින් බැලුවා..
“විමංග පුතා.. කෝල් එකක් දෙන්න” එහෙම ලියපු කාර්ඩ් එකේ යටින් පැහැදිලි ඉලක්කමෙන් ලියපු දුරකථන අංකයක් තිබුණා..
“මේ මොකක්ද අනේ මේ?” ඒ ගමනනම් නිතූගේ මුහුණේත් රැඳුනේ පුදුමයක්. නිතාරා අනෙක් ලියුමේ කවරය ගලවන අතරේ විමංගත් කාර්ඩ් එක අරගෙන දෙපැත්ත හරවමින් බැලුවා.
“මේකනම් ප්‍රින්ටඩ් ලෙටර් එකක්” මුද්‍රිත අකුරෙන් තිබුන ලියුම දිගහරින ගමන් නිතූ කිව්වා..
“විමංග පුතා, මේ ලිපිය ඔයාගේම අතට ලැබෙන බව සහතිකයි. ඒ නිසයි විස්තරාත්මකව ලියන්න තීරණය කලේ. කලින් ඔයාට යොමුකරපු පෝස්ට් කාර්ඩ් සියල්ලම එව්වේ මා විසින්ම තමයි. ඒවාට නිසි පිළිතුරක් නොලැබුණ නිසයි ලිපියක් මඟින් ඔයාව සම්බන්ධ කරගන්න සුදුසුම ක්‍රමයක් සොයා බැලුවේ”
“පෝස්ට් කාර්ඩ් සියල්ල කිව්වේ.. එකනෙ බබා ඉතින්?” නිතූ ලිපිය කියවන එක නවත්තලා විමංගගේ මුහුණ දිහා බැලුවේ කුතුහලයෙන්.
“විමංගගේ මුහුණේ තිබුනේ ඊටත් වඩා සීරියස් පෙනුමක්. “කියවන්නකෝ” ඔහු වෙනසක් නොපෙන්වාම කිව්වා.
“මම ඔයාගෙ අප්පච්චි බොහොම සමීපව ආශ්‍රය කල මිතුරෙක්. මෑත කාලයේ අපි හමුවෙලා නැති නිසා පුතා මම ගැන නොදන්නවා ඇති. වැඩිදුර විස්තර මුණගැහුණු වහාම කියන්නම්. හැකි ඉක්මනින් පහත අංකයෙන් මා අමතන්න. මේක තරමක් හදිසි, ඔයාගෙ අප්පච්චි සම්බන්ධ කාරණාවක්” මම ජයන්ත සුරවීර
“ඔයා දන්නවද විමංග ජයන්ත කියල කෙනෙක්. මේක විහිලුවක්ද?” ඒ පැනයත් නිතාරාගෙන්මයි.
“නැහැ.. ඔය කියල තිබ්බෙ මම දන්නෙ නෑ කයල” විමංග තාමත් හිටියේ කල්පනා කරමින්මයි.
“ඔයාට තේරෙනවද මේ මොකක්ද කියලා?” නිතාරා දිගටම ප්‍රශ්න කළා
“ඔව්..” එහෙම කියමින් විමංග ඉඳගෙන හිටපු පුටුවෙන් නැගිට්ටා.
“ඔය යන්නද ඔයා? කියල යන්නකො අනේ” නිතාරා හිටියේ නොඉවසිල්ලෙන්
“නෑ නෑ.. ඉන්න මම කන්න මොනාහරි අරන් එන්නම්. ටිකක් කතා කරමු.
විමංග ආපහු එනකන්ම නිතාරා කලේ ලියුම එහෙට මෙහෙට හරවමින් කල්පනා කරපු එක. කොච්චර හිතුවත් මේකේ අගක් මුලක් ලෙහාගන්න නිතූටනම් පුළුවන් වුණේ නැහැ.
“හරි..” අයිස් කොෆී දෙකක් එක්ක ෂෝර්ට් ඊට්ස් පිඟානක් මේසය උඩින් තියපු විමංග කතාව පටන් ගත්තා
“පෝස්ට් කාර්ඩ් කිහිපයක් ආවා නිතූ. ඒවා තමයි අර සුමනම්මා කියන්න ඇත්තේ. අම්මා නැහැමයි කිව්වේ. මතකද ඔයාට?”
“ආ.. ඔව්.. එතකොට ඇයි මේ? මොකක්ද මේ? කව්ද මේ? ඇයි අම්මා ඔයාට කිව්වෙ නැත්තේ?” නිතූට අහන්න ප්‍රශ්න පත්තරයක්ම තිබුණා
“අප්පච්චි ගැන නිසා නිතූ. ඔය ලෝයර්ගේ නමයි ලියුමේ නමයි වෙනස් නේද? පොඩ්ඩක් බලන්න” විමංග කිව්වේ ලියුම අතට ගන්න ගමන්.
“ආ ඔව්මයි. ඔයා කොහොමද දන්නෙ?” නිතූ ඇහුවේ ලියුම් කවරය හරවමින් බලන ගමන්
“මට නෝට් වුණා. මේ ලෝයර් ගැන මට මතකයි. කම්පැණි වැඩ වලදී එයා එනවා. මට ෂුවර් මේ අප්පච්චිගේ ලාස්ට් විල් එක ගැන. ඒත් ඇයි ලෝයර් මට කෙලින්ම කතා නොකර මේ වෙන මනුස්සයෙක් අතේ පණිවිඩ එවන්නෙ කියලයි මට තේරෙන්න නැත්තෙ? අනික කියන දෙයක් එයාල අම්මට කියල ඇතිනෙ. ඒකනේ අම්ම කිව්වෙ එදා මට දෙන්න ඕන දේවල් දීලා ඉවරබව”
“ඉතින් විමංග ඔයා ලෝයර්ව දන්නවනම් අපි කෙලින්ම අහමුකෝ. නැත්තම් මේ නම්බර් එකට කෝල් එකක් ගමුද දැන්?” නිතාරට තිබුණේ පුදුම නොඉවසිල්ලක්
“එපා.. මට නිදහසේ අහගන්න ඕන බබා.. මම ගිහිල්ලම ගන්නම්.. ෂුවර් ඔයාට විස්තරේ අහගෙන කියන්නම්” විමංග නිතූගේ අත උඩින් අත තියන ගමන් එහෙම කිව්වේ පොරොන්දුවක් වෙනව වගේ.
“හරි හරි.. මම දැන් ගමු කිව්වේ දැනගන්න හදිස්සියට. ඒත් ඔයාට හිතෙන විදිහටම හෙමීට කතාකරන එකත් හොඳයි විමංග. එහෙනම් ගිහිල්ලම ගන්න”
“හ්ම්ම්”
Leave a Reply