නූතනයේ ගජමන් නෝනාවරුන් හත් දෙනෙක්

sri Lankan modern poetesses

අපි කාලෙකට කලින් කවියට ආස අය වෙනුවෙන්ම ජනප්‍රිය කවීන් දහ හතර දෙනෙක් ගැන ලිපි දෙකක් පල කලා ඔයාලට මතක ඇති. ඒ ලිපිය ඔයාට මග ඇරුනානම් මේ ලින්ක්ස් වලින් කියවන්න පුලුවන් එහෙනම් අද අපි කතාකරන්නේ මෑත කාලයේ විශිෂ්ට කිවිඳියන් හත් දෙනෙක් ගැන.

මෑත කාලයේ ලංකාවේ හිට් වෙච්ච කවියන් හත් දෙනෙක් – 1 කොටස

මෑත කාලයේ ලංකාවේ හිට් වුණ කවියන් හත්දෙනෙක් – 2 කොටස

01 . වින්‍යා මැණිකේ ජයසේකර

වින්‍යා මැණිකේ ජයසේකර

වින්‍යා මැණිකේ ජයසේකර කියන්නේත් නූතනයේ ඉන්න අතිශය දක්ෂ කිවිඳියක්. ඇගේ නම සමහර විට ඔබ නොඅසා තිබුනත් කවියට ආදරය කරන පාඨකයෙක් නම් අනිවාර්යයෙන්ම ඇගේ කවියක් කියවා ඇති. ඉතින් ඇය මේ වෙනකොට කාව්‍ය සංග්‍රහයන් දෙකක් එලි දක්වලා තියෙනවා . ඒ රෝස නිල් පාට හීන සහ සරුංගල් ප්‍රේමිය කෘතින් දෙක.

කැදලි හැර
නිවාඩුවට ගම් ගිය
පැටවුන් පමායෙන්
සිත දියව වෑස්සෙයි
වසන්තය ගැන

පාළුව ලගින
ඩෙස් බංකු අතර
සිහිනයෙන් මුහුණු මල් පිපෙයි
තවරා කිරි සිනා
සිඟිති කෑමොර

කෙටි බිත්ති පුරවා
ළපටි අතැඟිලි පාට කළ
කොලාජ් සිත්තම්
කිළිටි කරවයි
කාලයේ පින්සල

නෝක්කාඩු අඬ දබර
ඉදිරියේ මවා ගත් දැඩි බව
වෙඬරු වී වැගිරී
කඩා විසි කළා මා
වේවැල

අනේ සුළඟේ
රැගෙන යන් මා පණිවිඩ
කුරුලු පැටවුන් වෙත
”ගුරු කිරිල්ලිය සොවින් වග ”

– සරුංගල් ප්‍රේමිය කෘතියෙන්

02. අනුරාධා නිල්මිණි

අනුරාධා නිල්මිණි

මේ විශිෂ්ට කිවිඳිය ගැන අපි මීට කලිනුත් කතාකලා ඔයාලට මතක ඇති. ඇත්තටම ඇයත් කාලයක් තිස්සේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ කිවිඳියක්. ඒ වගේමයි ඇය නවකතාකාරිනියක්ද වෙනවා. ඇගේ කෘති හා කවි සෑහෙන්න කවියට අකුරට ආදරය කරන අය අතර අතිශයින්ම ජනප්‍රිය වුනා. නාරි සූත්‍රය, රිදුම් පිරි පිරිමැදුම්, මදහසක මැදියම වගේ ඇගේ කාව්‍ය කෘති අතිශයින්ම ජනප්‍රිය වුනා.

ඇස තෙමන්නට නෙමේ මුහුණ මගාරින්නේ
හිත පෙලන්නට නෙමේ සක්මනට නොඑන්නේ
මතකය ම මී විතකි එයිනි දිවි ගෙවන්නේ
අත් හැරීමට තමයි ආදරය කියන්නේ

– මදහසක මැදියම කෘතියෙන්

03. මාලතී ඇම්බ්‍රොස්

මාලතී ඇම්බ්‍රොස්

මාලතී ඇම්බ්‍රොස් ගැන නම් කවියට ආදරය කරන අයට අමුතුවෙන් හඳුන්වාදෙන්න ඕනේ නැති කිවිඳියක්. ඒ තරම් ඇගේ කවි කවියට ආදරය කරන අය අතර සෑහෙන්න ජනප්‍රිය වුනා. මේ නිහඬ වෙරලට එන්න, ඔබ ගැඹුරු නින්දක වැනි කාව්‍ය කෘතින් හරහා ඇය තමන්ගේ කවීත්වය අපූරුවට පෙන්වලා දුන්නා.

ඉතිං ඔබ ඔය නැවතුණ තැන
තත්පරයක් ය,
කල්පයක් කියා රැවටුණ

එතීගත් සියොළඟ
අතීතය, ප්‍රේමය යයි නම් ලද
ඉසියුම් ම හද ඉසව්වල ගැල්වුව
තිත්ත ම තිත්ත කාඩිය

තවමත් හද ගැහෙන
මතක ඝටීකාවකට වුව
නැවතී සිටියැකිද
ආපසු යා හැකිද

මල් පෙති සුබ පැතුම් පත්
අව පැහැව රන් මුදු රාමු මැද
සල් උයන් පවා හිස් වූ විට
පර මල් රකිනු ඇයි, කුමටද?

කුහුඹුවෙකි කාලය
වෙනස් කොට තාලය
කුඩා අඩි තබ තබා
අනාගතයට ඇවිද යන

ඉතිං ඔබ ඔය නැවතුණ තැන
තත්පරයක්ය,
කල්පයක් කියා රැවටුණ

– ඔබ ගැඹුරු නින්දක

04. දිනූ රාජගුරු

දිනූ රාජගුරු

මල් වඩම් සිනාසිය යුතුය කියන්නේ කවියට ආස කරන අය අතර අතිශයින්ම ජනප්‍රිය වුනු කාව්‍ය සංග්‍රහයක් වගේම සම්මානනීය කෘතියක් . ඉතින් මේ විශිෂ්ට කාව්‍ය සංග්‍රහයේ කතුවරිය තමයි මේ දිනූ රාජගුරු කියන්නේ. ඉතින් මේ කවි පොත හරිම සුවිශේෂී කවි පොතක් ඒ වගේම ඇය මුහුණුපොතේ පල කෙරු කවි ත් අතිශයින්ම ජනප්‍රිය වුනා.

කෝ ඉන්න කමිස කොලරය ඇදයි
තව ටිකක් හදන්න
කෑම එක ලෑස්තියි
මේසෙ උඩ කණ්ණාඩි කුට්ටම බලන්න
ප්‍රෙෂර් පෙති ගත්තා නේද
දෙන්න මම අත් ඔරලෝසුව බදින්න
වහින්නට ඉඩ තියෙනවා හවසට
කුඩය අමතක වෙයිද
එපා දාලා බස් එකෙන් බහින්න

රත්තරන්
චුට්ටක් ඉන්න
පුළුවන් ද ඔය දොරකඩ ම මල් පැළය
මේ වතාවේවත් නොපාගා යන්න

කී වතාවක් නම්
ඔයාට ම පෑගුණාද
පුදුමයි
කිට්ටුයි වගේ මේ වතාවේ නම්
මල් කිනිත්තක් පිපෙන්න

05. ඉරේෂා හේමමාලි

ඉරේෂා හේමමාලි

ඉරේෂා හේමමාලි මේ නම කියවූ සැනින්ම ඔයාගේ ඔලුවට එන්න ඇති අර අහන අහන පාරට පොඩි කඳුලක් ඇහෙන්වැටෙන ඒ ගීතය. හමාර බණවර. ඉතින් ගොඩක් අය නොදන්නවා වුනාට මේ ගීතයට පදනම් වෙන්නේ ඇය රචනා කරපු හමාර බණවර කවිය මුලින්ම හමාර බණවර කෘතියෙ ලියවුනු ඒ කවිය පස්සේ ගීතයකට පෙරලෙනවා. ඉතින් ඇගේ කවිත්වය කොච්චර නම් ප්‍රබලද කියලා හිතෙනවා මිනිස් හිතක් සංවේදි කරන්න තරම්. ඒ තරමටම ඇය දක්ෂ කිවිඳියක්. ඇයගේ හමාර බණවර කෘතියේ තිබුනු තවත් අපූරු කවියක් පහතින් උපුට්න්නම්.

අම්මලා…

” බොල් කරල් ශේෂ වුන
පිදුරු මිටියක් වෙලා
කමතෙ මල්ලක කදුළු
බුසල් බාගෙට හලා

කන්න දෙන්නට දෙයක්
නැති විටෙක බොල් වෙලා
බිම්මලක් වෙලා හරි
පිපෙන හැටි අම්මලා ”

06. සුහර්ෂණි ධර්මරත්න

සුහර්ෂණි ධර්මරත්න

ඊළගට කියන්න හදන්නෙ තවත් ප්‍රවීණ අතිශයින්ම දක්ෂ කිවිඳියක් ගැන ඒ වගේමයි සම්මානනීය කිවිඳියක් ඇය සුභර්ෂණි ධර්මරත්න. 1996 වසරේ බොල් බිජුවට කාව්‍ය සංග්‍රහයේ තමයි මේ නම මුලින්ම අපිට හමුවුනේ. පසුව ඇය සිහින අසපුව, ගිරිහිස තරණය, සුදු වත හැඳි කෙකිනිය වගේ කෘතින් රැසක් අතිශයින්ම ජනප්‍රිය වුනා. ඒ වගේමයි 2019 වසරේ ඇය ගේ එලිවුනු එහෙම වරදක් කරලා නෑ මම කෘතියත් හරිම සුවිශේෂී කෘතියක්.

මම කැමති
ඔබ එක්ක ඇවිළෙන්න
එක්ව නිවෙන්න

ඩිකැන්ටරයෙන්
පෙරා ගත්
මධු බදුන
ඔබේ දෙතොල
ගෑ තැනින්
විදගන්න

හදිසි නැතිනම්
ඔබට නික්මෙන්න
අවුළන්න මා නිවන්න !

07. තනූජා ලුම්බිණි

තනූජා ලුම්බිණි

ඉතින් අන්තිමේට කියන්න යන්නෙත් තවත් අතිශයින්ම ජනප්‍රිය වුනු කිවිඳියක් ගැන. දුඹුරු කොල මොණරු ලිස්සන පපුව මැද කාව්‍ය සංග්‍රහය ඔයා කියවලා තියෙනවා නම් ඇගේ නම නුහුරු නොවන නමක් වෙයි. ඇයගේ කවි වල තවත් විශේෂත්වයක් තමයි මාතෘකාවක් නොමැති වීම ඒකත් ඇයටම සුවිශේෂී වුනු අනන්‍යාතාවක්. ඉතින් ඇය නවකතාවකුත් පල කරලා තියෙනවා. ඒකත් අතිශයින්ම ජනප්‍රිය වුනා.

උරිස් එච්චර හොල්ල හොල්ල
පුළුවන් ද මොරිස් හිනාවෙන්න
උඹ පට්ට ගෑනියෙක් මොරිස්
පුළුවන්ද මෙහෙම පිස්සු වට්ටන්න

ඔච්චරට හිනාවෙන්නෙ උඹ
කොච්චරක් නම් හින්දාද දුක
පික්චර් එකක් මොරිස් ජීවිතය
දුක ලිහෙන සතුට එතෙන ආයෙමත් ලිහෙන

දුඹුරු කොළ මොණරු ලිස්සන පපුව මැද
කවුරුත් දැක්කද මොරිස් කිරි මිදුන උඹෙ පපුව
රළු ඇඟිලි දුවන කොට කිති කවා සියොළඟම
කියපන් මොරිස් වෙවුළුවේ මොකටද

රෝද පුටුවක විසිහතර පැය නිදන
අජිත් දන්නවද උඹෙ ඇඟේ හැඩ තල
රෑට උණුබත් ඉදෙන මාළු කටු ගැලවෙන
බත් මුට්ටි කියනවද බත් ඉදෙන විදිහ ගැන

හැමදාම මහන්සියි කියල හාන්සිවෙද්දි යහනත
අජිත් හිස සිඹිනවා වෙරළු මල් පිපි පිපී එනකොට

දවල් වාගෙම උරිස් ගස්සමින් හිනා වෙන්නට
බැරිකමින් මොරිස් නිදපං වෙරළු මල් පොඩිකර

උරිස් ඔච්චර හොල්ල හොල්ල
කියපන් මොරිස් පුළුවන් ද ඔච්චරට අඬන්න

ඉතින් අද අපි කතාකලේ කිවිඳියන් හත් දෙනෙක් ගැන පමණයි මීට වඩා තව ගොඩක් කිවිඳියන් ඉන්නවා තව කතා විය යුතු. ඉතින් අපි නැවත වරක් ඔවුන් ගැනත් කතාකරන්න බලාපොරොත්තු වෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *