හිමි අහිමි – 24 කොට​ස

ක්‍රිකට් මැච් එක නිසා විමංගගේ හිතේ තිබුණ පීඩනය අඩුවෙලා විමංග ආපහු වෙනද පුරුදු විදිහට හිනාවෙලා ඉන්න එක ගැන නිතාරට තිබුණේ ලොකු සතුටක්. ලෙහන්න බැරි ප්‍රශ්න එහෙමම තිබුණාවේ කියන මතය තමයි නිතූ මේ වෙද්දී විමංගගේ ප්‍රශ්නය සම්බන්ධව දැරුවේ. 

අප්පච්චි නිසාම මේ ප්‍රශ්නය ලෙහාගන්න ඕන කියල විමංග මුලින් හිතුවත් දැන් වෙද්දී ඔහුටත් ඒ ගැන තිබුනේ හරිම අලස මතයක්. ඊට වඩා තමන්ගේ අනාගතය ගැන හිතල වැඩකටයුතු කරන එක හොඳයි වගේම අප්පච්චිත් ඒකට කැමතිවෙයි කියල විමංග හිතුවා. හැබැයි විමංග නොවැරදීම මාසයකට දවසක් හෝ දෙකක් අප්පච්චිගේ සොහොන ළඟට ගිහින් මේ හැමදෙයක්ම කියන්න අමතක කලේ නෑ. ජීවත්වෙලා ඉන්න කාලෙ වගේ අප්පච්චිගෙන් පිළිතුරු නොලැබුනත් හිතේ තියෙන දේවල් ඒ කාලෙ වගේම කියන එකෙන් විමංගට ලොකු නිදහසක් දැනුණා. 

හැබැයි මේ පහුගිය දවස්වල සිදුවුණ දේවල් එක්ක මේ ප්‍රශ්නේ ගැටගැහුණු හැම තැනක්ම මුල ඉඳලා ලෙහාගෙන යන්න පුළුවන් වෙයි කියලනම් මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් හිතුවේ නැහැ. දෙන්නම හිටියේ ෆයිනල් එක්සෑම් එකට මහන්සි වෙන ගමන්. විමංග රට යන වැඩේටත් හුඟක් මහන්සි වෙමින් හිටපු නිසා දෙන්නටම ඕන වුණේ රිපීට් නොවී එකපාරින්ම එක්සෑම් ගොඩදාගන්නයි. 

ක්‍රිකට් මැච් එක ඉවරවෙලා ඊළඟට ආපු සති අන්තයේ උදෙන්ම නිතූ එළියට බැස්සේ අමා එක්ක ලයිබ්‍රරි යන්න හිතාගෙන. සාලයේ පත්තර බලමින් හිටපු තාත්තා එකපාරම නිතුට කතා කළා.

“චූටි.. කොහේ යන්නද මේ?” මේ දවස්වල නිතරම තාත්තා මේ ප්‍රශ්නය අහන නිසා නිතූ හිටියේ කලින්ම උත්තරේ හදාගෙන. 

“ලයිබ්‍රරි එකට යන්න තාත්තේ” 

“තනියමද?” ඒ තවත් ප්‍රශ්නයක්

“නෑ තාත්තෙ.. අමා එනවා” නිතූ පිළිතුරු දුන්නා..

“පරක්කු වෙලා නැත්තම් පොඩ්ඩක් ඉඳගන්නකො ළමයෝ” තාත්තා ඒ කියපු බැරෑරුම් විදිහට නිතූගේ හිතේ තිගැස්මක් ඇතිවුනා.

නිතූට ඉඳගන්න කියල තාත්තා ආයෙමත් පත්තර ගොඩ ඇවිස්සුවා. තාත්තා අකුරක් නෑර පත්තරේ හැම පිටුවම කියෙව්වත් පත්තරයක් දිහා හැරිලවත් බලන්නෙ නැති නිතූට දැනුනේ පරක්කු වෙන එක ගැන තරහක්ම විතරයි. “මොනව කරනවද මන්දා” නිතූ හිත යටින් හිතුවා..

“ඇයි තාත්තේ? මොකක්ද ඔය හොයන්නේ?” බලන් ඉඳලා බැරිම තැන නිතූ එහෙම ඇහුවා..

“ආ.. මේ තියෙන්නෙ..” පත්තරේ පුංචි අතිරේකයක් අතට ගත්ත තාත්තා ඒකෙ පිටු පෙරළුවා..

“මේ අර ළමයා නේද?” තාත්තා එහෙම ඇහුවේ මැද පිටුවක, පිටුවක් පුරා ගියපු ආටිකල් එකක් පෙන්වමින්

නිතූ කුතුහලයෙන් ඒ දිහා බැලුවා. ක්‍රීඩා අතිරේකයේ මැද පිටුවක් පුරා ඒ පලවෙලා තිබුණේ කැම්පස් එකේ මැච් එකේ විස්තර එක්ක විමංග තරඟාවලියේ වීරයා සම්මානය අතේ තියාගෙන ඉන්න ලොකු පින්තුරයක්. පින්තූරේ දැක්ක ගමන් මූණට ආපු හිනාව නිතූ හංගගත්තේ ආයාසයෙන්. කොහොමවුණත් බලාපොරොත්තු නොවුන මේ සිදුවීම නිසා නිතූ හිටියේ පුදුමයෙන්. ඒ ලිපියේ කැම්පස් එකෙයි, මැච් එකෙයි විස්තර එක්කම විමංගගෙන් ගත්තු පුංචි ඉන්ටර්විව් එකකුත් පලවෙලා තිබුණා. “මෙයා මට කිව්වෙත් නැහැනේ ඉන්ටර්වීව් එකක් ගත්ත කියල” නිතූ හිතුවේ පුදුමයෙන්.

“ඈ චූටි.. ඒ ළමයා නේද?” නිතූ ආයෙමත් පියවී ලෝකයට ආවේ තාත්තා දෙවෙනි පාරටත් අහපු ඒ ප්‍රශ්නයෙන්.

“ආ.. ඔව් තාත්තෙ.. කැම්පස් එකේ මැච් එක තිබුණනේ ගිය සතියේ.. ඔය ඒකෙ විස්තර” 

“දැන් මොකද ඉතින් ඒ දරුවා කරන්නේ?

“මේ.. ෆයිනල් එක්සෑම් ඉවරවෙලා රට යනවා කියල තමයි තාත්තෙ කිව්වේ” නිතූ තවමත් හිටියේ පත්තරේට මුහුණ ඔබාගෙන ආටිකල් එක කියවමින්. 

“ඒ කියන්නෙ තාම කතාබහ කරනවද?” තාත්තා ඒ අහපු ප්‍රශ්නයෙන් නම් නිතූ ගැස්සුනා.. මීට වඩා පරිස්සමෙන් උත්තර දෙන්න ඕන බව ඇයට හිතුනා.

“නෑ තාත්තෙ.. කැම්පස් එකේදී හම්බවෙනවනේ ඉතින්..

“හ්ම්ම්.. මට ඒ දරුවත් එක්ක තරහක් නෑ චූටි පුතේ.. ඒත් ඒ ප්‍රශ්න අපිට මැදිහත්වෙලා විසඳන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔයාව එහෙම ප්‍රශ්න ගොඩකට දැන දැනම තල්ලු කරන්න මට බෑනෙ. අම්මයි මමයි මේ හැමදෙයක්ම කිව්වේ ඔයා ගැන හිතලයි” තාත්තා ඒ ටික කිව්වෙ බොහොම සන්සුන් හඬකින්.

“මට තේරෙනවා තාත්තෙ.. මම නැහැ කිව්වෙ නැහැනෙ” නිතූ පිළිතුරු දුන්නේ බිම බලාගෙන

“මම දරුවෝ හිර කරල හදන්න ආස නැහැ.. ඒක ඔයයි, අක්කලයි ඔක්කොම දන්නවා. ඒත් මෙතැනදී මට මීට වඩා කරන්න දෙයකුත් නෑ..” 

“දැන් රට ගිහින් එහේ නවතිනවයි කියනවද?” ඈත බලාගෙන ඉඳලා සුසුමක් පිටකරපු තාත්තා නැවත කටහඬ අවදි කළා.

“එහෙම හරියටම දන්නෙ නෑ තාත්තෙ.. මම ඇහුවේ නැහැ” නිතූ පිළිතුරු දුන්නේ තරමක බයෙන්. 

“මමයි අම්මයි කිව්වට ඔයාල ඕව නවත්තන්නෙ නැහැ කියල අපි දන්නව චූටි පුතේ.. මේ පින්තූරේ දැක්කමත් මට කොල්ලා ගැන දැනුණේ ලොකු දුකක්. ඒ ළමය දක්ෂයි. නිරපරාදේ නාස්ති වෙන්න හොඳ නැහැ. ඒ කොහොම වුණත් ප්‍රශ්න විසඳගෙන එන්න කියන්න” තාත්තා කතාව අවසන් කලේ බොහොම අවධාරණයෙන්.

“මං ගිහින් එන්නම් තාත්තෙ” එහෙම කියපු නිතාරා එලියට ගියේ තටු ලැබුණා වගේ සැහැල්ලුවකින්.. මේ ටික විමංගට කියනකම් ඇගේ හිතේ ඉස්පාසුවක් තිබුණේ නැහැ. තාත්තා අකමැති නැහැ කියන එක නිතූගේ හිතට ලොකු සහනයක් වුණා. ඒත් අන්තිමට කියපු ප්‍රශ්න විසඳගෙන එන්න කියන කතාව නිසා ඇගේ හිතට ලොකු බයකුත් දැනුණා.

ජංගම දුරකථනය අතට ගත්ත නිතූ ක්ෂණිකව විමංගගේ අංකය ඩයල් කළා. ඇමතුම සම්බන්ධ වුන සැණින් ඉස්සෙල්ලම කතා කලෙත් නිතූ..

“මේ මෝඩයෝ.. මට කිව්වෙවත් නැහැ නේ?”

“මොකක්ද ළමයෝ..?” නින්දෙන්ම ෆෝන් එක ආන්ස්වර් කරපු විමංග ඇහුවේ කිසිම දෙයක් හිතාගන්න බැරුව. 

“අන්න කොල්ලා පත්තරේ ඉන්නවා.. මට කිව්වෙවත් නෑ ඉන්ටර්විව් ගත්ත කියල” බොරු නොක්කාඩුවක් මවාගත්ත නිතූ කිව්වා.

“මොන පත්තරේද? මොන ඉන්ටර්විව්ද? මොනවද බබා ඔයා කියන්නෙ?” ඒ ගමන නම් විමංග හිටියේ හොඳටම ඇහැරිලා..

“අයියෝ.. මදැයි මම එක්කෙනෙක්ට පණිවිඩයක් කියන්න ගත්ත.. මෝඩයෝ.. එදා මැච් එකක් තිබ්බ නේද? ඒකෙ මෑන් ඔෆ් ද සීරීස් වුණා නේද?

“ඔව් ඉතින්?” විමංග තාමත් පුදුමයෙන්

“අන්න ඒක පත්තරේ ගිහිල්ලා. අපේ තාත්තා පෙන්නුවේ. ඔයාගෙ පොඩි ඉන්ටර්වීව් එකකුත් දාල තිබ්බා” 

“ආ… හරි හරි.. අන්න එහෙම තේරෙන්න කියන්න එපැයි..” විමංග ඒ පාරනම් කිව්වේ හිනාවෙමින්..

“වෙනම ඉන්ටර්වීව් ගත්තේ නැහැ බබා.. එදා ඉවරවුණාම වොයිස් කට් එකක් ගත්තනේ.. ඒක වෙන්නැති. ඔය කැම්පස් එකෙන් ස්පොන්සර් කරල දාන්නෙ පේපර් ආටිකල්ස්. එයාලගේ මාකටින් වලට හොඳයිනේ.. මේ ඒක නෙමෙයි.. ඔයා කවද ඉඳන්ද පත්තර කියවන්නෙ?” විමංග අවසාන ප්‍රශ්නය ඇහුවේ හයියෙන් හිනාවෙමින්..

“තාත්ත අනේ පෙන්නුවේ මට. උදේම ගෙදරින් එලියට බහිද්දිම කතා කරලා පෙන්නුවා” නිතූ පිළිතුරු දුන්නේ සැහැල්ලුවෙන් හිනාවෙමින්

“මොකක් කිව්වා? ඔයාලගේ තාත්තා? ඒ කියන්නෙ එයා මාත් එක්ක තරහ නැද්ද?” විමංග ඇහුවේ ලොකු පුදුමයකින්

“නෑනේ.. මාත් හිතන් හිටියේ තරහයි කියල.. තාත්තට ආඩම්බර හිතිල කොල්ල දැකලා.. ඔයා දැන් මොකද කරන්නෙ ඇහුවා..”

“ඉතින් ඔයා මොකද කිව්වේ?”

“ලොකුවටම කියන්න බෑනෙ බබා.. එතකොට අහනවනෙ තාම කන්ටැක්ට්ස් තියෙනවද කියලා. මම කිව්වා රට යන කතාවක් කිව්වා කියල” 

“හ්ම්ම් ඒක හොඳයි..’

“තරහක් නැහැ කිව්වා.. හැබැයි ප්‍රශ්න ඔක්කොම විසඳගෙන එන්න කිව්වා..” 

“හ්ම්ම්..” විමංගගේ පැත්තෙන් ඇහුණේ සුසුම් හඬක් විතරයි

“ඇයි බබා..” නිතූ ඇහුවේ සුසුම් හඬ නිසාම පුදුමයෙන්

“ඒ ප්‍රශ්න කවදාවත් විසඳෙන්නේ නැති එකනෙ බබා මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. මාස ගානක් ගිහිල්ලත් අපිට අගක් මුලක් හොයාගන්න බැරි වුණානේ” විමංගගේ හඬේ තිබුණේ ලොකු පසුතැවීමක්. තාත්තා කියපු දේවල් ඔක්කොම විමංගට කිව්වේ අපරාදේ කියල නිතූ ට හිතුණේ විමංග එහෙම කිව්වට පස්සෙයි. 

“හරි.. අපි බලමුකෝ විමංග.. විසදෙන්න තියෙනවනම් අනිවාර්යයෙන් විසඳෙයිනෙ.. ඕව කල්පනා කරන්න එපා. මම මේ ප්‍රශ්න ආයේ හිතන්නෙ නැහැ කියල අමතක කරලයි හිටියේ විමංග. තාත්තා මෙහෙම කිව්ව නිසයි මතක් වුණේ. එකාතකට ඔයා රට ගිහින් ඇවිල්ල මේවට ගෑවෙන්නෙ නැතුව හිටියම අපිට වෙන ප්‍රශ්නයක් නැහැනේ. ඔයා කෝකටත් යන්න කලින් අපේ තාත්තට කතා කරන්න. දැන් දන්නවනේ තරහක් නෑ කියල” නිතූ කිව්වේ ප්‍රශ්නයට හොඳම විසඳුම ඒක බව හිතමින්.

“හරි බබා පරිස්සමෙන් යන්නකො..” එහෙම කියපු විමංග ඇමතුම විසන්දි කළා.

 

හිමි අහිමි – 1 කොටස

හිමි අහිමි – 2 කොට​ස

හිමි අහිමි – 3 කොටස

හිමි අහිමි – 4 කොටස

හිමි අහිමි – 5 කොට​ස

හිමි අහිමි – 6 කොටස

හිමි අහිමි – 7 කොටස

හිමි අහිමි – 8 කොට​ස

හිමි අහිමි – 9 කොටස

හිමි අහිමි – 10 කොට​ස

හිමි අහිමි – 11 කොට​ස

හිමි අහිමි – 12 කොට​ස

හිමි අහිමි – 13 කොට​ස

හිමි අහිමි – 14 කොට​ස

හිමි අහිමි – 15 කොට​ස

හිමි අහිමි – 16 කොට​ස

හිමි අහිමි – 17 කොට​ස

හිමි අහිමි – 18 කොට​ස

හිමි අහිමි – 19 කොට​ස

හිමි අහිමි – 20 කොට​ස

හිමි අහිමි – 21 කොට​ස

හිමි අහිමි – 22 කොට​ස

හිමි අහිමි – 23 කොට​ස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *