මෙවර ඔස්කාර් සම්මානයට නිර්දේශ වුණු හොඳම චිත්‍රපට 10 ගැන විස්ත​ර

ලෝ පුරා සිනමා ලෝලීන් කවුරුත් ආසාවෙන් බලාගෙන ඉන්න ලෝකයේ තියෙන විශිෂ්ටතම සම්මාන උළෙලවල් ​වලින් එකක් තමයි ඇකඩමි සම්මාන උළෙ​ල එහෙම නැත්නම් ඔස්කාර් සම්මාන උළෙ​ල කියලා කියන්නේ. මේ වසරේ මාර්තු 27 පැවැත්වීමට නියමිතව තිබෙ​න ඒ සම්මාන උළෙ​ලේ හොඳම චිත්‍රපටයට හිමි නාමයෝජනා දහය ගැන තමයි මේ ලිපියෙන් අපි කතාකරන්න හිතුවේ.

 

1. Belfast 

මේක ගොඩක් විශිෂ්ට ග​ණයේ සිනමාපටයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කෙනත් බ්‍රැන (Kenneth Branagh) විසින්. ඒ වගේමයි මේ චිත්‍රපටයේ තිරරචනය සිදු කර තිබෙන්නෙත් ඔහු විසින්මයි. 1969 වසරේදී බෙල්ෆාස්ට් නුවර ජීවත්වන කතෝලික හා ප්‍රොතෙස්තන්​ත ප්‍රජාව අතර ඇතිව​න සිවිල් ගැටුමකට මැදිව​න බඩී නම් 9 හැවිරිදි දරුවෙක් සහ ඔහුගේ පවුලේ උදවියගේ ජීවිත ඇසුරු කොටගෙන තමයි මේ කතාව ගලා යන්නේ. අනිවාර්යයෙන් නරඹන්න.

 

2. CODA 

CODA කියන්​නේ 2014 වසරේ තිරගත කරපු “La Famille Bélier” කියන ප්‍රංශ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. ශ්‍රවණාබාධිත පවුලක කන් ඇසෙන එකම සාමාජිකා​ව ව​න රූබි නම් 17 හැවිරිදි තරුණියගේ කතාව තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ. මේකත් සරල නමුත් හරිම ලස්සන කතාවක්. හාස්‍යයෙන් වගේ​ම සංවේදී බවිනුත් පිරුණු සිනමාපටයක්.

 

3. Don’t Look Up 

අතිශය ජනප්‍රිය නළු නිළි කැ​ළක් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටය නම් දැනටමත් ගොඩක් ජනප්‍රිය නිසා ගොඩක් දෙනා මේ වනකොටත් අනිවාර්යයෙන්ම බලලා ඇති. මේ චිත්‍රපට​යට පාදක වෙන්නේ හරිම නැවුම් කතා තේමාවක්. පෘථිවිය වෙත ගමන් කරන දැවැන්ත උල්කාපාතයක් පෘථිවියේ ගැටීමෙන් ලෝකය විනාශ වන බවට තාරකා විද්‍යාව හදාරන තරුණියක් විසින් සොයාගන්නවා. එම තරුණියත්, ඇයගේ මහාචාර්යවරයාත්  ඒ පිළිබඳව අදාළ බලධාරීන් සහ ජනතාව දැනුවත් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ මාස හය ඇතුළත දේශපාලනය, මාධ්‍ය සහ සාමාන්‍ය ජනතාව හැසිරෙන විදිහ තමයි මේ චිත්‍රපට කතාවට අන්තර්ගත වෙන්නේ. 

 

4. Drive My Car 

මේක මේ නමින්ම පළ කරන ලද හරුකි මුරකාමිගේ කෙටි කතාවක් පාදක කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක්. හැබැයි මේකට පාදක වුණු කෙටිකතාවට චිත්‍රපටය විසින් උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා කියලා චිත්‍රපටය සහ කෙටිකතාව කියන දෙකම බලපු අයට අනිවාර්යයෙන්ම දැනෙයි. තමන්ගෙ බිරිඳගෙ අභාවයෙන් පස්සෙ තනිකඩව ජීවත්වන මැදිවියේ නළුවෙක් සහ ඔහුගේ රියැදුරුවරිය හැටියට සේවයට පැමිණෙන ලාබාල තරුණියක් අතර ඇතිවන අපූරු සම්බන්ධතාවයක් තමයි මේ චිත්‍රපටයේ කතාවට පාදක වෙන්නේ. මේ චිත්‍රපටයට තුළ දකින්න ලැබෙන්නෙ හරිම සීමිත චරිත ටිකක්. ඒත් ඒ සීමිත චරිත හරහා ලොකු කතාවක් කියන්න මේ චිත්‍රපටය සමත්. 

 

5. Dune 

මේකත් ඔස්කාර් සම්මානයට නිර්දේශ වෙන්න කලින් ඉඳන්ම ගොඩක් ජනප්‍රිය වුණු චිත්‍රපටයක්. විශේෂයෙන්ම Sci fi ශානරයේ සිනමාපට රසවිඳින්න ආස අය අතර අතිශයින්ම ජනප්‍රිය වුණු සිනමා නිර්මාණයක්. විශ්වයේ වටිනා සම්පත් සඳහා ග්‍රහලෝක අතර ඇතිවන අරගලයක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව වෙන්නෙ. ඉතින් මේ ලැයිස්තුවේ අනිත් චිත්‍රපට වලට වඩා ගොඩක් වෙනස් නමුත් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුළුවන්.

 

6. King Richard

ටෙනිස් ක්‍රීඩාවෙන් ලෝකයේ නම රන්දපු විලියම්ස් සහෝදරියෝ ගැන නම් නොදන්නේ කවුද ඉතින්? මේ චිත්‍රපටය ඒ දෙන්නගේ කතාව නම් නෙමෙයි, ඒ දෙන්නගේ ජීවිතවල හෙවණැල්ල වුණු ඒ දෙන්නගේ තාත්තගේ චරිතාපදානයක් තමයි මේක. මෙහි ප්‍රධාන චරිතය වන රිචර්ඩ් විලියම්ස්ගේ චරිතය නිරූපණය කරන්නේ වීල් ස්මිත්. ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු, හරිම සුන්දර චිත්‍රපටයක්. 

 

7. Licorice Pizza

“There Will Be Blood”, “Magnolia” වගේ විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු පෝල් තෝමස් ඇන්ඩර්සන්ගේ අලුත්ම චිත්‍රපටය තමයි මේ. 1970 ගණන්වල කතාවක් තමයි ඔහු මේ චිත්‍රපටයෙන් නිර්මාණය කරන්නේ. 15 හැවිරිදි ළමා නළුවෙක් තමන්ට වඩා වයසින් වැඩි තරුණියක් ගැන පෙම් සිතක් පහළ කර ගැනීමත් සමග ඔවුන් දෙදෙනාගේ ජීවිත කතාව ගලායන අයුරු තමයි මේ චිත්‍රපටයේ කතාවෙන් පෙන්වන්නේ. පෝල් තෝමස් ඇන්ඩර්සන්ගේ අනෙකුත් චිත්‍රපට වගේම හාස්‍යය මූසුවූ රසවත් චිත්‍රපටයක්. 

 

8. Nightmare Alley 

1946 වසරේදී මේ නමින්ම පළවුණු නවකතාවක් ආශ්‍රයෙන් තමයි මේ චිත්‍රපටය බිහිවෙන්නේ. නමුත් මේ ඒ නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය කෙරුණු පළවෙනි චිත්‍රපටය නෙමෙයි. 1947 දීත් මේ නවකතාව ඇසුරින් චිත්‍රපටයක් බිහිවුණා. මේ අලුත් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ගියෙර්මෝ ඩෙල් ටෝරෝ (Guillermo del Toro). අනුන්ගේ මනස් කියවන්නෙකු ලෙස පෙනී සිටින කූට පුද්ගලයෙකුගේ ඉරණම පෙන්නුම් කරන මේ චිත්‍රපටයත් අනිවාර්යයෙන්ම නරඹන්න කියලා අපි ඔබට ඇරයුම් කරනවා. 

 

9. The Power of the Dog 

මේ චිත්‍රපටය Netflix හරහා නිකුත් වුණු ගොඩක් ජනප්‍රිය වුණු චිත්‍රපටයක්. මෙවර හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනීවි යයි වැඩි දෙනෙක් විශ්වාස කරන චිත්‍රපටය වන්නේත් මෙයයි. මේ චිත්‍රපටය 1967 වසරේදී මේ නමින්ම නිකුත් වුණු නවකතාවක් ආශ්‍රයෙන් නිර්මාණය කරපු එකක්. ගොවිප​ළක් පාලනය කරමින් ජීවත් වෙන ජෝර්ජ් සහ ෆිල් කියන සහෝදරයින් දෙදෙනෙක්ගේ ජීවිතවලට අලුතින් එක් වෙන කාන්තා චරිතයක් නිසා ඔවුන් අතර ඇතිවන ගැටීම තමයි මේ චිත්‍රපට කතාවට පාදක වෙලා තියෙන්නේ. 

 

10. West Side Story

“West Side Story” නමින්ම 1961 අවුරුද්දේත් චිත්‍රපටයක් නිර්මාණය වුණා. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය තමයි ස්ටීවන් ස්පිල්බර්ග් 2021 දී නිර්මාණය කරන්නේ. ඇත්තටම ඒක ලේසි පහසු අභියෝගයකුත් නෙමෙයි, මොකද 1961 නිර්මාණය වුණු West Side Story” මුල් චිත්‍රපටය ඔස්කාර් සම්මාන දහයක් දිනලා තියෙනවා. ඉතින් “ලා ලා ලෑන්ඩ්” වගේ චිත්‍රපට බලන්න ආස අය අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටයටත් කැමති වේවි.

 

මේ චිත්‍රපට අතරින් මේ වසරේ හොඳම චිත්‍රපටය හැටියට මොන චිත්‍රපටය සම්මානය දිනයිද? අපිට අමතක නොකර කමෙන්ට් එකකින් කියන්න ඕනේ ඔන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *