අවමංගල්‍යයකට ගිහින් හරියට හැසිරෙන්නේ මෙහෙමයි!

අවමංගල්‍යයක්, එහෙම නැතිනම් තේරෙන බාසාවෙන් ෆියුනරල් එකක් කියන්නේ කිසිසේත්ම සතුටුදායක සීන් එකක් නෙවෙයිනේ. ඒ කියන්නේ කවුරුහරි කෙනෙක් මැරිලා. සමහර වෙලාවට අපි යන අවමඟුලක ඇත්තටම අපිට එහෙමට කියලා දුකක් නැතිවෙන්න පුලුවන්. ඒ කියන්නේ මැරුණු කෙනා අපේ කවුරුවත් ළඟ කෙනෙක් නෙවෙයි නම්, අපි අවමඟුලට යන්නේ යුතුකමක් එහෙම නැතිනම් සමාජ වගකීමක් ඉෂ්ට කරන්න නම්, අපිට එහෙම දුකක් ඇතිවෙන්න විදියක් නැහැනේ. හැබැයි මතක තියාගන්න, අවමඟුලකදී කවුරුන් හෝ කෙනෙක්ට දුකක් ඇතිවෙනවා. අවමඟුලකදී කවුරුන් හෝ කෙනෙක්ගේ ළඟම කෙනෙක් තමයි මියයන්නේ. ආන්න ඒ නිසා, අපිත් අවමංගල්‍යයකට ගියහම දුක තිබ්බා හෝ නැතා හෝ හැසිරෙන්න ඕන විදියක් තියෙනවා. එහෙම නැතුව අපිට හිතෙන හිතෙන විදියට ඉන්න බැහැනේ.

 

ඉතින් හැබෑටම කොහොමද අවමංගල්‍යයකට ගිහින් හරියට හැසිරෙන්නේ? ආන්න ඒ ගැන තමයි මේ කියලා දෙන්න යන්නේ!

 

1. ඇඳගෙන යන්නේ?

අවමංගල්‍යයකට යනකොට ශ්‍රී ලංකාවේ නම් සාමාන්‍යයෙන් ඇඳගෙන යන සුදු. හැබැයි ඒක විවිධ ආගමික හෝ හෝ වාර්ගික සංස්කෘතීන් අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් කතෝලික අවමඟුලක දී කළු ඇඳගෙන යන අයවත් අපිට දකින්න පුළුවන්. කොහොමහරි සාමාන්‍ය පිළිගැනීම වෙන්නේ සුදු හෝ කළු හෝ අඩුමගානේ ලා පාට ඇඳුමක් ඇරෙන්නට විවිධ තද පාටවල් සහ වෙනත් විසිතුරු සහ සුකුරුත්තම් ඇඳුම් අවමංගල්‍යයකට යන්න ගැලපෙන්නේ නැහැයි කියන එක. ඒ වගේම අපි අවමංගල්‍යයකට යනකොට අඳින පළඳින විලාසිතාව ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ඒකනම් අවමංගල්‍යය තියන තැන, අවමංගල්‍යය තරාතිරම අනුවත් වෙනස් වෙන්න පුළුවන් කියන එක බොරුවක් නෙවෙයි. සරල උදාහරනයක් කිව්වොත් ගමේ තියන අවමඟුලකට සහභාගි වෙන්න යනකොට ගැහැණු ළමයෙක් හරි පිරිමි ළමයෙක් හරි කොටට ඇඳගෙන යන එක ඒ තරම් ගැළපෙනවා කියලා පිළිගැනෙන්නේ නැහැ.

 

2. ආචාර සමාචාර

දැන් අපි මළ ගෙදරකට ගිය ගමන් මොකද කරන්නේ? මුලින්ම මල ගෙදර මලගෙදර අපිව පිළිගන්න සාමාන්‍යයෙන් ඉන්න කාටහරි, එහෙම නැතිනම් ගෙදර කෙනෙක්ට ආචාර කරන එක තමයි හරි ක්‍රමය. ඕනනම් සිංහල ක්‍රමයට අත් දෙක එකතු කරලා ආයුබෝවන් කියන්න පුළුවන්. එහෙම නැතිනම් අතට අත දෙන්නත් පුළුවන්. ඒකත් තීරණය වෙන්නෙ තමන් යන අවමංගල්‍යයේ තරාතිරම් අනුව තමයි. හැබැයි එතනින් ආචාර සමාචාර නතර වෙන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් අපි කියන්නේ ගිහිල්ලා මිනියට කතා කරනවා කියලා. ඇත්තටම එතනදි වෙන්නෙ අපි මෘත දේහයට අවසාන ගෞරවය දැක්වීම. මෘත භේදය ගාවට ගිහිල්ලා, ටික වෙලාවක් එකත්පස්ව ඉඳලා, අපේ ආගමික විශ්වාසයන්ගේ හැටියට එක්කෝ මියගිය කෙනාගේ ගුණ සිහිපත් කරලා, එහෙම නැතිනම් මිය ගිය කෙනාට පින් අනුමෝදන් කරලා අත් දෙක එකතු කරලා මිනිහට ආචාර කරලා අපිට එන්න පුළුවන්. හැබැයි ඔය දේවල් කරන්න ඕන හිතින් හරිද!

 

3. කතාබහ

මළ ගෙදරකට ගෙදරට ගියාට පස්සේ අපි අඳුනන කෙනෙක් හිටියා, තවත් අපිට බුම්මගෙන වාඩිවෙලා ඉන්න බැහැනේ. ඒ නිසා කොහොමත් අපි සුළු පහේ කතාබහක් සිද්ධ වෙනවා. හැබැයි එතනදී සැලකිල්ලට ගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි, මැරුණු මනුස්සයා ගැන නරක කතා නොකිරීම. අපිට පේන්න බැරි මනුස්සයෙක් වුණත්, මැරුණු මනුස්සයට ගරුත්වයක් දක්වන්න ඕන. එතකොට ගුණයක් කියන්න පුලුවන් නම් කියනවා මිසක්කා, නුගුණ කතා නොකිරීම තමයි හරි.

 

ඊළඟට, මැරුණේ කොහොමද අරවා මේවා හාර හාර අහන එකත් හොඳ දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ඒ ගැන කතා කරන්න මළගෙදර අය අකමැත්තක් පෙන්නනවා නම් අහන්න යන්නම එපා.

 

එතනින් එහාට ඉතින් මළ ගෙදරක කෙළිකවට සිනා, විහිළු තහළු, ශබ්ද නගා කතාබහ එහෙම අකැපයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එව්වා සාමාන්‍ය දැනීම.

 

4. ගෙනියන්නේ මොනවද?

ඒක නං ලංකාවේ ගොඩක් අයට අමුතුවෙන් කියන්න ඕන නෑ. මාරි බිස්කට් පෙට්ටිය තමා ගොඩක් දෙනෙක් මළ ගෙදර ගෙනියන ජාතික ආහාරය! හැබැයි ඉතින් කරන්නන්වාලේ මලගෙදර මාරි පෙට්ටි උස්සගෙන යන එකනම් අපිට එතරම් අනුමත කරන්න බැහැ. ඊට වඩා හොඳයි, වෙන ප්‍රයෝජනයක් වෙන ආහාරයක් පානයක් අරගෙන යන එක. උදාහරණ විදියට කෝඩියල් බෝතලයක්, යෝගට් ලීටර් කීපයක් වුණත් කමක් නෑ. එතකොට අවශ්‍ය නම් අවශ්‍ය නම් පාංශුකූලයට හෝ හත් දවසේ දානයට ගන්න පිරිකර මොනවා හරි ගෙනියන එකත් ගැටළුවක් නැහැ. හැබැයි ඒ වගේ දෙයක් ගෙනියනවා නම් ඊට කලින් පොඩ්ඩක් හොයලා බලන්න ඕන මල ගෙදර අයට කතා කරලා. ඒ වගේම තවත් හොඳ දෙයක් තමයි සල්ලි කීයක් හරි ලියුම් කවරෙක දාලා දෙන එක. අද කාලේ කාලේ පස්සේ හැටියට ඒ වගේ දෙයක් මළගෙදරකට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙනවා.

 

5. කණගාටුව ප්‍රකාශ කිරීම

ඇත්තටම මළගෙදරකට ගියාට පස්සේ අපි කනගාටුව ප්‍රකාශ කරන්නේ ගොඩක් වෙලාවට මිනියට කතා කරන්නත් කලින්ම නේ. එතැනදී සරලවම බොහොම කණගාටුයි වගේ දෙයක් කියන්න පුළුවන්. හැබැයි එතන ටිකක් හැඟීම්බර තත්වයක් තියෙනවා නම්, අපිටත් පොඩ්ඩක් කල්පනාකාරීව කණගාටුව ප්‍රකාශ කරන වැඩේ කරන්න වෙනවා. සමහර වෙලාවට මියගිය කෙනාගේ සමීපතමයෙක් නැතිනම් පවුලේ අයෙක් අපිව වැළඳ ගෙන හඬා වැළපෙන්න වගේ දෙයක් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. අන්න එතනදි අපි ඉවසිලිවන්තව ඒ අයව අස්වසන්න ඒ තත්ත්වය දරාගන්න කටයුතු කරන්න ඕන. සමහර වෙලාවට අපිට අපි කඳුලු හලන්න වෙන තරමේ ආවේගයක් ශෝකයක් මලගෙදර ඇතිවෙන්න පුළුවන්. හැබැයි එතනදී වුණත් මලගේ දෙක නොකර ඒ ආවේගය දරා ගන්න අපිට පුළුවන් වෙන්න ඕන. දරන්නම බැරි ආවේගයක් ඇති වෙනවා නම්, පොඩ්ඩක් එහාට ගිහිල්ලා කඳුළු සැලුවාට කමක් නැහැ. කොහොමත් මලගෙදරකදී අඬන්න බැරි කමක්, තහනමක් නැහැ නේ.

 

6. කෑම බීම සප්පායං

මෙන්න මේක ගොඩක් දෙනෙක් වැරදියට කරන කාරණයක්. ඒ තමයි සහගත රටක ඉඳල ආව වගේ මල ගෙදරකට ගියහම හැසිරීම. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ මළ ගෙදරක ඉන්න කොට එහෙම, සමහරු බිස්කට් බන්දේසියෙන් ගන්නේ, අත පුරෝලා කඳු ගහලා. බීම බොන්න ගියත් සමහරු බිම පහ හය බොනවා. ඒ විතරක්ද, කන්න ගියහම ආයෙ මල ගෙදර ආපු අනිත් අමුත්තන්ට අමුතුවෙන් ආයෙමත් උයන්න වෙන ලෙවල් එකට සමහරු කනවා. ඒවා කැතයි. මල ගෙදරකදී වුනත් කෑම කෑම බීම ගත්තට කිසිම වරදක් නැහැ. හැබැයි ඒක කරන්න ඕන ප්‍රමාණය දැනගෙන ශිෂ්ට සම්පන්න විදියට.

 

7. වෙනත් කළ නොකළ යුතු දේවල්

ඇත්තටම අපි අවමංගල්‍යයකට සහභාගී වෙන්න ගියහම, අපි නොහිතා කරන පොඩි පොඩි දේවල් තියෙනවා එතනට කිසිසේත්ම නොගැලපෙන. ඒ වගේම තවත් අපි කරන දේවල් තියෙනවා, ඒ නිසා අවමංගල්‍යයට අගෞරවයක් සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි අවමඟුලකට යනකොට අපේ සාක්කුවෙ තියෙන ජංගම දුරකථන සයිලන්ට් කරනවද? එතකොට අපිට කෝල් එකක් ආවොත්, අපි එතනම ඉඳන් මහ හයියෙන් කතා කරනවද? ඒවා නොකළ යුතු දේවල්. අපිට කෝල් එකක් ආවොත්, මූලිකවම අවමංගල්‍ය පරිශ්‍රයෙන් එහාට ගිහින් තමයි කතා කරන එක සුදුසු. අනික දෙයියන්ගෙ නාමෙට මළගෙදරකට ගිහින් මල් කඩන්න, සෙල්ෆි ගහන්න, ටික්ටොක් කරන්න එහෙම නම් තියාගන්න එපා!

 

එතකොට නැතිවෙලා තියෙන්නේ අපිට සමීපම කෙනෙක් නොවුණත්, ගිහින් මළසිරුරට ගෞරව දක්වන්න ඕන. ඊට පස්සේ අනික් පැත්තට හැරිලා එන්නෙ නැතුව, ටිකක් වෙලා එතන රැඳෙන එක තමයි හරි විදිය. මෙතන ඉන්න කිසිම කෙනෙක්ව අපි අඳුනන්නෙ නැති වුනත්, ඒක එහෙම තමයි.

 

එතකොට ඔය බීම අල්ලන්න එන ලස්සන නංගි කෙනෙක්ට, මල ගෙදර වැඩ කරට අරගෙන කරන හැන්ඩි අයියා කෙනෙක්ට ඇහැ දානවා වගේ දෙයක් වුණත්, මල ගෙදර අනිත් අයටත් හොඳටම පැහැදිලිව පේන විදියට කරනවා වගේ ඇදගෙන නාන වැඩ කරන්න නරකයි. 

 

දැන් පැහැදිලියි නේද කොහොමද අවමංගල්‍යයකට සහභාගී වුණහම හැසිරෙන්න ඕන කියලා. මේවා වැඩි හරියක් සාමාන්‍ය දැනීම ඉතිං!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *