ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – හත්වන කොටස

අපි වැඩකටයුතු වැඩිහරියක් දැන් කරන්නේ ඔන්ලයින් නේ. අන්න එතකොට අපිට බොහෝමයක් වෙලාවට විවිධ වෙබ් ටූල්ස් අවශ්‍ය වෙනවා. එහෙම විවිධ අවශ්‍යතා වලට ගැලපෙන, අපිට විවිධ වැඩකටයුතු කරගන්න පුලුවන් වෙබ් අඩවි ගොඩක් තියෙනවා වගේම, අපි ගොඩක්ම එදිනෙදා වැඩකටයුතු වලදී එහෙම වෙබ් අඩවි භාවිතා කරනවා. හැබැයි ගොඩක් දෙනෙක්ගේ ඇහැ නොගැටුණු, නොදන්න වෙබ් අඩවි එහෙමත් සෑහෙන්න තියෙනවා. ඒක ඉතින් පුදුමයකුත් නෙවෙයි, 1992 දී ලෝකේ තිබුණේ වෙබ්සයිට් 10 ක් වුණාට, මේ වෙනකොට ලෝකයේ වෙබ් අඩවි බිලියන 1.92 ක් විතර තියෙනවා. එතනින් සක්‍රිය තත්වයේ තියෙන වෙබ් අඩවි මිලියන 200 ක් විතර තියෙනවා. ඒ වෙබ් අඩවි ගාණත් වැඩි වෙනවා මිසක් අඩුවීමකුත් නෑ!

 

ඉතින් අපි හිතුවා, අපිට ඔන්ලයින් අපේ වැඩ වඩාත් පහසුවෙන් කරගන්න, අලුතින් දෙයක් ඉගෙන ගන්න, එක දිගටම වැඩ කරලා මහන්සි වුණහම පොඩි ෆන් එකකට වගේ විවිධ කාරණා වලට ගැලපෙන, ගොඩක් දෙනෙක් නොදන්න වෙබ් අඩවි තව ලිස්ට් එකක් පළ කරන්න.

 

1. SCREAM INTO THE VOID

ජීවිතේ ඉතින් ඇත්තට ලේසි පාසු දේකුත් නෙවෙයිනේ. නැද්ද? එතකොට සමහර වෙලාවට හිතෙනවා අනන්තයට ඇහෙන්න කෑ ගහන්න, හා නැද්ද? හරි හරි, පොඩ්ඩක් නාට්‍යානුසාරීව කිව්වට මොකද, සමහර වෙලාවට දුක හිතුණහම, තරහා ගියහම, ස්‍ට්‍රෙස් එක වැඩි වුණහම වගේ සීන් වලදී ඇත්තටම එහෙම කෑ ගහන්න හිතෙනවා. හැබැයි ඉතින් එහෙම කෑ ගහන්න යන්න පුලුවන් තැන් නැති තරම්නේ. එහෙම වුණත් අඩු ගාණේ තත්‍යාසන්න යතාර්ථයේ ඉඳන් එහෙම අඳුරට කෑ ගහන්න පුලුවන් තැනක් තියෙනවා. ඒක තමයි මේක. තමන්ට කියන්න ඕන දේ ටයිප් කරන්න තියෙන්නේ. එතකොට ඒක කෑගැහුමක් වගේ සද්දෙකින් අර අඳුරු අවකාශයට ගිහින් නැතිවෙනවා. මේක ප්‍රයෝජනවත් ද? ස්ට්‍රෙස් වෙලාවකට පාවිච්චි කරලම බලන්න ප්‍රයෝජනවත් ද නැද්ද කියලා!

 

2. BLANK SLATE

අපිට වැඩ කර කර ඉන්නකොට යම් කිසි දෙයක් ලියාගන්න සිද්ධ වෙන අවස්ථා එනවා. හා නැද්ද? ඒ කියන්නේ ටෙලිෆෝන් නොම්බරයක් වෙන්න පුලුවන්. වෙන මොකක් හරි වැදගත් සටහනක් වෙන්න පුලුවන්. ෆේස්බුක් එකේ දාන්න කලින් චෙක් කරන්න ඕන ස්ටේටස් අප්ඩේට් එකක් වෙන්න පුලුවන්. ඔය මොකක් වුණත්, අපිට කොහේ හරි ලියාගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම සමහර වෙලාවට කොහෙන් හරි කොපි කරපු ටෙක්ස්ට් එකක් අලවලා තියන්නත් ඔය වගේම තැනක් ඕන වෙනවා. ඒකට හරියන ටූල්ස් ඇත්තටම අපි ගාව තියෙනවා. ඕන නම් ඇත්ත නෝට්පොතක හරි කොළේක හරි දෙයක් ලියාගන්න පුලුවන්, පස්සෙ ලියපු තැන අමතක වෙන්නෙ නැති නම්. ෆෝන් එකේ ගූග්ල් කීප් හරි වෙන නෝට් ගන්න පුලුවන් ඇප් එකක් හරි ඕපන් කරලා අවශ්‍ය දේ ලියන්න හරි කොපි පේස්ට් කරන්න හරි පුළුවන්. ඔය වගේ ටූල්ස් ඕන තරම් තියෙනවා. හැබැයි ඒ වගේම, ඕන නම්  blank slate වෙබ්සයිට් එක ඕපන් කරලා, ඒකේ අවශ්‍ය දේ ලියන්න හරි කොපි පේස්ට් කරන්න හරි පුලුවන්. බොහොම සරල නෝට්පෑඩ් එකක් විදියට පේන මේ blank slate වෙබ් ටූල් එක ලොකු වැඩ නැති සරල නෝට්පෑඩ් එකක්.

 

3. FUTURE TIMELINE

අපි සාමාන්‍යයෙන් අනාගතේ ගැන අනාවැකි අහනවනේ. සාස්තර කියන, හඳහන් බලන තැනකට ගිහින් අපේ අනාගතේ කොහොම වෙයිද, අපේ විවාහේ කවදා වෙයිද කියලා අහන එක ගැන නෙවෙයි මේ කියන්නේ. ඒ වෙනුවට අපේ වර්තමාන තාක්ෂණික හෝ විද්‍යාවේ දියුණුව, අපේ වර්තමාන සමාජය වගේ දේවල් මත පදනම් වෙලා, අනාගතේදී අපිට මොන වගේ ලෝකයක් දකින්න ලැබේවිද, අනාගතේ මොනවා වෙයිද වගේ දේවල් පුරෝකථනය කිරීම ගැනයි මේ කියන්නේ. ඔය විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෝ එහෙමත් ඒක කරනවා. ඒ ඇරෙන්න, ඒ විදියට අනාගතේදී කෘත්‍රිම බුද්ධිය කොහොම වෙයිද, අනාගතේදී අපි අභ්‍යවකාශ තරණය කොහොම කරයිද, අනාගතේදී බලශක්ති ප්‍රභවයන් මොනවා තියේවිද වගේ දේවල් ගැන පුරෝකථනයන් බලාගන්න පුලුවන් Future Timeline වෙබ් එකට ගිහිල්ලත්. ඇත්තටම සයන්ස් ෆික්ෂන් එකක් එහෙම ලියන්න කැමති අයට වගේම, අනාගතේ ගැන කුතුහලයක් තියෙන අයටත් මේ වෙබ් අඩවිය හොඳ තැනක්!

 

4. FREE RICE

දැන් අපි සයිබර් අවකාශයේ සැරිසරමින් ඉන්න එකෙන්, ඇත්තටම ලෝකෙට දෙයක් ලැබෙනවද? ඒක සංකීර්ණ ප්‍රශ්නයක් තමා. අඩු තරමින් අපි සෝෂල් මීඩියා වල උඩ පහළ යන එකෙන් සෘජුවම ලෝකෙට දෙයක් ලැබෙන්නෙ නැහැයි කියලා ගොඩක් අය කියනවා. ඉතින් ලෝක ආහාර වැඩසටහන හිතලා තියෙනවා, අපි සයිබර් අවකාශයේ ගත කරන කාලය ප්‍රයෝජනවත් වැඩකට යොදවන්න උදව්වක් දෙන්න. ඒකට කරන්න තියෙන්නේ freerice.com වෙබ් අඩවියට යන එක තමයි. දැන් එහෙම ගියාට පස්සේ අපිට ලබාදෙනවා බහුවරණ ප්‍රශ්න. ඒවා ඉංග්‍රීසි භාෂාවේ වචනෙක තේරුම, මේ වචනේ වෙනුවට යොදන්න පුලුවන් වචනයක් මොකක්ද වගේ දේවල් වෙන්න පුලුවන්. ගොඩක් අමාරු ප්‍රශ්නත් නෙවෙයි. ඒ වෙලාවෙම අපි ලබාදෙන උත්තරේක හරි වැරදි සහ, හරි උත්තරේ මොකක්ද කියන එකත් පෙන්නනවා. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර දීලා අපේ දැනුම දියුණු කරගන්න පුලුවන්. එතකොට ඒකෙන් ලෝකෙට මොනවද ලැබෙන්නේ? ලෝක ආහාර වැඩසටහන කියන විදියට, අපි මේ එක් එක් ප්‍රශ්නෙකට උත්තර ලබාදෙන වාරයක් පාසා, ලෝක ආහාර වැඩසටහනට හාල් ඇට 10 ක් ආධාර විදියට බැර වෙනවා. මොකෝ කියන්නේ? අඩු ගාණේ හාල් කිලෝ එකක් වත් ආධාර කරමුද? ඒ කියන්නේ ප්‍රශ්න එක්දාස් පන්සීයකටවත් උත්තර දෙන්න ඕන!

 

5. CALM.COM

දැන් අපි එක දිගටම වැඩ කරනවනේ. ඕක ඇත්තටම ලේසි වැඩකුත් නෙවෙයි. ටික ටික ස්ට්‍රෙස් එක එකතු වෙනවා. ටික ටික හිත නොසන්සුන් වෙනවා. අන්න ඒ වෙලාවට, අපිට වඩ නවත්තලා පොඩ්ඩක් සන්සුන් වෙන්න, හිත සන්සිඳවා ගන්න ක්‍රම අවශ්‍යයි. ඔය ඉස්සර නම් කියන්නේ භාවනා කරන්න කියලා. හැබැයි මේ calm.com කියන්නෙත් ඒ විදියෙම භාවනාවකින් වගේ හිත සන්සුන් කරගන්න පුලුවන් ටූල් එකක් තමයි. මේකේ ෆ්‍රී ට්‍රයල් එකේ නම් ගොඩක්ම ටූල්ස් නෑ. හැබැයි සන්සුන් වෙන්න, වඩාත් ෆෝකස් එකෙන් වැඩ කරන්න වගේ දේවල් වලට නම් අවශ්‍ය දේ තියෙනවා. ඒ ඇරෙන්න මේ වෙබ්සයිට් එකෙන් නින්දේ කොලිටිය වැඩි කරගන්න, තමන්ගේ වැඩිවර්ධනය ඇති කරගන්න වගේ වැඩවලටත් උපකාරය ලබාදෙනවා.

 

6. ARCHIVE.ORG

කියවන දනා රුපු යුදයට ජය කොඩිය කියලා කියනවානේ. බොරුත් නෙවෙයි. දැන් පොත් පත් කියවන්න අපි යන්නේ පුස්තකාලෙට. ආන්න ඒ වගේ, අපිට ඔන්ලයින් ගිහිල්ලත් පොත් පත් සහ විවිධ ආටිකල්, වෙබ් අඩවි පිටු එහෙම කියවන්න යන්න පුලුවන් පුස්තකාල තියෙනවා. මේ තියෙන්නේ එතනින් ලොකුම එකක්. ඒ වගේම, මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක්. ඔය උඩ කියපු දේවල් ඇරෙන්න තව ටීවී ෂෝ, ෆිල්ම් වගේ දේවලුත් මෙතන මිලියන ගාණෙන් ලබාගන්න තියෙනවා. හැබැයි එකක්, ඕකට ගිහින් spaiderman ෆිල්ම් එක හොයන්න බෑ. මොකද, මෙතන තියෙන්නේ නීත්‍යානුකූලව එහෙම නොමිලේ ෂෙයාර් කරන්න පුලුවන් දේවල් තමයි. හැබැයි ඉතින් මේ ලෝකේ එහෙම නීත්‍යානුකූලව නොමිලේ ලබාගන්න පුලුවන් දේවලුත් කොයි තරම් තියෙනවද කියලා තේරුම් ගත්තහම, තව පාරක් පිස්සු හැදෙයි!

 

7. Gnoosic

දැන් අපිට ඔය අලුතෙන් එන සිංදු, පරණ සිංදු වගේ මියුසික් සම්බන්ධ දේවල් හොයාගන්න උපකාරී වෙන ස්පොටිෆයි, ඇපල් මියුසික් වගේ විවිධ සේවාවන් තියෙනවනේ. Gnoosic කියන්නෙත් අන්න ඒ වගේ සේවාවක් ටිකක් වෙනස් විදියට සපයන වෙබ් අඩවියක්. විශේෂයෙන්ම වඩාත් නිදහසේ තමන්ට ගැලපෙන සංගීතය හොයාගන්න පුලුවන් වෙබ් අඩවියක්. මේක මියුසික් සර්ච් එන්ජින් එකක් කිව්වත් හරි. දැන් Gnoosic වෙබ් එකට ගියපු ගමන් අපෙන් විවිධ ප්‍රශ්න ටිකක් අහනවා අපේ සංගීත රුචිය ගැන තහවුරු කරගන්න. ඊට පස්සේ අපි මේ සර්ච් එන්ජින් එකත් එක්ක වැඩ කරන ආකාරය අනුව අපි ගැන තව තවත් දැනුවත් වෙලා, අපි ආසම කරන විදියේ මියුසික් හොයාගන්න මේකෙන් උදවු ලැබෙනවා.

 

8. River Styx

ඔය ග්‍රීක මිත්‍යා විශ්වාස පද්ධතිය තියෙන්නේ, අන්න ඒකට අනුව ස්ටයික්ස් ගඟ කියන්නේ මළවුන්ව පාතාල ලෝකෙට අරගෙන යන පාර. කයිරොන් කියලා හාදයෙක් තමයි ඔය ගිනි පත්තු වෙන ගඟ දිගේ මැරුණු අයව පාතාලෙට අරගෙන යන්නේ. හැබැයි ඔතනින් එහාට ග්‍රීක මිත්‍යා විශ්වාස ගැන කිසිම දෙයක් දන්නෙ නැති නම්, ග්‍රීක මිත්‍යා කතා ඉගෙන ගන්න මෙන්න තැන. ඒකත් හරියට අර මියුසියම් එකක ටුවර් එකක් ලබාදෙනවා වගේ තමයි අපිව දැනුවත් කරන්නේ. පොයින්ට් ඇන්ඩ් ක්ලික් ගේම් එකක් වගේ හැඟෙන මේ වෙබ් අඩවියෙන්, කෙනෙක්ට ග්‍රීක මිත්‍යා කතා ගැන සෑහෙන්න හොඳ ඉගෙනුමක් වගේම, විනෝදයකුත් ලබාගන්න පුලුවන්!

 

9. Good.co

සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් තමන් ජොබ් එකකට සෙට් වුණාට පස්සේ, දිගටම ඒ ක්ෂේත්‍රයෙන් ඉස්සරහට ඉස්සරහට යනවා මිසක්, තමන් කරන වෘත්තිය සම්පූර්ණයෙන් හරි පාර්ශවිකව හරි වෙනස් කරන්න හිතන්නෙ නැහැනේ. හිතන්නෙ නැතුවටත් වඩා ඒකට බයයි. හැබැයි බය නොවී ඒ ස්ටෙප් එකත් ගන්න පුලුවන් නම්, සමහර විට කරමින් ඉන්න වෘත්තියට වඩා සාර්ථක වෘත්තියකට යන්නත් ඉඩ ප්‍රස්තාව ලැබෙයි. ආන්න ඒකට උපකාරී වෙන වෙබ් අඩවිය තමයි මේ Good.co කියන්නේ. මේකෙන් මුලින්ම අපේ හැකියාවන් සහ නොහැකියාවන් අඳුනාගන්න ප්‍රශ්න ටිකක් එහෙම අහනවා. ඊට පස්සේ, ඒ ඔස්සේ අපි කැමති, අපිට පුලුවන් වෘත්තිය ක්ෂේත්‍රයක් හොයාගන්නත් උදවු කරනවා. ඒ විතරක් නෙවෙයි, විවිධ කොම්පැණි වල තියෙන ඒ අපිට සෙට් වෙන පැත්තට අදාළ ජොබ්ස් එහෙමත් හඳුන්වලා දෙනවා.

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – පළමු කොටස

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – දෙවෙනි කොටස

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – තුන්වෙනි කොටස

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – හතරවෙනි කොටස

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – පස්වෙනි කොටස

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – හයවෙනි කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *