ලෝකය පුරා තියෙන රටවල් 195න් තමන්ගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාවක් නැති රටවල් තියෙන්න පුළුවන් ද? අද ලෝකේ දිහා බැලුවම එක එක රටවල් වලට කොච්චර නම් අර්බුද තියෙනවද? ඒ අතරින් රටේ ආරක්ෂාව කියල කියන්නෙ ඉතාම වැදගත් තැනක් හිමි වෙන්න ඕන දෙයක්. අපේ රට ගැන වුනත් කල්පනා කරලා බැලුවම අපිට තේරෙනවනේ හමුදාවකින් රටකට කොච්චර ප්‍රයෝජන තියෙනවද කියලා. ඒ වගේම අපිට හිතෙනවනේ හමුදාවක් නැතිව රටක ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් ද කියලත්. විශේෂයෙන්ම රටක හැම ක්ෂේත්‍රයකම වැඩ වලට හමුදාවක සහය රටකට ලබාගන්න පුළුවන්. අපේ රටට බලපාපු සුනාමි ව්‍යසනය ගත්තත්, ගංවතුර ආපදාවක් වුනත් හමුදාව ඒ වෙනුවෙන් ලොකු සේවයක් කළා. හැබැයි ඉතින් කිසිම වෙන ප්‍රයෝජනයක් නො ගත්තත් ආරක්ෂාව වෙනුවෙන් වත් හමුදාවක් රටකට නෑ කිව්වම, ඒක ටිකක් අමුතුයි නේද? අමුතු වුනත් එහෙම රටවල් ලෝකේ තියෙනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සන්නද්ධ හමුදාවක් නැති රටවල් ගැන.
1. ඇන්ඩෝරා
ඇන්ඩෝරා රාජ්‍යය පිහිටලා තියෙන්නේ ප්‍රංශයත් ස්පාඤ්ඤයත් අතර දේශ සීමාවේ. වර්ග කිලෝමීටර් 468ක් වෙන මේ රාජ්‍යයේ ජනගහනය 80,000ටත් වඩා අඩුයි. ඉතින් ඔය පොඩ්ඩ දෙනාට මොන හමුදා ද කියලත් හිතන්න පුළුවන්. කොහොම හිතුවත් මේ රටට ස්ථිර සන්නද්ධ හමුදාවක් නෑ. පළවෙනි ලෝක යුද්ධයට කලින් මේ රාජ්‍යයේ භටයින් 600ක විතර හමුදා බලකායක් පවත්වා ගෙන ගිහින් තියෙනවා. ඉන් පස්සේ ඒ හමුදාව විසුරුවා හැරලා තියෙනවා. ඒ වගේම ඇන්ඩෝරා රාජ්‍යයේ ආරක්ෂාවට ඕන වෙලාවක ප්‍රංශය සුදානමින් ඉන්නවා. ඒ වගේම හදිසි කැඳවීමක දී අවුරුදු 21ත් 60ත් අතර, හැකියාව තියෙන සියලු ම පිරිමි අය හමුදා සේවය වෙනුවෙන් එකතු වෙන්න ඕනේ. ඒ වගේම සිවිල් වැසියන්ට ගිනි අවියක් බලපත්‍රයක් මගින් ලබාගන්නත් පුළුවන්.
2. ඩොමිනිකා
කැරිබියන් මුහුදේ පිහිටලා තියෙන Lesser Antilles දූපත් සමූහයෙන් එකක් තමයි ඩොමිනිකා කියන්නෙ. ඩොමිනිකා ජනරජය කියන රට එක්ක මේක පටලවගන්න එපා. ඩොමිනිකාව 1763 වෙනකන් ප්‍රංශයේ යටත් විජිතයක් විදිහට පැවතිලා ඉන් පස්සේ මහා බ්‍රිතාන්‍යය යටතට පත් වෙලා ඊටත් පස්සේ 1978 දී ස්වාධීන රාජ්‍යයක් විදිහට නිදහස ලබාගෙන තියෙනවා. 75,000 කට අඩු ජනගහනයක් තමයි මුළු රටේ ම ඉන්නේ. ඉතින් 1981 ඉඳල ම ස්ථිර සන්නද්ධ හමුදාවක් මේ රටේ තිබිලා නෑ. ඒ වෙනුවට ‘පොදු රාජ්‍ය මණ්ඩලීය ඩොමිනිකා පොලිස් බලකාය’ නමින් පොලිස් ඒකකයක් විතරක් තියෙනවා. වෙරළාරක්ෂක කටයුතු එහෙම සිද්ධ වෙන්නේ මෙන්න මේ ආරක්ෂක ඒකකය මඟින්.
3. ග්‍රෙනාඩා
ග්‍රෙනාඩා කියන රටත් අපි කලින් කතා කරපු කැරිබියන් මුහුදේ පිහිටලා තියෙන Lesser Antilles දූපත් සමූහයේ ම තවත් දූපතක්. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් විදිහට පැවතුණු මේ රාජ්‍යය 1974 දී නිදහස ලබාගන්නවා. ඉන් පස්සේ ආයේ 1983 දී එක්සත් ජනපදය විසින් ග්‍රෙනාඩා රාජ්‍යය ආක්‍රමණය කරනවා. ඉතින් ඒ එක්ක මේ රටේ තිබුණු හමුදාව අක්‍රිය වෙනවා. එදා ඉඳන් අද වෙනකන් ග්‍රෙනාඩා කියන රටට තමන්ට කියල ස්ථිර හමුදාවක් නෑ. හැබැයි ඒ රටේ ආරක්ෂාව ගැන බලන්න පොලිස් බලකායක් පමණක් ක්‍රියාත්මක වෙනවා. වෙරළ ආරක්ෂාව වෙනුවෙනුත් පොලීසිය තමයි කටයුතු කරන්නේ.
4. කිරිබටි
පැසිෆික් සාගරයේ පිහිටා තියෙන දූපත් සමූහයකින් සමන්විත වෙන කිරිබටි රාජ්‍යය වර්ග කිලෝමීටර් 811ක් වගේ කුඩා භූමි ප්‍රදේශයක් හිමි කුඩා රාජ්‍යයක් වෙනවා. ඒ වගේම ජනගහනය වුනත් 110,000ක් වගේ ප්‍රමාණයක් ඉන්නේ. උපකල්පන වල විදිහට මේ දූපත් සියල්ල 2100 වෙද්දී නැති වෙලා යාවිලු. 1979 ස්වාධීන රාජ්‍යයක් විදිහට නිදහස් වුනු මේ රට නිත්‍ය සන්නද්ධ හමුදාවක් නැති රාජ්‍යයක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ වගේම නිත්‍ය හමුදාවක් පිහිටුවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා තහනම් කරලයි තියෙන්නේ. හැබැයි රටේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් අංශයක් නම් ක්‍රියාත්මක වෙනවා.
5. නාවුරු
ලෝකයේ කුඩාම දූපත් රාජ්‍යය, ලෝකයේ කුඩාම ජනරජය සහ ලෝකයේ තුන් වන කුඩාම රට විදිහට හැඳින්වෙන නාවුරු රාජ්‍යය පිහිටලා තියෙන්නේ පැසිෆික් සාගරයේ සොලමන් දූපත් වලට කිට්ටුවෙනුයි. කලින් ප්ලෙසන්ට් අයිලන්ඩ් විදිහට හැඳින්වුණු මේ රට 1968 දී නිදහස ලබා ගෙන 1969 දී පැසිෆික් ප්‍රජාවේ සාමාජිකයෙක් බවට පත් වුණා. ජනගහනය 11,000ක් වගේ කුඩා ප්‍රමාණයක් තමයි මුළු රටේ ම. ඒ වගේම දෙවන ලෝක යුද්ධය වෙනකන් නොයෙක් රටවලට ඈඳා ගෙන තිබුනත් ඉන් පස්සේ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා. ඉතින් මේ රටේ වෙනම හමුදා අංශයක් ක්‍රියාත්මක වෙන්නේ නැති වුනත් ආරක්ෂාව සම්බන්ධව ඔස්ට්‍රේලියාව වගකීම දරනවා. ඒ වගේම සාපේක්ෂව විශාල පොලිස් බලකායක් තියෙනවා අභ්‍යන්තර ආරක්ෂාවට.
6. පලාවු දූපත්
පලාවු කියන්නෙත් දූපත් සමූහයකින් යුක්ත දූපත් රාජ්‍යයක්. මේ රට පිහිටලා තියෙන්නේ පිලිපීන මුහුදේ පිලිපීනයට කිට්ටුවෙන්. වර්ග කිලෝමීටර් 459ක් වෙන මේ රාජ්‍යයේ ජනගහනය 18,000ක් වගේ කුඩා ප්‍රමාණයක්. 1978 දී තමන් ස්වාධීන රාජ්‍යයක් බවට ප්‍රකාශ කළා. ඉන් පස්සේ 1981 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුමත කර පලාවු ජනරජය බවට පත් වුණා. ඒ අනුව රටට හමුදාවක් සඳහා ප්‍රතිපාදන දක්වලා නෑ. පොලිස් අංශයක් පමණක් පවත්වා ගෙන යන්න තමයි අවසර තියෙන්නේ. නමුත් ආරක්ෂක පිටුබලය මේ රාජ්‍යයට ලබා දෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය.
7. සොලමන් දූපත්
කලින් කතා කරපු නාවුරු රාජ්‍යයට දකුණු පසින් තමයි සොලමන් දූපත් පිහිටලා තියෙන්නේ. ප්‍රධාන දූපත් හයකින් සහ සෙසු දූපත් විශාල ප්‍රමාණයකින් සමන්විත වෙන මේ රාජ්‍යය වර්ග කිලෝමීටර් 28,400ක් වගේ භූමි ප්‍රමාණයක විහිදිලා තියෙනවා. මුළු ජනගහනය 650,000ක් වගේ තමයි ඉන්නේ. දෙවෙනි ලෝක යුද්ධය කාලේදී හමුදා බලකායක් පැවතුනත් 1978 නිදහස ලබාගත්තාට පස්සේ රටේ ස්ථිර හමුදා බලකායක් පැවතුණේ නෑ. කෙසේ නමුත් මේ රටේ මේ වෙද්දී අපරාධ අනුපාතය යම් කිසි ඉහල මට්ටමක තමයි තියෙන්නේ. මුළු රටේ ම ආරක්ෂාව පොලිස් බලකායට තමයි පැවරිලා තියෙන්නේ.
Leave a Reply