කලිනුත් අපි ඇරබික් ස්නැක්ස් කිහිපයක් ගෙනාවා. ඒ ලිපියෙන් ගේන්න බැරි වුණ තවත් රස කෑම කීපයකට රෙසිපි අරගෙනයි අද අපි ආවේ. වෙනස්ම රසයකින් යුතු මේවා බොහොම රස කෑම. ලංකාවේ කෑම විතරක් හදන අය වගේම ඔයාලා හැමෝමත් මේවා ට්‍රයි කරලා බලයි කියලා හිතනවා.
වෙනස් රසක් විඳින්න කැමති අයට අරාබිකරයේ රසවත් ස්නැක් රෙසිපි 5ක්
1. Cheese Sambousek
අවශ්‍ය ද්‍රව්‍ය :-
ඩෝ එකට
- පාන්පිටි කෝප්ප 2
- බටර් මේස හැඳි 16
- ලුණු පින්ච් එකක්
- බිත්තර 1
- අයිස් වතුර මේස හැඳි 2
ෆිලින් එකට
- ග්‍රේට්කරගත් චෙඩාර් චීස් කෝප්ප 1
- ෆෙටා චීස් කෝප්ප 1
- ගසාගත් බිත්තර 2
- ලුණු ටිකක්
- තල ඇට ටිකක්
- අවන් එක සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගන්න. ට්‍රේ එකකට බේකින් ශීට් එකක් දාගන්න.
- පාන්පිටි වලට බටර් හා ලුණු දාලා කලවම් කරගන්න. වෙනම බෝල් එකකට බිත්තරය හා අයිස් වතුර දාලා කලවම් කරන්න.
- මේක පිටි මිශ්‍රණයට දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. ඩෝ එක ක්ලින් රැප් එකකින් ඔතලා විනාඩි 30ක් ෆ්‍රිජ් එකේ දාගන්න.
- චීස් වර්ග දෙකම බෝල් එකකට දාලා, ගසාගත් බිත්තර 2 දාලා කලවම් කරලා ෆිලින් එක හදාගන්න.
- දැන් ඩෝ එක අරන් තුනී කරලා රවුම් කපාගන්න. ෆිලින් එක මැද්දෙන් තියලා පැටිස් නවනවා වගේ අනික් පැත්තෙන් නවාගන්න.
- දැන් බිත්තර සාරු ටිකක් බ්‍රෂ් කරලා තල ඇට වල තවරගන්න. විනාඩි 30ක් බේක් කරගන්න.
2. Falafel
අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල ග්‍රෑම් 200
- චොප්කරගත් පාස්ලි ටිකක්
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- තලාගත් සුදුළූණු ටිකක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- බේකින් පව්ඩර් තේ හැඳි 1/2
- තල ඇට ටිකක්
- බේකින් සෝඩා ටිකක්
- බැදීමට තෙල්
- කඩල වලට බේකින් සෝඩා ටිකක් දාලා රැයක් පෙඟෙන්න දාගන්න.
- මේ ටික සෝදලා අරන් ග්‍රයින්ඩර් එකට දාලා චොප්කරගත් පාස්ලි, සුදුළූණු, ළූණු, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා ග්‍රයින්ඩ් කරගන්න.
- දැන් මේ මිශ්‍රණය බෝල් එකකට දාලා පැයක් ෆ්‍රිජ් එකේ තියාගන්න.
- ඊළඟට මේකට බේකින් පව්ඩර් හා තල ඇට දාලා කලවම් කරලා අතින් පැටේ එක හදාගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
3. Qatayef
අවශ්‍ය ද්‍රව්‍ය :-
බැටර් එකට
- පාන්පිටි කෝප්ප 1
- රුලං ග්‍රෑම් 150
- බේකින් පව්ඩර් මේස හැඳි 2
- යීස්ට් තේ හැඳි 1/2
- සීනි මේස හැඳි 2
- වතුර කෝප්ප 3
- ලුණු ටිකක්
නට් ෆිලින් එකට
- කුඩුකරගත් වෝල්නට්ස් කෝප්ප 1/2
- සීනි මේස හැඳි 2
- කුරුඳු කුඩු ටිකක්
- සාදික්කා කුඩු ටිකක්
- ගාගත් පොල් කෝප්ප 1/2
චීස් ෆිලින් එකට
- Akkawi Cheese ග්‍රෑම් 500
- කුඩුකරගත් පිස්ටාචියෝ ග්‍රෑම් 50
- බැටර් එකට අදාල සියල්ලම බ්ලෙන්ඩ් එකට දාලා බැටර් එක හදාගන්න. පෑන් එකක් ලිපේ තියලා බැටර් එකෙන් හැන්දක් දාලා එක පැත්තක් විතරක් ෆ්‍රයි කරමින් පොඩි පෑන්කේක් වගේ හදාගන්න.
- නට් ෆිලින් එකට අදාළ සියල්ලම බෝල් එකකට දාලා කලවම් කරගන්න.
- චීස් කොටු හැඩේට කපලා පිස්ටාචියෝ තවරගන්න. දැන් පෑන්කේක් එකෙන් බාගෙකට නට් ෆිලින් එක තියලා චීස් ටිකත් තියලා අනික් පැත්තෙන් වහලා අතින් තද කරලා සීල්කරගන්න.
- දැන් එළවළු තෙල් ටිකක් උඩින් ගාලා සෙල්සියස් 180°ට විනාඩි 10-12ක් බේක් කරගන්න.
4. Fried Kibbeh
අවශ්‍ය ද්‍රව්‍ය :-
බල්ගර් ශෙල් එකට
- අඹරාගත් බීෆ් ග්‍රෑම් 500
- අඹරාගත් බල්ගර් සීරියල් ග්‍රෑම් 400
- කපාගත් ළූණු ගෙඩි 1
- ලුණු ටිකක්
- ලෙබනීස් ස්පයිස් මික්ස් තේ හැඳි 2
- අයිස් කැට දෙක තුනක්
මීට් ෆිලින් එකට
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- අඹරාගත් බීෆ් ග්‍රෑම් 350
- වෝල් නට්ස් හෝ පයින් නට්ස් කෝප්ප 1/4
- ලුණු ටිකක්
- ලෙබනීස් ස්පයිස් මික්ස් තේ හැඳි 1 (කුරුඳු කුඩු, ගම්මිරිස්කුඩු, සාදික්කා කුඩු, කරදමුංගු කුඩු, කුඩුකරගත් කරාබුනැටි)
- බැදීමට තෙල්
- අයිස් වතුර ටිකක්
- ෆිලින් එක හදන්න පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කපාගත් ළූණු ගෙඩිය දාගන්න. මද ගින්නෙ ළූණු ටික මැලවෙනකොට අඹරාගත් බීෆ් ටික දාගන්න.
- මේකට ස්පයිසස් ටික දාලා රස අනුව ලුණු එකතු කරන්න. බීෆ් ටික තැම්බෙනකොට වෝල්නට්ස් ටික දාලා කලවම් කරලා ටිකකින් ලිපෙන් බාගන්න.
- බල්ගර් ශෙල් එක හදන්න බල්ගර් ටික හොඳට සෝදලා පැය භාගයක් පෙඟෙන්න තියලා හොඳින් වතුර බේරගන්න.
- අඹරාගත් බීෆ් ටික ෆුඩ් ප්‍රොසෙසර් එකට දාලා අයිස්කැට දෙකක් එක්ක තව ටිකක් අඹරගන්න. එතකොට බෝල හදන්න ලේසියි. මේකට ළූණු ටික හා ස්පයිසස් දාලා ආයෙ අඹරාගන්න.
- දැන් බල්ගර් ටික බීෆ් මිශ්‍රණයට දාලා ආයෙ හොඳට කලවම් කරගන්න.
- අයිස් වතුරට ලුණු ටිකක් දාලා අත ඒකෙන් තෙමාගන්න. බල්ගර් මික්ස් එකෙන් ටිකක් අරගෙන පොඩි බෝලයක් වගේ හදලා අතින්ම පැතලි කරගන්න.
- ඒක මැදට මීට් ෆිලින් එක දාලා අතින් රවුම් කරලා වහගන්න. මේ වගේ බෝල ඔක්කොම ඕවල් ශේප් එකට හදලා ගැඹුරු තෙලේ බැදගන්න.
5. Date Filled Cookie
අවශ්‍ය ද්‍රව්‍ය :-
කුකී එකට
- පාන්පිටි කෝප්ප 3
- එළවළු තෙල් කෝප්ප 1
- බටර් මේස හැඳි 2
- ලුණු ටිකක්
- යීස්ට් ටිකක්
- ස්පයිසස් තේ හැඳි 1
- වතුර ටිකක්
ෆිලින් එකට
- රටඉඳි ටිකක්
- කරදමුංගු කුඩු ටිකක්
- තෙල් ටිකක්
- කිරි මේස හැඳි 1
- බෝල් එකකට පාන්පිටි, බටර්, එළවළු තෙල්, ස්පයිසස්, යීස්ට් හා ලුණු දාලා කලවම් කරගන්න. මේකට වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. මේක වහල විනාඩි 45ක් තියන්න.
- රටඉඳි ටික පොඩියට කපලා පෑන් එකට තෙල්
- ටිකක් දාලා රත්වෙනකොට මේ ටික දාගන්න.
- මේකට කරදමුංගු කුඩු ටික දාලා කිරි ටිකක් දාලා රටඉඳි ටික පොඩි වෙනකල් හැඳිගාන්න. මිශ්‍රණය තික් වෙනකල් හැඳිගාලා ලිපෙන් බාගන්න.
- අවන් එක සෙල්සියස් 180°ට ප්‍රීහීට් කරගන්න.
- බේකින් ට්‍රේ එකට ඔයිල් ටිකක් ගාගන්න.
- ඩේට් පේස්ට් එක දික් අතට රෝල් කරගන්න. ඩෝ එක නීඩ් කරලා කොටු හැඩේට කපාගන්න. දැන් මේක තුනී කරලා මැදින් ඩේට්පේස්ට් එක තියාගන්න.
- දැන් ඩේට්පේස්ට් එක මැදට හිටින්න ඔතාගෙන පෙති කපාගන්න. කපාගත් පෙති ටික ට්‍රේ එක උඩ තියලා සෙල්සියස් 180°ට විනාඩි 20ක් වගේ බේක් කරගන්න.
Leave a Reply